බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ. අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලෝකවිදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි, සත්ථා දෙවමනුස්සානං, බුද්ධෝ, භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිත ව තමන් වහන්සේ විසින් ම නො වදරවා දැන වදාළ සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘර්ධ වූ විදර්ශනා ඥානාදි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යක් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුණ්‍යමාන බලමාන ප්‍රඥාමාන සෘද්ධි මානාදි අනේවිධ මානයෙන් උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිස ද අනුශාසනය කරන සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.
- මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය අනන්ත සෘද්ධි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.
මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය.
බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතුය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍රමය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍ය ය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍රමයට හිඳ ගත යුතුය.
පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍රජාපතී ගෝතමි අපදානයෙහි එන :
“සා තාහි සහ ගන්ත්වාන - භික්ඛුනූපස්සයං සකං
අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ - නිසීදි පරමාසනෙ.”
යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනු. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු.