කූටදන්ත නම් බමුණු[1] දැමූ පරිසි කිසෙ යැ යත්: එක් සමයෙක්හි බුදු ඇසින් දසදහස්[2] ලොධා බලන බුදුන් ගෙ නුවණ දැල්හි කූටදන්ත නම් බමුණු[3] පැනිණි.[4] එ කල්හි බුදුහු, “මෙ බමුණු මා ගෙ නුවණ දැල්හි පැනෙයි. මුහුට[5] උපනිඃශ්‍රය ඇති හො!”යි බලන්නාහු, “මා එයට ගිය කලැ උහු අතැවැසියො[6] දොළොස්[7] ආකාරයෙකින් බමුණා ගෙ ගුණ කියා මා කරා නොයා දෙති. හෙ ඔවුන් ගෙ වාද බිඳැ, එකුන්තිස් ආකාරයෙකින් මාගෙ ගුණ කියා, මා කරා අවුදු[8] පැන පුළුවුස්සි. මා පැන විසජු කලැ සරණ යෙ” යි පන්සියයක්[9] සඟුන් පිරිවරා මගධ රට සැරිසරමින් ඛාණුමත[10] නම් බමුණුගමට පැමිණැ අඹයටි උයන්හි වැඩැ-වෙසෙති.
එකල්හි බිම්සර රජහු[11] විසින් බඹදෙයෙන්[12] තම හට පමුණු කොටැ දුන් ඛාණුමත10 නම් බමුණු ගම්හි වසන කූටදන්ත නම් බමුණු මහත් යාගයක් කරන්නට සැරැවි[13]යැ. සත්සියක්[14] ගොනුන් සත්සියක් වස්සන්[15] සත් සියක් වැස්සන් සත්සියක් එළුවන් සත්සියක් ළදරු මැඬවුන්[16] නොඑක් ලිහිණියන් සත්සත්සිය බැවින්[17] මරා යාග කරන්නට යාගසාලායෙහි ටැඹ ඇරැ බැඳැ සිටිවි යැ. එකල්හි (ඛාණුමත නම් බමුණුගම්හි වසන බමුණන් හා ගැහැවියො*) “තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්‍යාණො කිස්තිසද්දො අබභූග්ගතො - යනාදීන් පැවැති බුදුන් ගෙ යසගී අසා බුදුන් දක්නට අඹයටි උයන් යෙත්.
එකල්හි කූටදන්ත නම් බමුණු තමා වසන පහයැ උඩු මහලෙහි දවයහන්හි[18] හෙවැ කවළියෙන් බලන්නෙ, බුදුනු දක්නට යන බමුණන් (හා ගැහැවියන්) දැකැ පුළුවුත් පුළුවුත් දැ කියන ඇමැත්තා කැඳවා-ගෙනැ “මෙ බමුණන් හා ගැහැවියො කොටය යෙති” පිළිවිසැ බුදුන් දක්නට යන පරිදි අසා “මහණ භවත් ගොයුම් තුන් යාගසම්පත් හා සොළොස් පිරිවර[19] දනී ල. මම එ නො දන්මි.[20] මහායාග ද කටැටියෙමි. මහණ භවත් ගොයුම්හු කරා ගොස් එ පිළිවිසැ ගත මැනැවැ”යි සිතා බමුණන් (හා ගැහැවියන)ට “කුඩාතමක් බලන්නෙ යැ. මම ද එමී” කියා යවී.
එකල්හි (යාග අනුභව කරන්නට රැස් වූ) බමුණො ඔහු බුදුන් දක්නට යන පරිදි අසා, “මෙ කූටදන්ත නම් බමුණු උතුම් බමුණෙකැ; බොහො සෙ සෙසු බමුණො මහණ භවත් ගොයුම්හු සරණ ගියහ. මෙ මත්න සරණ නො ගියෙ.[21] ඉදින් මෙ එයට ගියෙ වී නම්, උහු ගෙ[22] ආවර්තනී මායායෙන් ආවර්තිත වැ සරණ යෙයි. එසෙ වන්නා හා මුහු ගෙ ගෙදොර බමුණනට හුණු සෙණක්[23] වැනි වෙයි. උහු ගෙ ගමනට අන්තරාය කළ මැනැවැ”යි බැණැ-ගෙනැ “තමා ගෙ ගුණ කී කලැ සතුට්[24] නොවන සතෙක් නම් නැති; උහු ගෙ ගුණ කියා වළකම්හ”යි උහු කරා ගොස් “සැබැවැ[25] තා මහණ භවත් ගොයුම්හු කරා යන්නෙ යැ?” යි පිළිවිසැ “සැබැවැ”යි කීයෙන් “තො ඔහු කරා නො යා. තො උහු[26] දක්නට යන්නට නොනිස්සෙහි. හෙ තා දක්නට එන්නට නිස්සැ. තො ඉදින් උහු කරා ගියෙහි නම්, තාගෙ යශස් පිරිහෙයි. උහු ගෙ යශස් වඩී. අභිජාතයෙහි, මහත් ධන ඇත්තෙහි ත්‍රිවෙදයෙහි පාරයට ගියෙහි, අභිරූපයෙහි, සිල්වත්හි, වියත් තෙපුල් ඇත්තෙහි, තුන්සියක්[27] බමුණු දරුවනට ඇදුරෙහි, නොඑක් දිසාවෙන් බමුණු දරුවො අවුදු[28] තා කෙරෙහි ශාස්ත්‍ර උගනිති. තො මහල්ලෙහි, මහණ භවත් ගොයුම් ළදැරු ය. තො බිම්සර මහරජහු විසින් පුදන ලද්දෙහි. පොක්ඛරසාති බමුණා විසින් පුදන ලද්දෙහි. මගධ රජහු තට බඹදෙයෙන් දුන් පමුණුයෙහි වාස[29] කෙරෙහි. තො මහණ භවත් ගොයුම්හු දක්නට යන්නට නොනිස්සෙහි. හෙ තා කරා එන්නට නිස්සැ”යි බිණුහු.[30]
එකල්හි කූටදන්ත බමුණු, “මෙ බමුණො ජාති ආදීන් මා ගෙ ගුණ කියති. තමා ගෙ ගුණයෙහි රැඳෙනු යෙදෙන්නෙ නො වෙයි. එසෙ බැවින් මොවුන් ගෙ වාද බිඳැ මහණ භවත් ගොයුම්හු ගෙ මහත් බව් හඟවා මොවුන් එයට යනු කළ මැනැවැ”යි සිතා, “තෙපි මා හා කියනු අසව,[31] මම් කවරෙමි! මහණ භවත් ගොයුම්හු ගෙ ජන්ම සම්පත් ආදි ගුණයො කවරහ! මෙර ගල් පිණිස සිද්හතු[32] සෙයින් මහ මුහුණු පිණිස බොලට ගැලෙන දිය සෙයින් සත් දහතළා[33] පිණිස පිනිබිඳු සෙයින් මහණ භවත් ගොයුම්හු ගෙ ජන්ම සම්පත් ආදී ගුණයන් පිණිස අප ගෙ ගුණයො ලාමකයහ. එ බැවින් භවත් ගොයුම්හු දක්නට යන්නට ඇපි මැ නිස්සම්හ.
