ප්‍රස්තාවනාව

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

බුද්ධොත්පාදය වැනි උතුම් කාලයක් ලබාගත් තැනැත්තා විසින් කර ගත යුතු නියම පින්කම භාවනාව යි. එහෙයින් ම මේ කාලයේ භාවනාව ගැන නොයෙක් විදියේ කථාත් විසිතුරු සිතිවිලිත් පැවැත්වීම අතිශයින් සුදුසු සේ සලකමු. භාවනාව වැනි නිරාමිෂ පින්කම්වලට සිත නැමෙන්නේ ද බලවත් උපකාරක ප්‍රත්‍යයන්ගේ මෙහෙයීමෙකිනි. එය ද අතිශය දුර්ලභ සිදුවීමෙකි. එහෙයින් මහජනයා තුළ පවත්නා ඒ හොඳ වාසනාවත් හැඟීම බිඳ දැමීමට හෝ යටපත් කිරීමට උත්සාහ කළ යුතු නොවේ. එය වැඩෙන ලෙසට කථා කළ යුතුය.

භාවනාව නම්, “සිත කිලිටි කරනා රාගාදි පව් නසනා සිතිවිලි” බව පැරැණි උගතුන් පැවැසූහ. රාග, ද්වේෂ, මොහ, මද, මාන, මාත්සර්යාදි කෙලෙසුන් නිසා සිත කෙලෙසෙන සැටි ඔබට ප්‍රත්‍යක්ෂ විය යුතු ය. කුණුගොඩේ ස්වභාවය තමාගේ අපිරිසිදුකම රැක ගනිමින් තමා වසන තැන ද කුණු දුගඳ බවට හැරවීමය. එයින් ඒ ස්ථානය නරකට හැරීම සමග ම නරක විපාක සලසාලීම ද කරන බව ප්‍රසිද්ධ ය. රාගාදි පව්වල සැටි ද එසේ ය. එයින් නො කිය හැකි තරම් නරක විපාක රැසක් සැලැසෙයි. මේ ගතිය නසන සිතුවිලි භාවනායැයි ඔවුන් කී සැටි කදිම ය. පව් නසනා සිතිවිලිවල තව ද ශක්තියෙක් වෙයි. එනම් කුසල් පහළ කරනා සැටිය යි. සිතිවිල්ලෙකින් පව් නැසෙන්නේ එහි පහළ කරගත් කුසල බලවේගයෙනි. එහෙයින් භාවනාවේ දී සිදුවිය යුත්තේ අභ්‍යන්තරයෙහි කුශල බලවේගය බලවත් වීමය. කුසල් අතින් සිත දියුණුවට පත් වීමය.

අකුසල් හෝ කුසල් හෝ නොසිතා නිකම්ම සිත තබා ගැනීම භාවනාවෙක් නො වේ යයි කියයුත්තේ මේ කාරණය අනුව ය. භාවනාවක දී පහළ කැරෙන කුසල් කවරේදැයි නියම අන්දමින් භාවනාව කරන්නකුට විසඳා දීමට හැකිවිය යුතුය. භාවනාවක් කරගෙන යන කල්හි වෙනත් කුශලයකට සිත නොනැමෙතොත්, ඔහු භාවනා කරන්නකු සේ ගණන් නොගත මැනවි.

දැන් මේ කථා අතරට “මේ කාලයේ භාවනාවෙකින් ධ්‍යානයක්, මාර්ගයක් ලැබෙන්නේ නැත.” යන කථාව ද ඉදිරියට එයි. භාවනා කරන පක්ෂයෙන් මෙයට හොඳින් පිළිතුරු සපයා ඇති බව දනිමු. භාවනාවක් කළ තරමින් ධ්‍යානාදියක් ලැබිය නො හැකි බව සැබෑය. ධ්‍යානාදි ධර්මයන් අරමුණු කිරිමට තරම් යමෙකුගේ සිතේ ඥාන ශක්තිය නැත්නම් ඔහු ඒවා එහි පහළ කරගන්නේ කෙසේද?

