දිනක් භාග්‍යවතුන් වහන්සේ කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය පරිශුද්ධ ද කෙබඳු භික්ෂුවකගේ ධර්ම දේශනය අපරිශුද්ධ ද යන මේ ප්‍රශ්නය භික්ෂූන්ගෙන් විචාරා භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේට ම එය පහදා වදාරන සේ අයැද සිටි කල්හි මෙසේ වදාළ සේක.
“යො හි කොචි භික්ඛවෙ, භික්ඛු එවං චිත්තො පරෙසං ධම්මං දෙසෙති, අහො වත මෙ ධම්මං සුණෙය්‍යුං සුත්වා ච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නා ච මෙ පසන්නාකාරං කරෙය්‍යන්ති. එවරූපස්ස භික්ඛවෙ, භික්ඛුනෝ අපරිසුද්ධා ධම්මදෙසනා හොති. යො ච ඛො භික්ඛවෙ, භික්ඛු එවං චිත්තො පරෙසං ධම්මං දෙසෙති,ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහි පස්සිකෝ ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. අහො වත මෙ ධම්මං සුණෙය්‍යුං සුත්වා ච පන ධම්මං ආජානෙය්‍යුං. ආජානිත්වා ච පන තථත්තාය පටිපජ්ජෙය්‍යුන්ති, ඉති ධම්ම සුධම්මතං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති. කාරුඤ්ඤං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති, අනුද්දයං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති, අනුකම්පං පටිච්ච පරෙසං ධම්මං දෙසෙති.එවරූපස්ස ඛො භික්ඛවෙ භික්ඛුනො පරිසුද්ධා ධම්මදෙසනා හොති.
“මහණෙනි, යම් භික්ෂුවක් ජනයෝ මාගේ ධර්මය අසන්නාහු නම් අසා ධර්මයෙහි පහදින්නාහු නම් පැහැදුණාහු චීවරාදි ප්‍රත්‍යයන් පුදන්නාහු නම් ඉතා යෙහෙක යන අදහසින් දහම් දෙසා ද එබඳු අදහස් ඇති භික්ෂුවගේ ධර්මදේශනය අපරිශුද්ධ ය. යම්කිසි භික්ෂුවක් ධර්මය තථාගතයන් වහන්සේ විසින් මනා කොට දේශනය කරන ලද්දක්ය, අනුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් නොව තමා විසින් ම ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කර ගෙන දත හැකි දෙයක,කල් නො යවා එකෙණෙහි ම ඵල ලැබිය හැකි එකක,සත්‍ය බැවින් හා පාරිශුද්ධ බැවින් එව බලව යි දැක්විය හැකි දෙයක,නුවණැතියන් විසින් වෙන වෙන ම තම තමන්ගේ සිතින් දතයුතු රසවිඳිය යුතු එකක. මාගේ ධර්මය ජනයෝ අසන්නාහු නම් අසා තේරුම් ගන්නාහු නම් තේරුම් ගෙන පිළිවෙත් පුරන්නාහු නම් ඉතා යෙහෙකැ යි ධර්මයාගේ යහපත් බව නිසා මෙරමාහට දහම් දෙසා ද සත්ත්ව කරුණාව නිසා දහම් දෙසා ද මහණෙනි, එබඳු භික්ෂුවකගේ ධර්මදේශනය පරිශුද්ධය” යනුයි. ඉහත දැක්වූ කරුණු සිත්හි තබාගෙන මනාකොට ධර්මදේශනය කරන්නා වූ සත්පුරුෂයාට එයින් මහත් වූ කුශලයක් අත් පත් වේ.