අජාසත් මහරජහු දැමු පරිදි කිසෙ යැ යත්:-
බුදුහු තමනට විරුද්ධ දෙව්දත් තෙරුන් ලදු ගත්, තමන් ගිහි කල්හි යහළු, බුදු කල්හි අරී සවු, බිම්සර මහරජහු මරා රජය ගත්, අජාසත් රජහු පුළුවත් පැන විසජා ධම් දෙසා සරණසිලැ පිහිට්වුහු.
කිසෙ යැ යත්:-
මගධ රට රජගහා නම් නුවරෙක් වී. එ නුවර මන්ධාතු මහාගොවින්දාදි රදුන් විසින් පිරිගා කරන ලද් බැවින් රජගහා නම් වි යැ. බුදුන් දවසුදු සක්විත්තන් දවසුදු නුවර වෙයි. සෙසු කලැ සිස් වැ යකුන් විසින් පිරිගා කරන ලදු වැ ඔව්නට වසන්[1] උයන් සෙයින්[2] සිටි. බුදුහු එ නුවර නිසා අඩතෙලෙස් යල් සියක් සඟුන් පිරිවරා ජීවකයන් ගෙ අඹවන උයන්හි වැඩ වෙසෙති.
එ වනය කිසෙ වූයෙ යැ යත්:-
එක් සමයෙක්හි ජීවකයො මහනෙල් මල් සුඹුවා[3] බුදුන් දොස් හැරැ, පජ්ජොත මහරජහු තමන් කළ පිළියමැ පැහැදැ දී එවු පිළිසඟළක් දී, අනුමොදනාවසානයෙහි සොවාන් වැ, “එක් දවසකට දෙතුන් වටෙකැ[4] බුදුන් කරා ගිය මැනැවැ. වෙළුවන උයන් දුරැ. මාගෙ අඹවන උයන ආසන්න යැ. බුදුනට වෙහෙරක් කළ මැනැවැ”යි තමන් අඹවන උයන්හි වෙහෙර කොටැ අටළොස් හත් මහපවුරෙන් පිරිඛෙව් කොටැ බුදු පාමොක් මහසඟනට වෙහෙර කොටැ දුන්හු.[5] මෙ සෙයින් බුදුහු ජීවකයන් ගෙ අඹවන උයන්හි වැඩ වෙසෙති.
එයට පෙරට වැ සැවත් නුවරැ මහ කොසොල් රජහු ද රජගහා නුවර බිම්සර මහ රජ[6] හට බිසො වැ අජාසත් කුමර හට ගබ් ගත. ඔහු කුසැ වසන කලැ බිසොවට[7] රජු දකුණු දසරුයෙන් ලේ බොන දොළෙක් උපන. හො තමහට උපන් දොළ කිසි කෙනකුනට නොකියා වැහැරැ ගියා. රජ පිළිවිසැ බලා නොකියන්නෙන්, “තී මට විපරීත වනු කුමට යැ?” යි යත්නයෙන්[8] පිළිවිසැ-ගෙනැ, “උවකමු[9] දොළෙක තිට උපන්නෙ යැ”යි වෙදු[10] ගෙන්වා-ගෙනැ රන් සැතින් දසරුව පළවා රන් තැටියෙන් ලේ ගෙනැ දිය හා මුසු කොටැ පොවාලී යැ. දොළ සන්හිඳිණ[11]. නෛමිත්තිකයො, “එ ගබ රදු[12] සතුරු දරුයෙකැ. ඔහු විසින් රජ නස්සි”යි කීහු. බිසව් එ අසා ගබහෙළා පියටි වැ උයන් ගොස් කුස මඩවයි. ගබ නො හෙයි. රජ ඇය එක්වන් උයන් යනසෙ දැකැ පරිජනයන් පිළිවිසැ අතුරු දැනැ, “තී කුසැ පුතකු බව් නො දැනෙයි. දුවක බව නො ද දැනෙයි. “අසුවල් රජ තම හට උපන් දරුවක් හට මෙසෙ කැරැවී යැ[13] යන මහත් අගුණරාසියෙක් දඹදිව් තෙලෙහි පැතිරැ යෙයි. වටා ලා එසෙ නො කරා”යි රකවල් දෙවි යැ. හො, “ඔහු උපන් කලැ මැරුව මැනැවැ”යි සිතුව දරුවා. උපන් කලැ රකවලැ සිටි මිනිස්සු දැකැ රජහු ගෙ කීමෙන් කුමරහු පා කළහ. කුමරහු මහත් වූ කලැ ඇරැ මව්බිසව් දැක්වූහු. හො ඔහු දැකැ පුත්‍රසනා කළා. එයින් ඔහු මරන්නට නොපොහොසත් වුව. රජද් අනුක්‍රමයෙන් ඔහුට යුවරජතන් දින්.
එකල්හි දෙව්දත් මහතෙරහු සිතූහු: “සැරැයුත්මහ තෙරහු දු මහමුගලන් මහතෙරහු ද මහසුබු මහතෙරහු ද වෙන වෙන පිරිස් ගෙනැ වාස කෙරෙති. මයිදු පිරිසක් කොටැ ගත මැනැවැ. ලාභ විනා පිරිස් කොටැ-ගත නොහැක්ක. එසෙ බැවින් ලාභ උපයුව මැනැවැ”යි විනයෙහි කී නිසායෙන් අජාසත් කුමරහු සෘද්ධි පෙළහරයෙන් පහදවා සවසැ දු රැයිම්මෙහි දු පන්සියයක් රථ පිරිවරින් තමා කරා එළබෙනසෙ විස්වස් කළසෙ දැනැ[14] ඔහුට මෙසෙ කීහ:- “කුමාරය, පෙරැ මිනිස්සු බොහො කලට ආ[15] ඇත්තාහ. දැන් එසෙ නොවෙයි. තො පියා[16] මරා රජ ව, මම් බුදුන් මරා බුදු වෙමි”යි පියරජහු මරන්නට යෙදුහු.[17] එකල්හි රජකුමර, “අප වත්හිමියො දෙව්දත් තෙරහු මහත් ආනුභාව ඇත්තාහ. මොවුන්[18] නොදත්[19] දැයෙක් නම් නැති” කළවෙයැ සිරියක් බැඳැ-ගෙනැ දෙවෙන් දහවල්[20] වෙවුළමින් රජගෙට ගොස් වනි. එකල්හි ඇමැත්තො ‘ඔහු තිරු කොටැ-ගෙනැ සබව දැනැ, “කුමාරයා ද මැරුව මැනැවැ. දෙව්දත්හු ද මැරුව මැනැවැ. හැම මහණහුද මැරුව මැනැවැ”යි බැණැ-ගෙනැ “සැළ කොටැ කළ මැනැවැ”යි රජ හට කීහු.
රජ, “කුමරුවා මරම්හ”යි සිතු ඇමැත්තන් අතැ[21] මෙහෙවර ගෙනැ, “නො මරම්හ” යි සිතූ ඇමැත්තනට මහත් මෙහෙවර දී කුමර හට “කුමක් සදහා ‘මරමී’ සිතුයෙහි?” යි පිළිවිත.[22] “රජය සඳහා”යි කීයෙන් “ඉතා මැනැවැ. තා කැමැති රජය බලා-ගනැ”යි රජය ඔව්හට දක්වා දිනි. හෙ “මාගෙ මනොරථ නිපනැ”යි දෙව්දත් තෙරුනට කී යැ.
