මහා සම්මත රජ

star_outline

ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්‍ධාර්ථ ගෞතම බුද්‍ධ චරිතය

නමෝ බුද්ධාය

ලොවැ මිනිසුන් ඇති වූ මුල් යුගයෙහි ඔවුන් පාලනය කරන රජෙක් නොවී ය. මිනිස්සු දැහැමින් සෙමෙන් කල් යවන්නාහු තුමූ ම තමන් ගේ පාලකයෝ වූහ. ඔවුන් අතර ප්‍රාණවධාදි කිසි අපරාධයෙක් නො වී ය. ඔහු ජාති කුල ගෝත්‍ර ආදි වශයෙන් නො බෙදුණහ. සියල්ලෝ එක් ම පවුලෙහි සහෝදර පිරිසක්සේ සමගියෙන් වුසූහ.

මෙසේ බොහෝ කලක් ගෙවිණ. ටිකින් ටික නරක ගති ගුණ මිනිසුන් කෙරෙහි පහළ වන්නට පටන් ගත. කිසි කෙනෙක් අන් සතු දෑ සොරා ගත්හ. නින්දා ගර්හා කිරීම ද බොරු කීම ද ඇති විය. නොබෝ කලෙකින් අනුනට හිංසා පීඩා කිරීම ද පටන් ගැනිණ.

මෙසේ අපරාධ වැඩී ගෙන යන විට මහජනයා ගේ ආරක්ෂාව පිණිස පාලකයකු පත් කැරැ ගැන්ම අවශ්‍ය වි ය. මිනිස්සු එක්රැස් වැ මහා සභාවක් පැවැත්වූ හ. පවත්නා තත්ත්වය ගැන සාකච්ඡා කොට සමානච්ඡන්දයෙන් සුදුස්සකු පාලක ධූරයට පත් කරන්නට තීන්දු කැරැ ගත්හ. ඔවුන් අතුරෙහි වූ ආරෝහ පරිණාහ සම්පන්න, පෙනුමෙන් ශෝභන වූ එහෙත් තෙදවන් ශූරවීර පුරුෂයකු තෝරා ගෙන ඔහු තමන්ගේ පාලකයා කැරැ ගත්හ. හැම දෙනා ගේ සම්මතියෙන් පත් කැරැණු බැවින් හේ මහාසම්මත නම් විය. දාන, ප්‍රිය වචන, අර්ථචර්යා, සමානාත්මතා යන සතර සංග්‍රහ වස්තුයෙන් ජනරංජනය කරන බැවින් රාජ නම් ද විය. මේ ලොව ඇති වූ, පළමු මහරජු ය.

මෙකී මහාසම්මත රජුහු ඇවෑමෙන් ඔහු පුත් රෝජ නම් කුමර රජ විය. ඔහුගේ පරපුරෙහි පිළිවෙළින් වරරෝජ, කල්‍යාණ, වර කල්‍යාණ, උපෝසථ, මන්ධාතු, චර, උපචර, චේතිය, මූචල, මුචලින්ද, සගර, සාගර, භරථ, භගීරථ, රුචි, සුරුචි, ප්‍රතාප, මහාප්‍රතාප, ප්‍රණාද, මහා ප්‍රණාද, සුදර්ශන, මහාසුදර්ශන, නේරු, මහානේරු, අච්චිමන්තු යන රජුහු රජය කැරැවූහ. ඔවුන්ගෙන් සමහරු කුශාවතී නුවර ද සමහරු රාජගෘහ නුවර ද, සමහරු මිථිලා නුවර ද, රාජධානිකොට ගෙන ජනතාව පාලනය කළහ. අච්චිමන්තු රජු ගේ පරපුරෙහි සමහරු මිථිලා නුවර ද, බොහෝ දෙනෙක් බාරාණසී (බරණැස්) නුවර ද, සමහරු අයෝධ්‍යා ආදි කලින් කලැ නැංවුණ නගර ද රාජධානි කැරැගත්හ. ජනගහනය වැඩි වත් ම පොළොවේ නොයෙක් අතට විහිද පැතිරී ගිය ජනතාව සමග ම මේ රජ පරපුරේ පාලකයෝ ද වෙන වෙන පෙදෙස් පාලනය කරන රජුන් වශයෙන් බෙදී ගියහ.

