තවද: මේ ක්‍ෂාන්තිය නම්:- නිරවශේෂ ගුණයට ප්‍රතිපක්‍ෂ වූ ක්‍රෝධය නසන හෙයින් ගුණසමාධිය කිරීමෙහි සත්පුරුෂජනයන්ට තියුණු වූ ආයුධයක් හා සමාන වන්නේය. සතුරන් මැඩ පැවැත්මෙහි සමර්ථයන්ට සැරහීමක් හා සමාන වන්නේය. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බලසමෘද්ධියක් හා සමානවන්නේය. ක්‍රෝධ නැමැති වහ්නිය නැසීමට ජලධාරාවක් හා සමාන වන්නේය. සුන්දර වූ කීර්තිඝෝෂයට උත්පත්තිවේෂයක් හා සමානවන්නේය. පාපී පුද්ගලයන්ගේ වචන නැමැති විෂය නැසීමට මන්ත්‍රෞෂධයක් හා සමාන වන්නේය. සංවරයෙහි පිහිටියවුන්ට උත්කෘෂ්ට වූ වීර්යප්‍රකෘත්තියෙක් වන්නේය. ගම්භීර ප්‍රකෘති ඇති බැවින් සමුද්‍රය හා සමානවන්නේය. ද්වේෂ නැමැති සාගරයට වෙරළක් හා සමාන වන්නේය. අපායෙහි දොරකඩ වැසීමට දොරපෝරුවක් හා සමාන වන්නේය, දිව්‍යබ්‍රහ්මලෝකයට නැගීමට හිණක් හා සමාන වන්නේය, සිය ගුණයන්ගේ විසීමට භූමියක් හා සමාන වන්නේය, උතුම් වූ කාය-වාක්-මනඃ යන ද්වාරත්‍රය පිරිසිදුකිරීමෙකැයි සැලකිය යුත්තේය.
තවද මේ ලෝකයෙහි සත්ත්‍වයෝ ක්‍ෂාන්තිසම්පත්තිය නැති බැවින් සන්තාපකරවූ ක්‍රෝධධර්මය අනුව ගිය බව හේතුකොට ගෙන මෙලොවත් පරලොවත් තැවුලියට පැමිණෙන්නාහුය. ඉදින් මෙරමාට අනුපකාරයට කාරණ වූ දුක් උපදීනම් ඒ දුඃඛයට ක්‍ෂේත්‍ර වූ ආත්මභාවයද, ඊට බිජුවටක් වැනි වූ කර්මයද, මා විසින්ම ඇතිකරන ලදැයි කියාද, එම දුකට මේ ක්‍ෂාන්තිය දරදී නොවෙයි කියාද, අනුපකාර කරන්නක්හු නැතිකල්හි කෙසේ නම් මට ක්‍ෂාන්තිසම්පත්තිය ලැබේදැයි කියාද, සැලකිය යුත්තේය. ඉදින් දැන් මේ තෙම මට අනුපකාරී නමුත් පෙර මොහු විසින් මට මෙනම් උපකාරයෙක් කරන ලද්දේවේදැයි අපකාරයම හෝ ක්‍ෂාන්තියට කාරන බැවින් උපකාරී වන්නේයයි කියාද, මේ සියලුසත්ත්වයෝ මට පුත්‍රයන් හා සදෘශ වෙති. දරුවන් විසින් කරනලද අපරාධයකට කවරෙක් නම් කිපේදැයි කියාද, යම් ක්‍රෝධය නැමැති යක්‍ෂාවේෂයකින් මේ පුද්ගලයා මට අපරාධ කරන්නේවී නම් ඒ ක්‍රෝධය නැමැති යක්‍ෂාවේසය මා විසින් දුරුකරන්ට යුත්තේයයි කියාද, යම් අපකාරයක් හේතු කොට ගෙන මට මේ දුක් උපදින්නේ වී නම් අනුපකාරයටම මම කාරණ වෙමියි කියාද, යම් ධර්මකෙනකුන් කාරණ කොට ගෙන අපරාධ කරනලද්දේ ද, යමක්හු විෂයෙහි අපරාධ කරන ලද්දේද, ඒ සියල්ලෝ එකෙණෙහිම නිරුද්ධ වූහ. දැන් වූ කලි මේ ක්‍රෝධය කවුරුන් විෂයකොට කරන්නාවූ ක්‍රෝධයෙක්දැයි සියලු ධර්මයන් ක්‍ෂණයෙක ඉපද නස්නා බැවින් කවරෙක් කවරක් හට අපරාධ කෙරේදැයි කියාද, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු විසින් ක්‍ෂාන්ති සම්පත්තිය වැඩියයුත්තේය.
ඉදින් මෝහට බොහෝ කලක් පුරුදුවීමෙන් පරෝපකාරය නිමිත්තකොට ඇති ක්‍රෝධය සිත වැළඳ සිටිනේ වී නම් මෙසේ සැලකිය යුත්තේය.