එකල්හි දෙව්දත් තෙරහු “තො මීයන් ඇතුළු කොටැ බෙර සදන[23] මිනිසක්හු වැන්නෙහි. කිහිප දවසෙකින් තා පියෙ තා ගෙ නිහරසර[24] සඳහන් කොටැ බලා රජය ගන්නී” කීහ. “ඔස වහන්සෙ, කුමක් කෙරෙමි?” කී යැ. “රජු මරා-පිව මැනැවැ”යි කීහ. “මා පිය රජ හට සැතින් වධ නොකට හැක්කැ”යි කීයැ. “තැවෙන්නට නිසි ගෙකෙකැ ලා අහර වළකා මරා-පියව” යි කීහු. හෙ පිය රජු තැවෙන්නට නිසි ගෙකෙකැ බහා-පියා, “අන්නිය මිසැ, අනෙකක්හු නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී, එතැන පටන් ගෙනැ දෙවීහි රන් තැටියෙකු බත් එවැ හිඟැ තබා-ගෙනැ වදිති.[25] රජ එ වළඳා යපෙයි. හෙ “මබපාණො[26] කිසෙ යපෙතී?” පිණිවිසැ එ පවත් අසා, “ඇය හිඟින් යම් දැයක් ගෙනැ නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී.
එතැන් පටන් ගෙනැ දෙව්හි බත් මුහුළැ තබා-ගෙනැ වදිති. එයිදු අසා, “අන්නිය කෙහෙ බැඳැ නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී. එතැන පටන් ගෙනැ රන්මරවඩියැ බත් වැ පියා-ලා පයින් ගෙනැ වදිති. රජ එ අසා, “අන්නිය මරවඩි ලා නො වැද්දැ දෙන්නෙ යැ”යි යෙදී. එතැන පටන් ගෙනැ දෙවීහි ගඳ දියෙන් නහා සරීරයෙහි සියු මියුරු ගල්වා පිළි පෙරෙවැ-ගෙනැ වදිති. රජපා ඔවුන් සිරිරු ලෙවැ යපෙත්. වැළි දු පිළිවිසැ එ පවත් අසා, “අන්නිය නො වැද්දැ දෙන්නෙ යැ”යි වැළැකී. දෙවිහි දොරොට්ගෙමුලැ[27] සිටැ, “හිමි, බිම්සර මහරජ, ඔහු ළදරු කලැ නො මරා පිව දුන්හ. තොප සතුරා තෙපි මැ පුටුව. මෙ තොප ගෙ නිමාම් දැක්ම යැ. මම් මෙ තන් පටන් ගෙනැ තොප දක්නා නො ලැබෙමි. මාගෙ වරදෙක් ඇත් නම්, මා කෙරෙහි ක්‍ෂමා කරන්නෙ ය”යි වැලැපැ වැහැසැ නැවැත්හැ.[28] එතැන පටන් ගෙනැ රජ හට අහර නැති වි යැ.
සොවන් රජ මඟපලසුවෙන් සක්මන් කොටැ යපෙයි. “රජු ගෙ සරීරය දිලියෙ” යි අසා “කිසෙ යපෙතී?” පිළිවිසැ, සක්මනින් යපෙනසෙ සරීරය දිලියෙනසො අසා, “සක්මන් නොකට-දුන මැනැවැ”යි. “බපාණන්[29] පතුල්, කරයෙන් පළා ලුණු තෙල් ගල්වා කිහිරඟුරෙහි ‘චිටිවිටි’ යන අනුකරණ ඇති කොටැ* (පස්ව”යි නෑවියන් යවී. රජ ඔවුන් දැකැ “මපිත් කිසිවක්හු විසින් එකැතින් දන්වන ලද්දෙ වනැ. මොහු මා මස්වලුමෙහෙ සඳහා ආහ!” යි සිති. ඔහු ගොස් රජු වැඳැ සිටියාහැ. “කුමක් සඳහා ආව?”යි පුළුවුස්නා ලද්දාහු එ හස්න සැළ කළහ. “තොප රජු අණ කරව”යි රජ කී යැ. “දේවයන් වහන්ස, වැඩැ හිඳුනෙ මැනැවැ”යි කියා රජු වැඳැ “දේවයිනි, ඇපි රජු ගෙ අණ කරම්හ. අප කෙරෙහි නො දහව. මෙ තොප බඳු දැහැමි රජ කෙනෙකුනට නිසි දෙයක් නොවෙ” යි කියා වමතින් ගුල්එයෙහි ගෙනැ දකුණතින් කරය ගෙනැ පතුල් පළා ලුණු තෙල් ගල්වා කිහිරඟුරෙහි ‘චිටි චිටි’ යන අනුකරණ ඇති කොටැ) පක්හැ.
එ රජ පූර්ව ජන්මයෙහි දාගබඟණෙක්හි වහන් ලා ගියෙ යැ. සඟුන් හිඳුනට අතුළ කළාලක් නොදෙවි පයින් ඇක්මිණ. මෙ එහි ඵල යි.
රජ හට මහත් වෙදනා උපන. “අහො බුද්ධො! අහො ධම්මො! අහො සඞ්ඝො!” යි තුණුරුවන් සඳහන් කරනුයෙ මැ දාගබණෙක්හි[30] බහා-ලූ මලක් සෙයින් මෙළෙ[31] සව්මහරජ දෙව්ලොව්හි වෙසවුණු මහරජාණන් පිරිවරැ ජනවසභ නම් යක්‍ෂයක් වැ උපන. පළමු සවරෙක්හි එහි උපැදැ මහත් සම්පත් වැළැඳුයෙ යැ. සවරෙක් හි දඹදිවැ රජ වූයෙ යැ. දැන් සත් වන වරැ, රජ වැ සත් වන වර සපුරමින් ගොස් උපන්. එ දවස් මැ අජාසත්හු පුතෙක් උපන. පුතු උපන් බව් දු පියාණන් මළ බව් දු දන්වන්නට දෙපත එක වට මැ අලහ ඇමැත්තො පළමු “පුතු උපන් බව් කියම්හ” යි එපත රජු අතැ තුබුහු. රජ හට එ කෙණෙහි මැ පුතුසනා උපැදැ[32] සියල් සිරිරු පැතිරැ ඇටමුල් පැහැරැ සිටියෙ යැ. එකෙණෙහි පියරජහු ගෙ ගුණ සඳහන් කොටැ “මා උපන් කලැ බපාණ[33]නටද් සනා මෙසෙ මැ උපන්නෙ යැ. යව, බපාණන් විහිද්ව”යි යෙදී යැ. “කුමක් විහිද්වම්හ! මහරජ”යි අනෙක් පත අතැ තුබුහු. හෙ ට පවත් අසා වල්පමින් මෑණියන් කරා ගොස් “අන්න, බපාණනට මා කෙරෙහි සනා හා වී යැ හො?” යි පිළිවිත. ඔහු “බාල පුතැ, කුම් කියහි? තා ළදරු කලැ ඇඟිල්ලෙහි පොළෙක් නැංග.[34] ඒ කල්හි වලප්නහු සන්හිඳුවන්නට නොපොහොසත් වූවාහු, විනිසමඬලෙහි හුන් තා පියරජහු කරා ගෙනැ ගියහ. හෙ තා ඇඟිල්ල මුවයෙහි තිබි යැ. පොළ මුවයෙහි මැ සිල් වී යැ. හෙ තා කෙරෙහි සෙනෙහෙන් ලේ මුසු පුයා නො දමාපියා මැ ගැලැ-පී යැ. තපියා තා-කෙරෙහි සනා මෙ බන්දැ”යි කීහු. හෙ වැලැපැ වැහැසැ පියාණන් සිරිරු හළු කිස කැරැවී.
