පාඨික පුත්‍රයාගේ පෙළහර දක්නට රැස් වූවන්ගේ සමාගමය

විසල් පුර සුනක්ඛත්ත නම් ලිච්ඡවියෙක් සස්නෙහි පැහැදී පැවිදි වීය. හේ භාග්‍යවතුන් වහන්සේගෙන් කමටහන් ගෙන වඩා දිවැස් ලද්දේ දිව කනත් ලබන්නට පිළිවෙත් විචාළේ ය. පෙර පැවිදි කෙනෙකුගේ කම්මුලට ගසා බිහිරි කළ පවින් ඔහුට දිවකන් නො ලැබෙන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට පිළිවෙත් නො වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ තමාට දිව කන් ලබනුවට පිළිවෙත් නුදුන්නේ ඊෂ්‍යායෙනැ යි වරදවා සිතූ සුනක්ඛත්ත තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දේ ය.

භාග්‍යවතුන් වහන්සේ බුළු ජනපදයෙහි උත්තරකා නම් නිගමයෙහි වසන සමයෙහි දිනෙක සුනක්ඛත්ත තෙම එහි බලු තපස් කරන කෝරක්ඛත්තිය නම් තීර්ථකයකු දැක “මේ රහතෙකැ” යි සිතී ය. භාග්‍යවතුන් වහන්සේ ඒ දැක ඔහු සිතූ සැටි වරදයැ යි වදාරා කෝරක්ඛත්තිකයා රහතක්හු නො වන බවත්, තව සත් දිනෙකින් අධිකාහාරසේවන හේතුයෙන් මියැ කාලකංජක අසුර නිකායෙහි උපදනා බවත්, මළ කල මිනිසුන් ඔහු බීරණත්ථම්භ නම් සොහොනට ඇද දමන බවත් වදාළ සේක.

සුනක්ඛත්ත තෙම කෝරක්ඛත්තිකයා වෙත ගොස් ඒ පවත් කී ය. හේ ඒ කතාව බොරු කරමි යි සිතා නිරාහාරව සිටියේ ය, සත් වන දා ඔහුගේ උපස්ථායකයෙක් සත් දිනක් ම අප ශ්‍රමණයන් වහන්සේ ගෙට නො වැඩි සේකැ” යි කියා මිහිරි බොජුන් ගෙන්වා ගෙන ගොස් උහු ඉදිරියේ තැබී ය. නිර්ග්‍රන්ථ තෙම ඒ භෝජන දැක “ශ්‍රමණ ගෞතමයන් කී දෑ සැබෑ වතත් බොරු වතත් කා සුවසේ මළත් මැනැවැ” යි සිතා නො දිරවා ගත හැකි තාක් කා දිරවා ගත නො හැකි ව මියැ කාලකංජක අසුර නිකායෙහි උපන. ඔහු මළ සිරුර වෙන අතක ඇද දමන්නට තීර්ථකයෝ උත්සාහ කළේ නො හැකි ව බීරණත්ථම්භ සොහොනට ම ඇද එ තැනින් එය නො සෙලැවිය හැකිව එහි ම ලා ගියහ.

සුනක්ඛත්තයා මෙය දැක විස්මිත ව “ඔබ කාලකංජක අසුර නිකායයේ උපන් සැබෑ දැ?” යි ඒ මළ සිරුරින් ම පිළිවිසී. භාග්‍යවතුන් වහන්සේ අසුරයා ඔහු සිරුරට ආවිෂ්ට කරවා, ඔහු අසුර යෝනියේ උපන් බව කියැවූ සේක.

නැවැත කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල් පුර කූටාගාර ශාලායෙහි වසන සේක. එ නුවරැ කළාරමට්ඨුක නම් නිගණ්ඨයෙක් වෙසේ. සුනක්ඛත්ත මහණ උහු කරා ගොස් පැන පුළුවත. හේ “අවසර නැති ව ප්‍රශ්න විචාරහි යැ” යි පලවාපී ය. සුනක්ඛත්තයා “රහතකුට ද්‍රෝහ කෙළෙමි” යි බියව ඔහු කමා කැරැවී ය.

භාග්‍යවතුන් වහන්සේ සුනක්ඛත්තයා ගේ ක්‍රියා දැක, ඔහු මිථ්‍යා තපෝව්‍රත රක්නා නො රහතකු රහතැ යි වරදවා ගැනීමේ දොස් දැක් වු සේක. කළාරමට්ඨුකයා ද මිථ්‍යා තපස් කොට ලාභයෙන් යශසින් පිරිහී මෙළේ ය.

තව ද විසල් පුර පාඨික පුත්‍ර නම් නිර්ග්‍රන්ථයෙක් ලාභයෙන් යසසින් අගපත් ව වෙසේ. හේ භාග්‍යවතුන් වහන්සේ හා වාද කැර පෙළහර කැර පරදවනු සමත් බවත් මහ පිරිස් මැද දී කියයි. ඇතැම් නුවරු “මේ කියන්නේ හැකි බැවින් ම ය. මේත් රහතෙකැ” යි සිතා ඔහුට මහත් සත්කාර කළහ.