භාවනාවක ප්‍රතිඵල වනාහි කීප ආකාරයෙකින් සලකාගන්නට පුළුවන. ක්‍රමානුකූලව භාවනාවක් පවත්වතොත්, ඔහුට චිත්තෙකග්ගතාව නොලැබී යන්නේ නැත. ඒ චිත්තෙකග්ගතාවේ බලයෙන් ඔහුට ළඟදී ම පිරිසිදු හැඟීමක්, සිතේ කයේ බලයක් හා සන්සිඳීමක් ඒකාන්තයෙන් ලැබෙනවා ඇත. එහි විපාකය ද කාමාවචර වශයෙන් අතිවිශාල ය. දෙවන තෙවන ආත්මභාවාදියෙහි දී උදාර විපාකයන් එයින් සැලැසෙනු ඇත. භාවනාවක් නැති වැ නිකම් කල් ගෙවන්නා හට මේ වාසිය ලැබෙන්නේ නැත. ක්‍රමානුකූල වැ උපදෙස් ලබාගෙන ශාන්ත පරිසරයක බලවත්සේ ඡන්දය පිහිටුවා ගෙන භාවනාවක යෙදෙන ත්‍රිහේතුක භාව්‍ය පුද්ගලයකුහට ධ්‍යානාදියක් නොලැබේයයි කීම ජිනචක්‍රයට පහර දීමෙකි. එයින් ඔහුගේ සිත දුසිරිතට පෙළඹෙයි. ඔහුගේ කථාවත් කල්පනාවත් සිතත් මිච්ඡාවාචා, මිච්ඡාසංකප්ප, මිච්ඡාදිට්ඨි වන හෙයින් ඔහුට මේ සම්මාසම්බුද්ධ සාසනයෙන් පිහිටෙක් ද නොලැබේය යන බව විශේෂයෙන් සලකා ගත යුතුය.

භාවනාවේ මාර්ගය නම් ප්‍රධාන වශයෙන් කයත් සිතත් සුදුසු අන්දමින් තබා ගැනීමේ සන්සුන් වැඩ පිළිවෙළයි. ඒ සඳහා අවශ්‍ය වන කරුණු රැසෙකි. ශාන්ත වූ විවේකවත් පරිසරයක් සොයා ගැනීම, චීවරාදි පරිස්කාරයන් පිරිසිදුව තබාගැනීම, අධිෂ්ඨාන සමාදාන කරගත් ශීලය, පසුතැවිල්ලට හේතු වැරදිවලින් තොර වීම, ඉන්‍ද්‍රිය දමනය, නොපසුබට වීර්යය, ඡන්දය, රත්නත්‍රය ගත භක්තිය, සහජඥානය, සතිසම්පජඤ්ඤය යන මේ ගුණයෝ මැනැවින් දියුණුවට පත් කරගත යුතු වෙති. ව්‍යායාම සෘතුසේවාදියෙන් හා පථ්‍ය මිතාහාර ගැනීමෙන් ද නිරෝගීතාව රැකගත යුතු ය.

මීළඟට නියම ක්‍රමයක් අනුව සිත පවත්වා ගෙන යාමේ උදාර කාර්‍ය්‍යය ගැන සිතා බලමු. සිත එකම අරමුණු කොටසෙක තබා ගැනීම භාවනාවේ මුලය. මේ ගන්නා අරමුණ ම ගැන සිත යොදමින් එයින් පහළ වන දියුණු වූ නිමිත්තාරම්මණය වර්ධනයෙන් එහි ප්‍රථමාදි ධ්‍යාන සිත් පහළ කරගැනීම ශමථභාවනාවේ ප්‍රතිඵලයයි. නීවරණාදීන්ගේ සන්සිඳීම මෙහිදී සිත් පරපුරට සැලැසෙන යෝද සැනැසිල්ලෙකි. එයින් ඔහුට මේ ජීවිතයේ දී ම කෙලෙසුන් ඉවත් කර ගත් සිතින් සැපවත් දිවි පැවැත්මෙක් සැලැසෙන්නේය. මෙය දිවි කෙළවරතෙක් රැකගත්තොත් ඔහුට බඹ ලොවැ උපත ද නොවරදින්නේ ය. යම්කිසි විදියෙකින් අන්තිම දක්වා ඒ ගුණය රැක ගත නොහැකි වී නම්, උපදවාගත් ගුණයේ කාමාවචර විපාක බලය නොවැරදී දෙවන තුන්වන ආදී භවයන්හි දී විඳගැනීමට ලැබිය හැකි විය යුතුය.