මහණ භවත් ගොයුම් අභිජාත යැ; මවුපියන් විසින් කිය හැකි දොස් නැතියෙ යැ; ඔහු මෑණියන් ගෙ පක්‍ෂයෙහි අසූදහසක් කුලවැස්සහ; පියාණන් ගෙ පක්‍ෂයෙහි අසූදහසක් කුලවැස්සහ. මෙසෙ එක් ලක්‍ෂ සැට දහසක් කුල වැස්සන් පියා පැවිජි වූයෙ යැ. බිමැ නිධාන කොටැ තුබූ ධන මිසැ උහු උපන් දවස් මැ සඞ්ඛ නම්, ඵල නම්, උත්පල නම්, පුණ්ඩරීක නම්, සතර නිධිකුම්භියෙක් නැංග. එහි සඞ්ඛ නම් නිධිකුම්භිය ගවු පමණැ. ඵල නම් නිධිකුම්භිය දෙගවු පමණැ. උත්පල නම් නිධිකුම්භිය තුන් ගවු පමණැ. පුණ්ඩරීක නම් නිධිකුම්භිය යොදුන් පමණැ.[34] හි ගත් ගත් තැන් පිරෙයි. මෙසෙ මහත් ධන පියා පැවිජි[35] වූයෙ යැ. තුරුණු වියෙහි සොඳුරු යොව්නෙහි ගිහිගෙන් නික්මැ ගොස් පැවිජි වූයෙ යැ. මවුපියන් නොකැමැති සෙ කඳුළු මුසු මුහුණු ඇති නෑයන් වලප්වා පැවිජි වූයෙ යැ. අභිරූප යැ; දර්ශනී යැ; ප්‍රසාදජනක යැ; පැහැසපුවෙන් උපෙත යැ. මහබඹහු සෙයින් දිලිසෙයි. රාහු අසුරිඳුහු දු පමණ නො ගත හැකි අපමණ අවකාශ ඇත්තෙ යැ. සිව්පිරිසිදු සිල්වතැ. කළ මියුරු වියත් තෙපුල් ඇත්තෙ යැ. ආදි මධ්‍යාවසාන ප්‍රකට කොටැ කියන වූයෙ යැ. උහු ගෙ එකෙකි ධම්දෙස්නෙන් සුවසූදහස් (සත්හුදු) අපමණ දෙව් මිනිස්හු දු[36] මඟපලා අමා වළඳති. එයින් බොහො දන හට ඇදුරැ[37]කාම රාග පැහුයෙ යැ. අවපල යැ.[38] කර්මවාදී යැ. ක්‍රියාවාදී යැ. නව ලොවුතුරා දහම් පුරස්සර කොටැ වැටෙයි. සැරියුත් මහ මුගලන් මහසුබ් ඈ බමුණො[39] උහුට පිරිවැරැ[40] වැටෙති. තම හට විරුද්ධ වූ බමුණනට අවිරුද්ධ වැ හිතකාම වැ වැටෙයි. උතුම් කුලෙන් පැවිජි වූයෙ යැ. නොනට කුලෙන් පැවිජි වූයෙ යැ. මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් පැවිජි වූයෙ යැ. පර රටින් ක්‍ෂත්‍රියපණ්ඩිත ආදීහු දු, දෙව්බඹනාගජඹ ආදීහු දු, පැන පුළුවුස්නට[41] එති. ඇතැම්හු පැන පුළුවුස්නට ගොස් තමන් පැන විසජුන් පිළිගන්නට[42] නොපොහොසත්සෙ සිතා නො පිළිවිසැ මැ නොබැණැ හිඳිති. ඇතැම්හු පුළුවුස්ති. හෙ ඔවුන් පැනයෙහි උත්සාහා ජනවා කියයි[43]. මෙසෙ ඔවුන් හැම දෙනාගෙ විමතිහි වෙලෙළ පැමිණැ බිඳෙන මහමුහුදැ රල සෙයින් ඔහු කරා පැමිණෙමින් මැ බිඳෙති. නොඑක් දෙව්දහස්හු දිවියෙන් උහු සරණ ගියහ. මහණ භවත් ගොයුම්හු ගෙ, “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො” යනාදි යසගොස් දසදෙසෙහි පතළෙ යැ. හෙ සුපිහිටි පතුල් ඈ දෙතිස් මහපුරිස් ලකුණෙන් සැදුණෙ යැ. දෙව්මිනිස්[44] ගිහිගෙ සසුන් වැස්සන් කෙරෙහි තමා කරා ආවනට[45] පළමු මැ[46] ‘එව, සුවඳ[47] යෙයි. කනට සුව මෙළෙක් තෙපුල් බෙණෙයි. පිළිසථරහි දක්‍ෂයැ. සිව්වනක් පිරිස් වැස්සන් ආ ආ කලැ ගමන් ශ්‍රම නිවන්නවුන් සෙයින් පෙරට වැ ස්වාගත කෙරෙයි. සිව්වනක් පිරිස් දුට්[48] කලැ ඔහට[49] ළහිරිරසින් පුබුදු[50] පියුමක් සෙයින් මුවපියුම් විකසිත වෙයි. පුන් සඳක් බඳු සොමි මුහුණු ඇති වෙයි. ඇතැම්හු පිරිස් දුට් කලැ කර බහා-ගෙනැ නො බැණැ හිඳිති. මහණ භවත් ගොයුම් වූ කල සුලභ කථා ඇත්තෙ යැ. උහු කරා ආවනට ‘ඇපි මෙයට කුමට ආම්හ!’ යන විපිළිසර[51] නො උපද්දි. ධම්දෙසුන් අසා සතුට්[52] වෙති. කාලයුක්ත වූ, ප්‍රමාණයුක්ත වූ, අර්ථවත්, තෙපුල් බෙණෙයි. සිව්වනක් පිරිස් වැස්සන් විසින් පුදන ලදුයෙ යැ. දෙව් මිනිස්හු පහන්හ.