පුණ්ණ තෙරුන් සුනාපරන්තයට යෑම

භාග්‍යවතුන් වහන්සේ ද ඔවුනට රහත් බව තෙක් කර්මස්ථාන ක්‍රමය[1] සැකෙවින් වදාළ සේක. ඉක්බිති “තෙපි ගොස්, කොහි වසවු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුණ්ණ තෙරුන්ගෙන් ඇසූහ.

පුණ්ණ : වහන්ස සුනාපරන්ත නම් ජනපදයෙක් ඇත. එහි ගොස් වසන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ : පුණ්ණය, සුනාපරන්ත ජනපද වාසීහු දරුණු මිනිස්සු ය. ඔවුන් තොපට ආක්‍රෝශ කළොත්?

පුණ්ණ : වහන්ස, ඔවුන් මට ආක්‍රෝශ කළත් අතින් මිටින් පහර නුදුන්නොත් ඒත් යහපතැ යි සිතමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔවුන් අතින් මිටින් පහර දුන්නොත්?

පුණ්ණ : කැට කැබැලිත්තෙන් නො ගසා අතින් මිටින් තැළුවත් එයත් ඔවුන් ගේ ගුණයක් කොට සලකමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔවුන් කැට කැබිළිතිවලින් පහර දුන්නොත්?

පුණ්ණ: කැටින් පහර දුන්නත් දංඩෙන් පහර නො දෙත් නම් එයින් ඔවුන් හොඳ මිනිසුන් කොට සලකන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් දංඩෙන් පහර දුන්නොත්?

පුණ්ණ : මොහු යහපත් මිනිස්සු ය. මට ආයුධයෙන් පහර නො දෙති” යි සිතන්නෙමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔහු සැතින් පහර දෙත් නම්?

පුණ්ණ : මොහු තියුණු සැතින් පැහැර මා දිවි නො නසති. එ බැවින් මොහු මනා මිනිස් කෙනෙකැ යි සිතමි.

භාග්‍යවතුන් වහන්සේ : ඉදින් ඔහු තොප දිවි තොර කරත් නම්?

පුණ්ණ : ඉදින් ඔහු එ සේ මා දිවි තොර කරත් නම්, “ඇතැම් කෙනෙක් සිරුරෙහි කලකිරී, තමන් දිවි තොර කරන කෙනෙකුන් සොයති. මම වනාහි නො සොයා ම එවැනි කෙනකුන් ලැබීමි” යි සිතමි, වහන්ස.

පුණ්ණ තෙරුන් ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ තුන් යලක් සාධුකාර දී, “පුණ්ණයෙනි, තෙපි සුනාපරන්තයෙහි වසන්නට නිස්සහ” යි වදාළ සේක.

පුණ්ණ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ අවසර ගෙන නික්ම ගියෝ, සුනාපරන්ත ජනපදයට පැමිණ එහි අම්බාටක[2] පර්වතයෙහි වසන්නෝ, දිනක් වෙළෙඳ ගමට පිඬු පිණිස වැඩියහ. තෙරුන්ගේ බාල සොහොයුරු කෙළෙඹි පුත් තෙම තෙරුන් හැඳින, ඈත යෑ නො දී එහි ම වස්වා සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය. තෙරණුවෝ එයින් මූදු තෙර සමුද්‍රගිරි නම් වෙහෙරකට වැඩියාහ. එහි සමුද්‍ර ඝෝෂය ඇසෙන බැවින් කමටහන් වැඩීමට ඒ නො සැප යැ යි සලකා, ඉන් මාතුලගිරි නම් වෙහෙරකට වැඩ එහි ලිහිණියන්ගේ අධික ශබ්දය ඇති බැවින් නො සැප යැයි සලකා, ඉනුත් නික්ම, සිය වෙළෙඳ ගමට නුදුරු නො ළං වූ ජනවිචික්ත, නිශ්ශබ්ද, යෑම ඊමට පහසු වූ මකුලාරාම නම් වෙහෙරකට පැමිණ එහි වස් වුසූහ. තෙරණුවෝ එහි දී රහත් වූහ. දිනක් පුණ්ණ තෙරුන් ගේ බාල සොහොයුරු වූ වෙළෙඳ තෙම අතවැසි පන්සියයක් පමණ වෙළෙඳුන් හා වෙළෙඳාම් පිණිස පිටරට යන්නට සැරසුණේ තෙරුන් ගෙන් පන්සිල් ගෙන වැඳ නැව් නැග පිටත් විය.

  1. මේ මජ්ඣිම නිකායයෙහි පුණ්ණෝවාද සුත්තය යි.

  2. මේ “අම්බහට්ඨ” ය යි ඇතැම් පොතක පෙනේ.