එ සමයෙහි දිනක් අලුයමැ ලොව බලා වදාරන සාමි දරුවන් වහන්සේ සුදොවුන් රජ රෝගයකින් පෙළෙන බවත් රජුහු තමන් වහන්සේ දක්නා කැමැත්තෙන් ඉන්නා බවත් දැක, ශ්‍රාවක පිරිසකුත් කැටුව සෘද්‍ධියෙන් එහි වැඩි සේක. එහි රෝගාතුර වූ රජු සැතැපී උන් ඇඳ ඉස පැත්තේ පැණැවූ අස්නේ වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ රජු හිසැ දක්ෂිණ ශ්‍රී හස්තය තබා සත්‍ය ක්‍රියා බලයෙන් රිදුම දුරු කළ සේක. නන්ද මහ රහත්හු රජු දකුණත අල්ලා සත්‍ය ක්‍රියා කළහ. එ කෙණෙහි ම එ අතැ රුජාව ද දුරු වී ය. අනඳ තෙරණුවෝ රජහු වමතැ ද, සැරියුත් තෙරණුවෝ පිටෙහි ද, මුගලන් තෙරණුවෝ දෙපසෙහි ද, සිය අත් තබා සත්‍ය ක්‍රියා කළහ. එකෙණෙහි රජු සිරුරෙහි සියලු රුජාව මුළු මනින් දුරු වීය. මෙසේ රජ රෝගයෙන් මිදුණේ ය. එහෙත් ඉතා මහළු වූ එ තුමාගේ කයෙහි දුර්වල බව පැවැත්තේ ය.
මේ අවස්ථායෙහි දී භාග්‍යවතුන් වහන්සේ රජුට අනිත්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කථායෙකින් අවවාද කළ සේක. ධර්ම කතාවසානයේ දී රජ්ජුරුවෝ රහත් වූහ.