දහස් ගණනක් රජුන් ඇතුළත් මේ මහාසම්මත වංශයෙහි වූ මහේශ්වර සේන නම් රජෙක් එක් කලෙක බරණැස් නුවර රජදහන කොට ගෙන දඹදිව එක් ප්‍රදේශයක් පාලනය කෙළේ ය. ඔහුගේ පුතුන් අතුරෙන් කර්ණික නැමැත්තා පිය රජු ඇවෑමෙන් පෝතලී (පෞදන්‍ය) නම් නුවරෙක වැස රට පාලනය කෙළේය. ඔහු ගේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමාලු ගෝතම නම් කුමර රජ සැප අතහැර වනගතවැ කෘෂ්ණ නම් තවුසකු ඇසුරු කෙරෙමින් විසී ය. ඔහුට දෙදරු කෙනෙක් වූහ. හිරු උදා වන මෙහොතෙහි උපන් බැවින් ඔහු දෙදෙනා ම සූර්ය යන නමින් හැඳින් වුණහ. ඔවුන් උපන් පෙදෙස ඉක්ෂු (උක්) වනයෙකි. එහෙයින් ඔහු ඉක්ෂ්වාකු (ඔක්කාක) නම් ද වූහ. මේ කුමරුන් දෙදෙනාගෙන් දෙවැන්නා ඉක්ෂ්වාකු රාජ නමින් පෝතලී පුරයේම රජ වී ය. ඔහුගේ පරපුර ඉක්ෂ්වාකු (ඔක්කාක) වංශ සූර්යවංශ නමින් ද ගෝත්‍ර වශයෙන් (ගෝතම තවුසාගේ නමින්) ගෞතම නමින් ද හැඳින්විණ. මේ පරපුරෙහි ඉක්ෂ්වාකු නමින් ප්‍රසිද්‍ධ වූ රජුහු තුන්දෙනෙක් වූහ. එයින් තුන්වැන්නා ඉක්ෂ්වාකු විරූඪක (ඔක්කාක විරූළ්හක) නම් විය. ඔහුට පළමු බිසෝවරුන්ගෙන් උල්කාමුඛ, කරකර්ණ (කරකණ්ඩු), හස්තිනික, නුපුර (නිපුර) නම් පුතු සතර දෙනෙක් ද දියැණියෝ පස් දෙනෙක් ද වූහ. [1]

විරූඪක ඉක්ෂ්වාකු රජ පළමු බිසෝවරුන් මළ පසු තවත් ආවාහයක් කැරගත්තේ ය. ඒ අළුත් බිසොව ගෙන් උපන් කුමරුට ජන්තු යන නම තැබී ය. කුමරු දැක, රජ පැහැද බිසොවට තමා රිසි වරයක් ඉල්ලා ගත මැනැවැ යි කී ය. “පසු කලෙකදී පිළිවනැ යි” ඕ එය කල් දැමුවා ය. කලකට පසු ජන්තු කුමරු තරුණ වයසට ළං වූ සමයෙහි ඕ රජු කරා ගොස් වරය ඉල්ලුවා ය. කුමක් වුවමනා දැ? යි විචාල රජුට තම පුත් ජන්තු කුමරු රජයට හිමි කරන්නැ යි ඕ ඉල්ලුවා ය. කැමති වරයක් දෙමැ යි කලදී ම පොරොන්දු වූ බැවින් රජ බිසොවගේ ඉල්ලීමට විරුද්ධ විය නො හැකි විය. එහෙත් මැය නිසා තමාගේ අනිත් කුමරුවන් සතර දෙනාට විපත් වෙතැ යි සැක කොට, ඔවුන් රහසින් කැඳවා “ඈත පෙදෙසකට ගොස් වාසය කරන්නැ”යි උපදෙස් දුන්නේ ය.

