මෙසෙ ඔවුන් තුසීපුරයෙහි ඉපැදැ[1] සත්පනස් කෙළ සැට ලක්‍ෂයක් අවුරුදු දෙව්සපු[2] වළඳා වැඩැ වසන කල්හි[3] දසදහසක් ලොධාහි දෙව්බඹහූ පූර්වනිමිත්ත දැකැ එක් සක් වළෙකැ මුළු දී “බුදු වන මහතෙක් කොහි[4] වෙසෙ හො[5]!” යි බලනුවො අප මහබොසතාණන් දැකැ තුසීපුරට[6] ගොස් වැදැ[7] මුදුනෙහි ඇඳිලි බැඳැ “බුදු වන්නට කලා” යි ආරාධනා කළහ.[8]
එ කල්හි මහබොසතාණො පඤ්චමහාවිලොකනා[9] කොටැ බුදු වන්නට කල් බව දැනැ දෙව්පිරිස් පිරිවරා නඳුන් උයන් වැදැ තුසීපුරෙන්[10] සැවැ දඹදිවැ මැදුම් පියෙසැ කිඹුල්වත් නුවරැ ඔකාවස්කුල අබරණ සුදොවුන් මහ රජහු පිණිසැ මහාමායා දෙව්රැජින කුසැ[11] පිළිසිඳැ-ගත්හු.
මහාමායදෙවී ඇසළ පුනු පොහොයට[12] සත් දවසක් ඇති කුල පටන්-ගෙනැ දෙව්නුවරක් සෙයින් සදන ලද කිඹුල්වත්පුරෙහි දෙව්පිරිස් බඳු මහ පිරිස් පිරිවරා සැණකෙළැ[13] පොහොදවස්[14] ගඳදියෙන් නහා ගඳවිලෙවුන්[15] ගෙනැ සව් බරණින්[16] සැදී, සතර ලක්‍ෂයක් ධන වීසදා මහදන් දී වරභොජන වළඳා, පෙහෙ වැ, දිවවිමන් පරයන සිරියහන් ගබට වැදැ සිරියහන් මතුයෙහි හෙවැ නිදන්නට වන්නී, මෙබඳු ස්වප්නයක් දුටු. කිසෙයැ යත්:-[17] සතරවරම් මහ රජහු[18] ඇය යහනින් මැ නඟාගෙනැ හිමවත් පියෙසට ඇරැ සැට යොදුන් රග්ගල්[19] තෙලෙහි පිහිටි සත්යොදුන් මහසල්රුක් යටැ බහා-තබා එකත්පස් වැ සිටියො. එ කල්හි ඔවුන් ගෙ දෙව්හි අවුදු, දෙවිය නූතත්දහතළට[20] හැරැ මිනිස්මල හරනා[21] සඳහා නහවා දිවපිළී හඳවා දිවගඳින් විලෙවුන්[22] ගන්වා[23] දිවමල් පළඳවා, එයට නුදුරු තන්හි එක් රිදී පවියෙක්[24] ඇති, එහි ඇතුළු[25] රන්විමනෙක් ඇති, එ විමන්හි පැදුන් දසට හිස ලා දිවයහනක් පන්වා[26] එ යහන්හි වඩා හෙවූහු.
එ කල්හි අප මහබොසතාණො සරා වලා ගබක් සෙයින් සුදු ඇත්වෙසක් දක්වා, එයට නුදුරු තන්හි එක් රන්ගලෙක් ඇති, එ ගල්හි සැරැ එයින් බැසැ රිදී පව්වට නැඟී[27] උතුරු දිසායෙන් අවුදු රිදීදමක් බඳු අතින් සුදුපියුමක් ගෙනැ, කිලැ, රන් විමනට වැදැ, මෑණියන් හොත් යහන තුන් යලක් පැදකුණු කොටැ දකුණු ඇලයෙන් කුසට[28] වන්නවුන් වැනි වූහු. මෙසෙ ඇසළ පුනු පොහොයැ උත්තරසළ[29] නකතින් මවුකුසැ පිළිසිඳැ-ගත්හු.
එ කල්හි දෙවි පිබිදැ රජ හට සැළ කළහ.[30] රජ සිවුවෙ ගෙවාදත් බමුණන් සූසැටදෙනකු[31] ගෙන්වා-ගෙනැ සත්කාර කොටැ මහත් භොග දී සිහින කියා “කිමෙක් වෙ?” යි පිළිවත. බමුණො “මහරජ, තා ගෙ දෙවිය කුසැ ගබ පිහිටි යැ. පිතෙක් තට උපද්දී. ගෙ ගිහිගෙහි සිටියෙ[32] නම්, සක්විති රජ වෙ[33] පැවිජි වී නම්, බුදු වෙ”යි කීහු.
ඔවුන් මවු-කුසැ පිළිසිඳැගත් විගැස එක පැහැරැ දසදහස් ලොධා කම්පිත වී යැ. දසදහසක් සක්වළැ අපමණ අලොක වී යැ. එශොභා දක්නට කණහු[34] ඇස් ‘ලදැහැ. බිහිරිහු[35] ශබ්ද ඇසූහැ. ගොළුවෙ ගායනා කළහැ. පිළුහු[36] නැටුහැ. කුදුහු ඉදි සිරිරි[37] ඇති වූහැ. බන්ධනගත සත්ත්වයො බන්ධනයෙන් මුක්ත වූහැ. හැම නිරයැ ගිනි නිවිණ.[38] ප්‍රෙතයන් ගෙ සා-පිපාසා[39] සන්හිනැ.[40] තිරිසන් ගතිතැ සත්නට[41] භය නැති වි යැ. හැම සතුන් ගෙ රොග සන්හිනැ.[42] හැම සත්හු ප්‍රිය[43] තෙපුල් ඇති වූහ. අස්හු මියුරු ආකාරයෙන් කුල්ති. ඇත්හු සොම්නස් වැ ගර්ජනා කෙරෙති. සිංහයො නාද කෙරෙති.[44] හැම බෙරහු තමන් තමන් ගෙ[45] ධ්වනි වුහුට්හු. නොසොල්වන ලද දෙව් මිනිසුන් ගෙ පළඳනා රැව්පිළිරැව් දී ගුගුළෙ. හැම දෙසෙහි පහන් පැහැ වි යැ. හැම සත්නට සුව ජනවමින් සුවඳ මෙලෙක් සිහිල් සුළඟ හැමී යැ. අකාලමෙඝ නඟා වැසි වට. පොළොවිනුදු[46] දිය නැඟී පොළො-තෙලෙහි[47] ඇවිද්දි. පක්‍ෂීහි[48] ආකාශයෙන් යන ගමන් පීහැ. ගඞ්ගාවො[49] නො ගොස් සිටියහ. මහ මුහුදැ දිය[50] මියුරු වී යැ. හැම තැන්[51] පස්පියුමින් සැදුම් ලද දියෙහි ගොඩෙහි පුෂ්පයො විකසිත වූහැ. හැම රුකැ හැම ලියෙහි කඳවෙළෙපැ ශාඛායෙහි පස්පියුම් පිපි යැ.[52] පොළො-තල ගල්-තල[53] බිඳැ-ගෙනැ[54] මතුමතුයෙහි සත් සත්බුමු වැ දඬුපියුම්[55] නික්මිණ. අහසැ පියුම් වියන් වි යැ. හාත්පස්හි[56] මල්වැසි වට. ආකාශයෙහි දිවබෙර ගුගුරයි. සියලු දසදහසක් සක්වළ වටා වුහුටු මල් ගුළාවක්[57] වැනි වි යැ. පෙළා[58] බැඳි මල්කලබක් වැනි[59] වි යැ. සදා-තුබු මල් අස්නක් වැනි වි යැ. එකමාලා මාලිනි වී යැ. තෙවුනා වල් විදුනා ඇති වි යැ.
පුෂ්පධූපගන්ධපරිවාසිත වි යැ. පරම සෞභාග්‍යප්‍රාප්ත වී.
මෙසෙ පිළිසිඳැ[60] ගත් මහසත්හු ගෙ පිළිසිඳ පටන් ගෙනැ මහබොසතාණ ට දූ මෑණියනට දූ උපද්‍රව වළකනු සඳහා මෙ සක්වළැ සතර වරම්මහරජහු කඩු ගත් අත් ඇති වැ ඇතුළු සිරියහන්ගබැ රකවල් ගත්හැ. තුබූ දස දහසක් සක්වළැ සතලිස් දහසක් වරම්මහරජහු[61] සහපිරිවරින් අවුදු ගබ්දොර[62] පහදොර[63] පටන්-ගෙනැ සක්වළගල් දක්වා වටා අරක් ගත්හු. මෑණියො සුවපත් වූවාහු. නොලෙඩ සිරිරු ඇත්තාහු, ඇතුළුකුසැ නැබමඬුලු බලා පලක් බැඳැ වැඩැ හුන් පුතණුවන් පහන් පැහැ ඇති මිණිරුවනෙක්හි ඇවුණු[64] රත්පලස්හුයක් සෙයින් දක්නාහු, දසමස් අවසන්හි දෙමා-පියන් කරා යාටි වැ[65] සුදොවුන් මහරජාණනට සැළ කොළො.
රජාණො කිඹුල්වත් නුවර පටන්-ගෙනැ දෙව්දැහැ නුවර දක්වා මඟ සම කරවා සුදුවැලි ඔවා කෙහෙල් ඉඳුවා[66] පුන්කලසදදපෙළින් සදා දෙවින් ගනරන්මුවා සිවිගෙකෙක්හි[67] සුදු මෙළෙක්[68] යහන්හි වඩා-හිඳුවා දහසක් ඇමැත්තන් ලවා සිවිගෙ ගන්වා[69] මහත් පිරිවරින් නඟා යවුහු. දෙනුවර මැදැ දෙනුවර වැස්සන් ගොස් සැණ[70]කෙළෙනා ලුම්බිනීවන[71] නම් මඟුල් සල්වනයෙක් ඇති.
එ කල්හි එ සල්වනය මුල පටන්-ගෙනැ ශාඛාග්‍ර[72] දක්වා මලින් සැදුම් ලද. ශාඛා අතුරෙහි දු මල් අතුරෙහි දු පස් වනක් බමර ගණන් හා නන් විසිතුරු ලිහිණිගණයො මියුරු සරයෙන්[73] කුල්මින්[74] ඇවිදිති. සියලු ලුම්බිනීවනය තව්තිස[75] දෙව්නුවරැ සිත්ලිය වනය වැනි වි යැ. එ දක්නා හා දෙවිනට සල්වනැ කෙළෙනා රිසි වී යැ.[76] ඇමැත්තො දෙවින් ගෙනැ සල්වනයට වන්හැ. දෙවිහි[77] කෙළෙමින් ගොස් මඟුල් සල්මුලට එළැබැ සල්අත්තැ[78] ගතැටි වූ හැ. සල්අත්ත හුයා-පී වෙබඩඅගක්[79] සෙයින්, නැමී දෙවීන් අතට උපගත වි යැ. ඔවුන් සල්අත්ත ගත් වීගසැ, කර්මජ වාතයො චලිත වූහැ. එකල්හි ඇමැත්තො වටා කඩතුරා බැඳැ පිටත් වැ සිටියාහැ. ඔවුන් සල්අත්ත මැ ගෙනැ[80] සිටියවුන්, කුසින් බොසතාණො ප්‍රසුත වූහැ. එකෙණෙහි සුදවස්[81] වැසි රාත් මහබඹහු අවුදු රන්දැලින් බොසතාණන් පිළිගෙනැ මෑණියන් පෙරට[82] සිටැ. “දෙවිය, සොම්නස් වා[83] මහානුභාව ඇති[84] පිතෙක් තිට උපනැ”යි කීහැ.
සෙසු සත්හු මවුකුසින් නික්මෙන කලැ, අසුචි මුසු වැ නික්මෙති. මොහු වනාහි බණ පලගෙකින් බස්නා මහතෙර කෙනකුන් සෙයින් දෙ අත් දෙපා දික් කොටැ සිටැ[85] මවුකුසැ කිසි දැයෙකින් මුසු නො වැ පිරිසිදු වැ විසදවැ[86] කසී වතෙක් හි වසා තුබූ දැරඟමිණි රුවනක් සෙයින් දිලියෙමින් මවුකුසින් නික්මුණුහු. ඔවුන් එසෙ පිරිසිදු සිරිරි[87] ඇත ද, බොසතාණණ්ටද් මෑණියන්ටද් සත්කාර සඳහා අහසින් දෙදියධාරායෙක් නික්මැ මෑණියනුදු බොසතාණනුදු සැනෑවි.[88]
එකල්හි මහබොසතාණන් රන්දැලින් පිළිගෙනැ සිටි මහබඹුන් අතින් සතරවරම් මහරජහු මඟුල් සම්මත වූ සුවපහස් ඇති අඳුන් දිවි සමින් පිළිගත්හු. ඔවුන් අතින් මඟුල් මහ ඇමැතියො දුහුල් සුඹුළුයෙන්[89] පිළිගත්හු. මිනිසුන් අතින් බැසැ පොළොවැ වැඩැ-සිටැ පැදුන් දසා[90]” බැලූහු. එ දෙසෙහි අනත් අපරිසෙ[91] ලොධා[92] එක්හෙළි වි යැ. එහි දෙව්මිනිස්හු[93] ගඳින් මලින් මුදා “මහාපුරුෂය, මෙහි තා හා සම කෙනෙකුදු[94] නැති. තව වැඩි[95] කෙනෙක් නම් කොහි?”යි[96] කීහු. මෙසෙ සතර දිසාද්[97] සතර අනු දිසාද් උඩද් යටද් යන දසදිසා බලා තමන් හා සුදුසු කෙනකුන් නො දැකැ උතුරු දිසා[98] බලා සත් පියවර[99] නඟා[100] වැඩැ සිටියො.