ඒ භාවනාව අනිත්‍යාදි ලක්ෂණ තුන අනුව පඤ්චස්කන්ධයන් පිළිබඳව සැලැකීම, විමැසීම, නුවණින් දැකීම සිදු වීමේ දී එයට විදර්ශනා යයි කියනු ලැබේ. මේ විදර්ශනා භාවනාවේ ද විපාක ඵලයෝ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙයාකාරයෙකින් ලැබෙන්නාහ. විදර්ශනා භාවනාව නියම වශයෙන් නිවන් පසක් කරගැනීම සඳහා ම කරනු ලැබේ. නිවන් සඳහා වූ මේ භාවනාව බොහෝ කලක් හුරුපුරුදු කළ යුතු ය. “කතාධිකාර උපනිස්සයසම්පන්න” යයි කියනු ලබන්නේ මෙසේ පුරුදු කළ පුද්ගලයන් සඳහා ය. මෙසේ මේ විදර්ශනා භාවනාව බෞද්ධ හැම දෙනා විසින් ම පුරුදු කළ යුතු ප්‍රධාන වැඩක් බව දත යුතු ය.

භාවනා දෙකේ දී ම මුලැ දී මේ කරුණු ටික සලකන්න.

  1. ශීලය පිරිසිදුව තබා ගැනීම
  2. දස පළිබෝධයන්ගෙන් වෙන්වීම
  3. කළණ මිතුරකු සොයා ගැනීම
  4. කර්මස්ථානයක් උගැන්ම
  5. සුදුසු සෙනසුනක් සොයාගැනීම
  6. කුඩා පළිබෝධ ඉවත් කර ගැනීම.
  7. සම්පන්නජ්ඣාසයතාව.
  8. නොපසුබස්නා විරිය.
  9. සද්ධා සංවේගයන් පහළ කරගැනීම
  10. ජීවිත පරිත්‍යාගයෙන් එහි යෙදීම

බුද්ධානුස්සති භාවනා, මෙත්තා භාවනා, කායගතාසති භාවනා, මරණානුස්සති භාවනා යන මේ භාවනා සතර ඇසුරෙන් චිත්ත දමනය, චිත්ත සමථය සලසා ගත යුතුය. ඒ අනුව සිත තුළ නිතර බලපවත්නා ඇලීම්, ගැටීම් ආදිය සන්සිඳුවා ගතහැකි වෙනවා ඇත. මේවා සන්සිඳුවා ගැනීමට නම් එහි ආදීනවය හෝ පටික්කූලභාවය හෝ හොඳින් සලකා බලා එය දුරලීමට සිත යෙදිය යුතුය. මෙසේ නොවීනම්, භාවනාව කරගෙන යන අවස්ථාවෙහි දී අතරින් පතර මේ කෙලෙස් පහළ වීමෙන් භාවනාව නවතින්නට ඉඩ තිබේ.

මෙසේ සිත සකස් කරගෙන, ධර්ම පක්ෂයෙහි ප්‍රබෝධයත් අධර්ම පක්ෂයෙහි හැකිළිමත් ඔබේ සිතේ දැහැමි බලය තරකොට ගත් තත්ත්වය විය යුතු ය.

විශේෂයෙන් මෙහි පහත සඳහන් අජ්ඣාසය ෂට්කය දෙස නුවණ යොදන්න:

ඡ අජ්ඣාසයා බොධිසත්තා බොධිපරිපාකාය සංවත්තන්ති:

  1. නෙක්ඛම්මජ්ඣාසයා බොධිසත්තා/කාමෙ ඝරාවාසෙ දොස දස්සාවිනො
  2. අලොභජ්ඣාසයා බොධිසත්තා ලොභෙ දොස දස්සාවිනො,
  3. අදොසජ්ඣාසයා බොධිසත්තා දොසෙ දොස දස්සාවිනො.
  4. අමොහජ්ඣාසයා බොධිසත්තා මොහෙ දොස දස්සාවිනො.
  5. පවිවෙකජ්ඣාසයා බොධිසත්තො සංගණිකාය දොස දස්සාවිනො.
  6. නිසසරණජ්ඣාසයා බොධිසත්තා සබ්බභවගතීසු දොස දස්සාවිනො.