කෙසේද? යත්:-
මේ ක්‍ෂාන්තිය නම්:- අනුන් කළ අනුපකාරයට ප්‍රතිපක්‍ෂ ප්‍රවෘත්තියෙක, පරොපකාරය වර්ධනය කිරීමට නිසි උපකාරයෙක් නො වන්නේයයි කියාද, අපකාරයම මට දුක් ඉපදවීමෙන් සැදෑ ඉපදවීමට හා සියලු ලෝකයෙහි අනභිරති සංඥාවට ප්‍රත්‍යය වන්නේයයි කියාද යන මේ ඉෂ්ටානිෂ්ට රූපාදි ආලම්බනය හා සංයෝගයෙක් ඇත්නම් එතෙමේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ ස්වභාව කෘත්‍යයෙක් වන්නේය. ඒ අනිෂ්ට වූ රූපාදි ආලම්බනයන් හා සංයෝගය මට නො වන්නේය යන යම් සිතිවිල්ලෙක් ඇත්නම් එතෙමේ ඒකාන්තයෙන් එසේවූ සිතිවිල්ලම නොලැබිය හැක්කේයයි කියා ද, ක්‍රෝධවශයට පැමිණියාවූ සත්ත්‍වයා ක්‍රෝධයෙන් උන්මාදයට හා වික්‍ෂේපයට පැමිණියේය, එසේවූ ක්‍රෝධී සත්ත්‍වයා විෂයෙහි ප්‍රත්‍යුපකාර කිරීමෙන් ප්‍රයෝජන කවරේදැයි කියාද, මේ සියලු සත්ත්‍වයෝ සර්වඥයන් වහන්සේ විසින් ඖරස පුත්‍රයන් මෙන් රක්‍ෂාකරණ ලද්දාහ. එසේ හෙයින් එසේවූ සත්ත්‍වයන් විෂයෙහි මා විසින් චිත්තකෝපය නොකට යුත්තේයයි කියාද, අපරාධයත්, ගුණයත් යමක්හට ඇත්නම් අපරාධය දුරුකොට ගුණවත්වූ මොහු කෙරෙහි මා විසින් කෝප නොකටයුත්තේය යි කියාද, ගුණයක් නැතිකල්හි දයාකටයුතු හෙයින් කෝපයෙන් මාගේ ගුණ හා යසස් පිරිහෙන්නේයයි කියාද, ක්‍ෂාන්ති වැඩිය යුත්තේය.
එයින් වදාළහ බුදුහු:-
“අග්ගීව තිණකට්ඨස්මිං කොධො යස්ස පවඩ්ඪති
නිහීයති තස්ස යසො කාළපක්ඛෙ ව චන්‍දිමා”යි.
තවද කිපීමෙන් දුර්වණදුඃඛශය්‍යාදිවූ සතුරන් සිත් පිනවන මිතුරන් සිත් තනවන අමනොඥස්වරූප පැමිණෙන්නේ යයි කියාද, ක්‍රෝධය නම්:- සියලු අවැඩට කාරණ වූ සියලු වැඩ නසන්නාවූ බලවත් පසමිතුරෙකැයි කියාද, ක්‍ෂාන්ති ඇතිකල්හි සතුරුව සිටිනා කිසිකෙනෙක් නැතැයි කියාද, අපරාධ කළ එකක්හු විසින් තමා කළ අපරාධය කාරණකොට මත්තෙහි ලැබියයුතු දුඃඛයට ක්‍ෂාන්තිය උපන් කල්හි එදුක් නො වන්නේ යයි කියාද, කිපෙන්නාවූ මා විසින් පසමිතුරාම අනුවර්තනය කරන ලද්දේය යි කියාද, මා විසින් ක්‍ෂාන්තියෙන් ක්‍රෝධය මැඩ පැවැති කල්හි ඒ ක්‍රෝධයට දාස පසමිතුරා මනාකොට මඩනා ලද්දේය යි කියාද, ක්‍රෝධයට කාරණවූ ක්‍ෂාන්තිගුණය හැරීම මට සුදුසු නො වෙයි කියාද, ගුණවිනාශය කරන්නාවූ ක්‍රෝධය ඇති කල්හි මට ශීලසමාධ්‍යාදි වූ ගුණධර්මයෝ කෙසේ නම් පිරෙද්දැයි කියාද, ඒ ශීලාදීවූ ගුණධර්මයන් නැති කල්හි කෙසේ නම් මම සත්ත්‍වයන්ට උපකාර බහුලව ප්‍රතිඥානුරූප උතුම් බුදුබවට පැමිණෙම්දැයි කියාද ක්‍ෂාන්තියෙහි අනුසස් සැලකිය යුත්තේය.
තවද: ක්‍ෂාන්තිය ඇතිකල්හි සිතට වික්‍ෂෙපයක් නැති බැවින් එකඟ වූ සිත් ඇත්තාහට සියලු සංස්කාරධර්මයෝ අනිත්‍යහෙයින් දුඃඛහෙයින් අනාත්මහෙයින් ද, නිර්වාණධර්මය අසංස්කෘතාමෘත ශාන්තපණීතාදි භාවයෙන්ද, අචින්ත්‍ය අප්‍රමෙයවූ මහිම ඇති බුද්ධධර්මයෝ අප්‍රමෙයාදිභාවයෙන්ද වැටහෙන්නාහ. එසේ හෙයින් මාර්ගානුලොම වූ ක්‍ෂාන්තියෙහි පිහිටියේ මේ සියලු සංස්කාරාදීහු ආත්ම ආත්මීය බවක් නැත්තාහු ධර්මමාත්‍රව තමන් තමන්ගේ ප්‍රත්‍යයෙන් උපදනාහුද, නස්නාහුද වෙති. කිසි තෙනෙකින් නොඑති, කිසි තෙනෙක නො පිහිටති. මේ ධර්මයන් අතුරෙහි කිසිවෙක් කිසිවක්හුගේ කාර්යයෙහි ව්‍යාවෘත නොවන්නේය. මමය, මාගේය යන අහඞ්කාර මමඞ්කාරයට පිහිට නොවන බව නුවණට වැටහෙන්නේය.
තවද: යම් වැටහීමක් නිසා බෝධිසත්ත්‍වයෝ සම්‍යක්සම්බෝධියට නියතව නැවත පසුබස්නාවූ ස්වභාවයක් නැතිවෙද්ද, යනාදීන් ක්‍ෂාන්තිපාරමිතාවෙහි ප්‍රත්‍යවෙත්‍ෂාව දතයුත්තේය.