දානදාස ය, දානසහාය ය, දානපතිය යි දායකයෝ තිදෙනෙක් වෙති. තමා රසවත් ඕජාවත් ආහාරයන් වළඳමින් දන් දෙන කල්හි නො මනා නො වටනා ආහාරයන් දෙන්නේ දානදාස නමි. තමා වළඳන සැටියට දන් දෙන්නේ දානසහාය නමි. තමා වළඳන ආහාරයට වඩා යහපත් ආහාර දන් දෙන්නේ දානපති නමි.
තමා වටනා වස්ත්‍ර හඳිමින් නො මනා නො වටනා වස්ත්‍ර දෙන්නේ දානදාස ය. තමා හඳන වස්ත්‍ර වැනි ඒවා දෙන්නේ දාන සහාය ය. තමා හඳින වස්ත්‍රයන්ට වඩා සුන්දර වස්ත්‍ර දෙන්නේ දානපති ය. මේ නියායෙන් අන්‍ය දාන වස්තු සම්බන්ධයෙන් ද දායක භේදය කිය යුතුය. විපාක ලැබෙන කල්හි දාන දාසයාට හීන විපාක ද දාන සහායයාට මධ්‍යම විපාක ද දානපතිට ශ්‍රේෂ්ඨ විපාක ද ලැබෙන්නේ ය.
තව ද අවර්ෂී ය, ප්‍රදේශ වර්ෂී ය, සර්වත්‍ර වර්ෂීය යි දායකයෝ තිදෙනෙකි. වස්නට මෙන් ගර්ජනා කර නො වස්නා වලාවක් සේ දෙන්නට කථා කිරීමෙන් ම නවත්නා තැනැත්තේ අවර්ෂි නමි. සමහර තැනකට පමණක් වස්නා වළාවක් මෙන් එක් තැනකට දෙතැනකට පමණක් දෙන තැනැත්තේ ප්‍රදේශ වර්ෂි නමි. මුළු රටට ම වස්නා මහ වලාවක් මෙන් නිකාය භේද කුල භේද රට භේද නෑ කම් මිතුරුකම් නො සලකා සැමට ම දෙන තැනැත්තේ සර්වත්‍ර වර්ෂි නමි.