අධ්‍යාසය සයෙකින් සමන්විත බොධිසත්ත්වයෝ ලෝකෝත්තර මාර්ග ඥානය මුහුකිරීම සඳහා පවතින්නාහ. ඔහු මෙසේ වෙති.

  1. පඤ්චකාමයෙහි හෝ ගිහි වැ විසීමෙහි දොස් දක්නා බෝසත්හු නෙක්ඛම්මයෙහි අදහස් ඇති වෙති.
  2. ලෝභයෙහි දොස් දක්නා බෝසත්හු අලෝභ අදහස් ඇති වෙති.
  3. ද්වේෂයෙහි දොස් දක්නා බෝසත්හු අද්වේෂ අදහස් ඇති වෙති.
  4. මෝහයෙහි දොස් දක්නා බෝසත්හු අමෝහ අදහස් ඇති වෙති.
  5. සඞ්ගණිකායෙහි දොස් දක්නා බෝසත්හු පවිවේක අදහස් ඇති වෙති.
  6. තුන්වැදෑරුම් භවයන්හි පඤ්ච විධ ගතීන්හි දොස් දක්නා බෝසත්හු නිස්සරණය පිළිබඳ අදහස් ඇති වෙති.

භාවනාවේ යථාර්ථය මේ අදහස් සය සපුරා ගැනීම ය. එහෙයින් එහි යෙදෙන්නා මෙහි දැක්වූ අදහස් සයෙහි ස්ථිරවැ පිහිටා එහි යෙදිය යුතු ය. මෙය නොසලකා හැර බාහිර වූ අදහසක් හෝ අදහස් කීපයක් මුදුන් පත් කර ගැනීමේ අදහසින් භාවනාවේ යෙදෙතොත් එයින් ඔහුට පීඩාවට පත් වීමට ඉඩ තිබේ. ඔහුගේ සිත ද හැංගී ගන්නවා ඇත. නිසි පරිදි පවත්වාගත නොහෙයි. ඇතම්විට එයින් වැරැදි ලෙසින් භාවනා කාර්යය ගැන හැඟීම් පහළ කර ගැනීමට ද හේතු වෙනවා ඇත. එයින් දෙලොවින් ම පිරිහීම සිදුවෙයි.

භාවනාවේ යෙදෙන්නා පතිරූප දෙසය මැනවින් තේරුම් ගෙන එහි අභිරුචිය පවත්වා ගත යුතුය. කළණ මිතුරන් හොඳින් හඳුනාගෙන එබඳු උතුමන් ආදරයෙන් ඇසුරු කිරීමට පුරුදු විය යුතුයි. අයෝනිසො මනසිකාරයත් එහි යෙදන්නවුනුත් සියුම් ලෙස තේරුම් ගෙන ඒ දෙකොටසම වසවිසක් සේ දුරු කළ යුතු ය. යෝනිසො මනසිකාරයත් එයින් යුත් පුද්ගලයනුත් ගරුවසයෙන් ඇසුරෙහි තබාගත යුතු ය.

ලෝභය, ද්වේෂය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව, මාත්සර්‍ය්‍යය යන මේ ක්ලේශයන් හරිහැටියට තේරුම් ගන්න. මේවාට යට වූ සිත අඳුරු ය. නුවණ මතුවීමට එහි ඉඩ කඩ නැත. මේවාට යට වී, වස්තු තත්ත්වය තේරුම් ගත නොහැකිව, ඉඳුරන් පිනවන්නට යන්නා විපත් මඟක ගමන් කෙරෙයි. ඔහුට සැනැසිල්ල ඈතය. මේ පුරුදු බලපෑමෙන් නොසිතූ අන්දමේ විපත්වලට මඟ පෑදෙයි. වහාම යෝනිසො මනසිකාරය උපදවා ගන්න.

