එහි වෘද්ධ භික්‍ෂූන් හා ළදරුභික්‍ෂූන් දෙදෙනාගේ වාසනා දෝෂය කවරේද? යත්:-
සැවැත්නුවරවැසි කුලපුත්‍රයෝ දෙදෙනෙක් අපගේ සර්වඥයන් වහන්සේගේ ශාසනයෙහි මහණව අශුභභාවනා නොකොට රූපමදයෙන් බැගෑවවන්නාහු මම්මයහපත්මි, මම්ම යහපත්මියි ඔවුනොවුන් හා වාද කොට එක් වෘද්ධභික්‍ෂු කෙනකුන් වහන්සේ දැක උන්වහන්සේ කරා එළඹ ස්වාමීනි! අප දෙදෙනා අතුරෙන් යහපත්හු කවුරුදැයි විචාළහ. එසඳ ඒ වෘද්ධ භික්‍ෂූන් වහන්සේ තෙපිත් යහපත්හුව, තෙපිත් යහපත්හුව, තොප දෙදෙනාටත් වඩා මම්ම යහපත්මි යි කීසේක.
සර්වඥයන් වහන්සේ එපවත් අසා මේ මහණ දැන් මතු නොවෙයි, පෙරත් මේ දෙදෙනාට එසේම කීයේවේදැයි ඉකුත්වත් දක්වා වදාළසේක.
අතීතයෙහි ගංගා-යමුනා දෙගඟ එක්වූ තැන මත්ස්‍යයෝ දෙදෙනෙක් මම්ම යහපත්මි, මම්ම යහපත්මි යි රූනිසා වාද කොට අන්‍යවූ සමීපගංගාවෙක වැල්ලේ වැදහොත් ඉබ්බකු දැක මුහුකුරා ගොස් සබඳ! අප දෙදෙනා අතුරෙන් යහපත්හු කවුරුදැයි විචාළහ. ඒ ඉබ්බා කියන්නේ තෙපිත් යහපත්හුය, තෙපිත් යහපත්හුය, තොප දෙදෙනාට වඩා මම්ම යහපත්මි යි කීය. එ කල්හි ඒ ඉබ්බා නම්: දැන් මේ වෘද්ධභික්‍ෂූහුය. ඒ මත්ස්‍යයෝ දෙදෙනා නම්: දැන් මේ ළදරුභික්‍ෂු දෙදෙනාය යි වදාළ සේක.
මෙහි විස්තර දුකනිපාතයේ ගංගෙය්‍යජාතකයෙන් දත යුත්තේය. මේ ඔවුන් තුන්දෙනාගේ වාසනාදෝෂ වන්නේය.