එ කල්හි මහබඹ[101] තුන් යොජුන්[102] පමණ සෙ-සත් මුදුනට වැඩි යැ. සුයාම නම දෙව්රජ තුන්ගවු පමණ වල්විදුනා සැලි යැ. සන්තුසිත නම් දෙව්රජ මිණිවටාපත් සැලි යැ. සක්දෙව් රජ එක්සියවිසිරියන් විජයතුරා[103] සක[104] පිම්බ[105]. සෙසු දෙවියො රුවන් කරඬු රුවන්මරවැඩි[106] මිණිවොටුනු ගෙනැ පිරිවැරූහු. බොසතාණො සත්පියවර වැඩැ සිටැ, අනත් අපරිසෙ ලොධාහි තමන් හා සම කෙනෙකුන් නැති පරිදි, හැම තැනට තමන් ඇගි වූ පරිදි, දක්මින්[107] “අග්ගොහමස්මිලොකස්ස” - යනාදීන් සිංහනාද කළහ. මවුකුස්හි පිළිසිඳැගත් කල්හි සෙයින් මැ මවුකුසින් ප්‍රසූත වූ කල්හි දු දෙතිස් පූර්වනිමිත්තයො[108] පහළ වූහු. එ කල්හි දෙ නුවරැ රජ දරුවො බොසතාණන් ගෙනැ කිඹුල්වත්පුර[109] මැ ගියො.
එ දවස් කුළුදෙවුල්[110] සෘෂියාණො සුදොවුන් මහරජාණන් ගෙහි වළඳා දිවා විහාර සඳහා තව්තිස දෙව්නුවර[111] ගොස් නඳුන් උයන්හි සමවත් සමවැද නැංගාහු, සැණ[112] කෙළෙනා දෙව්පිරිස් දැකැ “මෙ වෙනි[113] සොම්නසෙක් තොපට යම් කලෙකැ නුවූවිරී යැ. කවර කරුණෙන් මෙසෙ සැණකෙළුව?” යි පුළුවුත්හු. එ සඳැ දෙවියො සුදොවුන් මහරජහු පුතණු[114] කෙනෙක් උපන්හු. ඔහු බොමැඩැ හිඳැ බුදු වැ ධම්සක්[115] පවත්වති. “ඔවුන් ගෙ අනන්ත වූ බුද්ධලීලා බලම්හැ.[116] බණ අසම්හ යි, සොම්නස්මහ”[117] යි කීහු. තවුස්පාණො[118] දෙවියන් ගෙ තෙපුල් අසා වහවහා දෙව්ලොවින් බැසැ රජගෙට වැඳැ පැන්වූ[119] අස්නෙ වැඩැ හිඳැ[120] “මහරජ, තා පුතණු කෙනෙක් උපන්හු ල. ඔවුන් දක්මහ”යි[121] කීහ.
එ කල්හි රජ, කුමරු[122] පළඳනායෙන් සැදි පුතණුවන් වඩාගෙනැ තවුස්පාණන්[123] වඳනට එළවි යැ. එ කෙණෙහි බොසතාණන් දෙපත්ල පෙරැළි සෘෂියාණන්[124] මුදුනෙහි පිහිටි යැ. එ අත්බැවැ බොසතාණන් ගෙන් වැඳුම් ගන්නට නිසි කෙනෙක් මුළු තුන්ලොවැ ඇත්තාහු නො වෙති.
ඉදින් නො දැනැ බොසතාණන් හිස සෘෂියාණන් පා මුලට එළවූහ නම්, ඔවුන් හිස් සත් කඩක් වැ පැළෙයි. එ කල්හි සෘෂියාණො හුනස්නෙන් නැඟී බෝසතාණන් වැන්දහු.[125] රජ එ පෙළහර දැක තමා පුතණුවන් වැන්ද. සෘෂියාණො අතීතයෙ සතලිස් කපක් හා අනාගතයෙහි සතලිස් කපක් හා මෙස අසූ කපක් දක්ති.[126] ඔහු බොසතාණන් ගෙ රූප සම්පත් දැකැ “බුදු වෙ හො” බුදු නො වෙ හො?[127] “බලන්නාහු, එකාන්තයෙන් බුදු වන සෙ දැක සතුට් වැ සෙන්නට වන්හැ. එක්බිති “මම මොහු, බුදු වූවහු[128] දක්මි හො නො දක්මී හො?”[129] බලන්නාහු, අතුරෙහි මැ තමන් මියැ අරූතෙලෙහි උපදනා සෙ දැක එ උතුමා දක්නා[130] නො ලැබෙමි”[131] වලප්නට වන්හැ. ඇමැත්තො එ දැකැ, “වහන්සෙ, කුමට සෙව? කුමට වල්පව” යි පුළුවුත්හ. “මොහු බුදු වන සෙ දැකැ සතුට් වැ[132] සෙමි; මා මොහු නොදක්නා සෙ දැකැ රෑණි[133] වැ වලම්පි[134]” යි කීහු.
එක්බිති බොසතාණන් පස් වන දවස් නහවා පායින් ගන්වා රජගෙ[135] සිවුදෑගඳින් පිරිබඩ කොටැ ලද පස්මල් ඉසැ හිඳිනා අසුන් පනවා සිවු වෙ[136] ගෙවා දත් බමුණන් අටතු රාසියක් දෙනා ඇරැ හිඳුවා[137] කිරිබත් වළඳවා සත්කාර කොටැ ලකුණු බැලැවූහු.[138] හැම දෙන මා සමඟ හුන් ප්‍රධාන බමුණන් අට දෙනා කෙරෙන් සත් දෙනෙක් බොසතාණන් දෙතිස් මහපුරිස් ලකුණු දැකැ “මෙ දරු ගිහිගෙයි සිටියෙ, සක්විතිරජ වෙ,[139] පැවිජි වුව, බුදු වෙ”යි කීහු.[140] ඔවුන් ඇම දෙනා හට[141] ළඳරු කොණ්ඩඤ්ඤ නම් බමුණු දරු බලා “එකාන්තයෙන් බුදු වෙ” යි කී.
එක් දවසක් රජු ගෙ වප් මඟුලෙක් වී යැ. එ දවස් මුළු නුවර දෙව් නුවරක්[142] සෙයින් සැදුහැ. රජ දෙව්පිරිස් බඳු මහපිරිවරින්[143] නික්මෙන්නෙ, පුතණුවන් වඩා-ගෙනැ කෙත්-වත් අබියෙසැ ගනසා දඹරුක්පයෙක්හි[144] යහන් සලකා පුතණුවන් එහි වඩා-හොවා උඩ විසිතුරු වියන් බඳවා වටා කඩතුරා බඳවා රකවල් දී සව්බරණින්[145] සැදී ඇමැති දහස් පිරිවරා කෙතට ගියෙ,[146] එ සඳැ බොසතාණන් පිරිවරා හුන් කිරි මවුහු රජු ගෙ ඉසුරු බලන්නට ජවනිකායෙන් පිටත් වූහු. බොසතාණන් ඇතුළු වටනැ කිසි කෙනකුන් නො දැකැ හොත් තැනින් නැඟි පලක් අවුළුවා වැඩ-හිඳැ ‘අනාපන්’[147] හවා පළමුවන ධෑන්[148] නිපද වූ කල්හි, කිරි මවුහු ඇතුළු වටනැ වැදැ බලන්නාහු එ පෙළහර දැකැ ගොස් රජ හට කීහු. රජ වෙළවි වැ අවුදු දඹරුක්[149] නො පියා සිටි, සෙ[150] දැකැ, පලක් බැඳැ යහන් මතුයෙහි උන් බොසතාණන් දැකැ “පුතණුවෙනි, මෙ දෙ, වැනි වැඳුමැ”[151] යි බැසැ-හෙවැ වැන්ද.[152]
එක්බිති බොසාතාණො පෙරඩ මසැ සඳ සෙ සිරින්[153] වැඩැ සත් හැවිරිදි විය පැමිණැ සක්දෙව්රජහු ගෙ යෙදුමෙන් විශ්වකර්මයා විසින් මවා දෙන ලද සොමි සිහිල් පහන් දිය පිරුණු පස් පියුමෙන් සන් රුවන්මුවා[154] පොකුණෙහි පොකුණෙහි සහ පිරිවරින් දියකෙළි කෙළැ[155] ක්‍රමයෙන් වැඩැ[156] සොළොස් හැවිරිදි විය පැමිණැ මුළු ලොවට එක් රජ වූහු.
එ කල්හි පියමහරජාණො හිමන්[157] ගිමන් වසන්[158] තුන් සෘතුවට නිසි කොටැ දිවවිමන් පරයන තුන් පහයක් කරවා “එකි එකි කුලෙන් “එකි එකි කුමරියක[159] සදා දී එවන්නෙ”යැ යි නෑයනට හසුන් දුන්හු. එ කල්හි රජදරුවො “සිද්ධත් කුමරු[160] සිවුමැලි යැ; ළදරු යැ; කිසි ශිල්පයක් දන්නෙ නො වෙයි; සඞ්ග්‍රාමයෙක් වී නම්, කුමක් කෙරෙයි? ඇපි අප දරුවන් නො දෙම්හ”යි කීහු. එ පවත් අසා මහබොසතාණො “මාගෙ ශිල්ප බැලියටියන් අන් සත් දවසෙකින් එන්නෙ යැ”යි නුවර බෙර පියෙවි කරවා සත් වන දවස් රාජාඞ්ගනයෙහි මඩුවක් කරවා මඩුයෙහි මහ පිරිස් පිරිවරා වැඩැ-හිඳැ, දහසක් පිරිමින් දුනුදිය නඟන දුන්නක් ගෙන්වා-ගෙනැ[161] යට දුනු මුඩාව වම් පයැ මහපට ඇඟිලි පිටැ[162] තබා හුනස්නෙ[163] මැ හිඳැ දුනුදිය නඟා, අපොළො[164], මුළුලො[165] එකකොලාහල කොටැ අනුන් හා අසාධාරණ කොටැ ලොකයෙහි වැටෙන තාක් ශිල්ප දැක්වූහු. එ දැක්වූ පරිදි සරභඞ්ග ජාතකයෙහි ආ නියායෙන් දත යුතු.
එකල්හි ශාක්‍ය රජදරුවන් විසින් සදා-දෙන ලද සතලිස් දහසක් නළුවන් පිරිවරා නන් විසිතුරු මිණිරසින් අලු රුවන්විමන්[166] බඳු තන් පහාකුස්හි නැටුම් ගඳෙවු[167] ගත් සුරවමියන් බඳු වර වමියන් ගෙ මඳලස් වහස්[168] බැල්මෙන් පිනපිනා මහත්[169] සම්පත් අනුභව කරන්නාහු, එක් දවසක් උයන් කෙළියට[170] යාටි වැ පහයින් බැසැ රුවන්රිය අරා සියුරඟසෙනඟ පිරිවරා උයන් වඩනාහු. ජරාරූ දැක නැවැතැ දෙවන වරැ ව්‍යාධි[171] රූ දැකැ, තුන්වන වරු මළ රූ දැකැ, සතරවනවරු පැවිජිරූ දැකැ උයන් ගොස් දෙව්පිරිස් පිරිවරා නඳුන් උයන් වන් සක්දෙව්රජහු ගෙ ලීලායෙන් උයන්කෙළි කෙළැ මඟුල් පොකුණෙහි සනහා[172] මඟුල් සලවට[173] වැඩැ-හිඳැ විස්කම් දෙව්පුත්හු විසින් මඟුල්කපු වෙස් ගෙනැ දසදහසක් දිවසළුවෙන් හිස් වෙළා මිණිවොටුනු පළඳවා සව්බරණින්[174] සදන ලද්දාහු, පසඟතුරු රැවින් හා මඟුල්ගීන් දසදිසා[175] පුරමින් රුවන්රිය අරා යසසිරින් වොරජමින් නුවර වැදැ කිසාගොතමිය විසින් කියන ලද නිබ්බුතපද අසා සුවහස්[176] වටනා මුත්හර දී පහාතල අරා සිරියහන්හි වැඩැ හොත්හු.[177]
එකල්හි දිවසරන් බඳු සතලිස්දහසක් නළුවො සව් බරණින්[178] සැදී, පසඟතුරු ගෙනැ මහපුරිසා[179] පිරිවරා[180] නැටුම් ගඳෙවු[181] පැවැත්වූහු. එකෙණෙහි මහබොසතාණො නිදන්නට වන්හු. ඔවුන් නිදන සෙ දැකැ නළුවො තමන් තමන්[182] ගත් පසඟතුරුයෙහි වැතිරැ හෙවැ නිදන්නට වන්හු.
