“පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හෝති, උපාසකපදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච. කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, අකොතුහලිකමංගලිකො හොති. කම්මං පච්චෙති නො මංගලං, න ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති, ඉධ ච පුබ්බකාරං කරොති, ඉමෙහි ඛො භික්ඛවේ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති, උපාසක පදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච”
මෙහි අදහස මෙසේ ය:-
මහණෙනි, ධර්ම පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වේ. උපාසක පද්මයක් ද වේ. උපාසක පුණ්ඩරිකයක් ද වේ. කවර ධර්ම පසකින් ද යත්?
- ශ්‍රද්ධාව ඇත්තේ වෙයි.
- සිල් ඇත්තේ වෙයි.
- අසන දකින දේවල හොඳ නරකින් ශුභාශුභ සිද්ධි වෙතැයි නො ගන්නේ වෙයි.
- කර්මය සලකයි. මංගල්‍යය නො සලකයි.
- බුදුසස්නෙන් පිටත පිනට දීමට සුදුස්සන් නො සොයයි. පළමු කොට ශාසනයට ම දෙයි.
මහණෙනි, මේ ධර්ම පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වෙයි. උපාසක පද්මයක් ද, උපාසක පුණ්ඩරිකයක් ද වෙයි.
මෙහි පද්ම ය යි කියනුයේ රත් නෙළුම් මලට ය. පුණ්ඩරික ය යි කියනුයේ සුදු නෙළුම් මලට ය. ඇතැම්හු උදෑසන අසන්නට දකින්නට ලැබෙන දේවලින් හා කටයුත්තකට යන කල්හි පෙර මග දක්නට ලැබෙන දේ වලින් ද මනුෂ්‍යයා හට ශුභාශුභ සිදු වෙතැයි ගනිති. කෝතුහල මංගලිකෝය යි කියනුයේ ඔවුන්ට ය. එය බෞද්ධයන් නො පිළිගත යුත්තකි.