දෙව්දත් මහතෙරහු දු අජාසත් මහරජු කරා ගොස් බුදුන් මරන්නට දුනුවා යොධයන්[35] ඉල්ලා-ගෙනැ නඟා යවා එයිනුදු කැරුණු දෑ[36] නැතිසෙ දැකැ, තුමුහු ගිජුකුළුපව්වට නැඟී ගල්පාතැ සක්මන් කරන බුදුන් මුදුනට සෙල් විහිදැ එයිනුදු[37] කරුණු දෑ නො දැකැ නාලාගිරි ඇතු විහිදැ, යම්කිසි උපායෙකින් බුදුන් මරන්නට නොපොහොසත් වැ, ලාභසත්කාරයෙන් පිරිහී, බුදුන් පස්වරයක් ඉල්ලා එ නොලදින් සතුරු වැ, සඟුන් පන්සියක් දෙනා බිඳැ අරැගෙනැ ගොස්. සැරැයුත්[38] මහමුගලන් දෙ අගසව්වන් තමන්ගෙ පිරිසැ[39] සඟුන් ගෙනැ ගිය කල්හි කටින් හුණු ලෙ නඟා නව මසක් දවස් ලෙඩ වැ හෙවැ, තමන් කළ තාක් දැයට විපිළිසර[40] උපයා, “දැන් බුදුහු කොහි වෙසෙති හො?” යි පිළිවිසැ “දෙව්රම්හි වෙසෙති” යනු අසා, “හැඳෙකින් මා ගෙනැරැ බුදුන් දක්වව” යි කියා ගෙනැ යන ලද්දාහු[41], බුදුන් දක්නට නිසි පිනක් නොකළ බැවින් දෙව්රම් පොකුණු තෙර දෙකක් වැ පැළී ගිය පොළොවට වැදැ අවීචිමහා නරකයෙහි පිහිටියහ.
එකල්හි[42] රජගහා නුවරැ සැණකෙළියක් වී යැ. නුවර වැස්සො එ නුවර දෙව්නුවරක් සෙයින් සදා සැණවෙස් ගෙනැ දෙවියන් සෙයින් සැණකෙළි කෙළිත්. අජාසත් රජ පනුරැසි පොහොදවස් රෑ සරා සඳුරසින් රිදීකෙළෙන් නික්මුණු කිරි[43] දහර සෙයින්, රිදීවිමනින් නික්මුණු මුතුවැළ සෙයින්, සමන් කුසුම්දම් සෙයින්, දිලියෙන රාත්‍රියැ නිරිඳුමහලෙහි[44] ඇමැති මඬුලු පිරිවරා සෙ සත් යට ගන රන්මුවා අස්නෙහි හුන්නෙහි. කුමට හුන්නෙ යැ යත්* - නිඳි වළකනු සඳහා හුන්නෙයි.
මෙ රජ[45] පියා මළ තැන් පටන් ගෙනැ නිදන්නට ඇස පියා-ලු විගසැ මැ, සියලු සරීරයෙහි සැත්දහස් ඔත්කල් සෙයින් හඬමින් මැ පුබුද්දි, “මහරජ, කිමැ?” යි පුළුවුත් කල්හි වළහයි. එයින් ඔහට නිඳි නො රිසියෙයි. මෙසෙ නිඳිවළකනු සඳහා හුන් රජ “මෙ රෑ සඳරසින් රමණීය යැ,[46] අභිරූප යැ, දර්ශනීය යැ, සිත් පහදවයි, කවර මහණ බමුණු කෙනකුන් කරා යම්හ![47] කා කරා ගිය කලැ අප සිත් පහද්දි!” යි උදන් ඇනී. එ අසා එක්තරා රජමහ ඇමැත්තෙක්, “මහරජ, පුරණ කස්සපයා[48] කරා එළබෙන්නේ යැ. එකලැ සිත් පහද්දි”යි කී යැ. එජ එ අසා නො බිණී යැ. අනෙක්[49] ඇමැත්තෙක්, “මක්ඛලිගොසාලයා කරා එළබෙන්නෙ යැ”යි කී යැ. අනෙකෙක්2, “අජිතකෙසකම්බලයා කරා එළබෙන්නෙ යැ” යි කී යැ. අනෙකෙක්2, “පකුධකච්චායනයා කරා එළබෙන්නෙ යැ”යි කී යැ. අනෙකෙක්2, “සඤ්ජයබෙලට්ඨි[50]පුත්‍රයා කරා එළබෙන්නෙ යැ” යි කී යැ. අනෙකෙක්2, නිගණ්ඨනාථපුත්‍රයා කරා එළබෙන්නෙ යැ, එකලැ සිත් පහද්දී” කී යැ.
මෙසෙ ඇමැත්තන් තමන් තමන් ලද[51]ගත් නුවටැජරන් කී කල්හි, රන්වන් මියුරු රස ඇති අඹපකක් කෑටි[52] පුරුෂයක්හු තමා අතැ තුබූ කදුරුපකක්[53] දැකැ දමා-පියන්-නක්හු[54] සෙයින් නො ගිවිසැ නො බැණැ හිඳැ, තම හට නොදුරු තන්හි[55] හුන් ජීවකයනට, “හැයි, සබඳ, නො බැණැ හුන්නෙහි නො?” යි කී යැ. රජ මෙ තෙක් පරිකථා කරනු ජීවකයන් සඳහා කෙළෙයි. කුමට යැ යත්:- තමා ඇරැ බුදුන් දක්වනු[56] සඳහා යි. තෙමෙ ගොස් දක්නට නොනිසි ද යත්: තමා මහාපරාධයෙන් ගොස් දක්නට නොනිසි වැ, “ජීවකයා පිටි පසැ හිඳැ බුදුන් දුට මැනැවැ”යි මෙතෙක් පරිකථා කෙළෙ.[57] රජු ගෙ අභිප්‍රාය ජීවකයො නො දනිද්ද යත්: දන්ති.[58] වැළි කුමට නො බැණැ හුන්නාහ[59] යත්: විඛෙව් පසිඳුනා[60] සඳහා යි. කිසෙ යැ යත්: එ පිරිසැ නුවටැජරන් සදෙනා ලද ගත් ඇමැත්තො බොහො දෙන රැස් වූවාහු. ඔහු, “මා බුදුගුණ කියන්නට වන් කැලැ අතරතුරෙහි නැඟී[61] තමන් තමන් ලද ගත් නුවටුන් ගෙ ගුණ කියති. එසෙ වන්නා හා[62] මා කියන බුදුගුණ නිමාමට නො යෙයි. රජ වූ කල[63] පෙරැ මා මොවුන් ගෙ නුවටැජරන්[64] කරා එළබැ නිස්සාර බව දත්තෙන් ඔවුන් ගෙ ගුණ කථායෙහි නොසතුටු වැ මා පුළුවුස්සි. එකල්හි මම බුදුන් ගෙ ගුණ කියා රජු බුදුන් කරා ගෙනැ යෙමි” රදුගෙ අභිප්‍රාය[65] දනුතුද් විඛෙව් පසිඳුනා සඳහා නො බැණැ හුන්හ.
එකල්හි රජ ඇමැත්තන් ගෙ බස් අසා, “මම යමක්හු යමක්හු බස් නො ඇසියටියෙම් ද, හෙ මැ හෙ මැ බෙණෙයි. යමක්හු ගෙ බස් ඇසියටියෙම් ද, හෙ මැ නාරජවස වළඳා සිටි ගුරුළක්හු සෙයින් නො බෙණෙයි. මට මහත් පිරිහිණෙකැ”යි සිතී, සිතා බලා “ජීවක උපශාන්ත වූ බුදුන් ගෙ සවි[66] යැ. තෙමෙ ද උපශාන්ත යැ. එබැවින් වත් සපන් මහණක්හු සෙයින්[67] නො බැණැ හුන්නෙ යැ. මා නොබුණු[68] කලා හෙ නො බෙණෙයි. ඇතක්හු මඬනා[69] කලැ ඇතක්හු මැ ගෙ පයින් මැඩිය මැනැවැ”යි සිතා ජීවකයනට මෙ “ඇමැත්තන් තමන් තමන් ලද[70]ගත් මහණුන් ගෙ ගුණ කියන්නන් මුව නො පොහොයි. මොවුන් සෙ මැ තා දු ලද ගත් මහණහු නැද්ද? කිම දිළිඳුහි ද? ම-පියෙ තට ඉසුරු[71] නොදුන්නෙ ද? නොහොත් සැදැහැ නැත්තෙහි ද?” යි පිළිවිත්.
