පූර්වාරාම පූජාව

සැවැත් පුර පූර්ණවර්ධන සිටුහු ගේ බිරින්දෑ විශාඛා නමු. ඕ සත් හැවිරිදි වියෙහි දී තම ජන්ම භූමිය වූ භද්දියපුර දී භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූවා ය. පතිකුලයට ආ නොබෝ දිනෙකින් සිය මයිලණු මිගාර සිටු ආදි කොට ඇති මුළු සිටු කුලයම සස්නෙහි පැහැදවූවාය. එතැන් සිට මයිලණුවන් විසින් මාතෘ ස්ථානයෙහි තබන ලදී මිගාරමාතෘ නමින් ද ප්‍රකට වූවා ය.

දිනක් ජේතවනයට බණ අසන්නට ගිය විශාඛා සිය මෙහෙල පළඳනාව සඳහන් නැති ව බණ මඩුවේ දමා ගියා ය. පසුව ඕ “එය භාග්‍යවතුන් වහන්සේට ම අයත් යැ”යි කියා, එය විකුණා ගත් මුදලින් විහාරයක් කරවන්නට ඉටා ගත්තීය. ඉක්බිති කහවණු නව කෙළ ලක්ෂයක් වැය කොට මුදලින් සැවැත් පුර සමීපයේ නුවරට නැගෙනහිර පැත්තෙන් බිමක් ගෙන දෙමහල් පායක් කරවා භාග්‍යවතුන් වහන්සේට පැවැරුවා ය. ඒ පූර්වාරාම විහාර නම් විය.[1]

  1. ඇතැම් පොතක පෙනෙන හැටියට මෙය වූයේ පස් විසි වන වසේදී පමණ යැ යි හැඟේ. විමසිය යුත්තෙකි.