සුනක්ඛත්ත තෙම පාඨික පුත්‍රයා ගේ කථාව අසා උහු කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා වාදයට සැරැසියක්හු සේ හඟවන්නටත් තමා භාග්‍යවතුන් වහන්සේ වාදයට අව නො දී අන් තැනකට ගෙන යන බවත් කියා ඔහු පොළොඹවා ආයේ ය. හේ භාග්‍යවතුන් වහන්සේ කරා අවුත් “පාඨික පුත්‍රයා ඔබ වහන්සේ හා පෙළහර කරන බව කීයේ යැ” යි දැන්වී ය.

තමා “බුද්‍ධ” ය යන කථාව නො හැර ඔහු තමන් වහන්සේ කරා ඉයැ නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, ඔය වදාළ බස රැක්ක මැනැව”යි සුනක්ඛත්ත කීය.

“කුමට එසේ කියහිදැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළහ.

“ඔහු තමා බුදුහු යැයි යන කීමත් දෘෂ්ටියත් නො හැර සිය වෙසින් පෙනී හෝ නො පෙනී, සිංහ ව්‍යාඝ්‍රාදි වේශයෙකින් හෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ආවොත්, භාග්‍යවතුන් වහන්සේ ඔය වදාළ වචනය බොරු වේ. එවිට භාග්‍යවතුන් වහන්සේට මම් බොරුයෙන් නිග්‍රහ කරමියි” කී ය.

තමන් වහන්සේ වදාළ දෑ බොරු නො වන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ එදා පස්වරු පාඨික පුත්‍රයාගේ ආරාමයට වැඩි සේක. සුනක්ඛත්ත තෙම විසල් පුරැදී “ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේත් පාඨික පුත්‍රයා ගේත් ප්‍රාතිහාර්‍ය්‍ය බලම්හ” යි කී ය. මහජනයා පාඨික පුත්‍රයා ගේ ආරාමයෙහි රැස් වූහ. පාඨික පුත්‍ර තෙම කලින් ම මේ පවත් අසා බිය වැද පලා ගොස් තිම්බරුක පරිව්‍රාජකයා ගේ ආරාමයට වැදැ එහි සැඟවෙන තෙනක් සොයා බලා ආරාමයේ පිටිපස කුඩා ලැහැබක ගලක් මත්තේ උන්නේ ය.

“මේ අන්ධබාල තැනැත්තේ කිසිවකු ගේ පෙරැත්තයෙන් ඉදින් ආයේ නම් මොහුට වන්නේ මහත් විනාශයෙකැ” යි දැන භාග්‍යවතුන් වහන්සේ “ඔහු හුන් ගල ඇඟැ ඇලේවා” යි ඉටූ සේක. ඒ එසේ මැ වී ය.

මහජනයා පාඨික පුත්‍රයා සොයන්නේ ඔහු තිම්බරුක පරිව්‍රාජකයාගේ ආරාමයෙහි ඉඳිතැ යි අසා ඔහු කැඳවා පණිවුඩ යැවී ය.

හේ “එමි” යි කියා හුන් ගලෙහි ම ඇලෙයි. ඒ පුරුෂ තෙම ඒ දැන ගොස් මහජනයාට ඒ බව කීය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු තමන් වහන්සේ දක්නට ඊමට නො සමත් බව වදාළ සේක.

එ කල ලිච්ඡවි ඇමැතියෙක් පාඨක පුත්‍රයා කරා ගොස් එ පවත් කියා ඔහු ගෙන එන්නට තැත් කොටත් බැරි වැ අවුත් රැස් වූ පිරිසට ඒ බව කී ය.

ඔහු තමන් වහන්සේ දක්නට ඊමට නො නිසි බවත් කිසිවකුට ඔහු නො ගෙනා හැකි බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ජාලිය නම් දාරුපත්තිකයකු[1]* ගේ අතවැස්සෙක් එය අසා “මම් ඔහු ගෙනෙන්නෙමි” යි කියා ගොස් උත්සාහ කෙළේ, උන් තැනින් නැඟී සිටින්නටද නො හැකි ව ගලෙහි ම ඇලී ඉන්නහු දැක, ඔහුට බැණ වැදී අවුත් එ පවත් මහ පිරිසට සැළ කෙළේ ය.

භාග්‍යවතුන් වහන්සේ පාඨික පුත්‍රයා එහි ඊමට අසමත් බව වදාරා පිරිසට දම් දෙසූ සේක.

දේශනාවසානයේ දී සුවාසු දහසක් ප්‍රාණීහු සත්‍යාධිගමය කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සමවැද අහස් නැග රස් විහිදුවා බැබළී මෙසේ පෙළහරක් කොට කූටාගාරශාලා විහාරයට වැඩි සේක.

  1. * “දාරුපත්තික” යනු ලී පාත්‍රයක් දරන පිරිවැජියෙකි.