එකල්හි ජීවකයො, “මා ලවා මෙ රජ බුදුන් ගෙ ගුණ කියවැයටි බන්ද.[72] දැන් මා නො බැණැ හිඳුනට කල් වෙයි. යම්සෙ මෙ ඇමැත්තො රදු වැඳැ හිඳැ මැ[73] තමන් තමන් ලද ගත් නුවටුන්ගෙ ගුණ කීහු ද, මා එසෙ බුදුන් ගුණ නොකිව මැනැවැ”යි හුනස්නෙන් නැඟී බුදුන් වසන දස බලා පසඟ පිහිට්ටා වැඳැ නියරසින් දිලියෙන ඇඳිලි බැඳැ, “මහරජ, ‘මා යම්තම්[74] මහණක්හු කරා එළබෙතී’ නො සිතව. අප බුදුන් මවුකුස්හි පිළිසිඳැ ගන්නා කලැ දු මවු කුසින් නික්මෙන කලැ දු මහබිනික්මන් කරන කලැ දු බුද්වන කලැ දු ධම්සක් පවත්වන කලැ දු දසදහසක් සක්වළ කම්පිත වියැ. මෙ සෙයින් යමාමහ පෙළහර කළහ. මෙසෙ දෙව්ලොවින් බටහ. අප බුදුන් ගෙ ගුණ කියමි. එකඟ සිත් ඇති වැ අසා, මහරජ” යි*
“අයං දෙව භගවා අරහං සම්මාසම්බුද්ධො අම්හාකං අම්බවනෙ විහරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪ තෙළසෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්ම සාරථී සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තං දෙවො භගවන්තං පයිරුපාසතු. අප්පෙවෙනාම දෙවස්ස භගවන්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍ය”යි.
බුුදුන්ගෙ ගුණ කියන්නාහු, “මහරජ, අප බුදුහු මා ගෙ අඹ වනයෙහි අඩතෙළෙස් යල් සියක් සඟුන් පිරිවරා වැඩැ වෙසෙති. තොප වැනි සියනුදු සුවහස්නුදු සිත් ගෙනැ බණ කියති. රිසි සෙ එළබැ පැන පුළුවුස්නෙ යැ”යි කීහ.
රජ බුදුන් ගෙ ගුණ අසත් අසත් සියල් සිරිරු[75] පස්වනක් ප්‍රීතින් අතුරු නැති වැ පිරි ගියෙ. හෙ එ[76] විගසැ මා බුදුන් කරා යාටි වැ,[77] “මා මෙ වෙලෙ බුදුන් කරා යන්නා හට අනෙක් කිසි කෙනෙක් යානයන්[78] යොජන්නට නොනිස්සහ, ජීවකයා විනා යැ”යි සිතා, “සබඳ, ජීවකය, යා. තො මැ ඇතුන් සදව” යි[79] කී යැ. අනෙක[80] අශ්වයාන රථයාන ඇත ද, ඇතුන් මැ සදා එළවන්නට කියනු කුමට යැ යත්: උත්තමයන් කරා යන කලැ උත්තමයානයෙන්[81] ගිය මැනැවිනුදු, අශ්වයානරථයාන සශබ්දයෙන්[82] දුරැ මැ[83] එහි හඬ ඇසෙන්නෙනුදු, පස් පස් යන්නා හට ද[84] හස්තියානයෙහි හඬ නො ඇසෙන්නෙනුදු, “නිවි බුදුන් කරා නිවි යානයෙන්[85] ගිය මැනැවැ”යි සිතා ඇතුන් සදා එළවන්නට යෙදී.
ජීවකයො “රජ මෙ වෙලෙ ‘බුදුන් දක්නට යෙමි’ යෙයි. රජ්ජුරුවන් සතුරො බොහොහැ. ඉදින් අතරමඟැ කිසි අන්තරායයෙක් වී නම්, අන්හු මා ගරහති: ‘ජීවක-රජ මා කීවා කෙරෙ’යි. අකාලයෙහි රජු ගෙනැ නික්මෙ’ යි කියා යැ. බුදුනුදු ගරහති: “මහණ ගොයුම් තමා කීවා කැරෙතී[86] කියා ‘කල් නො නහමා මැ කථා කෙරෙ’යි කියා යැ. එබැවින් මා හා[87] බුදුනුද් නොගරහන නියායෙන් යම්සෙ රජ හට රකවල් සුසංවිහිත වෙ ද, එසෙ කෙරෙමි” සිතුහු.
එක්බිති “අඹුන්මිනිසුන් නිසා පුරුෂයනට භය නම් නැති. සුවයෙන් අඹුන්මිනිසුන් පිරිවරින් යෙති”යි පන්සියයක් ඇතින්නන් සදවා පන්සියක් මාගමුන් පිරිමිවෙස් ගන්වා “අසි තොමර ගත් අත් ඇති වැ[88] රජු පිරිවරව” යි[89] කියා වැළිදු සිතුහු: “මෙ රජ හට මෙ අත්බැවැ මඟඵලයට උපනිඃශ්‍රය නැති. බුදුහු උපනිඃශ්‍රය බලා ධම් දෙසති. එසෙ බැවින් මහජනා[90] රැස් කරවමි. එසෙ වන්නා හා බුදුහු කිසි කෙනකුන් ගෙ උපනිඃශ්‍රය හෙයින් ධම් දෙසති. එ දෙසුන් මහජනයා හට උපකාරයට මැ වෙ” යි.[91] එබඳු දනට[92] කියා යවුහැ. නුවරෑ බෙර පියෙවි කැරැවූහැ: “අද රජ බුදුන් කරා යෙයි. හැමදෙනා තමන් තමන්ගෙ කරමිණි[93] තුබු පරිද්දෙන් අවුදු රජ හට අරක් ගන්නෙ යැ”යි යෙදුහු.
එකල්හි මහජනයො, “රජ බුදුන් දක්නට යෙ ල. එ ධම් දෙසුන් කිබඳ හො! සැණකෙළියෙක් කිම! එයට යම්හ!යි හැම දෙන ගඳමල් ගෙනැ රජු පෙරමඟ බලා මඟැ සිටියො. එ සැඳැ ජීවකයො “මහරජ, ඇතුන් සදා එළවූයෙ යැ. කල් දන්නෙ මැනැවැ”යි කීහු. රජ පන්සියක් මාගමුන් පන්සියක් ඇතුන් නඟා තෙමෙහෙ මඟුල් ඇතු නැඟී මිණිදඬුවැට පහනින් එකලු කොටැ මහත් අනුභාවයෙන් නුවරින් නික්මිණි.
එකෙණෙහි පන්සියක් මාගම්හු පිරිමිවෙස් ගෙනැ හිස් වෙළා දසරුයෙහි කඩු තබා මිණිතොමර ගෙනැ නික්මුණාහැ. ඔවුන් එක්බිති සොළොස් දහසක් නළුවො රජු පිරිවැරුහ. ඔවුන් එක්බිති කුද්කුරු[94] කිරාතාදීහැ.
