කොසොල් රජ තෙරුවන් සරණ යෑම

එහි ජේතවනයෙහි වසන භාග්‍යවතුන් වහන්සේ වෙත දිනක් කෝශලාධීශ්වර ප්‍රසේනජින් රජතුමා එලැඹියේ ය. එළැඹ පිළිසඳර කථා කොට පසෙක උන්නේ ය. එසේ හුන් රජ තෙම,

“භවත් ගෞතමයන් වහන්සේ තුමූ නිරුත්තර සම්‍යක්සම්බෝධිය ලැබූහ යි ප්‍රතිඥා කෙරෙත් දැ”යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ප්‍රශ්න කෙළේ ය.

එයට උත්තර දෙන භාග්‍යවතුන් වහන්සේ,

තමන් වහන්සේ සම්‍යක්සම්බුද්ධත්වය ලැබූ බවත්, එබැවින් ම සම්‍යක්සම්බුද්ධයෙමි” යි ප්‍රතිඥා කරන බවත් වදාළ සේක.

එ විටැ “ස්වාමීනි, මහ පිරිස් ඇති කීර්තිමත් පූරණකස්සප, මක්ඛලීගෝසාල, නාතපුත්ත නිගණ්ඨ, බෙල්ලට්ඨ පුත්ත සංජය, කකුධ කච්චායන, කෙසකම්බලී අජිත යන සදෙනා ගෙනුත්, “ඔබ සම්‍යක්සම්බුද්ධ දැ?” යි මා විසින් ප්‍රශ්න කරන ලද නමුත් සම්‍යක්සම්බුද්ධ බවක් ඉඳුරා නො කීහ. කිමෙක් ද? උන් හැමට වඩා වයසින් බාල වූ මෑත පැවිදි වූ ගෞතමයන් වහන්සේ තුමූ සම්‍යක් සම්බුද්ධ හ යි ප්‍රතිඥා කෙරත් දැ” යි රජ ඇසී ය. එ විට භාග්‍යවතුන් වහන්සේ රජු අමතා,

“රජ කුමරා ද, සර්පයා ද, ගින්න ද, භික්ෂුව ද යන සතර දෙන ළදරු යැයි පහත් කොට සැහැල්ලු කොට නො සිතිය යුතු යැ”යි වදාරා දහම් දෙසූ සේක. ඒ ඇසූ රජ පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. මේ රජ ජේතවනයෙහි බුදුරජුනට රාජකාරාමය නම් විහාරයක් ද කැරැ වී ය. බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට වදාළ බණ අසා රජු ගේ නැන්දණියෝ සුමනා දේවී සරණ ශීලයන්හි පිහිටියහ. ඈ පැවිදි වනු කැමැති වුවත් රජුන්ගේ මිත්තණියට උපස්ථාන කළ යුතු වැ තුබුණු බැවින් අවසර නො ලත්හ.

කලකට පසු රජු ගේ මිත්තණියෝ මළහ. රජ ශෝක පත් වැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඒ බව දැන්වී ය. එ විට සියලු සත්වයන් මරණයට යටත් බව වදාරා භාග්‍යවතුන් වහන්සේ රජුගේ ශෝකය සංසිඳුවූ සේක. ඉක්බිති සුමනා තොම රජ කැටුව බොහෝ අනැගි භාණ්ඩ ගෙන ගොස් සංඝයාට දෙවූවා ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ බණ අසා ඕ අනාගාමී ව පැවිද්ද ඉල්ලුවා ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසා රහත් ව තොමෝත් එය ම කීවා ය. ඒ ම ඇගේ පැවිද්ද හා උපසම්පදාව විය.