ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මම පළමුවෙන් ම මිනිසුන් අතුරෙහි කාට දම් දෙසම්දැ” යි සිතූ සේක්, “ආළාර තවුසා ඉඳී නම් ධර්මාවබෝධයට සමර්ථ යැ” යි දුටු සේක. හේ දැන්, කොහි ඉඳී දැයි දිවැසින් බලා ඔහු මැරී එවකට සතියක් වූ බව දැක, “අන් කවරෙක් ධර්මාවබෝධයට තරම් නැණැත්තේ දැයි බැලූ සේක්, උද්‍රක තෙමේ සමතැ” යි දුටු සේක. “හේ කොහි ඉඳී දැ” යි බැලූසේක්, හීයේ රෑ හෙතෙම මළේ යැ”යි දුටු සේක.83 යලි අන් කවුරු ධර්මාවබෝධයට සමත් දැයි විමසා පස්වග තවුසන් දැක, “උහු කොයි දැ” යි දිවැසින් බලා බරණැස ඉසිපතන්හි ඉන්නා නියා දැක එහි යන්නට අදහස් කළ සේක.