ඔවුන් එක්බිති රජගෙ රක්නා රජු කෙරෙහි විස්වස් ඇති පුරුෂයහැ.[95] ඔවුන් එක්බිති විසිතුරු වෙශවිලාසධර වූ සැටදහසක් මහාමාත්‍රයහැ.[96] ඔවුන් එක්බිති නොඑක් පළඳනෙන් සැදී නන් නන් ඇවි ගත් විද්‍යාධරතරුණයන් බඳු අනූදහසක් පමණ රැටිදරුවහැ. ඔවුන් එක්බිති සියක් වටනා[97] පිළී හැඳැ පන්සියක් වටහා පිළී එකස් කොටැ බහා ලා නහා ගඳ විලෙවුන් ගත් රන් මල් ආදි නන් බරණින්[98] සැදුණු දසදහසක් මත්[99] බමුණො දකුණු අත් ඔසොවා ජයශබ්ද ගොහමින්[100] යෙති. ඔවුන් එක්බිති පසඟ තුරු ගත් පුරුෂයො පසඟතුරු වයමින් යෙති. ඔවුන් එක්බිති දුනුබැල යැ;[101] ඔවුන් එක්බිති ඔවුනොවුන් වෙර පැහැරැ යන ඇත්පන්ති යැ; ඔවුන් එක්බිති ගෙලෙන් ගල[102] පැහැරැ යන අස් පන්ති යැ; ඔවුන් එක්බිති එහි එහි පැහැරැ සිටි රථපන්ති යැ. ඔවුන් එක්බිති එහි එහි පැහැරැ සිටි රථපන්ති යැ; ඔවුන් එක්බිති දසරියෙන් දසරියෙහි පැහැරැ සිටි යොධයහැ. ඔවුන් එක්බිති තමන් තමනට නිසි ආභරණ සම්පතින්[103] වොරොජනා අටළොස් සෙනීහ යි යම්සෙ කෙළවර සිටැ වුහුටු සරයෙක් රදු කරා නොපැමිණෙ ද, එ සෙයින් ජීවකයො රජු ගෙ පිරිස් සංවිධාන කොටැ, “ඉදින් රජ හට කිසි උපද්‍රවයෙක් වෙ නම්, හැම දෙන හට පෙරට වැ රජ හට දිවි දෙමි”යි තුමුහු රජු[104] වැළැත ගෙනැ යෙති. ලියවැට මිණිදඬුවැටපහන් ‘මෙතෙක් සිය යැ, මෙතෙක් දහසැ’ යන පමණ නැති.
මෙසෙ මහත් රාජානුභාවයෙන් එ රජ[105] දෙතිස් මහ දොරක් හා සූසැට සුළු දොරක් හා ඇති රජගහා නුවරැ පැදුන් දෙසෙහි දොරින් නික්මැ නුවර පවුර හා ගිජුකුළුපව්ව හා දෙ අතුරෙහි ජීවකයන් ගෙ අඹ වනයට වෙත් වැ ගියෙ.[106] “එකල්හි බුදුන් කරා යන කලැ නිශ්ශබ්ද වැ ගිය මැනැවැ”යි රජගෙහි මැ සිටැ ජීවකයන් කීයෙන්[107] බෙර නො ගැසියැ දි මහත් කොටැ නොබිණියැ දි යන රජ හට භය උපන. කුමට යැ යත්: “අඩතෙළෙස් යල් සියක්[108] සඟුන් වසන අඹ වනයෙ කිබිස්නා හඬෙකුදු පොවා නැති. ‘ජීවක මා නුවරින් පිටතට නෙරැ-ගෙනැ පෙරටින්[109] බලකාය[110] දක්වා මා මරා තෙමෙ රජ වියටි යැ. මෙ පස් ඇතක් හට බල ඇත්තෙ යැ. මා වැළැත ගෙනැ යෙයි. මා කෙරෙහි ආයුධ ගත් එක පුරුෂයෙකුදු නැති. මට කැරුණෙ මහත් පිරිහිණෙකැ”යි සිතා බියපත් වැ “ජීවකය, මා නො නස. අභය දෙ”[111] යි කී යැ.
එකල්හි ජීවකයො “මෙ රජ මා ගෙ මාත්‍රා නො දන්නි. මම් ලිහිඬින්ලකුදු[112] දිවි නො ගළවමි. රජු නො අස්වැසීම් නම්, නස්සී” යි සිතා තර කොටැ අස්වසන්නාහු “මහරජ, නොබව, නොබව.[113] තෙලෙ බලා ගනැ. මණ්ඩලමාලයෙහි පහන් දිලියෙන්නාහ”යි කීහ. එ කල්හි රජ දොරොටුයෙන්[114] පිටතැ මැ සිටැ. ඇත්පිටින් බට. බැසැ බිමැ සිට විගසැ මැ බුදුන් ගෙ තෙජස් රජු වෙර පහළ. එකල්හි රජ හට එකෙණෙහි සියල් සිරිරින් සෙවද වැහිණ,[115] සළු[116] පෙරළා[117] පියන පමණ වි යැ. තමා ගෙ අපරාධ සඳහන් කෙළෙන් මහත් භය උපන.
හෙ ඉඳුරා බුදුන් කරා යන්නට නොපොහොසත් වූයෙ ජීවකයන් අතැ ගෙනැ අරම් සැරිසරන්නක්හු සෙයින්[118] “ජීවකය, තා මෙ කැරැවු සෙ යහපතැ. මෙ කැරැවු සෙ යහපතැ”යි ගුණ කියමින් අනුක්‍රමයෙන් මණ්ඩල මාලයට සම්ප්‍රාප්ත වැ “බුදුහු, සබඳ, කොහි යැ?” යි පිළිවිත්. කුමට පුළුවුස්සි යත්: ඇතැම්හු ‘නොහඳුනන්නෙන් පිළිවිතැ’ යෙත්. අකාරණ යැ. මෙ ළදරු කලැ පියරජු හා ගොස් බුදුන් දුටුවිරි යැ. පැසුළු පාපමිත්‍රයන් ගෙ සැසැඟින්[119] පිය රජහු මරා බුදුන් මරන්නට දුනුවායන් මෙහෙයා නාලාගිරිහි විහිදැ මහත් අපරාධයක් කොටැ සිටියෙන් බුදුන් කරා නොවන්නා මිසැ
නොහඳුනන්නෙ නො වෙයි. බුදුහු වනාහි දෙතිස් වරලකුණෙන් හා අසු අනුව්‍යඤ්ජනයේ සැදි සිරිරු ඇතියව්හ. සවනක් රසින් දිලියෙමින් සියලු අරම් බබුළුවා තරු පිරිවරන ලද පුන් සඳක් සෙයින් මහණගණා පිරිවරා මණ්ඩලමාල මධ්‍යයෙහි වැඩැ හුන්නාහ. බුදුන් කවුරු නොහඳුනති![120] මෙ රජ තමා ගෙ ඉසුරු ලීලායෙන් පිළිවිතැ. හඳුනතුදු නොහඳුනන වන් වැ පුළුවුස්නෙ රජුන්ගෙ සිරිති. ජීවකයො වනාහි රජු ගෙ බස් අසා “මෙ රජ පොළොවැ සිටැ ‘පොළොව් කොහි යැ?” යන්නක්හු වැන්න. අහස් බලා ‘හිර[121] සඳ කොහි යැ?” යන්නක්හු වැන්න. මෙරමුලැ සිටැ ‘මෙරගල කොහි යැ?” යන්නක්හු වැන්න. බුදුන් පෙරට සිටැ ‘බුදුහු කොහි යැ?” යි පුළුවුස්නෙ යැ. එසෙ බැවින් මොහු බුදුන් දක්වමි” ඇඳිලි බැඳැ, “මහරජ, පෙරටහු[122] අප සම්මා සම්බුදුහ. මැද ටැඹ නිසා පැදුන් දස බලා සඟපිරිස් පිරිවරා වැඩ හුන්නාහ”යි කීහු.