එකල්හි මහබොසතාණො පිබිදැ යහන්මත්තෙ පලක් බැඳැ වැඩැ-හුන්නාහු, ගඳතෙලෙ[183] දිළියෙන පහනින් නිදි ගත් මාගමුන්, නැහැ හඬවනුවන්, මීයෙන් වැහෙන කෙළින් තෙත් සිරිරු ඇතියවුන්, දත් කනුවන්,[184] කස් නවුන්[185] වලප්නවුන්. වළ කට[186] ඇතියවුන්, නොමුවහ රහස් පියෙස් ඇතියවුන්, දුඟඳ වා[187] විහිදුනවුන්, දැකැ සංවෙග කොටැ ශක්‍රභවනයක් බඳු මහල්තල අමුසොහොනක් සෙ වටහා-ගිය කල්හි, මුළු තුන්ලො[188] ගිනිගත් ගෙකක්[189] සෙ දැකැ “අද මා පැවිජි වන්නට ගිය මැනැවැ”යි යහනින් නැඟී, ගොස් හිණිගෙහි[190] හොත් සත්[191] මහ ඇමැත්තා පොබයා-ගෙනැ අසකු සදා ගෙනැ එන් කොටැ අස්හලට නඟා-යවූහු.
හෙ ගොස් දිලියෙන පහන් ඇති සමන් මල්වියන් යටැ රමණී[192] බිම් පියෙසැ සිටි කත්[193] නම් අස්රජහු දැකැ ඉතා කැකුළු කොටැ සදන්නට[194] පටන් ගත්. එ සඳැ, අස්: “අද මහිමි මහබිනික්මන් කටටි බඳැ”යි සතුටු වැ මහත් කොටැ කුල්නට වනැ. පැතිරැ-ගිය එ හඬ දෙවියො කිසි කෙනකුන් නො ඇසියැ දුන්හු.
බොසතාණො රාල්[195] කුමරුන් දැකැ පහයින් බැසැ අශ්වයා කරා එළබැ, “මෙ රෑ තො මා තරවා. මම් මුළු ලො තරවමී” නැඟී අස් පිටැ වැඩැ-හුන්හු. එ අස් දිග අටළොස් හතැ. දිගට සුදුසු උසා[196] ඇතියෙ යැ. බල ඇත්තෙ යැ, ජව ඇත්තෙ යැ, සව්සුදැ.[197] උහු කුල්නා හඬ හො ඇක්මෙන හඬ හො මුළු නුවරැ පැතිරැ-යන බියෙන් දෙවියො තමන්ගෙ අනුභාවයෙන් කුල්නා හඬ නො පැවැත්තැ දුන්හැ. ඇක්මෙන ඇක්මෙන පියවරට අත්[198] දිගු[199] කොටැ අත්ලෙහි ඇක්මවා-ගත්හු. මහාබොසතාණො අස්පිටැ වැඩැ-හිඳැ සන් මහ ඇමැත්තා අසූ වල[200] ගන්වාගෙනැ පසළොස්පැ ගිය වේලෙහි[201] මහදොර අබියෙසට වැඩියො.
එකල්හි[202] රජ: “බොසතාණන් යම් කවර වේලෙකැ නුවරදොර විවර කරවා නික්මෙතී[203]” බියෙන් යුවළ දොර පුවරියෙහි[204] එකි එකී දොරබියෙළි දහස් පුරුෂයන්[205] මිසැ විවර නොකට හැකි පරිද්දෙන් කැරැවි. බොසතාණො වනාහි ඇත්ගණනින් කෙළ දහසක් ඇත්නට බල ඇතියව්හු[206] පුරුෂගණනායෙන් දසකෙළදහසක්[207] පුරුෂයනට බල ඇතියව්හු. “ඉදින් දොර විවර නොවී නම්, මම අස් පිටැ හුන්නෙම් මැ[208] වල්පතැ[209] ගෙනැ සිටි සන්හු සමඟ[210] අසු දෙකළවෙයින්[211] හැඳැවාගෙනැ අටළොස් හත් පවුරු පැනැයෙමි” සිතූහු සන් මහ ඇමැති: “ඉදින් දොර විවර නොවී නම්, මහිමියා මා දසරුයෙහි හිඳුවාගෙනැ අසුරජු දකුණු කිසිල්ලෙන් ගෙනැ පවුරු පැනැ යෙමී” සිතී යැ. අස්තෙමෙ දු: “ඉදින් දොර විවර නොවී නම්, මම මහිමියා පිටැ හිඳුවා ගෙනැ, වල්හි ගත් සන්හු සමඟ පවුරු පැනැ යෙමී” සිති. එකල්හි දෙවියො දොර විවර කළො.
එ කෙණෙහි මැ මරදෙව්පිත් අවුදු අහසැ සිට සිද්ධත් කුමර, අන්[212] සත්දවසෙකින් තට සක්රුවන්[213] පාළ වෙයි; දෙ දහසක් කොදිව්[214] හා[215] සතර මහ දිවින් සැදුම් ලද සක්වළැ එක්රජ කෙරෙහි;[216] නො යා, නවත”යි, කී. එ කල්හි බොසතාණො[217] තො[218] කවරෙහි? පිළිවිසැ, “මම් මරදෙව්පිත්මි” කී කල්හි “මට සක්රුවන් පාළ වන බව් දන්මි. මම රජ නො කැමැත්තෙමි. දසදහස්ලොධා ගුගුරුවා බුදුවෙමි” වදාළො. එ සඳැ මර: “මෙ තන පටන් ගෙනැ තට කාමාදි තුන් විතර්කයෙන් යම් විතර්කයෙන් උපන් නම්, දනිම් නො!” යි සිත්හසර[219] බලනුයෙ සෙයක් සෙයින් පා නොවී.