[53] යම් ගමෙකැ හො නියම් ගමෙකැ හො වසන්නෙ වී නම්, මහෙශාඛ්‍ය දෙවියො අරක් ගන්ති. යකුන් විසින් එහි මිනිස්නට උපද්‍රව නො වෙයි. ඔහු ඔවුන් ගෙ[54] අනුභාවයෙන් දුරු වෙති. ඔහු ගෙ මෛත්‍රී බලයෙනුදු යක්‍ෂයො මිනිසුන් නො පෙළත් මැයැ. තමා විසින්[55] නිපදවන ලද සඟුන් ඇත්තෙ යැ. එ සෙයින් මැ නිපදවන ලද මහණගණන් ඇත්තෙ යැ. ගණ ඇදුරැ අග්‍රදර්ශනයෙහි සිටියෙ යැ. ඇතැම් මහණබමුණු කෙනෙකුන් ගෙ යශස් නම් තම්[56] ප්‍රකාරයෙකින් වඩි,[57] මහණ භවත් ගෞතමයන් ගෙ යශස් වූ කල එසෙ නො වෙ. අනුත්තර වූ විජ්ජාචරණ සම්පත්තීන් වඩි. බිම්සර මහරජ අඹුදරුවන් ඇමැත්තන් හා සමඟ සහපිරිවරින් ප්‍රාණයෙන් භවත් ගොයුම්හු සරණ ගියෙ යැ. කොසොල් රජ එ සෙයින් මැ සහපිරිවරින්[58] සරණ ගියෙ යැ. පොක්ඛරසාති බමුණු සහපිරිවරින් සරණ ගියෙ යැ. සොණදණ්ඩ[59] බමුණු සහපිරිවරින් සරණ ගියෙ යැ. මහණ භවත් ගොයුම් බිම්සර මහරජහු විසින් පුදන ලදුයෙ[60]යැ. කොසොල් රජහු විසින් පුදන ලදුයෙ යැ. පොක්ඛරසාති බමුණා විසින් පුදන ලදුයෙ[61]යැ. සොණදණ්ඩ බමුණා විසින් පුදන ලදුයෙ යැ.* මහණ බවත් ගොයුම් දැන් ඛාණුමත නම් බමුණුගමට අවුදු අඹයටි උයන්හි වෙසෙයි. යම් කවර[62] මහණ බමුණු කෙනෙක් අප ගෙ ගම්කෙතට අවු ද, ඔහු[63] අපට අමුත්තහ. අමුත්තන්ට අප සත්කාර කළ මැනැවැ. මහණ[64]භවත් ගොයුම් අප දක්නට එන්නට නොනිස්සැ. ඇපි මැ ඔහු දක්නට යන්නට නිස්සම්හ. මා දන්නෙ, එ භවත් ගොයුම්හුගෙ මෙ පමණ ගුණයෙකැ; හෙ තෙම පමණ ගුණ ඇත්තෙ නො වෙයි. ඔහු සෙ මැ සව්නෙ දන්නා බුදුකෙනකුනුදු කියත්, නොගෙවෙන ගුණ ඇත්තෙ යැ. අප වැන්නො නම් කුම් කියති” කී යැ.
එ කල්හි බමුණො කූටදන්තයා කියන බුදුගුණ අසා, “යම්සෙ මෙ බමුණු මහණ භවත් ගොයුම්හු ගෙ ගුණ කියා ද, හෙ උතුම් ගුණ ඇත්තෙ යැ. මෙසෙ ඔහු ගෙ ගුණ දන්නා ආචාර්යයා විසින් මෙතෛක් දවස් ඉවැසුසෙ[65] වෙසෙසැ.[66] එ බැවින් උහු මැ අනුවම්හ” යි අනුවැ බණන්නාහු “භවත් ගොයුම් මෙයට සියක් යොජනෙහි දු වෙසෙ නම්, සැදැහැ ඇත කුලපුතක්හු විසින් පාථෙය[67] ගෙනැ දු ගොස් දක්නට නිස්සැ. එසෙ බැවින් ඇපි හැම දෙනමො මැ මහණ භවත් ගොයුම්හු දක්නට යම්හ”යි කීහු. එකල්හි කූටදන්ත බමුණු මහත් බමුණුගණා[68] හා සමග අඹයටි උයන් ගොස් බුදුන් කරා එළබැ සාමීචි කොටැ එකත්පස් වැ හිනි. ඇතැම් බමුණනු හා ගහපතිහි බුදුන් වැඳැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු[69] බුදුන් හා සාරාණීයකථා[70] බැණැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු බුදුනට ඇඳිලි බැඳැ එකත්පස් වැ හුන්හ. ඇතැම්හු නම්ගොත් කියා එකත්පස් වැ හුන්හ. ඇතැම්හු නො බැණැ එකත්පස් වැ හුන්හු.
විජිත නම් වී. එ රජ ආඪ්‍ය ය; මහාධන යැ;[71] මහාභොග යැ. බොහො රන් රිදි ඇත්තෙ යැ. සතුට් සොම්නස් උපද්නට[72] නිසි රන් බදුන් රිදී බදුන් ඈ බොහො උපකරණ ඇත්තෙ යැ. බොහො ඇතුන්[73] ඇත්තෙ යැ; බොහො අසුන් ඇත්තෙ යැ; බොහො රථ ඇත්තෙ යැ; බොහො රට ඇත්තෙ යැ. ධනයෙන්[74] පිරුණු ධාන්‍යයෙන් පිරුණු පිළින්[75] පිරුණු නොඑක් දහස්[76] කොටගෙ ඇත්තෙ යැ. එ රජ එක් දවසක් සතුරුවනින් පිරුණු කොටාර දහස් බලා “මෙ ධන හා රැස් කෙළෙ යැ?” යි භාණ්ඩාගාරිකයන් පිළිවිත. “මහරජ, තොප පියන් මුත්තන් ඇ සත්වන කුලපරම්පරායෙහි වූවන් රැස් කළ ධන යැ”යි කීහැ. “ඔහු[77] කොයට ගියාහ?” යි කී යැ. “මියැ පරලොව ගියාහ”යි කීහැ. “තමන් උපැයූ[78] ධන නො ගෙනැ ගියො දැ?”යි කී හැ. “මහරජ කුම්[79] කියවඃ ධන තබා පියා යත් මිසැ, ගෙනැ යන්නාහු නො වෙති”යි කීහ. එ කල්හි රජ නැවැතී සිරි යහන්ගබ ගොසින් හිඳැ, “මම් මිනිස්ලොවැ විපුල මහත් භොග ලදිමි[80] මුළු දඹදිව් දැනැ වෙසෙමි. පරලොව්හි දු[81] මා සුව විඳුනා[82] සඳහා මහත් යාගයක් කළ මැනැවැ”යි සිතී.
‘යාග’ ශබ්දය දෙවපූජායෙහි දු සඞ්ගති[83] ක්‍රියායෙහි දු දානයෙහි දු වැටෙයි. මෙතැනැ වූ කල ‘යාග’ ශබ්දයෙන් දන් කියත්.
