වප්මඟුල් උළෙල

බෝසතාණන් ඉපිද පස් මසෙක් ගත විය, මෙ සමයෙහි කිඹුල්වත් නුවර රොහිණී ගඟ අද්දරැ දිගට ම පිහිටි රජුට අයත් විශාල කුඹුරුයායේ වාර්ෂික හීහෑමේ මහ උළෙලට කාලය විය. මඟුල් නඟුල අත තබා එය ඇරැඹීම ශුද්ධෝදන රජුට පැවරුණේ ය. උළෙල බලන්නට රැස්වන ජනයා සුදු වතින් සැරැසී සුදු මල් පැලැඳ එති. මහරජු ද රජගෙහි තව බොහෝ ජනයෝ ද එහි යන්නට සැරසුණහ. රජු ද පුත් කුමරුන් කිරිමවුන් බාරේ රන් සිවිගෙයෙකින් ගෙන්වාගෙන පිටත් විය. කුඹුර අද්දර මහ කමතේ වූ මහ දඹගස් සෙවණේ වට තිර අදවා උඩුවියන් බඳවා ඇඳක කුමරුන් හොවා රැක බලාගන්නට කිරි මවුන් නවතා රජතුමා කුඹුරට බැස රන් නඟුලක අත තබා සුබ මොහොතින් වැඩ ඇරැඹීය. සේවකයෝ ගී ගයමින් හී හෑම පැවැත්තූහ. මඳ වේලාවකින් එය බලන්නට කිරි මව්වරු ද තිරයෙන් පිටත ආහ.

මෙ වේලෙහි බෝසතාණෝ ළඟ කිසිවකුත් නැති නියාව දැක නැගිට ඇඳෙහි ම පළක් බැඳගෙන අනාපාන සතිය වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද හුන්හ. මඳ වේලාවකින් කිරිමවුහු තිරයෙන් ඇතුළට ගියාහු බෝසතාණන් වැඩ ඉන්නා නියාව දැක මවිත ව වහා ගොස් රජුට දැන්වූහ.

රජ අවුත් කුමරුන් උන් සේ දැක විස්මිත වැ උපන් බලවත් සෙනෙහස දරා ගත නො හැකි වූ කුමරුන්ගේ පතුල් ළඟ ඉස තබා ගෙන “පුතා නුඹ අද ම බුදු වූ යෙහිදැ” යි කියමින් වැන්දේ ය.17

මඳ කලකට පසු ප්‍රජාවතී ගෞතමී (මහාමායා දේවීන් ගේ බාල සොහොයුරී) ද පුතකු වැදුවා ය. රජ තෙම බෝසතාණනට සෙයින් එ කුමරුට ද ශරීර ලක්ෂණ පිරික්සැවීම් ආදිය කරවා හැම දෙනා ම සතුටු කරවමින් උපන් බැවින් නන්ද යන නම තැබීය. නන්ද කුමරු උපන් පසු ඔහු ගේ මවු වූ ප්‍රජාවතී ගෞතමී තොමෝ කලුරිය කළ වැඩිමහල් සොහොයුරිය ගේ දරු වූ සිද්‍ධාර්ථ (සිදුහත්) කුමාරයාණන් තමා ගේ බාරයට ගෙන තම පුත් නන්ද කුමරුවා කිරි මවුනට පැවරුවාය. සිද්‍ධාර්ථ කුමරු සුළු මවුගේ තනෙන් කිරි බී වැඩුණේ ය. නන්ද කුමරු උපදනට හවුරුදු දෙකකට පමණ කලින් ද ඇයට ලැබුණු නන්දා නම් දුවක් ද සිටියා ය. නන්දා, සිද්‍ධාර්ථ, නන්ද යන දරු තිදෙනා ගේ ම මවු වශයෙන් වූසූ ඇයට දරුවන් ඇති ගෞතමී යන අර්ථය අනුව ප්‍රජාවතී ගෞතමී (ප්‍රජාපතී ගෝතමී) යන නම සුදුසු ම විය. ළදරු වියේ සිට ම සිද්‍ධාර්ථ කුමාරයනට මව ගේ මරණය කිසිසේත් නො දැනෙන ලෙසටද ප්‍රජාවතී ම එතුමන් ගේ ද මෑණියෝ මැ යැ යි හැඟෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝ ම කතා බස් ආදි හැම එකෙක දී ම පරිස්සමින් ක්‍රියා කළහ. මෙසේ බෝසතාණන් වහන්සේ ද නන්ද කුමරු ද ඒ දෙදෙනාට ම වැඩිමලු වූ නන්දා කුමරි ද යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙළෙන් සුවසේ වැඩුණහ. සිද්‍ධාර්ථ කුමාරයාණට සේ ම නන්ද කුමරුට ද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන් ද මහ පිරිසෙක්18 නිතර රජ ගෙය ඇසුරු කෙළේ ය.