බොසතාණො අතට පත් සක්විති රජ අලුයමැ දැමූ කෙළ පිඬක් සෙයින් පියා “ඇසළපුනුපොහො” දවස් නුවරින් නික්මැ-සිටැ නුවර බැලියැටි වූහු. එකෙණෙහි මහ පොළො කුඹල් සකක් සෙයින් කැඩි ඔවුන් නුවර බල්වා සිටිවි යැ.[220] ඔහු නුවර බලා නැවැතී අස්පිටැ හිඳැ මහත්[221] පෙරහරින් මහත් පිරිවරින් වඩිත්. එකල්හි දෙවියො බොසතාණන් පෙරට[222] සැටදහසක් මිණිදඬු වැට පහන් නැඟුහු. පිටිපසැ දු දකුණත් පසැ දු වමත්පසැ දු සැට සැටදහස් මිනිදඬුවැටපහන් නැඟුහු. සෙසු දෙවියො සක්වළගබ් පිරි, සක්වළ මුවවිටු දක්වා අපමණ මිණිදඬු වැඩ පහන් ගෙනැ සිටියො තුබු දෙවියො ද නා ගුරුළු ගජඹ ආදීහු ද දිවගඳින් දිවමලින් දිවදුමින් දිවසඳුන් සුන්නෙන් පුදමින් යෙති. පරසතු මදාරා ඈ දිවකුසුමින් මහ මෙවැසිදහරින් මෙන් අහස්කුස් පිරිණි. දිවගඳෙවු පැවැත්තැ. පෙරටද් පිරිපසැද් දකුණත්පස්හිද් වමත්පස්හිද් අටසැට සුවහසක්[223] දිවපසඟතුරු පැවැත්තැ. සෙසු දිවගඳැවියො[224] පසඟතුරු ගෙනැ සක්වළ මුවවිටු දක්වා සිටියාහැ. එ හඬ මුහුද්කුසු[225] මහමෙගජුන් [226]සෙයින් යුගඳුරු පවියෙහි රළ ගැසෙන හඬ සෙයින් පොළො තෙලෙහි පටන් ගෙනැ අකනිටා බඹලො දක්වා එකකොලාහල වි යැ. මෙබඳු ශොභායෙන් වඩනාහු, එ රෑ තුන් රජයක් ඉක්මැ තිස්යොජනෙකින් මත්තෙහි අනොමා ගඟ තෙරට පැමිණියො.
එ අස් වනාහි නැබින් තුබු සක්නිමෙක්හි ඇවිදුනාක්හු සෙයින් සක්වළ මුවවිටියෙහි ගෙනැ සක්වළ ගබ වටාලා පෙරවරු බත්වේලෙ අවුදු සිටිනට නිසි ජව ඇතියෙ, එදා දෙවිබඹනාගුරුළු ආදීන් විසින් අහසැ සිටැ වුහුටු ගඳමල්හි ගැලී-ගිය සිරිරු ඇති වැ, දිවකුසුම් කඩා යනුයෙන් ලස් වැ තිස් යොජනක් තැන් මැ ගියෙ.
එ කල්හි මහබොසත් ගංතෙරැ වැඩැ-සිටැ, “මෙ කිනම් ගඟෙකැ”යි ඇමැත්තා පිළිවිසැ අනොමා නමැ යි කීයෙන් “අප ගෙ පැවිජි අනොම, අලාමක වෙ”යි අස් හට විළුම්සන් කොටැ අසු අඩ[227] ඉස්බක් පමණ පළල් ගඟ පැනැ පරතෙර ගොස් සිටි කලැ අසු පිටින් බැසැ රිදීපටක් බඳු වැලි විටැ වැඩැ පළඳනාද් අසුද් සන් මහ ඇමැත්තා හට දක්වා-දී, පැවිජි නො වියැ දි ඔහුට සමු දී, සිටැ, “මෙ කෙහෙ මහණ හට සරුප් නොවෙ”යි තමන් හිසැ කෙහෙ කපන්නට නිස්සන් නැත්තෙන්[228] දකුණ’තින් කඩුව ගෙනැ වමතින් මුහුළු[229] හා සමඟ කෙහෙ ගෙනැ සිඳැ, “ඉදින් මම බුදු වෙම් නම්, අහසැ සිටිව යි, බුදු නො වෙම් නම්, බිමට බසීව”යි අහසට වුහුට. එ කෙස් දා[230] යොජනක් පමණ තන්[231] නැඟි අහසැ සිටියෙ යැ. සක්දෙව්රජ යොජුන් පමණ රුවන් කරඬියෙකින්[232] කෙස්දා පිළිගෙනැ මෙර මුදුනෙහි තව්තිසා දෙව්නුවරැ[233] සිළුමිණිසෑ පිහිටිවි.
එ සඳැ මහබොසත්, “මෙ මා හන් කසිවත් මහණ හට සරුප් නොවෙ”යි සිතී යැ. එ කෙණෙහි මහබඹ මහණ පිරිකර ඇරැ දක්වා-දී, සිවුරු හැඳ පෙරෙවැ උතුම් පැවිජි වෙස් ගෙනැ හැම සංවර ඉටා-ගත් කල්හි, ගැළැවු සළු සඟළ[234] හිසින් පිළිගෙනැ බඹලොවට ඇරැ දොළොස් යොජුහු සළුමහසෑ පිහිටිවි.
මහබොසතාණො පැවිජි වැ අනුපියඅඹවනයට වැදැ පැවිජිසුවෙන් උපන් සොම්නසින් සතියක් එහි දවස් යවා[235] පෙරවරු පයින් තිස්යොජනක් නන් ගොස් රජගහානුවර වැදැ ගෙපිළිවෙලින් අහර සිඟත්.
එකල්හි මුළු නුවර මහසත්හු ගෙ රූදස්නෙන් නාලාගිරිහි වන් රජගහා නුවර සෙයින් අසුරන් වන් දෙව්නුවර සෙයින් ඇළලවී.[236] නුවරවැසියො ගොස් “මහරජ, මෙසෙ වූ සත්ත්වයෙක් නුවර වැද අහර සිඟයි. උහු[237] දෙවියකු බව් නො දන්මහ.[238] බඹකු[239] නයකු ගුරුළකු යකකු මිනිසකු බව් නො දන්මහ”යි සැල කළො.