මේ භාවනා උපදේසයන් මෙහි කැටි කොට දක්වනු ලබන්නේ නොයෙක් විට පහළ වූ නොයෙක් විදියේ අත්දැකීම් අනුව ය. එහෙයින් මුලින් සඳහන් කරන ලද්ද යළිත් සඳහන් වීමට ද ඉඩ තිබේ. එසේ ම එක ම අදහස දෙවිදියෙකින් ඉදිරිපත් වීමට ද ඉඩ තිබේ. මුල දී සඳහන් කළයුත්ත පසුවටත් පසුව සඳහන් කළ යුත්ත මුලටත් යෙදී තිබෙන්නට ඉඩ තිබේ.

මෙහි 108 වෙනි පිටුවෙහි විදර්ශනා තුන් වර්ගයක් දක්වන ලද්දේ සාමාන්‍ය ක්‍රමය සලකාගෙනය. විශේෂ වශයෙන් තවත් ක්‍රම දෙකක් ද දැක්විය හැකිය. “විපස්සනා ච තිවිධා, විපස්සක පුග්ගල භෙදෙන, මහාබොධිසතානඤ්ච පචචෙක බොධිසත්තානඤ්ච විපස්සනා චින්තාමයඥාන සංවද්ධිතා සයම්භූඥානභූතා. ඉතරෙසං සුතමයඥාන සංවද්ධිතා, පරොපදෙස සම්භූතා නාම.” දීනිකාය ටීකා/192/ විදර්ශනාවේ යෙදෙන පුද්ගලයන්ගේ ප්‍රභේදය අනුව විදර්ශනාව තුන්වැදෑරුම් වෙයි. මහාබෝධිසත්ත්වවරුන්ගේ විදර්ශනාව, පච්චෙක බෝධිසත්ත්වවරුන්ගේ විදර්ශනාව, සෙසු ශ්‍රාවක බෝධිසත්ත්වවරුන්ගේ විදර්ශනාව යනුවෙනි. මෙහි දක්වන ලද්දේ ශ්‍රාවකබෝධිසත්ත්වවරුන්ගේත් මුල් දෙපක්ෂයේත් සාධාරණ ව ලැබෙන ක්‍රමයන් බව සැලැකිය යුතුය.

විසුද්ධිමග්ගයේ......

“ආවාසො ච කුලං ලාභො ගණො කම්මඤ්ච පඤ්චමං,

අද්ධානං ඤාති ආබාධො ගන්ථො ඉද්ධීති තෙ දස”

යයි, පලිබෝධ 10 ක් පෙන්නා එහි ඉතා පැහැදිලි විවරණයක් ද පෙන්නූ බව ප්‍රසිද්ධ ය. මෙහි ඉද්ධිපලිබොධය වෙනුවට කිත්තිපලිබොධය බුද්දකපාඨට්ඨකථාවේ එන්නේ එක්තරා විමර්ශනයක් මත විය යුතු ය. විසුද්ධිමග්ගයේ ම අග දී, “සා පන විපස්සනාය පලිබොධො හොති, න පන සමාධිස්ස. සමාධිං පත්වා පත්තබ්බතො, තස්මා විපස්සනත්‍ථිකෙන ඉද්ධිපලිබොධො උපච්ඡින්දිතබ්බො, ඉතරෙන අවසෙසා” යි එය සිය විමසුමට ම භාජනය කරන ලදී.

