මෙසේ නෙත්‍රසමෘද්ධිය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේගේ රස්මිසමෘද්ධිය දක්වන්නා වූ බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළසේක.
“පභා තිධාවතී තස්ස යාවතා පණ්ණූ වීසති,
සොභති විජ්ජුලට්ඨී ව දීපරුක්ඛො ව සො ජිනො
රතනගඝිකසංකාසො භානුමා විය භාසති.
ලක්ඛණාබ්‍යඤ්ජනා රංසා දිස්සන්ති සබ්බකාලිකා
පතන්ති විවිධා රංසා නෙකසතසහස්සියො”යි.
ඒ භාග්‍යවත් වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ බ්‍යාමප්‍රභාසංඛ්‍යාත ඝනවූ රස්මිමණ්ඩලය ආයුපමණින් පස්විසි යොදනක් මානයේ පැතිර සිටිනේය. ඒ සර්වඥයන් වහ්නසේ වනාහි නිල්වූ ආකාශයෙහි සැලෙන්නා වූ විදුලියකලබක් මෙන්ද, ගිලිහෙන්නා වූ ලක්‍ෂගණන් ජ්වාලාවෙන් ගැවසීගත්තා වූ ප්‍රජ්වලිත මහාප්‍රදීපවෘක්‍ෂයක් මෙන්ද අටාසූරියන් උස ඇති ප්‍රභාසමූහයෙන් බබලන්නාවූ සත්රුවන් ඇගෑයක් මෙන්ද, සහස්‍ර රස්මීන් දිලියෙන්නාවූ සූර්යයා මෙන්ද, විශේෂයෙන් බබලන සේක. එකල ඒ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙහි පිහිටියාවූ ද්වාත්‍රිංශත්වර මහාපුරුෂලක්‍ෂණයෝ පිළිවෙලින් සිටුවන ලද චන්‍ද්‍රදිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද, සූර්යදිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද චක්‍රවර්තිරජ්ජුරුවන් දෙතිස්දෙනකුගේද, වරම්රජදරුවන් දෙතිස්දෙනකුගේද, ශක්‍රදේවෙන්‍ද්‍රයන් දෙතිස්දෙනකුගේද, සුයාම දිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද, සන්තුෂිතදිව්‍යපුත්‍රයන් දෙතිස් දෙනකුගේද, සුනිර්මිතදිව්‍යපුත්‍රයන් දෙතිස්දෙනකුගේද, මහා බ්‍රහ්මයන් දෙතිස්දෙනකුගේද, ශ්‍රී සමෘද්ධිය මැඩපවත්වන්නාවූ ශ්‍රී සමෘද්ධියෙන් යුක්තවන්නාහ. ඒ දෙතිස්මහාපුරුෂලක්‍ෂණයෙන් බබලන්නාවූ සර්වඥයන්වහන්සේගේ ශ්‍රී ශරීරය නැංගාවූ තාරකාසමූහයෙන් දිලියෙන ආකාශතලයක් මෙන්ද, විකසිත පද්මොත්පලපුණ්ඩරීකයෙන් දිලියෙන්නාවූ මහාවිලක් මෙන්ද, නොයෙක් මාණික්‍යාලෝකසමූහයෙන් බබලන්නාවූ භූමිතල ඇති රත්නාකරයක් මෙන්ද විශේෂයෙන් බබලන්නේය.
තවද ඒ සර්වඥයන් වහන්සේගේ අසූඅනුව්‍යඤ්ජනයෙන් දිලියෙන්නා වූ ශරීරය සන්‍ධ්‍යාවලාපටලයකින් හා සියරැලිවිදුලිය දෙව්දුනු ආදියෙන් රැඳීගිය රන්සිරිකුළක් හා සමාන වන්නේය. ඒ සර්වඥයන් වහන්සේගේ ශරීරයෙන් නික්ම හැසිරෙන්නාවූ ෂට්වර්ණඝනබුද්ධරස්මීහු ඉන්‍ද්‍රනීලමාණික්‍යමය ඝටයෙකින් නික්මුනා වූ නිල්මිණිරසධාරාවෙන්ද, ස්වර්ණඝටයෙකින් නික්මුණු කුඞ්කුමරසධාරාවන් මෙන්ද, ප්‍රවාලඝටයෙකින් නික්මුණු සුපක්ව ලාක්‍ෂාරසධාරාවන් මෙන්ද, රජතඝටයකින් නික්මුණා වූ ක්‍ෂීරරසධාරාවන් මෙන්ද, නික්ම කරකැවි කරකැවී යුවල යුවලව නාඹතල්කඳ රථසක්සේ සත්කුළුගෙවල් ආදි ප්‍රමාණව දසදහසක් සක්වළ එකාවර්තව යටින් වාපොළොව ඉක්ම මත්තෙන් භවාග්‍රය ඉක්ම ශාසනාන්තර්ධානය දක්වා අතුරුනැතිව ප්‍රමාණ තික්‍රාන්ත සක්වළ පැතිර පවත්නාහ. මෙසේ රස්මිසමෘද්ධිය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ පද්මසමෘද්ධිය දක්වන්නාවූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.
“පදුද්ධාරෙ පදුද්ධාරෙ සුඵුල්ල පදුමා රුහා,
තිංසහත්‍ථා මහාපත්තා අනුපත්තා පණ්ණූවීසති.
-
කෙසරා වීසති හත්‍ථා කණ්ණිකා සොළසම්භවෙ,
සුරත්තරෙණු භරිතා පදුම කොසමන්තරෙ”යි.
ඒ භාග්‍යවත්වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ එබු එබූ පියවරක් පියවරක් පාසා චක්‍රලක්‍ෂණයෙන් ජනිතවූ පාදතලයන් පිළිගණිමින් සුපිපි මහපියුම් පොළොව පලාගෙන නැගෙන්නේය. ඉන් එකි එකී පියුමෙක තිස්රියන් පමණ මහපෙති වන්නේය. පස්විසිරියන් පමණ අනුපෙති වන්නේය. විසිරියන් පමණ මල්කෙසුරු වන්නේය. සොළොස්රියන් පමණ කෙමි වන්නේය. එකි එකී මලෙක අමුණක් අමුණක් පමණ රෙණූ වන්නේය. ඒ සර්වඥයන් වහන්සේ ශ්‍රීපාද එබු එබූ වේලෙහි දැහිඟුල්සුණු හා සමාන වූ ඉතා රත් රොන්සළා කේතුමාලාවෙන් සමලඞ්කෘත වූ නිල් වූ ශීරොධාතුව දක්වා නැඟි ස්වර්ණප්‍රතිමාවෙක ලාක්‍ෂාරසධාරාවන් තවරන්නාක් මෙන් උන්වහන්සේගේ සකල ශරීරය හාත්පසින් තවරා සරහමින් ශ්‍රීපාදමූලයෙහි වැගිරෙන්නේය. අතුර තුරෙහි බලාකාවර්ණ ස්වෙතපද්මයෝද පොළොව පලාගෙන නැගී ඒ සර්වඥයන්වහන්සේගේ ශ්‍රීපාදය හොබවන්නේය.
මෙසේ උපමාවිෂයාතික්‍රාන්තවූ බුද්ධශ්‍රීන් හා අනන්තාපරිමාණ බුද්ධවිලාශයෙන් යුක්තව දෙවිමිනිසුන් සහිතවූ සියලු ලෝකයෙහි බුද්ධරාජ්‍යය කරන සේක.