“දන් දෙනන්න් එක් පණ්ඩිතපුරුෂයකු හා බැණැ-ගෙනැ දුන මැනැවැ”යි තමා ගෙ පෙරවි බමුණා ගෙන්වා - ගෙනැ “ආචාර්ය, මම මහායාගයක් කටටියෙමි, පරලොවැ ද සුව විඳුනා සදහා යැ. මට අනුශාසනා කළ මැනැවැ”යි කීයැ.
එ කල්හි පෙරෙවි බමුණු, “මෙ රජ මහදන් දියටි වෙ.[84] ජනවියෙහි සොරහු බොහොහැ. ඔවුන් නොසන්හිඳුවා දන් දෙන කලැ ගෙනෙන කිරි දිහි සාල් ඈ දානසම්භාර වොලො
ගන්ති. ජනදය සොරුන් විසින් ආකුල වෙයි. එසෙ වන්නා වූ රජු ගෙ දන් බොහො කලක් නො පවත්ති. ඔහු සිතට සුව ද නො වෙ”යි සිතා, “මහරජ, තා ගෙ රටැ සොරහු බොහොහැ. ඔවුන් නො සන්හිඳුවා බදු කරවුවර ගන්නෙ දහම් නො වෙයි. සොරුන් මැරුව හොත් ඔවුන් කෙරෙහි දිටි තිබූ කෙනෙක් තා ගෙ රට වැස්සන් පෙළති. තා ගෙ මෙ සංවිධානයට පැමිණැ සොරහු සන්හිඳෙති.[85] එ බැවින් තා ගෙ රට ගොවිකම් කටටියනට බිජු බත් හුදැලු කැති සිහිවැල් දෙනු මැනැවැ. වෙණෙඳහම් කටටියනට[86] බඩුමිල දෙනු මැනැවැ සැමිවැටියනට ඔවුනොවුන් තුබු පරිද්දෙන් නිබඳ10 දිවෙල් තනතුරු ගම් නියම්ගම් දෙනු මැනැවැ. ඒ මිනිස්හු තමන් තමන් කළ මනා ගොවිකම් වෙණෙඳාම් ඈ කම්හි යෙදුණාහු, රට නො පෙළති. එසෙ වන්නා හා තට ධන ධාන්‍යයො රැස්[87] වෙති. සොරුන් නැති වන්නා හා මිනිස්හු භය නැති වැ සතුට් වැ[88] දරුවන් ළමැඩියෙහි[89] නටවමින් දොර සො පියාලා නිසැක වැ දවස් යවනු වෙති රජ හට අනුශාසනා කෙළෙ,
එ කල්හි රජ, “ඉතා මැනැවැ”යි ගිවිසැ-ගෙනැ ගොවිකම් කටටියනට2 බිජු බත් හිදැනු කැති සිහිවැල් දින. වෙණෙඳාම් කටටියනට බඩුමිල දින. තමා සැමිවැටියනට ඔවුනොවුන් තුබූ පරිද්දෙන් නිබඳ දිවෙල් තනතුරු ගම් නියම්ගම් දින. එ මිනිස්හු තමන් තමන්ගෙ කම්හි යෙදුණහු, රජු ගෙ රට නො පෙළුැහු.[90] රජ හට ධනධාන්‍යයො රැස්වූහ. මිනිස්හු සොරුන් නැති වන බැවින් භය නැති වැ සතුට් වැ දරුවන් ළමැඬියෙහි[91] නටවමින් දොර නො පියාලා නිසැක වැ වෙසෙති.
එ කල්හි රජ හැම සෙ මැ[92] රට සමෘද්ධ බව දැනැ පෙරෙවි බමුණා කැඳවා-ගෙනැ “ආචාර්ය, තා ගෙ උපායෙන් රටැ සොරහු දු නැති වූහු. ධනධාන්‍යයෙන් කොටාර දහස්[93] පිරිණ. රටවැස්සනට ද භය නැති වී යැ. මම මහායාග කටටීයෙමි, පරලොවැ සුව විඳුනා[94] සඳහා යැ. මට අනුශාසනා කරනු මැනැවැ”යි කී යැ.
එ කල්හි පෙරෙවි බමුණු, “මෙ රජ මහාදාන දෙන්නට මහත් උත්සාහ ඇත්තෙ යැ. ඉදින් තමා ගෙ රට රජ ආදීනට නො කියා දෙන්නෙ වී නම්, ඔහු හැම දෙන නො සතුටු වෙති. ඔවුන් සතුට් වන නියාවක් කළ මැනැවැ”යි සිතා “මහරජ, තා මහ දන් දියටි බැවින් තා ගෙ රටැ රජනට දු තා සැනැහැති ඇමැත්තනට දු පිරිස් වැස්සනට දු බමුණුමහසල්කුලට දු[95] නියම්ගම් වැස්සනට දු දනවු වැස්සනට දු “මම් මහායාග කටටියෙමි, පරලොවැ ද මට සුව සඳහා යැ. එයට මට අනුදන්නෙ මැනැවැ”යි කියන්නට යෙදී යැ. මහරජ, “ඉතා මැනැවැ”යි තමා ගෙ විජිතයෙහි රජ ආදීනට කී යැ. ඔහු “මෙ රජ ‘ඉසුරුමි’ යි අභිභවා දන් නොදී අපට කියයි. කළ සෙ හෙටු යැ.[96] නො කී කලැ දාන සම්භාර බලන්නට[97] දු නො යතී” සතුට් ටැ “මහරජ, දෙයධර්ම නැති කලැද් මහලු කලැද් මෙ බඳ් දනක් දෙන්නට නො පිළිවන. තො මහත් ධන ඇත්තෙහි. ළදරුයෙහි, ඉතා මැනැවැ මහා යාග කරන්නෙ යැ”යි කීහු. “බමුණ, මෙ සතර අනුමති දායකයො යාගයට පිරිවර වෙතී” වදාළො.
