කුටිදූෂකයාගේ වාසනාදෝෂ කවරේද? යත්:-
මහසුප්මහතෙරුන් වහන්සේට අත්පා මෙහෙවර කරණ ළදරුභික්‍ෂු දෙදෙනෙකුගෙන් වත්සම්පන්න නොවන එක් භික්‍ෂු කෙනෙක් මහතෙරුන් වහන්සේ තමන්ට අවවාද කළ හෙයින් උන්වහන්සේ සිඟා ගමට වැඩිකල්හි පැන්වළන් සපා බිඳ පැන් හල ගිනිලා දවා එයින් චුතව ගොස් අවීචිමහනරකයෙහි උපන්හ. බුදුහු එපවත් අසා මේ මහන දැන් මතු නොවෙයි, පෙරත් කුටිදූෂණය කෙළේවේදැයි, වදාරා ඉකුත්වත් දක්වා වදාළ සේක.
එක්කලෙක අප මහබෝසතාණෝ සිලිඹිලි නම් ලිහිණි යෝනියෙක ඉපද ඉපද වැඩිවිය පැමිණි කල්හි තමන්ට යහපත් නො නස්නා කදැල්ලක් ඉදිකොට හිමාලය වන ප්‍රදේශයෙහි වාසය කරන්නාහ. එකල්හි එක් වඳුරෙක් වර්ෂාකාලයෙහි අතුරු නැතිව වස්නා වැස්සේ සීතයෙන් වෙවුල වෙවුලා දත් කකා හුන්නේය. එසඳ මහබෝසතාණෝ ඒ වානරයා බලා ඔහු කර්කශ නියාව දැන තාගේ හිස මිනිසුන්ගේ හිසක් වැන්නේය. අත්පා මිනිසුන් අත් පා වැන්නේය. කවර කාරණයකින් තෝ වසන ගෙයක් කොට ගත නො හෙන්නෙහිදැයි කීහ. එකල්හි වඳුරු සිලිඹිලිය! අතපය බල ඇතත් කාරිය කොට ගනට නිසි නුවණෙක මට නැතැයි කීහ. එබස් අසා බෝධිසත්ත්‍වයෝ සබඳ! එක්තැනෙක්හි තොපි හිටි සැහැල්ලු සිත් ඇති සත්ත්‍වයන්ට සුවයෙක් ඇත්තේ නම් නො වෙයි නුවණ උපදින්ට නිසි ප්‍රයෝග කරවයි අවවාද කළහ. එසඳ වඳුරු තමා නොතෙමෙනතැන හුන්නෙන් පරිභව කෙරෙතියි කිපී බෝධිසත්ත්‍වයන් අල්වනු කැමැතිව සමීපයට දිවගෙන ගියේය. බෝධිසත්ත්‍වයෝ එතනින් නික්ම අනික් තැනකට ගියහ. එසඳ වඳුරු කදල්ල විදා සුණුවිසුණු කොට ගියේයයි වදාළ සේක. මෙහි විස්තර චතුක්කනිපාතයෙහි කුටිදූෂකජාතකයෙන් දතයුත්තේය. මේ කුටිදූෂකයාගේ වාසනාදෝෂය වන්නේය.