උපනන්‍දස්ථවිරයන් වහන්සේගේ වාසනාදෝෂ කවරේද? යත්:-
උපනන්‍ද නම් ශාක්‍යපුත්‍රයාන කෙනෙක් බුදුසස්නෙහි මහණව අපිස් සතොස් බව් හැර ලොභවශඟව වස්වසන දවස් දෙතුන් විහාරයක් අත්ගෙන එක් විහාරයෙක කුඩයක් තබා එක් විහාරයෙක වහන්සඟළක් තබා එක් විහාරයෙක සැරයටියක් තබා එක්විහාරයෙක ඩබරාවක් තබා එක්විහාරයෙක තමන් වහන්සේ වස් විසූසේක. වස් අන්තයෙහි පවරා හැමතැනින් ලද මනා සිවුරු පිරිකර එකසමයටම ලැබ ගැල්වල පුරාලා ගෙන ජේතවන මහා විහාරයට යනසේක් අතරමග එක් වනවාසවිහාරයෙක පිටිපස්සේ වැලක පැකිල මේ විහාරයෙන් කිසි දෙයක් ලද මැනවැයි ඒ වනවාසවිහාරයට වන්සේක. එහි වස්විසූ භික්‍ෂුහු දෙදෙනෙක් සේලපට දෙකක් හා එක් සිහින් පලසක් ලැබ බෙදාගත නොහී ඒ උපනන්‍දස්ථවිරයන් වහන්සේ දැක සතුටුව මේ අපට බෙදා දුන මැනැවැයි කීහ. එසඳ උන්වහන්සේ යහපතැයි ගෙන්වා ගෙන පිළිදෙක දෙදෙනා වහන්සේට දී මේ මහා විනයධරයාහට නිසියයි පලස තමන් වහන්සේ ඇරගෙන ගිය සේක.
බුදුහු එපවත් අසා දැන් මතු නොවෙයි, පෙරත් ඒ දෙදෙනාට මේ මහණ එසේම කෙළේ වේදැයි වදාරා ඉකුත්වත් ගෙන හැර දක්වා වදාළසේක.
අතීතයෙහි එක් කැනහිලෙක් ගංගාතීරයෙහි මත්ස්‍යයන් සොයමින් ඇවිදිනේය. එසඳ ගංගාවේ මස්කාවෝ දෙදෙනෙක් තමන් අල්වා ගත් රේමසකු බෙදාගත නොහී කැනහිලා දැක සබඳ! මේ අපට බෙදා දී ලවයි කීහ. කැනහිලා යහපතැයි ගිවිස තමා සමීපයට ගෙන්වාගෙන ඉසයටිය වල්පත කඩා තබා තා අනුතීරචාරිහට වල්පත නිසිය, තා ගම්භීරචාරිහට ඉසටිය නිසි ය. මා රජකුලෙහි මැදහත්ව විනිශ්චය කරණ ධර්මිෂ්ට මහාමාත්‍යහට මැදකඩ නිසියයි මැදකඩ ඇරගෙන ගියේය. ඒ කැනහිල් නම් දැන් මේ උපනන්‍ද ස්ථවිරය. මස්කාවෝ දෙදෙන නම් භික්‍ෂුහු දෙදෙනයයි වදාළසේක. මෙහි විස්තර ඡක්කනිපාතයෙහි ධම්මට්ඨජාතකයෙන් දතයුත්තේයි. මේ උපනන්‍දස්ථවිරයන්ගේ වාසනා දෝෂ වන්නේය.