භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි වනයෙන් නික්ම බේලුව ගමට වැඩ, කැටු ව ගිය භික්ෂූනට විසල් පුර හාත් පසැ යහළු භික්ෂූන් ගේ සෙනසුන්හි වස් එළැඹෙන්නට නියෝග කොට තමන් වහන්සේ බේළුව ගමෙහි වස් එළැඹි සේක. එහි දී “තව දස මසෙකින් පිරිනිවන් පාන්නෙමි” යි ඉටා ගත් සේක. මෙ සමෙහි භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා[1]* රෝගයෙක් ඇති වී ය.
සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීම
එය දැන ගත් සක්දෙව් රජ රාත්‍රියෙහි එහි මිනිස් වෙසින් පැමිණ සිය අතින් භාග්‍යවතුන් වහන්සේගේ පා මිරිකුයේ ය. මේ කවුරුදැ’ යි බුදුරජාණන් වහන්සේ විචාළ කල “මම ශක්‍ර වෙමි” යි සක්දෙව් කී ය. “කුමට ආයෙහි දැ?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, ගිලන් වූ ඔබට උපස්ථානයට” යැ යි සක් දෙව් කී ය. “ශක්‍රය, මිනිස් ගඳ යොදුන් සියක පටන් ගෙලේ බැඳි කුණපයක් මෙන් දෙවියනට ඉසිලිය නොහේ. ඔබ යන්න. මට ග්ලානෝපස්ථානයට භික්ෂූහු ඇතැ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. “වහන්ස, මම් යොදුන් අසූ සාර දහසක් තරම් ඉහළ සිට ඔබේ ශීල සුගන්ධය ආඝ්‍රාණය කොට ආමි. මම ම උපස්ථාන කරන්නෙම්” යැ යි සක්දෙව් කී ය. මෙසේ කියා හෙතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීර වලංජන භාජනය අනෙකකුට අල්ලන්නටත් නො දී සිය හිසේ ම තබා ඉවත ගෙන යන්නේ මුව හැකිලීම් පමණකුත් නො කෙළේ ය. සුවඳ බඳුනක් ගෙන යන කලෙක මෙන් ඉතා සතුටින් ගෙන ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද වීර්‍ය්‍යයෙන් ඒ රෝගය මැඩ පවත්වා, තව දස මසක් ම එය මතු නො වන ලෙස සමාපත්ති බලයෙන් යටපත් කළ සේක.
භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි පසු ම ශක්‍රයා නික්ම ගියේ ය. ශක්‍රයා ගේ උපස්ථාන ගැන භික්ෂූන් අතර කථා ඇති වූ විට භාග්‍යවතුන් වහන්සේ ඒ මුල් කොට ගෙන “සාහු දස්සන මරියානං”115 ආදී ගාථා වදාළ සේක.
-
* මෙහි ලෝහිතපක්ඛන්දිකා යනු ලේ අර්ශසයැ යි සිතමු. ↑