සංඥාපනය - තෙවන මුද්‍රණය

“ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං” සම්මා සම්බුද්ධ ශාසන ස්වාක්ඛාතය - සාන්දෘස්ටික - අකාලිකය. දේසයේ ජෝතයේ ධම්මං - පග්ගණ්හේ ඉසිතං ධජං, සුභාසිත ධජා ඉසයෝ - ධම්මෝහි ඉසිතං ධජො’, ‘ධර්මය දේශනාද කරන්නේද, ප්‍රකට ද කරන්නේය, බුද්ධ ධර්මය නම් වූ සෘෂිධ්වජය ඔසවන්නේය, සර්වඥ සෘෂිවරු සුභාෂිතය ධ්වජය කොට ඇත්තෝය, ධර්මය සෘෂි ධ්වජය නම් වෙයි’. ‘අමතං දදෝ ච සෝ හෝති - යෝ ධම්ම මනුසාසති’ යමෙක් ධර්මයෙන් අනුශාසනා කෙරේද හෙතෙම අමෘතය දෙන්නෙකි.

මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩ විසූ අතිගරු පූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ වනාහි ස්වාක්ඛාත සාන්දෘෂ්ටික අකාලික ද වූ ශ්‍රී සද්ධර්මය උද්ග්‍රහණ ධාරණ දේශනා වාචනා සංඛ්‍යාත පර්යාප්ති වශයෙන් ද, සීල පූරණ ධුතංග පරිහරණ ආර්යවංශ රථවිනීත තුවටක නාලක චන්‍දූපම ප්‍රතිපදා සමථ විපස්සනානුයෝග වශයෙන් ද ධ්‍යාන සමාධි සමාපත්ති මාර්ග ඵල සංඛ්‍යාත ප්‍රතිවේධ වශයෙන් ද මෑත භාගයෙහි ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය ජ්‍යෝතිමත් ලෙස බැබල වූ ශාසන චිර ජීවනය සැලසූ ශාසන භාරධාරී අද්විතීය මහා සංඝපිතෲන් වහන්සේය.

ලොවට අමෘතය බෙදාදෙමින් සසුන් වැඩ වැඩූ අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ලියැවුණු “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නමැති මේ මහාර්ඝ ග්‍රන්‍ථය ප්‍රථම වරට 1983 වර්‍ෂයේදී ද දෙවන වරට 1988 වර්‍ෂයේදී ද මුද්‍රණය වූ අතර නැවත තෙවන වරට මෙසේ මුද්‍රණය වනුයේ මෙහි ඇති ප්‍රයෝජන මහත් බැවිනි.

ගැටපද මාලාවක් ද සහිතව දෙවන මුද්‍රණය 1988 වර්‍ෂයේදී නීලඹ භාවනා මධ්‍යස්ථානයේ ජී. සමරරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරන්නට යෙදුනි.

අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ජිවමාන කාලයේ දී ම දෙවරක් මුද්‍රණය වූ මෙම ග්‍රන්‍ථය මාහිමිපාණන් වහන්සේගේ අවධානයට තව තවත් යොමුවිය. මේ තෙවැනි මුද්‍රණයේ දී මාහිමිපාණන් වහන්සේ පරිශීලනය කළ පෞද්ගලික පිටපතෙහි සඳහන්ව ඇති සංශෝධන ද ඇතුළත් කොට ඇත.

සූ යශස්ථාම පුණ්‍ය සෘද්ධි ප්‍රඥා මහන්තතාවෙන් අගතැන්පත් දශබලධාරි සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ පවා ආයුෂ ගෙවී පිරිනිවීම ස්වභාව ධර්මයකි. එසේ නම් කවර සංස්කාරයක් සදාකල් පවත්නේ ද? නැත. අපේ අතිගරු පූජනීය මහෝපාධ්‍යායයන් වහන්සේ ද පුරා අවුරුදු 91ක් ආයු වළදා 1992 අප්‍රේල් 30 වැනිදා සතෝ සම්පජඤ්ඤකාරීව සිහිනුවණින් යෙදී අපවත් වූ සේක. අහෝ! සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය, දුක්ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය. මාහිමිපාණන් වහන්සේ තවමත් ජිවමානව වැඩ සිටින්නා සේ දේශනා කළ, රැස් කළ ධර්මය හා ගුණ ධර්‍ම සම්භාරය අදත් එසේම පවතී.

අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ ශීලාදී අනුත්තර ගුණ විශේෂයෙහි ලා අතිශයින් ප්‍රසාදයට පත්ව වර්‍ෂ ගණනාවක් තිස්සේ මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි මහා සංඝරත්නයේ පරිහරණය සඳහා මහාපරිමාණයේ ඖෂධ පූජාවක් පවත්වන ලෝලුවාගොඩ සහ ඇටඹේ, මීතිරිගල නිස්සරණ වන දාන උපස්ථායක සමිතිය මගින් තෙවන වරට මෙම භාවනා ග්‍රන්‍ථය විශාල මුදලක් වැයකොට ධර්මදානය පිණිස මුද්‍රණය කරනු ලබන්නේ ඖෂධ පුජාවත් සමග ධර්මෞෂධ පූජාමය පුණ්‍ය සම්භාර ලාභය අත්පත් කරගැනීමත් අපවත් වී වදාළ අතිගරු පූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ගෞරවෝපහාර පුජා පිණිසත්ය. එම සත්පුරුෂ දායක මණ්ඩලයට තව තවත් ධර්ම ඥාන භාවනා ඥාන මුදුන්පත් වී පැතූ උතුම් බෝධියෙන් ශාන්ති ලක්‍ෂණ අමෘත මහා නිර්‍වාණ ධාතුව එකාන්තයෙන් සුවසේම සාක්‍ෂාත් වේවා!

සෝභන ලෙස පොත මුද්‍රණය කළ ශික්‍ෂා මන්දිර ප්‍රකාශන ආයතනයේ සැමටත් තෙරුවන් සරණින් ගුණ නුවණින්, ධන ධාන්‍යයෙන්, යස ඉසුරින් හා සැප සම්පතින් තව තවත් දියුණුව අත්වේවායි ආසිංසනය කරමි.

සම්බුද්ධ ශාසනයට නව ජීවයක් ගොඩනංවා අපවත් වී වදාළ අතිගරු පූජනීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධ වී ප්‍රාර්ථනීය උතුම් බෝධි ඥානයෙන් ශාන්ති ලක්‍ෂණ අමෘත මහා නිර්‍වාණ ධාතුව එකාන්තයෙන් සුවසේ සාක්‍ෂාත් වේවා!

මෙයට මෙතැති

නා උයනේ අරියධම්ම ස්ථවිර

ගුණවර්‍ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානය,

ගල්දූව, කහව.

2537 - 1994.05.07