අම්බගෝපකයාගේ වාසනාදෝෂ

අම්බගෝපකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-

මහලු කල සසුන්වන් එක් වහන්දැනමෙක් දෙව්රම්වෙහෙර පිටිපස අඹවනයෙක පන්සලක් කරවා අඹගසින් වගුළ අඹ අනුභව කෙරෙමින් වාසය කරනසේක. තමන්වහන්සේට ආවේණික කුලුපග මිනිසුන්ටත් දෙනසේක. එකල එක්දවසක් උන් වහන්සේ සිඟන්ට ගිය කල්හි සොරු අවුත් ගසතුබූ අඹ කඩාගෙන ගියහ. එකෙණෙහි සිටුදූසතරදෙනෙක් අචිරවතී නම් ගංගාවෙහි ජලස්නානය කොට යන්නාහු ඒ අඹවනයට ගොස් වන්හ. එසඳ වෘද්ධභික්‍ෂූන් වහන්සේ සිඟාගිය තැනින් අවුත් තෙපියැ මාගේ අඹකෑවොයයි කීසේක. ස්වාමීනි! අපි දැන් ආම්හ. අඹ නොකෑම්හයි කීහ. එසේ තොප කීයතුදු මා අදහන්නේ නැතැයි දිව්රන්ට වුවමැනවැයි කියා ඔවුන් දිවුරුවා ලජ්ජා උපදවා අවසරදී යවුසේක. බුදුහු එපවත් අසා මෙසේ මොවුන් මේ මහණ දැන් මතු දිවුරුවූයේ නොවෙයි පෙරත් දිවුරුවූයේම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

අතීතයෙහි එක් කූටජටිලයෙක් බරණැස නිසා වසනුයේ අඹවනයෙක පන්සලක් කොට ගෙන අඹරුකින් වගුළ අඹ අනුභවකෙරෙමින් තමා සමීපයට පැමිණි කුලුපග මිනිසුන්ටත් දිදී නොයෙක් මිථ්‍යාජීවයෙන් ජීවත්වන්නේය. එකල්හි අප මහබෝසතාණෝ සක්දෙව්රජව ඉපද ලෝකෙයහි මව්පියන්ට උපස්ථාන කරන්නාහු කවුරුදෝහෝ, කුලදෙටුවන් පුදන්නාහු කවුරුදෝහෝ, පන්සිල්, අටසිල්, රක්‍ෂාකරන්නාහු කවුරුදෝ හෝ, පැවිදිව මහණදම් පුරන්නාහු කවුරුදෝහෝ, දුරාචාරයේ හැසිර අකුසල් පුරන්නාහු කවුරුදෝහෝයි නුවණැසින් බලන්නාහු අඹරක්නා කූටජටිලයා දැක මේ ජටිලයා තියුණුභාවනා ආදීවූ මහණදම් හැර අඹ රැක ඇවිදිනේය. ඕහට සංවේග ඉපදවුව මැනවැයි ඔහු සිඟා ගිය කල්හි තමන්ගේ ආනුභාවයෙන් සොරුන් අවුත් අඹ කඩා ගෙන ගියා දැක්වූහ.

එකල බරණැස්නුවර වැසි සිටුදූසතරදෙනෙක් ඒ අඹවනයට ගොස් වන්හ. ඒ කූටජටිලයා සිඟන්ට ගිය තැනින් අවුත් ඔවුන් සතරදෙනා දැක තෙපියැ මාගේ අඹ කෑවෝයයි කීය. එසඳ ඔහු වහන්ස! අපි දැන් ආම්හ. නුඹගේ අඹ නොකෑම්හයි කීහ. එසේ වීනම් දිවුරවයි කීය. දිවුළහොත් අප යාදෙන්නේ ඇද්දැයි කීහ. යාදෙමියි කීකල්හි යහපත වහන්සැයි කියා සතරදෙන දිවුරන්නාහු මින් එකක් නුඹගේ අඹකෑවූ නම් වෘද්ධස්වාමියකු ලැබෙම්වයි කිවුය. එකක් සොළොස් ඇවිරිදි වයස නවයෞවනයෙහි ස්වාමියකු නොලදින් විසි පස් විසිහැවිරිදි කල මුහු කළ වයස ස්වාමියකු ලැබෙම්වයි කීව. එකක් ස්වාමියකු කෙරේ බලවත් ඇදහිලි ඇතිව දෙහුදකලාව ගව් දෙගව් පමණ සලකුණු කීතැනට ගොස් ඔහු නො දකිම්වයි කීව. එකක් හැඳ පැළඳ සුවඳමල් ආදියෙන් සැරහී යහන්හි උදකලාව හොවිම්වායි කීව. එබස් අසා කූටජටිලයා කියන්නේ තොප සතරදෙනා දිවුළ දිවිරීම ඉතා බැරෑරුම් වූ දිවිරීමෙක් වන්නේය. අඹ කෑවෝ අනික් කෙනෙක්මය. තොපි හැම යවයි ඔවුන් සතරදෙනා යවූසේක. එසඳ සක්දෙව්රජ භයානක රූපයක් දක්වා ඒ කූටජටිලයා අඹවනයෙන් නෙරපීය. බුදුහු මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා වඳුරා එකල්හි කූටජටිලයා නම් දැන් මේ වෘද්ධමහණය. එකල සිටුදූසතරදෙන නම් දැන් මේ සිටුදූසතරදෙනනාය. එකල ශක්‍රදෙවෙන්‍ද්‍රයෝ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. මෙහි විස්තර චතුක්කනිපාතයෙහි අම්බජාතකයෙන් දතයුත්තේ. මේ අම්බගෝපකයාගේ වාසනාදෝෂ වන්නේ.