මේ කියන ලද පලිබෝධ දහය පිළිබඳ කථාව පෙළෙහි පිළිවෙළින් දක්නට නොලැබුණේ ය. චූලනිද්දෙසයේ 484 වෙනි පිටුවේ “සො පච්චෙකබුද්ධො සබ්බං ඝරාවාස පලිබොධං ඡින්‍දිත්වා පුත්තදාර පලිබොධං ඡින්දිත්වා සන්නිධි පලිබොධං ඡින්දිත්වා” යනුවෙන් පලිබෝධ කීපයක් දක්වන ලද බව පෙනෙයි. නෙත්තියෙහි පලිබෝධයක් දක්වා ඇත ද එහි මේ අදහස නැත. එහෙත් මිළින්ද පඤ්හයෙහි 9 වෙනි පිටුවෙහි කෙස පලිබොධ සොළසක් දක්වා ඇත. මෙසේ හෙයින් මේ සම්පූර්ණ පලිබොධ කථාව පුරාණ ආචාර්‍ය්‍යවරයන් ඉදිරිපත් කළ, භාවනා මාර්ගයට උපකාර පිළිවෙත් මඟක් බව සාදරව සිතට ගත යුතු වෙයි. මේ පලිබොධයන්ගෙන් මිදෙන සැටි මැනැවින් විශුද්ධිමාර්ගයේ ම දක්වන ලදී. මෙයින් සම්පූර්ණයෙන් මිදී ගත්තහුට අවසානය තෙක් ස්වකීය භාවනා වැඩ පිළිවෙළ පහසුවෙන් ද, නොනවත්වා ද කරගෙන යා හැකි වනු ඇත. සුළුවශයෙන් භාවනාව කරන්නකුහට ද උපනිශ්‍රය සම්පන්න දියුණු පුද්ගලයකු හට ද මේ පලිබෝධ අතරෙහි ම රැඳීගෙන වෙසෙමින් ම ස්වකීය භාවනා කාර්යය මුදුන් පත්කර ගත හැකි වනු ඇත. එහෙයින් මේ කියන ලද පලිබෝධයන් මගහරවා ගත නොහැකියයි සිතමින් භාවනා කාර්යය නවත්වාලියයුතු නොවේ. අද අපට ලැබී ඇති ක්ෂණ සම්පත්තිය ඉතා දුර්ලභ බව සලකා එයින් නියම ප්‍රයෝජන ගැනීමට උනන්දු විය යුතු ය.

මේ පලිබෝධයන්ගෙන් මිදීම මෙන් ම තම ඇසුරට ලැබෙන දුබල වූ නියම පිළිවෙත් මඟ නොදත් උපදෙස් දෙන්නන්ගෙන් බේරීමට ද තදින් සිතට ගත යුතු ය.

එසේම සුදුසු උපදෙස් දෙන නියම කලණමිතුරකු සොයා ගැනීමට ද නුවණ යොදා උත්සාහය ගත යුතු ය. භාවනාමය වූ ඉතා පිරිසුදු උසස් කාර්යයක් සඳහා උපෙදස් ගැනීමට සුදුසු තරමේ පුද්ගලයකු සොයා ගැනීම පහසු නැත.

“න වණ්ණ රූපෙන නරො සුජානො

න විස්සසෙ ඉත්තර දස්සනෙන,

සුසඤ්ඤතානං හි වියඤ්ජනෙන

අසඤ්ඤතා ලොක මිමං චරන්ති.”

යන්නෙන් වදාළ පරිදි හැඩහුරුව අනුව පුද්ගලයා හැඳිනීම පහසු නැත. දුටු පමණින් විශ්වාසය තැබිය යුතු නැත. කවර හෙයින් ද? ඉතා උසස් සංයමින්ගේ හැඩහුරුව ගත් අසංයතයෝ මේ ලෝකයෙහි වාසය කෙරෙති. එහෙයිනි.

භාවනාව මැනැවින් පුරුදු කළ, භාවනාවට අදාළ ධර්මයන් පිළිබඳ තේරුමක් ඇති පුද්ගලයකු සොයාගෙන, ඒ මගින් නිසි උපදෙස් ලබමින් සුදුසු පරිසරයක වෙසෙමින් භාවනාවේ යෙදීමට ලැබෙතොත් එය ඉතා උසස් ලාභයෙකි. උපදෙස් දෙන්නකු ලැබගත නොහැකි වුවත් නිකම්

නොසිට පොත පතින් වුව ද කරුණු තේරුම් කරගෙන භාවනා මනසිකාරයේ යෙදීම හොඳය. ගුරුවරයකුගෙන් උපදෙස් ලබමින් හෝ එසේ නැතිව හෝ භාවනාවේ යෙදෙන්නා තමන්ගේ භාවනා තතු අනුන්හට කියන්නට යාම හානිකරය.

