ආශ්චර්‍ය්‍ය ධර්ම අට

star_outline

මුහුදේ ආශ්චර්‍ය්‍ය ධර්ම අට නම්:

මුහුද ගොඩ පටන් ක්‍රමයෙන් ගැඹුරු වේ. මුහුදට වන් තැන ම ගැඹුරු නොවේ. මුහුද වෙරළ නො ඉක්මවයි. කිසි කුණපයක් මුහුදේ නො රැඳේ. ඒ ගොඩටම පැමිණැවේ. නානා නම් ඇති නදීහු මුහුදට වන්නෝ, පළමු නම් හැර මුහුද යන එක ම නම ලබත්. වැසි වටත් නො වටත් ඇළ දොළ ගලා ගියත් නො ගියත් මුහුද අඩු වැඩි බවෙක් නො පැනේ. මුහුද ලුණු රසයි . මුහුදේ මුතු මිණි ආදී නානා රත්නයෝ වෙත්. විශාල සත්වයෝ ද වෙත්.

ශාසනයේ ආශ්චර්‍ය්‍ය අට:

ශාසනයෙහිත් ශික්ෂාවන් ක්‍රමයෙන් වැඩිය යුතු යි. ඒ පිළිවෙළින් වඩා මිස නැතහොත් එක පැහැර රහත් විය නො හැකි ය.[1] සැබෑ බුද්‍ධ ශ්‍රාවකයා බුද්‍ධ ප්‍රඥප්ත සික පද දිවි නැසෙතත් නො බිඳියි.

දුශ්ශීල පුද්ගලයා හා සංඝ තෙම එක්වැ නො වසයි. දුශ්ශීලයා සංඝයාගෙන් ඈත් ම වේ. නානා නම් ගොත් ඇත්තෝ සසුන් වන්නෝ පළමු නම් ගොත් හැර ශාක්‍යපුත්‍රිය ශ්‍රමණ යන නම ලබත්. කො පමණ දෙන පිරිනිවියත් නිවනේ අඩුවෙක් හෝ වැඩියෙක් නො පැනේ. මේ ශාසනය විමුක්තිය රසය කොට ඇත්තේ ය. මේ ශාසනයේ සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති රත්නයෝ ඇත. මේ ශාසනයෙහි ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ආදී මහ ගුණැති පුද්ගලයෝ ඇත්හ.

මෙ සේ මුහුදේ මෙන් ශාසනයේ ආශ්චර්‍ය්‍ය ධර්ම අටක් ඇතැ”යි වදාළ සේක. ඉක්බිති භික්ෂූන් අමතා,

මහණෙනි, මෙයින් මතු මම් පොහෝ නොකරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. තෙපිම පොහෝ කරවු, පාමොක් ද උදෙසවු”

යන ආදීන් වදාරා ආනාපාතිමොක්ඛය170 උදෙසීම පැණැවූ සේක.

  1. සමහරු දහම් ඇසූ කෙණෙහි ම රහත් වෙති. ඔවුන් කෙරෙහි ද ශීල සමාධි ප්‍රඥා තුන මොහොතක් ඇතුළත ක්‍රමයෙන් සම්පූර්ණ වේ.