කුමරුවෝ සතර දෙන රට හැරයන්නට සැරැසුණා හ. ඔවුන් ගේ බිහිනියෝ පස් දෙනා ද[2] “සොහොයුරන් යන තැනකට ම අපිත් යම් හ’ යි කියා ඔවුන් කැටුව ම නික්මුණාහ. තමන්ගේ පාලක රජුහු ගේ දූ පුතුන් අන් දෙසකට යතැයි ඇසූ නුවර වැසි බොහෝ ජනයෝ අවශ්‍ය වූ උපකරණ ද රැගෙන කුමර කුමරියන් අනුව ගමන් ඇරඹූහ. සිය නුවරින් නික්මුණු කුමරුවෝ අන් කෙනකු පාලනය කරන කිසි ද පෙදෙසෙක රැඳෙනු නො කැමැත්තෝ, හිමාලය වන ප්‍රදේශය අතට ම ගියාහ. එහි වාසයට සුදුසු පෙදෙසක් සොයා යන්නාහු කපිල නම් සෘෂිහු ගේ අසපුවට පැමිණියහ. සෘෂි තෙම ඔවුන් ආ කරුණ විචාරා, තමා වසන අසපු පෙදෙස “ජයභූමියකැ”යි ද එහි නගරයක් නැංවුවහොත් ප්‍රබල පාලකයන් වසන තැනක් වෙතැ”යි ද කියා එ පෙදෙස කුමරුවනට පවරා දී තෙමේ එයට නොදුරු අන් බිම් පෙදෙසෙක අසපුවක් කොට ගෙන විසී ය. කුමරුවෝ එහි තමන් කැටුව ආ ජනයා හා එක් වැ මාර්ග, වීථි, මන්දිර ආදියෙන් පරිපූර්ණ නගරයක් නැංවූහ. කපිල සෘෂිහට වාසස්ථාන වූ තැනැ නැංවූ බැවින් එයට කපිලවාස්තු යැ යි නම තැබූහ. වැඩිමහලු උල්කාමුඛ කුමර සෙස්සන් විසින් පාලක රාජයා වශයෙන් පත් කැරැ ගන්නා ලද්දේ ය. සෙසු කුමරුවෝ යුවරාජ සෙන්පති ආදී වශයෙන් සුදුසු තනතුරුවලට පත් වූහ.

උල්කාමුඛ ආදි ඒ සහෝදර රාජපුත්‍රයනට සුදුසු කුමරියන් ආවාහ කොට පාවාගත යුතු අවස්ථාව පැමිණියේ ය. කිසිම සමීප පෙදෙසක ඔවුන්ගේ ගෝත්‍රයට සරිලන ගෝත්‍රයකට අයත් කුමරියෝ නො වූහ. ඔහු “පහත් තැනෙකින් කැරැගත් ආවාහයෙන් වංශය කිලිටි වෙතැයි” ද බිය වූහ. ගොස් කපිල සෘෂීහු ගෙන් උපදෙස් විචාළාහ. තමන් කැටි වැ අවුත් සිටින වෛමාතෘක[3] බිහිනියන් පාවා ගන්නැ යි සෘෂි තෙම කීය. ඔහු ද සෘෂිහුගේ උපදෙස් පරිදි තමනට වැඩිමහලු කුමරිය මවු තන්හි තබා සත්කාර කළහ. වයසින් බාල කුමරියන් භාර්යා කොට ගත්හ.

මෙසේ කල් යවන සමයෙහි ඒ වැඩිමහලු කුමරියට දරුණු කුෂ්ට රෝගයෙක් ඇති විය. එය බෝවෙන ලෙඩක් වූ බැවින් රජකුමරුවෝ සමීප වන පෙදෙසෙහි බිම් ගෙයක් සාරා වාසයට යෝග්‍ය වන ලෙසට අවශ්‍ය සියල්ල සපයා කුමරිය ගෙන ගොස් එහි රඳවා ආහාර පානාදිය යවමින් සාත්තු කළහ.