මහාවිජිත නම් රජ අට අඟෙකින් සමුපෙත යැ. කවර අට ඇඟිනැ[98] යත්:- අභිජාත යැ, අභිරුප යැ, මහත් ධන ඇත්තෙ යැ, මහත් සිවුරඟසෙනඟ ඇත්තෙ යැ, මහත් සැදැහැ ඇත්තෙ යැ, බහුශ්‍රැත යැ, කී කී බසැ අර්ථ දන්නි, පණ්ඩිත යැ, ව්‍යක්ත යැ, අතීත අනාගත වර්තමාන අර්ථයන් සිතන්නට සමර්ථ යි. කීසෙ යැ යත්:- මට මෙ[99] සම්පත් “අතීතයෙහි පින් කෙළෙන් ලද්දෙ යැ”යි සිතනුයෙ, අතීත අර්ථයන් සිතන්නට සමර්ථ නම් වෙයි. “දැන් කළ පින් කැමින් අනාගතයෙහි සම්පත් ලබන්නට නිසි වෙමි”යි සිතන්නෙ අනාගත අර්ථයන් සිතන්නට සමර්ථ නම් වෙයි. “මෙ පින් කම්[100] නම් හැම මහාපුරුෂයන් විසින් ඇසුරුයෙ යැ,[101] මා ගෙ භොග දු ඇති, දානචෙතනා දු ඇති, එබැවින්[102] පින්කම්[103] කෙරෙමි” සිතනුයෙ වර්තමාන අර්ථයන් සිතන්නට සමර්ථ නම් වෙයි. මෙ අට ඇඟින්[104] සමුපෙත වැ දෙනුවහු ගෙ[105] දනට හැම දෙසෙන් මහාජයො එළබෙති. “අජන්මවත් තෙමෙහෙ කෙතෙක් කල් දෙ ද! දැන් මැ විපිළිසර ඇති වැ සිඳැ පියතී[106]” මෙ ඈ නොඑක් සිතිවිලි සිතා කිසි කෙලෙක් මැ නො එළැබියටි වෙති. මෙ අට ඇඟින් සමුපෙත වැ දෙන දනට එළැබියට් වෙති. මහාවිජිත නම් රජ මෙ අට ඇඟින් සමුපෙත යැ. මෙ අට අඟ ද මෙ මැ යාගයට පරිවාර වෙ.
එ රජුගෙ පෙරෙවි බමුණු සතර අඟෙකින් සමුපෙත යැ. කවර සතර ඇඟි නැ යත්:- අභිජාත යැ, තුන් වෙදයෙහි පාරයට ගියෙ යැ, සිල්වතැ, නුවණැත්තෙ යැ, අභිජාතාදි ගුණෙන් යුත් පුඟුලන් ගෙ සංවිධානයෙන් දෙන දන බොහො කල් පවත්ති[107]. හැම දෙසින් මැ මහාජනයො එළබෙත් මැ යැ, අගර්හිත වන බැවින් එළබෙත් මැ යි. මෙසෙ එ රජු ගෙ පෙරෙවි බමුණු සතර අඟෙකින් සමුපෙත යි. මෙ සතර අඟ ද එ යාගයට පරිවාර වෙ.
එ කල්හි පෙරෙවි බමුණු රජු ගෙ යාගයට පෙරට වැ මැ සිතී: “දන් දෙන්නාහු තුන් තැනින් එක් තැනෙකැ චලිත වෙති. මෙරජු තුන් තැන්හි පළමු වැ[108] අචල කළ මැනැවැ”යි. රජ හට තුන් විධාන[109] දෙසී. කිසෙ යැ යත්:- “මහරජ, තා යාග කටටියහු විසින් කිනි කවර විපිළිසරයක් නො කළ මැනැවැ:- ‘මා ගෙ ධන[110] නස්සි’ කියා යැ. යාග කරන්නහු විසින් කිසි කවර විපිළිසරයක් නොකළ මැනැවැ- ‘මාගෙ ධන නස්මින් සිටියෙ යැ’ කියා යැ. යාග කළහු විසින් කිසි කවර විපිළිසරයක් නොකළ මැනැවැ; ‘මා ගෙ ධන නස්මින් සිටියෙ යැ’ කියා යැ. යාග කළහු විසින් කිසි කවර විපිළිසරයක් නොකළ මැනැවැ- ‘මාගෙ ධන නට’යි කියා යැ. පසු වැ නොතැවුණ මැනැවැ. පූර්ව චේතනා අචල කොටැ පිහිට්විය යුත්තේ යැ. එසෙ වන්නා හා දානයෙහි ඵල මහත් වෙයි. මධ්‍යචෙතනාද් අපරචෙතනාද් එ සෙයින් මැ අචල කොටැ පිහිට්විය යුත්තෙ යැ. එසෙ වන්නා හා දානයෙහි ඵල මහත් වෙයි. එසෙ නො කරන්නා හට දානඵල විපුල නොවෙයි. උළාර වූ සම්පත් ලද් කලැද් රොරුව මහා නරකයෙහි උපන් අපුත්‍රක සිට් හට සෙයින් සම්පත් වළඳ[111] රිසි නොඋපද්දි. පෙරෙවි බමුණු මෙසෙ මහා විජිත රජුගෙ යාගයට* පෙරට වැ මැ ආදිචෙතනා මධ්‍ය චෙතනා අපරචෙතනා පිරිසිදු කළ[112] මනා පරිදි දක්වනුයෙ තුන් විධාන දෙශනා කෙළෙ.
එක්බිති “ඉදින් මෙ රජු දුශ්ශීලයන් දැකැ ‘මාගෙ දානය නස්සි- ‘දුශ්ශීලයහ වළඳන්නාහ’යි, සිල්වතුන් කෙරෙහිද් විපිළිසර ඉපැයුයෙ[113]වී නම්, දානය මහාඵල නොවෙයි. විපිළිසර නම් දායකයනට පිළිගාවන් කෙරෙන් ද[114] උපද්දි. එසෙ බැවින් පළමු මැ එ විපිළිසර නො උපැද්ද දුන මැනැවැ”යි දස ආකාරයෙකින් පිළිගාවන් කෙරෙහි විපිළිසර නොකළ මනා පරිදි කියනුයෙ “මහරජ, තාගෙ[115] දන් ගන්නො පණිවා කරන්නාහු ද නොකරන්නාහු දු එති. එහි යම් කෙනෙක් පණිවා කරන්නාහු වූහු නම්, ඒ පාපයෙන් අනිෂ්ට[116] විපාක උනට මැ වෙයි. සෙස්සනට වන්නෙ නොවෙයි. එහි යම් කෙනෙක් පණිවා නො කෙරෙද්ද, ඔවුන් සඳහා දන් දෙන්නෙ යැයි සිත් පහදවන්නෙ[117] යැ. එසෙයින් මැ අයිනාදන් ගන්නාහුදු නොගන්නාහු දු කාමමිථ්‍යාචාරයෙහි පවත්නාහු දු නොපවත්නාහු දු මුසවා කියනුවො දු නොකියනුවො දු අනුන් ගෙ අයිණි[118] කියන්නාහු ද නොකියන්නාහු ද අන්නට කර්කශ තෙපුල් බණන්නාහු නොබණන්නාහු දු සම්ඵප්පලප[119] බණන්නාහු දු නොබණන්නාහු දු අනුන්ගෙ සම්පතැ ලොභ කරන්නාහු දු නොකරන්නාහු දු අනුන් කෙරෙ ගැටෙන්නාහු දු නොගැටෙන්නාහු දු මිසදිට්හ ගත්තාහු දු නොගත්තාහු ද තාගෙ දන් ගන්නට එළබෙත්. එහි යම් කෙනෙක් අයිනාදන් ඈ ගන්නාහු වූ නම්, එ පාපයෙන් අනිෂ්ට විපාක උනට මැ වෙයි. සෙස්සනට වන්නෙ නොවෙයි. එහි යම් කෙනෙක් අයිනාදන් ඈ නොගන්නාහු වූ නම්, ඔවුන් සඳහා යැ මා දන් දෙන්නෙ යි, සිත් පහදවන්නෙ යැ”යි මෙ දස ආකාරයෙන් පිළිගාවන් කෙරෙහි විපිළිසර නොකළ මනා පරිදි යාගයට පෙරට වැ මැ කියා ගිවිස්වි යැ.
