එක් දිනක් රෑ දැඩි කළුවරයෙහි භාග්‍යවතුන් වහන්සේ අජපල් රුක අසළ සක්මන් කෙළවරැ ගල් පුවරුයෙහි හුන් සේක. මඳින් මඳ වැහි පොද ද වැටිණ. එ කලැ දෙවමාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට බිය ගන්වන අදහසින් ලොකු ඇතකුගේ වෙසින් ආ ය. ඔහු හිස මහ කළුගලක් වැන්න. දත් පිරිසිදු රිදී මෙන් සුදුය. හොඬ මහ නගුලිසක් පමණ විශාල ය.
භාග්‍යවතුන් වහන්සේ “මේ මාරයා”යි දැන “දීර්ඝ කාලයක් ම ප්‍රිය අප්‍රිය අනේක ප්‍රකාර වෙස් ගෙන නොයෙක් වර මා වෙත ආයෙහි ය. ලාමකය, මේ යුෂ්මතාගේ බිය ගැන්වීමේ ව්‍යාපාරයෙන් වැඩෙක් නැතැ”73 යි වදාළ සේක.
එ විට මාර තෙම “බුදු රජහු මා හැඳින ගත්තෝ” යි සිතා දොම්නසින් එහි ම අතුරු දහන් ව ගියේ ය.
තවත් වරෙකැ මාර තෙම අඳුරු වේලායෙහි භාග්‍යවතුන් වහන්සේට බිය ඇතිකරන අදහසින් කුදු මහත් ශුභාශුභ වෙසින් පෙනෙන්නට විය. එ විටැ ද පළමු සේ ම වදාරා, “මාරය, කයින් වචසින් මනසින් සංවෘත වූවෝ යුෂ්මත්හුගේ වශයට නො යෙත්, යුෂ්මත්හුගේ අත වැස්සෝ හෝ නො වෙත් යැ” යි වදාළ සේක. එවිටත් පළමු සේ ම මර පලාගියේය.74