රජ සිහිමැදුරෙ සිටැ බලනුයෙ, මහපුරිසා දැකැ විස්මිත වැ, “මම ද මොහු දෙවියකු බව නො දන්මි. බඹකු නයකු ගුරුළකු යකකු මිනිසකු බව් නො දන්මි. තොපට උපායක් කියමි. මොහු පස් පස්[240] යව. ඉදින් දෙවියෙක් වී නම්, බඹෙක් වී නම් නුවරින් නික්මැ දෙව්ලො බඹලො බලා යෙයි. නයෙක් වී නම්, පොළො කිමිදැ යෙයි; ගුරුළෙක් වී නම්, අහසැ පියා පහර යෙයි; යකෙක් වී නම්, නොපැනි යෙයි; මිනිසෙක් වී නම්, ලද් අහර ඇරැ එක් තෙනෙකැ[241] හිදැ වළඳ කෙරෙ”යි යෙදී.
මහසත් යපෙන පමණ අහර[242] සිඟා-ගෙනැ වන් දොරින් නික්මැ පඬවනම් පවු අබියෙසට එළබැ රුක්සෙවළල්ලෙක්හි[243], වැඩැ-හිඳැ අහර වළඳන්නට ආරම්භ කෙළෙ.[244] පෙරැ ඔවුන් තෙවැසි[245] ගඳහැල් සාලෙබත් නන් අග්රෙසෙත්[246] වැළැඳුනට ඇසැ නො පහළ විරි අහර අත පහරුත් මැ,[247] අතුණු පෙරැළි කටින් නික්මැ යන පමණ පිළිකුල් උපනැ එකල්හි “අහරැ පිළිකුල්සඤ්ඤ”[248] භාවනා කොටැ පස්විකා වැළඳුහු.
පස් පස් ගිය දූතයො දැකැ ගොස් එ පවත් රජ හට සැළ කළහ. වෙලෙවි වැ[249] ගොස් මහසත්හු කරා එළබැ දැකැ පැහැදැ නම්-ගොත් පිළිවිසැ පෙරැ තමා සබඳ[250] බව් දැනැ තමාගෙ රජ ඔව්නට පිළිපෙවී යැ. ඔහු “මහරජ, මට රජෙන් කම් නැති. අතට පත් සක්විති රජ පියා ආයෙමි දැන් බුදු වන්නට යෙමි.” වදාළහ. රජ,[251] තෙපි[252] එකාන්තයෙන් බුදු වව, බුදු වූ[253] කලැ මා ගෙ විජිතයට වඩනෙ මැනැවැ”යි අයදී යැ.
මහසත් රජ හට පිළින දී ගොස් කලම් තව්සා හා උද තව්සා හා දෙතව්සන් ගෙ අසපුවට එළබැ, ඔවුන් ගෙ සමයෙහි නිවන් නැති සෙ දැකැ, එහි ඉඳැ ‘රුවාරූ[254] අට සමවත’ උපයා උල්වෙල් දනවු ගොස්, නිල්දලා හො තෙරැ රමණි ‘සල්වලයෙහි[255] වෙසෙමින් සහවුරුද්දක් පොළො පෙරළනුවන් සෙයින් අහට ගැට ලනුවන් සෙයින් කිසි කෙනකුදු විසින් නො කට හැකි කෙළ පත් මහත් වීර්යය කොටැ, එයින් නික්මැ ගම්-නියම්ගමට පැමිණැ, සිනිඳු අහරින් සිරිරු[256] සතපාගෙනැ, වෙසඟපුනුපොහො දවස් පස් මහසිහින දැකැ විචාරා පාසිවුරු ගෙනැ වේලා බලා අජපල් නුගරුක් මුල්හි සවනක් රසින් දිලියෙමින් වැඩැ හුන්හු.
එකල්හි උරුවෙල් දනවුයෙහි සෙනානී නම් නියම්ගම්හි සෙනානී කෙළෙඹියා දු සුජාතා නම් දැරි තමා විය පත් කල්හි, “ඉදින් මම සමාන කුලදරුවක්හු කෙරෙ වැසැ කුලුඳුලෙ පුතකු ලදිම් නම්, තට හවුරුදු පතා ලක්‍ෂයක් ධන විසඳා කිරිබත් දෙමි” නුග දෙවියා අයදැ බරණැස් සිට්හු[257] කෙරෙ වැසැ යස නම් පුතකු ලද කල්හි දහසක් දෙනුන් වැල්මී වෙනෙහි කවා, ඔවුන් කිරි දෙවැ පන්සියක්[258] දෙනුන් පොවා ඔවුන් කිරි දෙවැ දෙසියපනස් දෙනක[259] පොවා, ඔවුන් කිරි දෙවැ එක්සියපස්විසි දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ සූසැට දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ දෙතිස් දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ සොළොස් දෙනක පොවා, ඔවුන් කිරි දෙවැ අට දෙනක පොවා, ඔවුන් කිරි[260] මෙසෙ බොල් මියුරු ඔජස් ඇති වූ කල්හි වෙසඟ පුනුපොහො දවස් උදය මා නැඟී එ අට දෙනුන් කිරි දෝනා සඳහා මුදා-ලූ[261] වස්සන් දෙනුන් තනමුලට ළඟා නොවූ[262] කල්හි, එළවු නවමු බඳුන්[263] පිරි කිරි වැහුණු[264] කල්හි, එ පෙළහර දුට්[265] සුජාතා සිය අතින් කිරි නෙැ නවමු බඳනෙහි එවැ[266] අගරු දෙව්දුරු - සඳුන් - කළුවැල්දර උදා කිරිබත් පිසන්නට පටන්ගත්.