එක්බිති “මහරජ, තා මෙසෙ දන් දෙන කලැ ‘අපට නොකියා රජ යාග කෙරෙ’යි කියන්නට නිසි යමෙක් නැති” යනාදි විසින් සොළොස් ආකාරයෙකින් රජ හට සොම්නස් උපැද්දී.[120] එ යාගයෙහි ගෙරින් නො ද මැරුහ. එළුවන් නො ද මැරුහ. කුකුළන් නො ද මැරුහ. හූරන් මුවන් ලිහිණියන් ඈ නොඑක් සතුන් නො ද මැරුහ. යූපයට රුක් නො ද සුන්හ. ඉලුප් දා නො ද අළහ. දන් දැස් ආදි කම්කරුවො යාග කරන තැනැ මෙහෙවර කටටි වුව, කෙරෙති. නොකටටි වුව, නො කෙරෙති. යමක් කටටි වුහු නම්, කටටි දෑ කෙරෙති. නොකටටි දෑ නො කෙරෙති. දඬු මුගුරු ගෙනැ “මෙහෙ කෙරෙහි ද? නො කෙරෙහිද?”යි කියන්නාහු නැති. “ඉදින් මෙහෙ කෙරෙහි නම්, කරා. නො කෙරෙහි නම්, තළම්හ, බඳම්හ[121]” යි යන්නො නැති. කඳුළු මුසු මුහුණු ඇති වැ වැලැපැ වැලැපැ මෙහෙ කරන්නාහු නැති.[122] මිහිරි තෙපුල් බැණැ මෙහෙ කැරැවූහ. එහි දස්නට ‘දස්හ’ යි නොකියති. දැස්නට ‘දැස්හ’යි නොකියති. කම්කරුවනට ‘කම්කරුවහ’යි නො කියති. පිය තෙපුල් බැණැ අඹුන්මිනිස් පිරිමින් කෙරෙහි බැල[123] ඇත්තනට බැල4 නැත්නට නිසි නිසි මෙහෙ දක්වා දී ‘මෙයිදු මෙයිදු කරව’ යෙති. ඔහු තමන් තමන් සිත් වූ[124] පරිද්දෙන් මෙහෙ කළො. ගී තෙල් වෙඬරු දිහි මී සකුරු ආදීන් යාග කොටැ නිමැවූහු.
කිසෙ යැ යත්:- රජු පිට්නුවරැ[125] සතර දොර ද ඇතුළු නුවරැ මැද ද මෙ පස් තන්හි මහ දන්හල් කරවා එකෙකි දන්හලැ ලක්‍ෂ ලක්‍ෂ[126] බැවින්[127] දවසැ දවසැ පස් ලක්‍ෂයක් ධන විදා හිරු නැගි තැනැ පටන් ගෙනැ සිය අතින්* රන් කෙණෙස්ස ගෙනැ එ එ කලට[128] නිසි, පිණි වූ ගීතෙල් වෙඬරු දිහි මී සකුරු මුසු කොටැ හඹු කදු[129] බත් මාළු බොන දෑ ආදීන් මහ ජනා සැතැපී[130] ගෙනැ යාටියනට එ සෙයින් මැ බදුන් පුරා දෙවි[131]. සවස් වෙලෙහි පිළින් ගඳින් මලින් පුදයි. ගී තෙල් ආදී මහසැළ පුරා, යමෙක් යමක් වැළැඳියටි වී නම්, හෙ එ වළඳාව’යි[132] නොඑක්සියතන්හි තබවයි.
එකල්හි එරජු ගෙ රට රජහු දු ඇමැත්තො ද පිරිස් වැස්සො ද බමුණුමහසල්කුලවැස්සො ද ගැහැවිමහසල්කුල වැස්සො ද නියම්ගම්වැස්සො ද දනවුවැස්සො ද, “මෙ රජ ගිතෙල් ආදී ජනපදවාසීන් කෙරෙන් ගෙන්වා නො ගෙනැ තමා ගැති දෑ වියදම්කොටැ මහදන් දෙයි. අපට කිසි දැයක් නො කියයි. අප නො බැණැ හිඳුනා තැන් නො යෙදෙයි. රජගෙහි ධන අපමණ[133]යැ. එතෙකුදු වුව ද[134] ධන ඇරැ දුන මැනැවැ”යි ගැමින් නියම් ගැමින් නුවරින් ධන නඟා-ගෙනැ වෙන වෙනම ගැල් පුරා රජු කරා ගෙනැ ඇරැ “මහරජ, මෙ ධන බලා ගන්නෙ මැනැවැ”යි කීහු. රජ “මාගෙ ධන බෙහෙවැ. ධැමින් සෙමෙන් ගත් කරවුවරින් රැස් කෙළෙ යැ. තෙලෙ තොපට මැ වෙව යි. කැමැත, මොබින් ගෙනැ යව”යි කියා නොගත.
මහාජනයො එක තැනෙකැ ගොස් සිටැ බැණැ-ගෙනැ “මෙ ධන නැවැතැ අප ගෙ ගෙට ගෙනැ යන තැන් සොබනෙ නො වෙයි. රජ මහායාග කෙරෙයි. ඇපි අනුයාග කරම්හ”යි යම්සෙ පැදුන් දෙසෙන් එන්නාහු “අපගෙ දන්හලැ හඹු බී රජු ගෙ දන්හලැ බත් වළඳා නුවර වදිද්ද, එබඳු තන්හි අනුයාග කරම්හ”යි රජ්දරු[135] ආදීහු පැදුන් දෙසෙහි දන්හල් කරවා දන් දුන්හ. එසෙසින් මැ දකුණු දෙසෙහි ඇමැති ආදීහු දන්හල් කරවා දන් දුන්හ. පැළදෙසෙහි බමුණු ආදීහු දන්හල් කරවා දන් දුන්හ. උතුරු දෙසෙහි ගොවි ආදීහු දන්හල් කරවා දන් දුන්හු. ඔවුන්ගෙ යාගයෙහි දු ගෙරින් නො ද මැරුහ. එළුවන්[136] කුකුළන් හූරන් මුවන් ලිහිණියන් ඈ නො එක් සතුන් නොද මැරුහ. රුක් නො ද සුන්හ. ඉලුප් දා නොද අළහ. දස් දැන් කම්කරුවන් නොද කළකිරැවූහ.[137] ගීතෙල් වෙඬරු දිහි මිහි සකුරු ආදීන් යාග කොටැ නිමැවූහු.
