සුන්දරික භාරද්වාජයා දමිත කිරීම

කොසොල් රට සුන්දරික භාරද්වාජ නම් බමුණෙක් විය. දිනෙක හෙ තෙම සුන්දරිකා නදිය සමීපයෙහි ගිනි දෙවියා කිරි බතින් පිදී ය. කිරිබත් ගිනි ගොඩේ ලා ගිනි දල්වා තවත් ඉතිරි වූ කිරිබත් දැක මෙසේ ගින්නේ ලූ මේ කිරිබත් මහාබ්‍රහ්මයා වැළැඳුයේ ය. තවත් ඉතිරි ව ඇත. ඒවා බ්‍රහ්මයා ගේ මුඛයෙන් උපන් බ්‍රාහ්මණයකුට ම දුන්නොත් පියාත් පුත්‍රයාත් සන්තර්පිත කළා නම් වේ. එසේ කිරීම බඹලොව යන මඟ හෙළි කළා නම් වේ යැ” යි සිතුයේ ය.

බුදු රජුන් හිස පටන් වසා පොරවා හිඳීම

මෙසේ සිතා බමුණකු දක්නා පිණිස වට පිට බලන්නේ රුකක් මුල හිස සිට වසා පොරොවා ඉන්නා තැනැත්තකු දුටුයේ ය. ඒ හුන්නේ අන් කිසිවෙක් නොවේ. බුදු රජාණන් වහන්සේ ය. එසේ කුමට උන් සේක් ද යත්:

එ දින අලුයම් හි ලොව බලා වදාරන භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණා කරන නිෂ්ඵල ක්‍රියාව දැක “ඔහු නිසි මඟ යවමි”යි සිතා එහි වැඩියහ. ඈතදී ම භාග්‍යවතුන් වහන්සේ අඳුනා ගත්තොත් බමුණා ළඟට නේ යි. ඇඳින ගත් සැටියේ නෑවිත් ආපසු යයි. එ බැවින් ඔහු ළඟට ගෙන්වනු පිණිස ඉහත සඳහන් පරිදි හිස සිට වසා පොරොවා හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ දුටු බමුණු තෙම “මේ රෑ මුළුල්ලේ ධ්‍යාන වැඩු බ්‍රාහ්මණයෙකැ” යි සිතා සතුටු වැ සමීපයට ආයේ ය. එ විට බුදුරජාණන් වහන්සේ හිස විවෘත කළ සේක. බමුණා ලුහුඬු හිසකේ දැක “මේ හිස මුඩු කෙනෙකැ” යි කියා වැඩි දුරටත් පරීක්ෂා කරන්නේ හිසැ ශිඛාව පමණකුත් නො දැක, පිරිහෙළන්නේ “මුණ්ඩකයෙක් මැ” යි කීයේ ය. මෙ සේ කියා එතැනින් ම ආපසු යන්නට හැරුණේ නැවත ද කොහොමටත් සමහර බමුණෝ හිස මුඩු කළෝත් ඇත. ගොස් ජාති විචාරන්නෙ”මි යි සිතී ය. මෙ සේ සිතා භාග්‍යවතුන් වහන්සේට තවත් ළං වැ ඔබ මොන ජාතියෙක දැ” යි විචාළේ ය.

එ විට බුදුරජාණන් වහන්සේ, “දානය මහත් ඵල කැරැ ගන්නා අදහස ඇත්තෙහි නම් ජාතිය නො විචාරච, ශිලාදී ගුණ විශේෂය ම විචාරව. ඒ විශේෂ ගුණය ම දක්ෂිණාර්හ බවට කරුණු වේ. දර කෙබඳු වුවත් ඉන් හටගන්නා ගින්න ම අග්නි කෘත්‍යය සිදු කරයි. එ බැවින් පහත් කුලයෙක උපන්නකු වුව ද මුනි ගුණයෙන් යුක්ත නම්, වීර්‍ය්‍යවත් නම්, කාරණාකාරණ දක්නා නුවණ ඇත්තේ නම්, පවට පිළිකුල් කොට පවින් දුරුව සිටී නම්, පරමාර්ථ සත්‍යාව බෝධයෙන් දාන්ත වූයේ නම්, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත නම් සතර මාර්ග ඥානයෙන් කෙලෙසුන් ගෙන් එ තෙරට ගියේ නම්, වැස නිම වූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ නම්, ඒ පරමාථ බ්‍රාහ්මණයා ම යඥය පිළිගැනීමට, පිදිය යුතු දෑ පිළියෙල කළ තැනැත්තේ කැඳවා වා ඉන්ද්‍ර දෙවියා කැඳවමු, සෝම දෙවියා කැඳවමු, වරුණ දෙවියා කැඳවමු යන ආදී වූ කැඳවීම් නිරර්ථක ය. “වහන්ස, දැන් කාලයැ”යි කියා සුදුසු වේලායෙහි රහතුන් කැඳවා සිවු පසයෙන් සත්කාර කෙරේ නම් ඒ තැනැත්තේ පූජාර්හයන් යාගයෙන් පුදන්නේ නම් වේ. අචේතනික වූ ගින්නෙහි පූජා භාණ්ඩ හෙළීම නිසි යාග කිරීමක් නම් නො වේයැ” යි වදාළ සේක.