එක් රැයෙක එය අසල ගැවසෙන ව්‍යාඝ්‍රයෙක් මිනිස් ගඳ ඉව වැටී ඒ ගුහාවේ දොර ළඟට ගොස් පහුරු ගාමින් පස් ඇවිස්සී ය. කුමරිය බිය ගෙන මහ හඬින් කෑ ගැසුවා ය. ව්‍යාඝ්‍රයා එයින් බිය පත් වැ පලා ගියේ ය.

මෙයට සමීප කාලයෙහි බරණැස රජය කැරැවූ රාම නම් රජ තමාට වැළැඳුණු කුෂ්ට රෝගය සුව කැරැගත නො හැකි වැ පුතුට රාජ්‍යය පවරා තෙමේ හිමවත් පෙදෙසට අවුත් ඇවිදිනුයේ ලොකු බෙනයක් ඇති කෝල (ඩෙබර) ගසක් දැක එහි බෙනය ශුද්ධ කොට දොර අගුළු යොදා කාමරයක් සේ සකස් කොට එහි වැස පලවැල කොළමුල් පොතු ආදිය වළඳමින් කල් යවනුයේ රෝගය දුරු වූයෙන් සුව පත් විය. ඔහු වසන තැනට කුමරිය කෑ ගැසූ හඬ ඇසිණ. පසු දින උදෑසනක් සේ ම හඬ ආ පැත්තට ගොස් විපරම් කරනුයේ ගුහා දොර දැක එතැනට ගොස් මෙහි කවුරු දැ යි ඇසී ය. “මම රජ දුවකිමි” යි ඕ කීවා ය. “මම රාම නම් බරණැස් රජ වෙමි” යි හෙතෙම කී යේ ය. “ඔබ රාජවංශික වෙත් නම් ක්ෂත්‍රිය මායාව දත්තකු විය යුතු යැ” යි ඕ කීවාය. එ බසට රාම රජ ක්ෂත්‍රිය මායා පැවැසී ය. කුමරිය සැක හැර ඔහු ගේ බසට අවනත වූවා ය. හේ ඉනිමඟක් තනා වළට බස්වා එහි තුළ වූ ගුහාවෙන් උඩට එන්නැයි කැඳවී යැ. ඕ ද ආවා ය. එයට පසු කතා බස් කොට ඇය තමා වසන තැනට කැඳවා ගෙන ගොස් තමා වැළඳු කොළමුල් පොතු වර්ග වළඳන්නට දුන. එයින් කුමරිය සුවපත් වැ රූ සිරින් බබලන්නී වූ ය. රාම රජ ඇය භාර්යා කොට ගෙන විසී ය. මෙයතරැ එ රජු ගේ පුත් තම පිය රජු ගැන සොයා බලන්නට එවූ දූතයන්ගෙන් රජු සුවපත් වැ සිටිනු අසා මහ පිරිවර ඇති වැ ඒ වන පෙදෙසට අවුත් ඔහු දැක “බරණැසට ගොස් රජය බාර ගන්නැ”යි අයැදී ය. රජ එය පිළිකෙවු කොට “නුඹ ම එහි රජය කරවන්න, හැකි නම් මේ ගස උගුල්ලවා මෙහි නිවසක් කරවා දෙන්නැ”යි කී ය. එවිට හෝ තමා කැටුව ආ පිරිස ලවා ගස උගුල්ලවා එහි මාලිගාවක් තනවා දී පිය රජු ගේ මෙහෙවරට තමාගේ පිරිසෙන් කොටසක් නවත්වා බරණැසට ම ගියේ ය. වෙනෙහි රැඳුණේ ක්‍රමයෙන් ඒ පෙදෙස ගෘහ මන්දිර වතු පිටි කෙත් ආදිය තනමින් දියුණු කොට මහ නුවරක් බවට පෙරැළූහ. කෝල වෘක්ෂය වූ තන්හි කැරැවුණ බැවින් එය කෝලිය නගර යැ යි ද ව්‍යාඝ්‍රයා ගැවසුණ පෙදෙසැ වූ බැවින් ව්‍යාඝ්‍රපද්‍ය යැ යි ද නම් දෙකෙකින් ප්‍රසිද්‍ධ විය. ඒ නගරය ද කල් යෑමෙන් විශාල වී ඒ පෙදෙසෙහි තව තවත් ගම් නියම්ගම් ආදිය ඇති වූයෙන් මුළු පෙදෙස කෝලිය රට නම් වීය. එහි රාම රජුගේ පරපුර කෝලිය වංශ නම් විය.