“මෙසෙ රට වැස්සන් අතින් ගත් සතර අනුමති හා රජුගෙ අට අඟ හා පෙරෙවි බමුණා ගෙ සතර අඟ හා තුන් විධාන හා මෙ යැ, බමුණ, තුන් යාග සම්පත් හා සොළොස් පරිවාර[138] යැ”යි වදාළො. එකල්හි බමුණො ගිතෙල් ආදින් නිමාවට[139] ගිය යාගවිධි අසා “ලොකයෙහි යම් මියුරෙක් ඇද්ද, මහණ ගොයුම් එමැ කියයි, එසෙ බැවින් යාග පස්සම්හ”යි සතුට් සිත් ඇත්තාහු මහත් කොටැ “යාග මෙසෙ වුව මැනැවැ. යාගසම්පත් නම් මෙයැ”යි ගුගුළො.
එකල්හි කූටදන්ත නම් බමුණු මත්තෙ කිව මනා අර්ථයක් සිතා නොබැණැ හුන්නෙ යැ. බමුණො ඔහු නො බැණැ හුන්සෙ දැකැ “හැයි, තො මහණ භවත් ගොයුම්හු ගෙ කථා නොඅනුමෙව්නෙහි[140] නො?” යි කීහු. “මම් එ නොඅනුමෙව් නෙම් නොවෙමි. යමෙක් මහණ භවත් ගොයුම්හු ගෙ කථා නොඅනුමෙව්නෙ නම්, උහු හිස් සත් කඩ වැ පැළෙයි. ඒකාන්තයෙන් මහණ භවත් ගොයුම්හු එකල්හි යාගස්වාමි මහාවිජිත රජහු භො වුව මැනැවැ. යාග කරැවූ පුරොහිතයා හො වුව මැනැවැ යි සිතා හුන්නෙමි” කී යැ. එ සඳැ කූටදන්ත බමුණු “තෙපි එ කාලයෙහි රජ වූව? පුරොහිත වුව?[141] යි ඉඳුරා කියනු හරසර නොවෙ”යි යන සිතින් පර්යායයන් පුළුවුස්නෙ “මෙබඳු යාග කළාහු දු කැරෑවූවාහු ද කුමක් වෙති හො?” යි
කීයැ. “බමුණ, මෙබඳු යාග කළාහු දු කැරැවූවාහු දු සුගතියැ උපදිති. මම එකාලයෙහි මහාවිජිත රජුගෙ යාග කැරැවු පෙරෙවි බමුණමි”[142] වදාළො.
එකල්හි කූටදන්ත බමුණු, “මෙ තුන් යාග සම්පතට හා සොළොස් පරිවාරයට වඩා මහත් ඵල ඇති අනෙක් යාගයෙන් හා ඇති හො?” යි කීයැ. එයට වඩා නිත්තෙන් සිල්වත්නට දෙන දන්හි ඵල මහත්සේ වදාළහ. එයට වඩා සෙනසුන් දනැ ඵල මහත්සෙ වදාළහ. එයට වඩා සරණගමන්හි[143] ඵල මහත්සෙ වදාළහ. එයට වඩා පන්සිල් රැක්මෙහි[144] ඵල මහත්සෙ වදාළහ. එක්බිති බුද්ධොත්පාදයෙහි පටන් ගෙනැ අර්හත් ඵල පර්යන්ත කොටැ “ඉධ තථාගතො ලොකො උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො” යනාදි විසින් ධම් දෙසා, අර්හත් ඵලයට වැඩි අනෙක් උතුම් පිණි යාගයෙක් ඇත්තෙ නො වෙයි වදාළො.
එකල්හි කූටදන්ත නම් බමුණු බුදුන් වදාළ ධම්දෙස්නෙහි පැහැදැ වැඳැ තුණුරුවන් සරණගොස්, “වහන්සෙ, මම් යාග සාලායෙහි සත් සියක් ගොනුන් සත් සියක් වස්සන් සත් සියක් වැස්සන් සත් සියක් එළුවන් සත් සියක් එළු පැටවුන් නොඑක් මුවන් ලිහිණියන් සත් සත් සිය බැවින්[145] ගෙනැ ටැඹැ බැඳැ සිට්වූවන් විහිද්මි,[146] දිවි දෙමි, නිල් තණ කා සිහිල් පැන් බොත්වයි, ඔවුන්ගෙ සරීරදරථ නිවමින් මනා මෙළෙක් සිහිල් සුළඟ[147] හමාව”යි බැණැ එක් පුරුෂයෙක් හට යෙදීයැ. හෙ ගොස් හැම සතුන් මුදවා පියා අවුදු බමුණාට කී යැ. හෙ අසා සතුට වී යැ.
බුදුහු ධම් දෙසුහු. බමුණු සොවාන් වැ බුදුන් සඟුන් පවරා වැඳැ පැදකුණු කොටැ ගෙට ගොස් අලුයෙහි සිනිඳු මියුරු පිණි බොජුන් යුතු කරවා “කල් දන්නෙ මැනැවැ”යි කියා යවී යැ. බුදුහු සුගත් මහපහුල් පෙරෙවැ පන්සියක් සඟුන් පිරිවරා ගොස් පැන් වූ අස්නෙහි වැඩැ හුන්හැ. බමුණු සිය අතින් දන් දී වැඳැ එකත් පස් වැ හුන්නෙ යැ. බුදුහු එව් හට[148] ධම් දෙසා හුනස්නෙන් නැඟී වැඩියො.
මෙ සෙයින් බුදුහු තමන් ‘පුරිසදම්මසාරථි’ වන බැවින් කූටදන්ත බමුණා දු ආදි ශබ්දයෙන් ගත් වඞ්ගීසාදි අනෙ සිය දහස් බමුණනුදු දමා අමා මහනිවන් පැමිණිවූහු.
බ්‍රාහ්මණදමන නම් පස් වන පරිච්ඡේද[149] නිමි.
