ලුම්බිනී උයන

දෙව්දහ නුවරැවැසි එක් සිටුවරයකු ගේ ශෝභන වූ මහ උයනෙක් විය. රජ පවුලේ අය ද නොයෙක් විට ගොස් උයන බලා ඇවිදිති. දවසෙක මහාසුප්‍රබුද්‍ධ රජ සිය බිසොව කැටුව ඒ උයන බලන්නට ගියේ ය. උයන් සිරි දුටු බිසොවට ඒ උයන අත්පත් කැරැ ගන්නට ආශාවක් ඇති විය. ඕ රජුට ඒ බව කීවා ය. රජ තෙම සිටුවරයා කැඳවා ඔහු ගේ උයන මිළයට ගන්නට කැමැත්ත පැවැසී ය. සිටුවරයා එය තමා කිසිසේත් නො විකුණන බව කීය. එ විට රජ දෙව්දහ නුවරට සමීප මහ වන පෙදෙසක් හෙළි පෙහෙළි කරවා යට කී සිටුහුගේ උයනටත් වඩා විශාල ද ශෝභන ද වූ උයනක් කරවා බිසොව නමින් “ලුම්බිනී උයනැ” යි නම් කොට ඇයට තෑගි කළේය.

අංජන (මහාසුප්‍රබුද්‍ධ) රජුට රුසිරින් අගපත් ලුම්බිනී බිසොවගෙන් ඇය සේ ම දැකුම්කලු ශ්‍රී සෞභාග්‍යප්‍රාප්ත දූහු දෙදෙනෙක් වූහ. වැඩිමාලු දියණියන් උපන් ටික දිනකින් ඇයට නම් තබනුයේ දුටුවන් මෝහනයට පත් කරවන රූපශ්‍රීයෙන් ශෝභිත බැවින් මායා යැ යි නම තැබී ය. හවුරුදු දෙක තුනකට පසු එවැනි මැ රූසිරින් හෙබි තවත් දුවක් ලැබිණ. එවිට පළමු දුවට මහාමායා ගෞතමී යි නම් කොට දෙවැනි දුවට මායාගෞතමී' යි නම් කළේය. මේ දෙදෙනා උපන් අළුත පිය රජු ජ්‍යොතිර්විද්‍යාඥ නිමිත්ත පාඨක බමුණන් ගෙන්වා ඒ කුමරියන් උපන් දින වේලාවල් ද ගත ලකුණු ද අනුව පලාපල කියන් නැ යි අයැදී යැ. ඔහු මැනැවින් ඒ සියල්ල පිරික්සා බලා මේ කුමරියන් දෙදෙනාම සක්විති රජ වන්නට තරම් පින් ඇති දරුවනට මවුන් වෙති යි පැවසූහ. බමුණන් ගේ ශාස්ත්‍ර අනුව දෙවෙනි දුව (මායා ගෞතමී) බොහෝ දරු කැලකට මවක වෙතැ යි කී බස අසා පිය රජ ඇගේ පළමු නම වෙනස් කොට "ප්‍රජාවතී ගෞතමී"යැ යි දෙවෙනි නමක් තැබී ය.[1] පසුව ඒ දෙවෙනි නමින් ම ඕ ප්‍රසිද්‍ධ වූවා ය.

  1. බොහෝ පෙරැ දවස බමුණෝ අද වාක්‍ය නමින් ප්‍රකටව ඇති මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව අනුව ජීවිත ඵල කීහ. ප්‍රජාවතී ගෞතමී මහ දරුපිරිසක් ලබන තැනැත්තියකැ යි ඔවුන් කීයේ, බොහෝ කලකට පසු ඇය පැවිදි වැ එයින් පසු පැවිදි වන සියලූම මෙහෙණින් ගේ ශාසනික මාතෘ (උපාධ්‍යායා) වන බව සැලකීමෙනැ යි පෙනේ.