ටීකා පිළිබඳ ඇති දුර්මත කීපයක් හා ඊට පිළිතුරු

ප්‍රශ්ණය : බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට විස්තර සැපයීමට ටීකාචාර්යන් වහන්සේලා සමත් ද?

පිළිතුර: මෙම ප්‍රශ්ණය නගන්නේ ටීකා යනු කුමක්දැයි හරිහැටි තේරුම් නොගැනීම නිසයි. ටීකාචාරීන් වහන්සේලා කිසි විටෙක තම මතය බුද්ධමතය ලෙස නොදක්වන සේක. ඇදුරු පරම්පරාවෙන් තමන් දැනගත් විනිශ්චය බොහෝ කාලයක් පුරාවට ධර්මවිනය හා සසඳා බලා බොහෝ ශිෂ්‍ය පිරිසකට උගන්වා ඉන්පසු මෙම ටීකාදී ග්‍රන්ථ රචනා කළ බව දත යුතුය. එබැවින් බුදුරජුන්ගේ පටන් අඛණ්ඩ ඇදුරු පරම්පරාවකින් පැමිණි විනිශ්චයන්ම ටීකා වලින් තවත් ප්‍රකට කරනවා හැර පෙළ අටුවාවන්ට වෙනස් අරුතක් ටීකාවන්ගේ දක්වා නැත. යම් කරුණක් පිළිබඳ ටීකාචාරීන් වහන්සේගේ අදහස දක්වන විට ඒ සෑම තැනකදීම “අයං අම්හාකං ඛන්ති, වීමංසිත්වා යුත්තතරං ගහෙතබ්බං” (මේ අපගේ අදහසයි, විමසා වඩා යුතු අදහස ගතයුතුයි) යනුවෙන් ඉතා නිහතමානීව ධර්මගරුත්වයෙන් යුතුව දක්වන සේක. එම ග්‍රන්ථ නොකියවා එහි වටිනාකම නොදැන මෙසේ විවේචනය කිරීම තමන්ටත් අනුන්ටත් සාසනයටත් කරන්නා වූ විශාල අනර්ථයක් බව සලකා තමන් නොදන්නා විෂයන් පිළිබඳව නොදන්නා බව කියන්නේ නම් මෙබඳු හානි සිදු නොවන බව සැලකිය යුතුය.

ප්‍රශ්ණය : ටීකා ලියුවේ රහතන් වහන්සේලාමද?

පිළිතුර: මෙම ප්‍රශ්ණය අසන අය අදහස් කරන්නේ “රහත් නොවූ අයගේ විස්තර විවරණ අපට අවශ්‍ය නැත” යන්නයි. මේ ප්‍රකාශ කරන්නේ ද ටීකා ගැන හරි වැටහීමක් නැතිව සිංහල පරිවර්තන ආදියෙන් ධර්මවිනය කියවන අයයි. ටීකා නිපද වූ ඇතැම් ආචාර්යන් වහන්සේලා රහතන් වහන්සේලා යැයි ද පිළිගැනේ. තවද ඒ උතුමන් වහන්සේලා අටුවා සහිත ත්‍රිපිටකයේ පාරගත උතුමන් වහන්සේලා යැයි අවිවාදයෙන් පිළිගනී. එම සිංහල පරිවර්තන කිරීමේදී ද අටුවා-ටීකාවන්හි දැක්වූ අරුත් අනුවම පරිවර්තන කර ඇති බව ඔවුහු නොදනිති. ටීකාචාරීන් වහන්සේලා තම මත බුද්ධමතය ලෙස නොදැක්වූ බවත් පිරිසිදු බුද්ධ මතයම ඉස්මතු කිරීමට වෙහෙසුණු බවත් පෙර අපි දැක්වීමු. මෙහිදී අපටද නැගියහැකි තවත් ප්‍රශණයක් වන්නේය. එනම් “මෙම සිංහල පරිවර්තන ඔබට ලැබුනේ බුදුරජාණන් වහන්සේගෙන් ද? නැතිනම් රහතන් වහන්සේලාගෙන් ද?” යන්නයි. අනෙක් අවධාරණය කළ යුතු කරුණ වන්නේ කිසිම ථේරවාදී ටීකාදී ග්‍රන්ථයක සීල සමාධි ප්‍රඥාවන්ට බාධක වන වැරදි කරුණු, උපදෙස් නැති බවයි. ඒ වෙනුවට ඊට උපකාරක කරුණුම පැහැදිලි කෙරේ. කරුණු මෙසේ හෙයින් ග්‍රන්ථයන්ට දොස් නගමින් නොසිට ඒවා හදාරා බලා තම ජීවිතයට යමක් ගතහැකි නම් එය ගැනීම නුවණැති ක්‍රියාවක් බව සැවොම සලකත්වා.

ප්‍රශ්ණය : එකම ග්‍රන්ථයට ටීකා කීපයක් ලියැවෙන්නේත් ඒවා අතර ඇතැම් විට වෙනස් මත පවතින්නේත් ඇයි?