-
බමුණානන්, බමුණ ↑
-
දස දහසක් ↑
-
බමුණ, බමුණ් ↑
-
පැමිණි, පැමිනිනි ↑
-
මොහුට් ↑
-
අතවැස්සො ↑
-
සොළොස්-හැම “මයි තත්‍ථ ගතෙ, එතස්ස අන්තෙවාසිනො වාදසහා’කාරෙහි බ්‍රාහ්මණස්ස වණ්ණං භාසිත්‍වා මම සන්තිකං ආගන්තුං න දස්සන්ති” - සොණ දණ්ඩ සුත්ත වණ්ණනා ↑
-
අවිදු ↑
-
පන්සියයක් ↑
-
ඛාණුමත්, භානුමත්, ඛානුමත්ත ↑
-
මහරජහු ↑
-
බඹදෙසෙන්-හැම ↑
-
සැරවිය ↑
-
සියයක් ↑
-
වැස්සියන් ↑
-
එදරු-මැඩවුන්, එදරුමැඩවුන්, ‘තරුණමෙණ්ඩිකා’-අටුවා ↑
-
බැගින්* යාග අනුභව කරන්නට රැස් වූ ඛෙමුනා, -පොත් ↑
-
දිවයන්හි ↑
-
පරිවාර ↑
-
නොදත්මි ↑
-
නොගියෙය ↑
-
උන්ගේ, ඔහුගෙ ↑
-
හුන් සෙනස්නක් ↑
-
සතුටු ↑
-
සබඳ, සබෑඳ ↑
-
උහු තො, ↑
-
තුන්සියයත් ↑
-
අවුද්. ↑
-
වාසය ↑
-
බමුණු කීහු ↑
-
අසනුව ↑
-
සිදුහතු ↑
-
සදත් දහ තළා, සදහතළා ↑
-
සතර ගවු පමණ ↑
-
බුදු ↑
-
සුවාසූදහස් සූවාසුදහස් පමණ දෙව්මිනිස්හු ද, සුවාසූදහස් අපමණ දෙව්මිනිස්හුදු “චතුරාසීතිම්පි පාණසහස්සානි, අපරිමාණ’පි දෙව මනුස්සා” - අටුවා ↑
-
ඇදුරු ↑
-
අචලයැ ↑
-
මහණ බමුණො-පොත්, “සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සපාදිභෙදාය බ්‍රාහ්මණපජාය” - අටුවා ↑
-
පිරිවර, පිරිවර වැ-මු ↑
-
පුළුවුසුනට ↑
-
තමන් විසජන්නට පැන “පුච්ඡාය වා දොසං විස්සජ්ජන සම්පටිච්ඡනෙ වා අසමත්‍ථතං සල්ලක්ඛෙත්වා අපුච්ඡිත්වා’ච තුණ්හී නිසිදන්ති අටුවා ↑
-
කියවයි. ↑
-
දෙව්මිනිසුන් ↑
-
ආවුන්ට, ආවන්ට ↑
-
පළමු ව ↑
-
සුවද් ↑
-
දුටු ↑
-
ඔහුහට ↑
-
පුබුද්නා, පුබුදනා ↑
-
පිළිවිසර ↑
-
සතුටු ↑
-
පාන්නාහ, පාන්හ ↑
-
ඔවුනොවුන්ගෙ ↑
-
ගුණයෙන් ↑
-
යම් යම් ↑
-
වැඩි ↑
-
මහපිරිවරින් ↑
-
සොණදණ්ඩ නම් ↑
-
ලද්දේ යැ ↑
-
ලදු වෙයි. ↑
-
කවුරු ↑
-
උහු, ↑
-
එබැවින් මහණ........... ↑
-
වුසු සෙ, වුසෙ, ‘අධිවාසිතං’ - අටුවා ↑
-
වෙසේය ↑
-
පාඨෙය්‍ය ↑
-
බමුණු ගණයා ↑
-
ඇතැම් බමුණු ↑
-
සාරාණීය*සොණදණ්ඩ බමුණා ගැනැ සූත්‍රයෙහි හො අටුවායෙහි හො සඳහනෙක් නැත. මේ නම් මෙහි ලා අධිකයෙකි. ↑
-
මහත්ධනය ↑
-
උපදනට ↑
-
ඇතුන් අසුන් ඇත්තෙ යැ ↑
-
ධනධාන්‍යයෙන් පිරුණු ↑
-
පිළියෙන් ↑
-
දහස් ගණන් ↑
-
ඌ ↑
-
ඉපවූ, ඉපදවු උපැවු-මු: ↑
-
කුමක් ↑
-
ලදිමි ↑
-
ලෙව්හි ↑
-
විඳිනා ↑
-
සඞ්ගතක්‍රියායෙහිද් ↑
-
ව. වැ. වන - මු: ↑
-
සන්හිඳුනි. සන්හිඳුති ↑
-
කැටියනට ↑
-
බොහොරැස් ↑
-
සතුටු වෙති ↑
-
ලයෙහි ↑
-
පෙරළූහ ↑
-
ළමෙහි ↑
-
හැමදෙයින් මැ ↑
-
දහස් ගණන්
10 නිමඳ - හැම දෙවසිකහත්තචෙතනං - අටුවා ↑
-
විඳින, විඳිනා ↑
-
කුලයට දු (ද්) ↑
-
හෙතුවැ ↑
-
ලබන්නට ↑
-
අටඅඟය ↑
-
මට මෙ සෙ, මා මෙ - මු. ↑
-
පින්කම ↑
-
සුරුයෙය ↑
-
වන බැවින් ↑
-
කම් ↑
-
අඟෙකින් ↑
-
දෙනුවන්ගෙ ↑
-
පියයි-මු: ↑
-
පවතිත්-මු ↑
-
මා ↑
-
විධානා ‘නිස්සොවිධා’ - පෙළ ↑
-
ධාන්‍ය ↑
-
වළඳන ↑
-
කළපරිදි ↑
-
ඉපැදවූයෙ ↑
-
මැ ↑
-
තාගෙන් ↑
-
අනිට්ඨ ↑
-
පාදවන්නේය ↑
-
අයණි ↑
-
සම්ඵප්ඵල, සම්ඵප්පලාප * “බමුණ මෙසෙ = මහාවිජිත රජු ගෙ පෙරෙවි බමුණු රජු ගෙ යාගයට” - පොත්. ↑
-
උපද්දි ↑
-
බඳිම්හ ↑
-
කරන්නෝ නැති. කරන්නෝ නම් නැති ↑
-
බල ↑
-
සිත්තුබු ↑
-
පිටිනුවර ↑
-
එකෙකි ලක්‍ෂ ලක්‍ෂ ↑
-
බැගින් ↑
-
කුලට ↑
-
කැඳ, කනදැ, කද ↑
-
සතැප්පි ↑
-
දෙවයි ↑
-
වළඳවයි ↑
-
පමණය ↑
-
වුවද් *”එ එ කලට නිසි බොජුන සිය අතින්......”පොත් ↑
-
රජ්ජුරු, රජ්ජුරු, රජදරු ↑
-
එළුවන් නො ද මැරූහ ↑
-
කල කිරුවා ↑
-
පිරිවර ↑
-
නිමාවට ↑
-
අනුමෙවුනි ↑
-
වුව ද, වූද ↑
-
බමුණෙමි ↑
-
සරණාගමනයෙහි ↑
-
රැකීමෙහි ↑
-
බැගින් ↑
-
විහිදුමි ↑
-
සුවඳ සුලභ-මු. ↑
-
ඔහුහට, ඔහට ↑
-
පරිච්ඡෙදය - මු: ↑