දම්සක් පැවතුන් සූත්‍රදේශනාව

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ සම්‍යක්සම්බෝධිය දක්වා දැන් උන්වහන්සේගේ දම්සක් පැවතුන් සූත්‍රදේශනාව දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“උපෙත්‍වා උය්‍යානවරං ඵුල්ලං නාගවනං ජිනො,

අනුත්තරං ධම්මචක්කං එවං සො වත්තයිස්සති”

යනාදීන් මෙසේ වදාළ සේක.

ඒ මෛත්‍රෙය නම් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බොධිද්‍රම සමීපයෙහිම නොයෙක් කෙළලක්‍ෂගණන් සමාපත්තියට සමවදිමින් සත්සතිය ඉකුත් කොට අටවැනි සත්තාහයෙහි ධර්මහම්හීරත්‍වය ප්‍රත්‍යවෙක්‍ෂා කරණසේක් බ්‍රාහ්මාරාධනාව නිසා මුල පටන් අගදක්වා සර්වප්‍රකාරයෙන් පැළී පිපීගියාවූ මල් ඇති, නන්‍දනොද්‍යානය හා සමානවූ “ඉසිපතන” නම් නාගවනොද්‍යානයට වැඩ ශ්‍රමණ-බ්‍රාහ්මණ-දිව්‍ය-මාර-බ්‍රහ්මාදීන් විසින් නො පැවැත්විය හැකි උතුම් වූ දේශනාචක්‍රය පවත්වනසේක.

එසමයෙහි මනුෂ්‍යයේද, සියලු දසදහසක් සක්වළ දෙවියෝද බණ අසනු පිණිස රැස්වන්නාහ. මනුෂ්‍යපර්ෂද වටින් සියක් යොදනෙක පැතිර සිටිනාහ. දිව්‍යපර්ෂද සක්වළගබ පුරා සිටිනාහ. මෙබඳු වූ දිව්‍යමනුෂ්‍යපර්ෂත් මධ්‍යයෙහි වැඩහිඳ මෛත්‍රෙය සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ:-

“දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං,

අරියං වඩ්ඪඞ්ගිකං මග්ගං දුක්ඛු පසමගාමිනං”

යනාදී ක්‍රමයෙන් දක්වන ලද දම්සක් පැවතුම් සූත්‍රදේශනාව කරණසේක. මෙසේ ත්‍රිපරිවර්තයක් ඇති, ද්වාදශාකාරයක් ඇති, දුඃඛසත්‍යය, සමුදයසත්‍යය, නිරොධසත්‍යය, මාර්ගසත්‍යය යන චතුරාර්යසත්‍යසඞ්ඛ්‍යාත නිරුත්තරවූ ධර්මචක්‍රය මෛත්‍රෙය සම්‍යක්සම්බුදුරජාණන් වහන්සේ යථොක්ත වූ දිව්‍යමනුෂ්‍යපර්ෂත් මධ්‍යයෙහි වැඩහිඳ පවත්වනසේක.

ඒ දම්සක් පවතුන් සූත්‍රදේශනාව කරණ සමයෙහි සත්ත්‍ව සන්තානගත කෙලෙස් නැමැති සතුරන් නසන හෙයින් ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේ ඒ දම්සක් පවතුන් සූත්‍රදේශනාව කරන්නාවූ ස්ථානයට රැස්වූ හාත්පසින් සියක් යොදුනෙක පැතිර සිටියාවූ මනුෂ්‍යයන් අතුරෙන් කෙළලක්‍ෂයක් මනුෂ්‍යයන් ක්ලේශබන්‍ධනයෙන්, සංසාරබන්‍ධනයෙන්, භවබන්‍ධනයෙන් මුදා එකම දේශනාවෙන් සතරමග සතරඵලයට පමුණුවා අමාමහ නිවන් දක්වනසේක.

සක්වළගබ පුරා සිටි දෙවියන්ගෙන් මාර්ගඵල ලැබ අමාමහ නිවන් දුටු දෙවියෝ මෙතෙකැයි ගණන් නැත්තාහ.