එ සමයෙහි බෝධිරාජ කුමාරයා ගේ කෝකනද නම් මහඟු පායෙක් නිමවන ලද්දේ ය. ගෙවදින උත්සවය එළැඹැ සිටි සමයෙහි කුමාර තෙම භාග්‍යවතුන් වහන්සේට නිමන්ත්‍රණය කෙළේ ය.
ඒ බෝධිරාජ කුමාරයා වනාහි දරුවන් නැත්තෙකි. එ බැවින් “ඉදින් මට පුතෙක් හෝ දුවක් ලැබේ නම් භාග්‍යවතුන් වහන්සේ මේ පියවිල්ල ඇක්ම වඩනා සේකැ” යි සිතා රෙදි පියවිල්ලක් ද එලුයේ ය. කුමරුගේ අදහස දත් භාග්‍යවතුන් වහන්සේ එහි පා නො තැබූ සේක. එහි පා තබා වඩින සේ තුන් වරක් ම කුමරු අයැදූ නමුත් භාග්‍යවතුන් වහන්සේ එය නො පිළිගත් සේක.
කුමර තෙම ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගේ වචනය පරිදි ඒ පියවිල්ල අකුළා භාග්‍යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් ගෙට වැඩම කරවා මධුරාන්න පානයෙන් සංග්‍රහ කෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඳ, පියවිල්ලෙහි පා නොතැබූ කාරණය විචාළේ ය.
“කුමක් සිතා ඒ පියවිලි එලූයෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.
“පුතෙක් හෝ දුවක් ලැබේ නම් භාග්‍යවතුන් වහන්සේ මෙය පා ගා වඩනා සේකැයි සිතිමි” යි කුමර කී ය.
“එ හෙයින් ම මම එහි පා නො තැබීමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“කිමෙක් ද වහන්ස, මට පුතෙක් හෝ දුවක් නො ලැබේ දැ?” යි කුමර විචාළේ ය.
“නො ම ලැබෙන්නේය. කුමාරයෙනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“කුමක් හෙයින් ද වහන්සැ?” යි කුමර පුළුවුත.
එ විට භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පෙර අත් බැවෙක කළ වරදෙක හේතුවෙන් දරුවන් නො ලබන බව වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
“පෙර පිරිසෙක් නැව් නැගී ගියේ ය. නැව මූද මැද දී බිඳිණ. එහි උන් අය අතුරෙන් අඹු සැමි දෙදෙනෙක් ලී කොටයෙකැ එල්බ පීනන්නෝ, අතුරු දූවකට පැමිණ එහි වුසූහ. ඒ දිවයිනෙහි බොහෝ පක්‍ෂීහු වසති. ඒ දෙදෙනා පක්ෂී බිජුවට දැක ඒවා ගෙන ගින්නෙහි පලහා කෑහ. ඉන් පසු කුරුළු පැටියන් ද මරා කෑහ. තරුණ තලතුනා මහළු යන තුන්වයසෙහි ම ඔහු මෙසේ ප්‍රමත්ත ව කල් යැවූ හ.”
මෙහි ඒ අඹු සැමි දෙදෙනා නම් බෝධිරාජ කුමරුත් ඔහු දේවියත් යැ යි පවසා,
“තමා ප්‍රිය කරන්නන් විසින් තුන් වයස් හි ම තමා නො පමාව රැක්ක යුතුයැ161” යි වදාරා දහම් දෙසූ සේක.
දේශනාවසානයේ දී බෝධිරාජ කුමාරයා සෝවාන් විය.