ආමගන්ධ සෘෂීන් සහිත පිරිස පැවිදි වීම

එකී පසල් ගම් වැස්සෝ වනාහි ආමගන්ධ නම් ඍෂියකුට පැහැද සිටියෝ ය. එ සෘෂීහු ද කලින් කලැ සිය පිරිස හා හිමවතින් එ ගම් වැද මාස කීපයක් වැස යෙති. භාග්‍යවතුන් වහන්සේට එහි වැසියන් පැහැදුණු පසු ද සිරිත් පරිදි ඔහු ගේ පිරිස හා එහි ආ නමුත් පළමු පරිදි මහ පෙරහරින් සංග්‍රහ නො ලද්දෝ ය. මනුෂ්‍යයන් පෙර සේ උනන්දුවක් නො දැක්වීමට හේතුව ඔහු විචාළහ. මිනිස්සු “බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූ සේකැ” යි ද මෙහි වැඩිසේකැ” යි ද කීහ. .

එවිට ඔහු “බුද්‍ධ” යන වචනය ඇසීමට පවා දුර්ලභ බව කියා “කිමෙක් ද? ඒ බුදුහු ආමගන්ධය වළඳත් දැ” යි ඇසූහ.

“ආමගන්ධය යනු කුමක් ද වහන්සැ?” යි ඔහු ඇසූහු. “ආමගන්ධ නම් දිය ගොඩ සතුන්ගේ මස් යැ” යි සෘෂිහු කීහ.

“එය නම් ඒ භාග්‍යවතුන් වහන්සේ වළඳන සේකැ” යි මිනිස්සු කීහ. සෘෂිහු “එ සේ නම් හේ බුදුවරයෙක් නො වේ දෝ”යි විපිළිසර ඇති වී “ගොස්, විචාරා දැන ගනිමු” යි සිතා භාග්‍යවතුන් වහන්සේ වැඩි අත ඒ මිනිසුන්ගෙන් අසා දැන, සිය පිරිස හා යුහු යුහු ව ගියෝ, සැවැත් නුවරට පැමිණියහ. ඔවුන් දෙව්රම් පිවිසෙන වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පිණිස ධර්මාසනාරූඪ වූවා පමණෙකි.

තවුසෝ එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ නො වැඳ පසෙක උන්හ. භාග්‍යවතුන් වහන්සේ වූ කලී ඔවුන් ගේ ගමන් බිමන් සුව දුක් ආදිය විචාළ සේක. ඔහු ද එයට නිසි උත්තර දුන්හ.

ඉක්බිති ආමගන්ධ තාපස තෙම “භවත් ගෞතමයෙනි, ආමගන්ධය ඔබ වළඳත් ද, නැද්ද?” යි ඇසූහ.

“මේ තොප කියන ආමගන්ධය නම් කවරේ දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.

“මත්ස්‍ය මාංශය, භවත් ගෞතමයිනි” ඔහු කීහ.

“බ්‍රාහ්මණය, මත්ස්‍ය (දිය මස්) මාශ (ගොඩ මස්) ආමගන්ධ නොවේ. සියලු ලාමක අකුසල ධර්මයෝම ආමගන්ධ නම් වෙති”යි වදාරා,

“බ්‍රාහ්මණය, දැන් තෙපි පමණක් මෙය නො විචාළහු ය. පෙර තිස්ස නම් බමුණෙක් ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ ප්‍රශ්නය විචාළේ යැ” යි වදාරා එය විස්තර කිරීම් වශයෙන් ආමගන්ධ සූත්‍රය[1] වදාළ සේක.

එය අසා පැහැදුණු ආමගන්ධ සෘෂිහු සිය පිරිස වු පන්සීයක් පමණ සෘෂීන් හා භාග්‍යවතුන් වහන්සේ පාමුලැ වැටී වැඳ පැවිද්ද ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් ඔවුන් පැවිදි කළ සේක. කීප දිනකින් උහු හැම රහත් වූහ.

  1. මෙය සුත්ත නිපාතයෙහි දෙවැනි (චුල්ල වග්ගයේ) දෙවැනි සූත්‍රය යි. විස්තර එයින් දත යුතුයි.