රජ බුදුන් කරා එළැබැ සඟනට ගහට නො කොටැ එක් තැනෙක්හි බුදුන් නො වැඳැ මැ සිටැ, නිවාත තැනෙක්හි පිපි රත් පියුම්වනයක් සෙයින්, නො බැණැ වැඩහුන් සඟුන් දිට.[123] එහි එක්කෙනෙකුදු අතක් සොල්වනුවො නො ද ඇති. පයක් සොල්වනුවො නො ද ඇති. සව්බරණින්[124] සැදි නළු පිරිස් පිරිවරා බුදුන් පෙරට සිට රජ හො රජ පිරිස් හො එක් කෙනෙකුදු නො බැලූහ. හැම සඟහු[125]සවනක් පැහැයෙන් දිලියෙන බුදුන් බලා වැඩහුන්හු. රජ සඟුන් ගෙ උපසමයෙහි පැහැදැ, මඬ නැති පහන් විලක් සෙයින්, සන්හුන් ඉඳුරන් ඇති සඟුන් මෙ පුන පුනා බලා, “මෙ උපසමය ම-පුතු උදා කුමරු හට වෙව”යි සිතා උදන් ඇනී.
ඔහු පැවිජි වැ මෙ සඟුන් සෙයින් උපශාන්ත වනු සඳහා නො වෙයි. මෙ රජ සඟුන් දැකැ පැහැදැ පුතු සඳහන් කෙළෙ. දිලිබ්[126] දැයක් ලදින් හො අපූර්ව දැයක්[127] දැකැ හො පිය වූ නෑයන් මිතුරන් සඳහන් කරනු ලොකයා ගෙ සිරිති.
එ සඳ බුදුහු රජු ගෙ සිත්හසර දැකැ, “මෙ රජ[128] මා හා සමඟ කථා කරන්නට නොපොහොසත් වූයෙ, බික්සඟුන් බලා පුතු සඳහන් කෙළෙ. මා නොබණන කල්හි මෙ රජ කිසි දැයක් කියන්නට නොනිස්සැ. මුහු හා සමඟ කථා කළ මැනැවැ”යි “මහරජ, යම්සෙ උන් තැනැ වට දිය නතු තැනට යෙ ද, එ සෙයින් මැ සිත් තමා[129] පුතු කරා නතු වි යැ”යි වදාළො. එ සඳ රජු සතුටු වැ “බුදුගුණ අචින්ත්‍ය පරිදි මම් මැ[130] දන්මි. මා සෙ බුදුනට[131] අපරාධ කළ කෙනෙක් නම් නැති. මා මැ විසින් බුදුන් ගෙ අක්වටා[132] රජ මරන ලද. දෙව්දත්හු කියමන් ගෙනැ දුනුවාවන් මෙහෙයීමි. නාලාගිරිහි විහිද්විමි.[133] මා නිසා යැ, දෙව්දත් ගල්කුළු වුහුටුයෙ.[134] මෙසෙ අපරාධ ඇති මට බුදුහු පියතෙපුල්[135] කරන දෑ යැ. අහො! යහහ![136] බුදුහු පස්වැදෑරුම් තාදිගුණයෙහි පිහිටියාහ. මෙබඳු ගුණමුහුදු සථරුන් තබා බැහැරැ[137] සථරුන් පිරියෙස්මහ!”[138] යි සොම්නස් වැ පුතු තම හට පිය පරිදි කියා, බුදුන් පසඟ පිහිටුවා වැඳ, “සඟුන් වඳුත් බුදුනට පිටි පෑ[139] වැන්ද මනා වෙ” සඟනට බැඳැ පැන පුළුවුස්නට අවසර ගත්.
එ සඳැ බුදුහු “රිසියුණුදැයක්[140] පුළුවුස, මහරජ” යි සර්වඥ පවරුණෙන් පැවරුහු. මෙසෙ බුදුන් සර්වඥපවරුණෙන් පැවරු කල්හි රජ පැන පුළුවුස්නෙ “වහන්සෙ, ඇත්අරු[141] අස්අරු රියසැරි ආදීහු තමන් තමන් දන්නා ශිල්පයෙහි ඵල මෙ මැ ජන්මයෙහි ලැබෙති. රජකුලෙන් මහත් සම්පත් ලදින් තුමුහු දු සුවයෙන් වැටෙති. මවුපියනුදු අඹුදරුවනුදු මිත්‍රයනුදු ඇමත්තනුදු සුවයෙන් පස්වටති. මහණ බමුණනට, සුගතියැ උපැද මහත් සම්පත් වළඳන්නට නිසි, දනුදු දෙති. වහන්සෙ, එසෙයින් මැ මෙ ජන්මයෙහි මහණුව මැ ඵල දැක්විය හැක්කැ හො?” යි පිළිවිත. බුදුහු පැන නො විසජා මැ සිතුහු: “තීර්ථකයන් ගෙ ලද ගත් බොහො ඇමැත්තො මෙයට ආවාහ. හළ මනා පක්‍ෂය දු ගත මනා පක්‍ෂය දු දක්වා කියන කල්හි ‘අප මහරජ මෙයට මහත් උත්සාහයෙන් මෙ ආ යැ. ඔහු ආ තැන් පටන්-ගෙනැ මහණ ගොයුම්හු මහණුන්ගෙ කොලාහල හා සටන් කියති’ යි මුමුණනු වෙනි. සකස් කොටැ බණ නො අසති. රජු කියන කලැ[142] දහනට නොනිස්සහ. රජු මැ අනු වැ පවතිති.[143] එබැවින් රජු මැ භර කළ මැනැවැ”යි. “මහරජ, මෙ පැන සෙසු මහණ බමුණන් පුළුවුත් විරියෙක් හා ඇද්ද? ඔවුනොවුන් කී දෑ තා සඳහන් ඇත් හොත්, යා”[144] යි වදාළහැ.
එකලැ රජ, “පණ්ඩිත ප්‍රතිරූපකයනට කියනු දුකැ. ඔහු පෙදෙහි පෙදෙහි අකුරෙහි අකුරෙහි[145] දොස් දෙසති.[146] එකාන්ත පණ්ඩිතයො වූ කලැ කියනු අසා මනා කොටැ කිව, පසස්ති. නෙසෙ[147] කී දැයක් ඇත, ඉදි කොටැ දෙසති5. බුදුන් හා සම ඒකාන්ත පණ්ඩිත කෙනෙක් ඇත්තාහු නොවෙති. එ බැවින් කිව මැනැවැ”යි සිතා “වහන්සෙ, මම එක් සමයෙක්හි පූරණ කස්සප නම් නුවටහු කරා ගොස් මෙ මැ නියායෙන් පැන පුළුවුත්මි. හෙ ‘පව්කැමැ දු පින්කැමැ දු ඵල නැති’ යනාදි විසින් තමාගෙ දර්ශන කී යැ. ‘අම්බං වා පුට්ඨො ලබුජං ව්‍යාකරෙය්‍ය’ යන සෙයින් මා පුළුවුත්තා තබා අනෙකක් කී යැ.[148] මම ඔහු කී දැය නො ගිවිසැ ‘අසුවල් රජ තමා ගෙ විජිතයට ගිය මහණ බමුණනට මෙනම් දෙයක් කෙළෙ ල’ යනු නො කියවුව මැනැවින්, නො බැණැ නැඟී ගියෙමි” කී යැ. මෙ නියායෙන් සනුවටැජරන් කරා එළබැ පැන පුළුවුත්සෙ, ඔවුන් තමා පුළුවුතු දු තමා තමන් තමන් දර්ශන දැක්වූසෙ, එහි තමා නොසතුටුසෙ කියා “වහන්සෙ, මම් වැලි පෙළා තෙල් නො ලබන්නක්හු සෙයින් තීර්ථයන් ගෙ[149] දර්ශනයෙහි සාරයක් නොලදින් වහන්සෙ පැන පුළුවුස්නට ආමි. වහන්සෙ, මෙ මැ ජන්මයෙහි මහණුවමැ ඵල දැක්විය හැක්ක හො?” යි කී යැ.
