ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතු මහබෝ පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතු ය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මා පියන් විසින් ද ගරු කළ යුතු ය.
ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම ය යි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍රවල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පා වහන්, හිස් වැසුම්, කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍රමයෝ ය.
වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍රමය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීම ය, දෙ අත් නළල මත තබා වැඳීම ය, දෙ අත් හිස මත තබා වැඳීම ය, දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීම ය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍රයට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ද යෝග්‍ය ය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍රය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍රමයෙන් ම වැඳීම මැනවි.
වචනයෙන් ගරු කිරීම ය යනු ගරු කළ යුත්තන් හා කථා කිරීමේ දී ද ගරු කළ යුත්තන් ගැන කථා කිරීමේ දී ද ගෞරව දැක්වෙන වචන පාවිච්චි කිරීම හා වචනයෙන් වන්දනා කිරීම ය. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනාදි වන්දනාව ප්‍රකාශ වන වචන කීම වාචා වන්දනාව ය. ස්තුති වාක්‍යය, ස්තුති ගීතාදිය කීම ද එයට ඇතුළත් ය.
සිතින් ගරු කිරීමය යනු ගරු කළ යුත්තන් කෙරෙහි සිත නමා ගැනීම හා එතුමන්ලාගේ ගුණයන් ආදරයෙන් සිහි කිරීම ය.
අපචායනයේ අනුසස්
“යෙ මුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කොවිදා
දිට්ඨෙ ව ධම්මෙ පාසංසා - සම්පරායෙ ච සුග්ගති”
තේරුම:
වෘද්ධාපචායන ධර්මය දක්නා වූ යම් කෙනෙක් වෘද්ධයනට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහතාත්මයෙහි ප්‍රශංසා කළ යුත්තෝ වෙති. ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැන ද සුගතිය වේ.
“අභිවාදනසීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං”
තේරුම:
වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තා හට ආයුෂය ශරීර වර්ණය සැපය බලය යන ධර්මයෝ සතර දෙන වැඩෙත්.
අපචායන කුශලය අන්‍යයන් විසින් ගරු බුහුමන් කරන රාජකුලාදි උසස් කුලවල ඉපදීමට හා ගරු බුහුමන් ලැබීමට ද උසස් තනතුරු ලැබීමට ද හේතු වන බව කිය යුතු ය. සැවැත්නුවර විසූ අදින්න පුබ්බක නම් වූ මසුරු බමුණාගේ පුත්‍ර මට්ටකුණ්ඩලී බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරව කිරීමෙන් තව්තිසා දෙව්ලොව උපන් බව දම්පිටුවාවේ දක්වා තිබේ. එක් සැඩොල් මැහැල්ලක් බුදුන් වහන්සේට වැඳීමේ කුශලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් බව විමානවස්තු ප්‍රකරණයේ දක්වා තිබේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුශලයක් වන්නා සේ ම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බව ද දත යුතු ය.