මෙ කථාව ඇසූ බමුණා පැහැදී “මේ තාක් ඔබ වැනි සැබෑ බ්‍රාහ්මණයන් නැති කමින් අනෙකෙක් දක්ෂිණාව පිළිගත්තේ ය” යන ආදීන් කියා භාග්‍යවතුන් වහන්සේ ට භෝජන පිළිගැන්වීය. ගාථා කියා ලත් භෝජනය නො වළඳන බව කියා භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක.

එවිට බමුණු තෙම යාගාවශිෂ්ට කිරිබත ජලයෙහි ලා අවුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පසෙක සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මතු සඳහන් පරිදි වදාළ සේක.

“බ්‍රාහ්මණය, දර පිළිස්සීමෙන් ශුද්‍ධියෙක් නො වේ. දර පිළිස්සීම ආර්‍ය්‍ය ධර්මයෙන් බාහිර වැඩෙකි. එයින් ශුද්‍ධියක් ලැබෙතොත් මිණී පුළුස්සන්නන් බොහෝ දර පුළුස්සන බැවින්, අන් අයට පළමුවෙන් ඔවුන් ශුද්ධ විය යුතු යි. බාහිර දඬු කැබැලි පුළුස්සා ශුද්‍ධියක් බලාපොරොත්තු වීමෙන් එය ලබන බවක් නුවණැත්තෝ නොකියත්. බ්‍රාහ්මණය, මම නම් දර කැබැලි ගොඩ ගසා එහි ගිනි දැල්වීම නො කරමි. මාගේ චිත්ත සන්තානයෙහි ම ඥාන නැමැති ගින්න දල්වමි. ආවර්ජන ප්‍රතිබඬ වූ සියල්ල දක්නා නුවණ නැමැති ගින්නේ නිතර දිලිසෙමි. නිතර මනා ව තැන්පත් වූ සිතැත්තෙමි. (බෝ මැඩ දී) සම්පූර්ණ කළ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තෙමි. පූජාර්හ වෙමි. බ්‍රාහ්මණය, නුඹේ මාන ය නුඹ උසුලා ගෙන තිබෙන මහත් යාග ද්‍රව්‍ය බරෙකි. නුඹේ සිතෙහි වූ ක්‍රෝධය ඥාන ගින්න කෙලෙසන දුම ය. මුසාවාදය ඥාන ගින්න ඇවිලෙන්නට නොදී වසා ගත් අළු ගොඩ ය.

බ්‍රාහ්මණය, ඔබේ යාගයට රන් රිදී ආදියෙන් කළ යාග හැන්දක් යම් සේ පාවිච්චි කෙරෙත් ද, එසේ ම මගේ ධර්ම යාගයටත් මගේ පුළුල් වූ දිව නැමැති යාග හැන්ද පාවිච්චි කරමි. ඔබේ යාගය නදී තීරයෙහිය. මගේ ධර්ම යාගය සත්වයන්ගේ හෘදයෙහි කරමි. ඒ ඒ තැනැත්තා ගේ දාන්ත වූ සිත ගිනිදැල්ල නම් වේ. ඔබ යාගයෙන් පසු සුන්දරිකා නදියෙහි නාති. මම නම් ඒ ඒ සත්වයන් ආර්‍ය්‍යෂ්ටාංගික මාර්ග නැමැති දිය වළෙහි නාවමි. ඒ දිය වළට බසිනා තොට නම් සතර පිරිසිදු ශීලය යි. ඔබ නාන දිය වළැ කීප දෙනෙකුන් නාන විට කැළැඹෙතත් මගෙ ආර්‍ය්‍යෂ්ටාංගික මාර්ගය නැමැති දිය වළ අසංඛ්‍ය ගණන් සත්ත්වයන් නෑමෙනුත් නො කැළඹෙයි. ඒ ම උතුම් වේ. උතුමන් විසින් ප්‍රශස්ත ද වේ. එහි නෑ ප්‍රඥාවත්හු කෙලෙස් දූලි ඉවත් කැරැ ගැන්මෙන් පිරිසිදු ව නිවන් නැමැති පරතෙරට යත්. ආර්‍ය්‍යෂ්ටාංගික මාර්ගය බ්‍රහ්මචර්‍ය්‍යාව යි. සැබෑ බ්‍රහ්ම භූමිය ශාශ්වත උච්ඡේද යන දෘෂ්ටි දෙකට අතරැවූ මධ්‍යම ප්‍රතිපත්තිය පිරීමෙන් ම ලැබිය යුතු වේ. මෙසේ නිසිමග ගොස් සිතේ කෙලෙස් වංක ගතිය දුරු කරැ ගත් සෘජු වූ රහතන්ට නමස්කාර කරව. යටැ කී සේ ගුණ දම් වැඩීමෙන් සැබෑ උතුම් මාර්ගය ම වැඩූ තැනැත්තාට “ධර්මසාරී” (කුසල් දහමින් අකුසල් ඉවත යවා දුරුකොට සිටි) පුද්ගලයා යැ යි කියමි.”

මේ වචන ඇසූ බමුණා ඉතා ප්‍රසන්න වැ, භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කොට තෙරුවන් සරණ ගොස් පැවිදි ව උපසම්පදාව ලබා, විදසුන් වඩන්නේ නොබෝ කලෙකින් රහත් වූයේ ය.