එකලැ බුදුහු “කියග, මහරජ, තා මැ පුළුවුස්මි. තා ගෙ කීකරු දසෙක් ‘පිනැ ඵල පෙළහර යැ. මෙ අජාසත් රජ දු මිනිසැ, මම ද මිනිස්මි, මෙ රජ පස්කම්ගුණෙන් පිනපිනා රජ කෙරෙයි, දෙව්රජක්හු වැන්නැ, මම ඔහුගෙ දස්මි, මා මුහු සෙ මැ පින් කළ මැනැවැ. ඉදින් දන් දෙම් නම්, රජු එක් දවසක් දුන් දන් සියක් භාග කළ කලැ එයින් එක් භාගයක් පමණ දිනක් මම් දිවිපමණින් දෙන්නට[150] නො නිස්සෙමි, ඔස, මා පැවිදි වැ සිල් රැක්ක මැනැවැ’යි පැවිජි වෙයි.[151] පැවිජි වැ සිල්වත් වැ අපිස්සතොස් වැ වෙසෙයි. ඔහු එසෙ වසන කලැ ‘මා දසු මට මෙහෙයට එන්නෙ යැ’ යි හා කියහි දැ?” වදාළහ. “වහන්සෙ, එස නොකියම්හ. ඇපි මැ ඔහු වැඳැ පුදා දන් දෙම්හ” යි කි යැ. “කියග, මහරජ, ඉදින්[152] එසෙ වෙ නම්, මෙ මැ ජන්මයෙහි මහණුවමැ මෙ ඵල නොවෙ දැ”යි වදාළහ. “වහන්සෙ, ඒකාන්තයෙන් මෙ මැ ජන්මයෙහි මහණුවමැ මෙ ඵල යැ”යි කී යැ. “මහරජ, මෙසෙ මා විසින් මෙ මැ ජන්මයෙහි මහණුවමැ පළමු වන ඵල පනවන ලදැ”යි වදාළහ.[153]
“වහන්සෙ, මෙ සෙයින් මැ මහණුවමැ මෙ ජන්මයෙහි මැ අනෙක් ඵලයක් හා පැනවිය හැක්කැ හො?” යි කී යැ. “මහරජ, එයිත් තා මැ පුළුවුස්මි. තට උපයා දෙන ගොවියෙක් තාගෙ විධි දැකැ ‘මයිදු පින් කළ මැනැවැ’යි කුදු මහත් සැපත් පියා පැවිජි වැ සිල්වත් වැ ගුණවත් වැ වැටෙයි. ඔහු එසෙ වසන කලැ ‘මා ගෙ ගොවිහි මට උපයා දෙන්නට එන්නෙ යැ’ යි හා කියහි දැ?” යි වදාළො. “වහන්සෙ, එසෙ නො කියම්හ.[154] ඇපි මැ ඔහු වැඳැ පුදු සතර පසයෙන් දන් දෙම්හ”යි කී යැ. “කියග, මහරජ, ඉදින් එසෙ වෙ නම්, මෙ මැ ජන්මයෙහි මහණුවමැ මෙ ඵල වෙ ද? නොවෙ දැ?”යි වදාළො. “වහන්සෙ, ඒකාන්තයෙන් මැ මෙ මැ ජන්මයෙහි මහනුවමැ ඵල යැ” කී යැ. “මහරජ, මෙසෙ මා විසින් මෙ මැ ජන්මයෙහි මහණුවමැ දෙවන ඵල පනවන ලදැ?”යි වදාළහ.
“වහන්සෙ, මෙ මැ ජන්මයෙහි මෙයට වැඩි මහණුවමැ අනෙක් අතිශය ඵලයක් හා පැනවිය හැක්කැ හො?” යි කී යැ. “ඔස, මහරජ, අසා[155] දනැ”යි - “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො” යනාදි ක්‍රමයෙන් බුද්ධොත්පාදයෙහි පටන්-ගෙනැ අර්හත් ඵලය පර්යන්ත කොටැ අහස්ගඟ වතුරු සෙයින් ධම් දෙසා “මහරජ, මෙ මැ ජන්මයෙහි මහණුවමැ[156] මෙ ඵල යැ. මෙයට වඩා උතුම් අනෙක් අතිශය ඵලයෙක් නැති” වදාළො. මෙහි විස්තර දික්සඟියැ සාමඤ්ඤඵල සුතින් දන්නෙ යැ.
එකල්හි රජ තන්හි තන්හි සාධුකාර දී ආදි මධ්‍යාවසාන පහසා[157] සකස් කොටැ අසා “මම් මෙ පැනයන් බොහො දවස් බොහො මහණ බමුණන් පුළුවුස්නෙයිම්[158] තොහො කොටන්නක්හු සෙයින් කිසි සාරයක් නො ලදුමි. බුදුන් ගෙ ගුණ සපුව මහතැ. බුදුන් වහන්සෙ මට පහන් දහස් දල්වා[159] අලු කරන්නක්හු සෙයින් මෙ පැන විසජුහ. බොහො දවස් මම් බුදුන් ගෙ ගුණානුභාව නො දැනැ බැදිණිමී” සිතා බුදුගුණ සඳහන් කිරීමෙන් උපන් පස්වනක් ප්‍රීතින් පිනන ලද සිරුරු ඇති වැ “දිවි පියම්නි දු සරණ නො පියමී” තුණුරුවන් සරණ ගොස් ඉදින් “මා තියුණු කඩුයෙකින් හිස් සිඳිත් නම්, බුදුන් ‘නොබුදුහු’ යි නො ද කියමි. දහම් ‘නොදහමැ’යි නො ද කියමි. සඟහු ‘නොසඟහ’යි නො ද කියමි. මා සරණ ගිය බව් උපාසක බව් කැපකරු බව්[160] දන්නෙ මැනැවැ”යි දන්වා තමා පියා ධම්රජහු මැරු වරදට කමවා වැඳැ තුන් යලක් පැදකුණු කොටැ නියරසින් දිලියෙන ඇඳිලි මුදුනෙහි පිහිටුවා පැනෙන තාක් තැනැ බුදුනට අභිමුඛ වෙමින් ගොස් දසුන්[161] විජහන තැන සිටැ බිමැ පසඟ පිහිටුවා වැඳැ බුදුන් ගෙ ගුණ සඳහන් කෙරෙමින් නුවර ගියෙ.
ඔහු ගිය කලැ බුදුහු, “මහණෙනි, මෙ රජ පියා නො මැරුයෙ වී නම්, දැන් මෙහි මැ හිඳැ සොවන් වූයෙ යැ.
පාපමිත්‍ර සංසර්ගයෙන් එයට අන්තරාය වි යැ. එතෙකුදු වත් හොත් යම් හෙතුවෙකින් මෙ රජ තථාගතයා කරා එළබැ තුණුරුවන් සරණ ගියෙ ද, එ හෙතුවින් මාගෙ සස්නෙහි මහතින්, යම්සෙ කිසිවෙක් මිනිසකු මරා මල් මිටක් පමණ දඬ දී ගැළවෙ ද, එසෙයින් මැ මෙ රජ ලොහොකුඹුනිරයැ උපැද[162] තිස්වාදහසෙකින් පත්ලට බැසැ තිස්වාදහසෙකින් සැලමුවවිටට නැඟී ගැළැවී යෙ”යි වදාළො.
