පූර්වභක්ත කෘත්‍යය

ඉන් පූර්වභක්ත කෘත්‍යය නම් භාග්‍යවතුන් වහන්සේ ඉතා උදේ නැඟිට උපස්ථායකයනට අනුග්‍රහ පිණිසත් ශරීර පහසුව පිණිසත් මුහුණ සේදීම් ආදිය කරන සේක. ඉන් පසු පිඬු පිණිස හැසිරිය යුතු වෙලාව වන තුරු විවේකයෙන් කල් ගත කරන සේක. ඉක්බිති සිවුරු පොරොවා පාත්‍රය ගෙන, සමහර දවසෙක හුදෙකලා ව හෝ භික්ෂු සංඝයා සහිත ව හෝ පිඬු පිණිස වඩනා සේක. කිසි දිනෙක ප්‍රකෘති වේශයෙන් ද, කිසි දිනෙක බොහෝ ප්‍රාතිහාර්‍ය්‍ය ඇති ව ද වඩනා සේක. ඒ ආශ්චර්‍ය්‍ය දැක “අද බුදුරජාණන් වහන්සේ වඩිනා සේකැ” යි එහි වැස්සෝ කල් ඇතිවම දැන ගනිත්. තුමූ ද මනාව හැඳ පොරොවා සුවඳ මල් ආදිය ගෙන වීථිය අතුරට පැමිණ භාග්‍යවතුන් වහන්සේට පූජා සත්කාර කොට වැඳ “ස්වාමීනි, අපට මෙ පමණ මෙ පමණ භික්ෂූන් වහන්සේ ඕනෑ” යැ යි කියා තම තමනට හැකි පරිදි භික්ෂූන් දස නම විසි නම ආදී වශයෙන් ඉල්ලා භාග්‍යවතුන් වහන්සේත් වැඩම කරවාගෙන ගොස් අසුන් පනවා දන් දෙත්. භාග්‍යවතුන් වහන්සේ ද දන් වළඳා එ පිරිසේ සිටියවුන් ගේ අදහස් නුවණින් බලා ඔවුන් ගේ චරිතවලට සුදුසු සේ දහම් දෙසන සේක. ඒ බණ අසා සමහරු තිසරණයෙහි ද සමහරු පන්සිල්හි ද, සමහරු සෝවාන් ආදී මාර්ග ඵලයන්හි ද පිහිටත්. මෙ සේ ඔවුනට අනුග්‍රහ කොට ඉන්පසු හුනස්නෙන් නැඟී සිට විහාරයට වඩනා සේක. වැඩ, එහි මණ්ඩල මාලයේ පණවන ලද ආසනයෙහි හිඳ භික්ෂූන් දන් වළඳා එන තුරු බලාපොරොත්තු වන සේක. භික්ෂූන් වළඳා අවසන් වූ විට ඒ බව උපස්ථායක භික්ෂුවක් අවුත් දැන් වූ කල ගන්ධකුටියට පිවිසෙන සේක. මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පෙර බත් කිස යි.