විරූඪක රජු තම දරුවන් ගේ තොරතුරු දැනගෙන ඊමට විටින් විට රාජ දූතයන් කපිලවාස්තු පුරයට එවන්නේ විය. වරෙක එහි විත් රජු කරා පැමිණි රාජපුරුෂයෝ “තමන් වංශය කිලිටි වෙතැ” යි බියෙන් රාජපුත්‍රයෝ සිය නැගෙණිවරුන් පාවා ගෙන වෙසෙතැ යි සැළ කළහ. ඔක්කාක රජ එය අසා ප්‍රීතියෙන් ඉපිල ගියේ “මගේ දරුවෝ සිය පරපුර රක්නට ශක්‍යයෝ යැ. ඔහු ශක්‍යයෝ (හැක්කෝ) යැ”යි උදන් ඇනීය. රජුහු කී ‘ශක්‍ය’ යන්න ම කපිල වාස්තුවේ වුසූ ඔක්කාක වංශයේ රජදරුවන් හඳුන්වන නාමය විය.

කපිල වාස්තුවේ පිහිටි පෙදෙසෙහි ශාක (තේක්ක?) ගස් බහුල බැවින් ඒ පෙදෙස ශාක්‍ය නම් වී යැයි ද කියති.

ස්වල්ප කාලයෙකින් කපිලවස්තු වාසි ශාක්‍ය කුමර කුමරියෝ ද කෝලිය වංශික කුමර කුමරියෝ ද ආවාහ විවාහ මගින් ඥාති සම්බන්ධයෙන් බැඳුණාහ. කපිලවස්තු පෙදෙස ද ක්‍රමයෙන් විශාල විය. එක් පසෙකින් අචිරවතී නදිය තෙක් ම රට වැඩී විහිදී ගියේ ය. ශාක්‍ය කෝලිය දෙරට අතරින් ගලා ගිය රොහිණී නදියෙන් දෙරටේ ම කෙත් වතු සශ්‍රීක විය.

පසු කලෙක ඔක්කාක වංශික රජුහු (ජන්තු රජුන්ගේ පරම්පරාව) කෝශල දේශයෙහි ශ්‍රාවස්ති නගරය රාජධානි කොට ගත්හ. ශ්‍රාවස්තියෙහි රජුන් ඔක්කාක පරපුරට අයත් වූවද අන්‍යගෝත්‍රිකයන් හා ආවාහ විවාහ මගින් මිශ්‍ර ව සිටි බැවින් ශාක්‍යයෝ ඔවුන් පහත් කොට සැලකූහ.

  1. දියැණියෝ පස් දෙනා අනිත් බිසෝවරුන් ගේ දරුවෝ යැ යි සකු බණ පොත්හි එයි. පාළි අටුවාහි ඒ හැම එක් ම බිසොවක ගේ යැ යි සඳහන් වේ. සකුපොත්හි එන පුවත හරි විය හැක්ක.

  2. වෙන මවකගේ, සුළු මවගේ

  3. වෙන මවකගේ, සුළු මවගේ