මෙරජ පියා මැරු තැන් පටන්-ගෙනැ රෑදාවල් නිදි නො ලැබෙයි. බුදුන් දරා එළබැ මියුරු ඔජ ඇති ධම් දෙසුන් ඇසූ තැන් පටන්-ගෙනැ නිඳි ලද. තුණුරුවනට මහත් සත්කාර කෙළෙ. පුහුදුන් සැදැහැත්තන් කෙරෙහි මෙ රජු හා සමයො නැති. අනාගතයෙහි විදිතවිසෙස[163] නම් පසෙබුදු වැ පිරිනිවෙයි.
මෙසෙයින් බුදුහු තමන් ‘පුරුෂදම්‍යසාරථී’ වන බැවින් අජාසත් රජහු පුළුවුත් පැන විසඳා[164] ධම් දෙසා සරණසීලැ පිහිට්ටා[165] ආදිශබ්දයෙන් පායාසි, පොක්සී[166] ඇ රජුන් දමා අමා මහනිවන් පැමිණිවුහු.
රාජදමන නම් සවන පරිච්ඡෙද නිමි.
-
වසත් ↑
-
ලෙසින් ↑
-
හුඹුලුවා ↑
-
වරෙකැ ↑
-
දන් දුන්හු ↑
-
මහනිරිඳුහට ↑
-
දොළෙක් උපදනෙ-කිසි ↑
-
යත්නෙන් ↑
-
සැවකමු, සවකමු, සවකමු යන, සව්කම්, සැළුව කමු, සුවකමු-මු: ↑
-
වෙදුන් ↑
-
සන්හින ↑
-
රද ↑
-
කැරවී ල ↑
-
දැක ↑
-
ආයු ↑
-
තො තා පියා මරා, තො තොප පියා මරා ↑
-
යෙදි 470-0 ↑
-
ඔවුන් ↑
-
නොදන්නා ↑
-
දාවල්, දවාල් ↑
-
ඇත ↑
-
පිළිවිස ↑
-
බඳින ↑
-
නියසර, නිහසර, ↑
-
වදිති ↑
-
මවපියාණො, පමණෙ ↑
-
දොරටුගෙමුල ↑
-
නැවැත්ත-මු ↑
-
මපණන්, මපියාණන්,* වරහන් තුළ ඇති වැකි අටුවායෙන් ගෙනැ යෙදිණ. ↑
-
දාගප්අස්නෙහි ↑
-
මළා ↑
-
උපනැ ↑
-
මපණනටදු ↑
-
නැඟී ↑
-
දුනුවායන්, යොධ දුනුවායන් ↑
-
කරුණු ↑
-
කරුණු සේ. ↑
-
සැරියුත් ↑
-
පිරිස ↑
-
විපිළිසර ↑
-
යන කලද්, යන ලද්දාවු ↑
-
එකලැ ↑
-
කීරු, කිරුළු ↑
-
මඟලෙහි, මඟුලෙහි ↑
-
මෙසෙ ↑
-
රමණීසේය ↑
-
යම්හයි ↑
-
පුරාණ කාශ්‍යපයා ↑
-
අනික් ↑
-
ලෙලට්ඨ, බෙලට්ඨා ↑
-
ලගත් ↑
-
කායැටි ↑
-
කරුපකක් ↑
-
පියන්නාසෙ ↑
-
නුදුරු, නුදුරැස ↑
-
දක්වන ↑
-
කොළෝ ↑
-
දනිති ↑
-
හුන්නාහුද යත් ↑
-
පසිදිනා ↑
-
නැඟිනැඟි ↑
-
හැමැ, හාමැ ↑
-
කලි ↑
-
නිවටජරන් නිවටැදුරන් ↑
-
අභිප්‍රා, අභිප්‍රාව ↑
-
සව් ↑
-
සෙ ↑
-
බිණු ↑
-
මඩුනා ↑
-
ලැද ↑
-
ඉසිර ↑
-
කියැවියැටිබව දැනැ ↑
-
මැද හිඳ ↑
-
යම්තමන්* බුදුන් ගෙ ගුණ කියන්නාහු-හැම පොතෙක මෙතැන ඇත. ↑
-
සිරුර, සිරුර, සිරිරු ↑
-
එම ↑
-
යාටිය, යාවිය ↑
-
යානායෙක්, යානයක් ↑
-
ඇත් සදාවායි, සදුවයි ↑
-
අනෙක් ↑
-
යානායෙන් ↑
-
සව් ශබ්දයෙන්, ශබ්දයෙන් ↑
-
දුර ↑
-
පස් යන්නාහටද් ↑
-
යානායෙන් ↑
-
කරුති, කරති ↑
-
මහදු, මහද්, මහණද් ↑
-
ඇතියාවැ ↑
-
පිරිවරා යවයි ↑
-
ජනන් ↑
-
වැටෙයි ↑
-
එබඳනට ↑
-
කුරුමිනි, කැරැමිණි, කැරුම්නි, තුමිණි ‘විභාවානුරූපෙන’ - අටුවා ↑
-
කුරුකුද්කිරාකාදීහ ↑
-
ඇමැති ↑
-
මහාමාත්‍යයහ ↑
-
“සතසහස්සග්ඝනිකානි” - අටුවා ↑
-
නනබරණින් ↑
-
දසදහසක් බමුණො ↑
-
ගොහිමින් ↑
-
බෙළෙ යැ-මු. ↑
-
ගෙල ↑
-
සම්පත්තීන් ↑
-
රජුට ↑
-
රජහු ↑
-
ගිය කල්හි ↑
-
කී සෙයින් ↑
-
අඩතෙළෙස් සියක් ↑
-
පරරටින් ↑
-
බලකායක් ↑
-
නො නසව හියදැයි, නො නැස්සීදැයි, නො නස්හිදැයි ↑
-
ලිහිඬිල්ල ↑
-
නොබා නොබා ↑
-
දොරටුයෙන්, දොරටුන් ↑
-
සෙවදහස් ↑
-
හන් සළු ↑
-
හෙළා, පෙළා ↑
-
මෙන් ↑
-
සසඟින් ↑
-
හඳුනෙති හැම ↑
-
හිරි ↑
-
පෙර, පොරමහු, පොරමොහු පෙරටොහු-මු ↑
-
දුට ↑
-
සවබරණින් ↑
-
සඟම, සමගම ↑
-
දිලුබ්, දිලිබු ↑
-
අපූර්වයක් ↑
-
රදු ↑
-
තම්පුතු, තපුතු ↑
-
මම්දැන් ↑
-
බුදුගුණට ↑
-
අග්වටා, අගුවටා ↑
-
විහිදිමීම් විහිදුවීම් ↑
-
වුහුටුයේ යැ, වුහුටුවූයේ යැ ↑
-
ප්‍රිය තෙපුල් ↑
-
යගහ, යහාහා යහහා ↑
-
බැරැ ↑
-
පරියස්සම්හයි ↑
-
පිටිපා-මු. ↑
-
රිසිවුණු දෙයක්, රිසියෙන දෙයක්, රිසියෙනු දෙයක් ↑
-
අත්අරු ↑
-
කලට ↑
-
පවත්ති ↑
-
කියායි ↑
-
අතුරෙහි ↑
-
දෙති-හමැ ‘දෙසෙන්ති’ - අටුවා ↑
-
නොසෙ ↑
-
කියයි ↑
-
තිර්ථයන් ගෙ ↑
-
දෙන්ට ↑
-
වියැ ↑
-
ඉදින් එය, ඉදින් එ ↑
-
විති ↑
-
නොකියමි. ↑
-
අස ↑
-
මහණුවමයෙහි ↑
-
පහාසා ↑
-
පුළුවුස්සෙමි. ↑
-
ලවා, දලවා ↑
-
කැපහර ↑
-
දසු ↑
-
උපද ↑
-
විජිතවිසෙස ↑
-
විසජා, විසදා ↑
-
පිහිටිහි, පිහිටුවා ↑
-
පොත්සි ↑