භාවනා මනසිකාරයක නිසි අන්දමින් යෙදුනාවූ ද භාවනාව වරද්දාගත්තා වූ ද බොහෝ දෙනා තමාගේ නොදත්කම් තේරුම් නොගෙන තමන්ගේ දැනීම හෝ නොදැනීම පමණින් සියල්ල ප්‍රමාණ කරගෙන අනුන් හට උපදෙස් දීමට මහා කරුණාව දක්වන සැටි ද පෙනෙයි. එබඳු පුද්ගලයන්ගේ මුළාවේ හෙලන කථාවන් නිසා ඒවාට ඇහුම්කන් දීමෙන් බොහෝ දෙනා භාවනා කාර්‍ය්‍යයෙන් පිරිහී ගිය අවස්ථා අපට දැනගන්නට ලැබී ඇත. එහෙයින් භාවනාවේ යෙදෙන්නා තමන්ගේ භාවනා මනසිකාරයේ තතු අනුන් ඉදිරියේ කියාපෑමට නොයා යුතු ය. කල්‍යාණමිත්‍ර සම්පත්තියත්, යෝනිසෝ මනසිකාරයත්, භාවනා මනසිකාරයේ යෙදෙන්නවුන් හට ඉතා ප්‍රයෝජනවත් බව විශේෂයෙන් සලකා ගත යුතු ය.

මීට වර්ෂ කීපයකට පෙර සප්තවිසුද්ධි හා විදර්ශනාඥාන නමින් කුඩා පොතක් මෙම නිස්සරණ වනයෙන් නිකුත් කිරීමට සිදුවිය. එය සැපයුනේ ශමථ විදර්ශනා භාවනාවන් බොහෝ දුරට දියුණුවට පත්කර ගත් යෝගාවචරයන් සඳහා ය. එම කුඩාපොත පිළිගත් ගුණවත් නැණවත් වැඩිහිටි පිරිස භාවනාරම්භයක දී මීට මුලින් භාවනාව පිළිබඳව දතයුතු වූ කරුණු අන්තර්ගත පොතක් සැපයෙනවා නම් මැනවැ යි කියන්නට වූහ. ඒ හැම පින්වතුන්ගේ ම අදහස සපුරාලීම සඳහා මේ පොත සැපැයුණු බව කිව හැකිය.

විශේෂයෙන් මෙබඳු භාවනාමය වැඩපිළිවෙළක් නිරවුල්ව ගෙනයාම සඳහා මාව පෙරමුණු කරගත් ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සමුත්පාදක පූජ්‍ය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහස්ථවිරයන් වහන්සේ මෙහිලා කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතු ය. උන්වහන්සේ ඇතුළු ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ කල්‍යාණධ්‍යාශය ඇති සියලුම සබ්‍රම්සරුන් වහන්සේලාගේ ලොවුතුරු පැතුම් සපිරේවා.

මෙසේ සකස්වුණු මේ පොත මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පමුණුවාලීම සඳහා කොළඹ හැව්ලොක් ටවුන්හි, උද්‍යාන මාවතේ සැදැහැවත් පරිත්‍යාගශීලී හේමා ප්‍රේමදාස නෝනා මහත්මිය විසින් සිය දෙගුරු ස්වාමිපුත්‍රාදීන්ට පින් පැමිණවීමේ අදහසින් ඉදිරිපත් වීම සම්බුදු සසුනට ඉමහත් පිටුවහලක් බව කිව යුතු ය.

මේ පොත සකස් කිරීම සඳහා අප හිතවත් ශිෂ්‍ය බොහෝ දෙනකුගේ උපකාරය ලැබුණු බවත් ඒ හැමදෙනා ඇතුළු දෙවියන් සහිත ලෝකයාට අමාමහ නිවන් සැනසීම ලැබේවා යි ඉතසිතින් පතමු.

“සතං සමාගමො හොතු”

මෙයට සසුන් හිතැති,

මාතර ශ්‍රී ඥානාරාම ස්ථවිර.

නිස්සරණ වනය, මිතිරිගල.

ශ්‍රී බු.ව. 2526 ඉල් අව 11, 1982 දෙසැම්බර් මස 11.