පිළිතුර: මෙසේ එකම කරුණ සම්බන්ධව ටීකා කීපයක් ලියැවුනේ විශේෂයෙන්ම විනය පිටකය සඳහාය. එසේ ටීකා අතර වෙනස් මත ඇතැයි කියන බොහෝ අවස්ථා වලදී එසේ කියන්නේ ටීකාවන්හි නිවැරදි අදහස නොදැනීම නිසයි. යම් විදියකින් එසේ වෙනස් අර්ථ ඇතැයි හැඟෙන තැනක් වෙතොත් ථේරවාදී ප්‍රවේණිය හඳුනන සැදැහැති පිළිවෙත් සරු ගුරු උතුමන් හා සාකච්ඡා කොට වඩාත් ගරු වූ මතය පිළිගත යුතුය යනු විනය න්‍යායයි. මෙහිදී කියයුතු විශේෂ කරුණක් ඇත. එනම් විනය බුද්ධවිෂය බවත් එබැවින් මෙවැනි කරුණු සම්බන්ධව පෙළ අටුවාහි සඳහන් නොවූ කරුණු ගැන රහතන් වහන්සේලා අතර පවා වෙනස් අදහස් පැවතිය හැකිය යන්නයි. ඒ බව විනය අටුවාදිය කියැවීමෙන් දත හැකිය. බුද්ධකාලයේදී අග්‍රශ්‍රාවක උතුමන්ගේ පවා ඇතැම් තැනකදී අදහස් සම වී නැත. චාතුම සූත්‍රය ඊට නිදසුනකි. නමුත් මෙහිදී විශේෂයෙන් දත යුත්තේ නිවන් මාර්ගයට අදාල මූළික න්‍යායන් සම්බන්ධව ප්‍රතිපදාවට බාධක වෙනස් මත කිසිසේත් නොපවතින බවයි. ටීකා අතර ඇතැයි සලකන මෙබඳු තැන් පිළිබඳවද මේ අයුරින් දතයුතුය. එබඳු වෙනස් මතයක් වෙතොත් එය දක්වා නිවැරදි කිරීම පුරාණ උතුමන්ගේ ලක්‍ෂණයකි. එය සාසනයේ චිරස්තිථිය පිණිසම කළ බව ග්‍රන්ථ පරිශීලනයේදී වැටහේ. කරුණු මෙසේ හෙයින් ග්‍රන්ථ අතර විරෝධයන් ඇත්තාක් මෙන් බැලූ බැල්මට පෙනුන ද එකවර එසේ විනිශ්චයකට නොයා සුදුසු ගුරුවරුන් ඇසුරින් දහම මනාව හදාරන්නේ නම් ගැටලු සියල්ලම පාහේ විසඳී යනු ඇත. වැරදියට හදාරන්නේ නම් පෙළ ග්‍රන්ථ අතර පවා විරෝධයන් දකිනු ඇත.

ප්‍රශ්ණය : ටීකා රචනා කළේත් මෙකල භික්‍ෂූන් වැනි සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේලාම ද?

පිළිතුර: ඇතැම්හු සිතන්නේ මෙම ටීකා ලියුවේ මෙකළ සිටින උපාධිධාරී භික්‍ෂූන් වැනි උගතුන් විසින් බවයි. එය ඉතා වැරදි අදහසකි. මෙම ටීකා ලියැවුණු යුගය යනු ඉතාමත් ගරුත්වයෙන් ධර්මය හදාරණ ඒ අයුරින්ම ඒවා පිළිපදින ප්‍රතිපත්තිගරුක භික්‍ෂූන් වැඩසිටි රහතන් වහන්සේලා යැයි සැලකෙන උතුමන් වැඩසිටි කාලයකි. ඒ ඒ කාල වල වැඩසිටි ශ්‍රේෂ්ඨතර වූ සැබෑවටම අටුවා සහිතව ත්‍රිපිටකධර වූ සීලාදී ප්‍රතිපත්ති අකුරටම පිළිපදින උතුමන් අතින් මෙම ටීකාදී ග්‍රන්ථ රචනා වූ බව ද දතයුතුය. එබැවින් මෙකල සිටින උගතුන් හා ඒ උතුමන් කිසිසේත් සැසඳිය හැකි නොවේ. එතුමන් වහන්සේලා කිසිසේත්ම වැරදි මත සමාජගතවීමට ඉඩ නොතැබූ සේක. කිසිසේත් වැරදි මත හිතාමතා නිවැරදි යැයි නොදැක්වූ සේක. දිවි දෙවැනි කොට ධර්මය රැකගත් සේක. පෙළ අටුවාවන්හි නොදැක්වූ කරුණක් සම්බන්ධ විනිශ්චයකදී එකරුණ සම්බන්ධ පිරිසිදු බුද්ධ මතය ගෙනහැර පෑමට උත්සුක වූ සේක. ප්‍රතිපත්තිගරුක සඟ පරම්පරාව බොහෝ කාලයක් නිරුපද්‍රිතව පැවැත්වීමට ආචාර්යත්වයෙන් උපකාර වූ සේක. අදටත් මෙපමණකින් හෝ ප්‍රතිපත්තිගරුක සඟ පරපුරක් සුරැකී තිබෙන්නේත් ත්‍රිපිටක සද්ධර්මය සුරැකී තිබෙන්නේත් එවැනි පුරාණ ඇදුරු පරම්පරාව නිසා බව සලකා ඒ උතුමන් කෙරෙහි ගරුත්වයෙන් දහම හදාරන්නේ නම් ත්‍රිවිධ සාසනයම දැනට වඩා බබළන බව අපගේ අදහසයි.

ටීකා ග්‍රන්ථ හා එම ඇදුරුවරු ගැන මෙතරම් කරුණු දැක්වූයේ ඒවායේ ඇති වටිනාකම ඒත්තු ගැන්වීමටය. පෙළ - අටුවා ග්‍රන්ථ පිළිවෙලට හදාරන්නවුන්ට ටීකාවන්ගේ අගය මැනවින් වැටහෙනු ඇත. කරුණු මෙසේ හෙයින් පෙළ - අටුවා - ටීකා අනුව බුදුරජුන්ගේ අදහස නිවැරදිව දැන පිළිපැදීමෙන් නිවන් මාර්ගය හෙළිකර ගනිත්වා යනු අපගේ ආරාධනයයි.