රූප විලාසය

මෙසේ මාතෘ, පිතෘ, අග්‍රශ්‍රාවක, අග්‍රශ්‍රාවිකා, උපස්ථායක, උපස්ථායිකා, බෝධිවෘක්‍ෂ සමෘද්ධිය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ රූපකාය ප්‍රමාණාදි සමෘද්ධිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මෙසේ වදාළසේක.

“අට්ඨාසීති භවෙ හත්‍ථො ආයාමෙනෙව සො ජිනො,

උරම්භවෙපණ්ණූවීසං වික්ඛම්භෙ තස්ස සත්‍ථුනො”යි.

ඒ මහාභාග්‍යවත්වූ මෛත්‍රෙය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධකාය අටඅසූරියන් පමණ වන්නේය. සුප්‍රතිෂ්ඨිත පාදතලයෙහි පටන් දෙදනමඬලට දෙවිසිරියන් පමණ වන්නේය. දනමඬලයෙහි පටන් නාභිමඬලට දෙවිසිරියන් පමණ වන්නේය. නාභිමඬලයෙහි පටන් අකුධාතුවට දෙවිසිරියන් පමණ වන්නේය. අකුධාතුවෙහි පටන් ශිරොධාතුවට දෙවිසි රියන් පමණ වන්නේය. දකුණුඋර මඬලෙහි පටන් වම්උඩමඬලට පස්විසිරියන් පළල වන්නේය. එකි එකී කණ සත් සත් රියන් පමණ වන්නේය. කන්වැල් සැලෙන්නා වූ ආකාරය විදුලිය සැලෙන්නාවූ ආකාරයක් මෙන් ශෝභමාන වන්නේය. එකි එකී ඇස පස් පස් රියන් පමණ වන්නේය. ස්වර්ණපර්වතයක් මස්තකයෙක හුනු ඉතා නිල්වූ දෙව්දුනුසඟළක් වැනි සශ්‍රීක වූ බැමසඟළ පස් පස් රියන් පමණ වන්නේය. දෙබැම අතුර පස්රියන් පමණ වන්නේය. රත්අකුස්සක් හා සමාන උස්වූ නාසිකාව සත්රියන් පමණ වන්නේය. අතීරක්තවූ බිම්බඵලයක් හා සමාන අධරමාංශය පස්රියනක් පමණ වන්නේය. සිනිඳු මොළොක් තුනී ඉතා රත් දිඟු පුලුල් දිව දසරියන් පමණ වන්නේය. ශිරොධාතුව වටින් පස්විසිරියන් පමණ වන්නේය. එසේම රන් කැටපතක් හා සමානවූ මුඛමඬලය වටින් පස්විසිරියන් පමණ වන්නේය. රන්මිහිඟුබෙරයක් මෙන් සමව වටවූ ග්‍රීවාධාතුව වටින් පස්විසිරියන් පමණ වන්නේය. අනන්ත නම් නාගරාජයාගේ දරණවැලයක් බඳුවූ සිත්කලු පිරිපුන් වටමටවූ අත්සඟල සතළිස් සතළිස් රියන් පමණ දිග ඇත්තේය. ජාලාවෙන් වලදනා ලද එකි එකී අතුල්තල පස් පස් රියන් පමණ වන්නේය. මෙසේ ශරීරප්‍රමාණය දක්වා දැන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ නේත්‍රප්‍රමාණය දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.

“විසාලනෙත්තො උළාරක්ඛි විසුද්ධනයනො ඉසි,

අනිමිසං දිවාරත්තිං අණුංථූලං මංසචක්ඛුනා

අනාවරණං පස්සෙය්‍ය සමන්තා ද්වාදසංයොජනං”යි.

දිගුපුළුල් පිරිසිදු නිර්මල පස්පෑදිස්නා විසිතුරු මසැස් ඇති ඒ සර්වඥයන් වහන්සේ අනිමිසලෝචනයෙන් රාත්‍රින්දිනයෙහි චතුරඞ්ගසමන්නාගත ඝනාන්‍ධකාරයෙහිත් අවටින් එකි එකී දිගින් දොළොස් දොළොස් යොදුන් ඇතුළත තුබූ හබඇට ආදි සියලු රූපද සාවරණවූත් මාංසචක්‍ෂුසෙහි ආනුභාවයෙන් ආවරණ රහිතව පෙනෙන්නා දක්නාසේක.