බත් පැසෙන කල්හි මහත් මහත් බිබුළු නැඟී දක්‍ෂිණාවෘත්ත වැ ඇවිද්දි. එක ටිකෙකුදු පිටතැ නො හෙයි.[267] උදුනෙන් මදදුමෙකුදු නොනැඟෙයි. එ කල්හි සතර වරම් මහරජහු අවුදු[268] උදුනෙ සතර දෙසැ රකවල් ගත්හ. සක්දෙව්රජ අවුදු දදා බට පෙණෙහෙලි[269] නඟා[270] ගිනි දල්වයි. මහබඹ ළුප් මුදුනට කොටැ සෙසත් නඟා සිටියෙ යැ. දස දහස් ලොධාහි දෙවියො දෙව්ලොව්හි මිනිස් ලොව්හි[271] ඇති තාක් ඔජස්හි[272] තමන් ගෙ අනුභාවයෙන් දඬුඑල්බෑ[273] මීයක් පෙළා.[274] මී ගන්නවුන් සෙ[275] ගෙනැ එ බජනෙහි[276] ඔත්හු[277]
සුජාතා එ අසිරි මහපෙළහර දැකැ “පුණු” නම් දස කැඳවා බැණැ “මෙ තෙක් කල් මෙවෙනි පෙළහරයක්[278] නුදුටුවිරූමු[279]. අපගෙ දෙවතා අද අපට ඉතා පහන් වනැ. වෙළෙවි වැ ගොස් දෙවොල හැමැදැ එ”යි නඟා යවු. හො වෙළෙවි වැ වෙළෙවි වැ අජපල් නුගමුලට ගොස් රුක්මුල්හි පැදුන්ලොධා බලා වැඩැ හුන් මහසත්හු ගෙ ශරීරයෙන් නික්මෙන සවනක් රසින් සියලු රුක සතුරුවන් රුකක් සෙයින් දිලිසෙන සෙ දැකැ, “අද අපගෙ දෙවතා රුකින් බැසැ සිය අතින් කිරිපිඬු පිළිගන්නට හුන්නෙ වනැ”යි බිය පත් වැ ගොස් සුජාතාවනට සැළ කළා. හො ඇය තෙපුල් අසා සතුට් වැ[280] තමා දෙටු දු තන්හි[281] තබා, සව්බරණින් සදා, ලක්‍ෂයක් වටනා ගන[282] රන්පයක් කිරිබතින් පුරා, රන් තලියෙකින් පියා[283] සුදුපිළියෙන්[284] වසා, තොමෝ සව්බරණින් සැදී, කිරිබත් පය සිය මුදුනෙ[285] තබාගෙනැ, මහත් පෙරහරින්[286] මහත් පිරිවරින් නුගරුක් මුලට යන්නී, මහසත්හු දැකැ සොම්නසින් පිනා, රුක්දෙවිය යන සිතින් දුටු තැන පටන්-ගෙනැ නතු නතු වෙමින් ගොස් හිසින් කසුන්පය බහා-ගෙනැ පියන් ගළවා රන්කොතුරුයේ[287] සුවඳමලින් වැසු දිය ගෙනැ අතැ එවැ පය[288] අතැ තබා[289] බැසැහෙවැ වැඳැ “යම් සෙ මාගෙ මනොරථ[290] මුදුන් පත් ද, එසෙයින් මැ තොපගෙ මනොරථ නිපදිව”යි බෑණැ සුවහස් වටනා රන්පය මහසත් හට පියා පැදකුණු කොටැ ගියා.
එකල්හි මහසත් හුනස්නෙන් නැඟී බත්පය ගෙනැ නිල්දලා- හො තෙර[291] ගොස් හැම මහබොසතුන් බුදු වන දවස් සනහන[292] සුපිහිටි තොට පය බහා-තබා දියට බැසැ සනා[293] සිවුරු හැඳැ පෙරෙවැ පැදුන් දසා බලා වැඩැ-හිඳැ එකුන් පනස් පිඬක් කොටැ වළඳා රන්පය ගෙනැ “ඉදින් මම් අද බුදු වෙම් නම්, මෙපය උඩුහො බලා යෙව”යි, “බුදු නොවෙම් නම්, යට හො බලා යෙව”යි දිය පිටැ විහිදැ, එ පය හො මැදට ගොස් දිය පිටින් හොමැදැ උඩුහො බලා අසූ හතක් තන් ගොස් එක් සළාවැටමෙක්හි ගැලී මහකෙළ නාරජහු භවනයට වැදැ පෙරැ තුන් බුදුන් වැළඳූ තුන් පය මතු කොටැ එයට යට වැ සිටි කල්හි, එ හොතෙරැ[294] පුපිපි සල්වෙනෙහි දිවාවිහාර කොටැ සවසැ දෙවියන් විසින් සල්වෙනෙහි පටන් ගෙනැ බොමඩ දක්වා පළල අට ඉස්බක් තන්හි රුවන්පවුරු හා රුවන්වැලි සියො රුවන් බිම්හි රුවන් කලස තබා, දිවමහනෙලින් සදා, තන්හි තන්හි රුවන් තොරණ, මල්තොරණ නඟා රුවන්ඇගෑ මල්ඇගෑ නඟා, එහි මියුරු රැවින් හඬන මිණිකිකිණිදැන් බහා-ලා, නන් විසිතුරු[295] දද පෙළින් හා සෙසතින් සැදුම් ලද මැඟින් දෙව් බඹ නා ගුරුළු ආදීන් විසින් ඉස්නා දිවකුසුම් වහරෙයින් පුදන[296] ලැබෙමින් දිවගඳෙවු නැටුම් පවත්නා කල්හි, දසදහස්ලොධා එක මලස්නක් සෙයින් සැදුණු කල්හි,[297] සාධුකාර ශබ්දයෙන් එකනිනාද වූ කල්හි පුන් පැරුම් සෙත් බමුණා දැන් අටමිටක් කුසතණ ගෙනැ බොමඬට එළඹැ දකුණු දෙසෙහි උතුරුදසා[298] බලා වැඩැ - සිටියො.
එ කෙණෙහි දකුණුසක්වළ බැසැ රසාතෙලෙහි ගැලී ගියාක් වැනි වි යැ. උතුරු සක්වළ නැඟී බව අග්හි[299] පහරනාක් වැනි වි යැ. ඔහු “මෙ තන්[300] හිඳැ බුදු වන්නට නොතන් වනැ”යි මහබො පැදැකුණු කොටැ පැළ දෙසෙහි දු උතුරු දෙසෙහි දු වැඩැ-සිටැ එසෙයින් මැ ගැලෙන[301] දෙස් දැකැ පැදුන් දසට එළබැ එතන[302] නො ඇළැලසිටි සෙ දැකැ “මෙ හැම බුදුන් විසින් අවිජහිත කෙලෙස් පඳුරු විදහස තනැ”යි[303] තණ අගැහි[304] ගෙනැ සලා[305] එ විගස නිපන් තුදුස් හත් තණපලග්[306] මතුයෙහි මහබොකඳට පිට දී පැදුන් දස බලා දැමී[307] දැමුව මැනවින් “බුදු වැ මිසැ නො නැඟෙමී” සිවුරඟවර ඉතා වැඩැ-හුන්හු.
එකල්හි සක්දෙව්රජ එක් යලක් පිඹි කලැ[308] දසදහසක් යොජුන් තවුතිසැ දෙව්නුවරැ පැතිරැ සාර මසින්[309] සන්හිඳුනා ධ්වනි ඇති එක්සියවිසිරියන් ‘විජයතුරා’ - සක මහපුරිසා පෙරට පිඹිමින් සිටියෙ යැ. එසෙයින් මැ පන්සිකා දෙව්පිත් බෙල්වපඬු[310] නම් තුන් ගවු පමණ වෙණ ගෙනැ වයමින් සිටියෙ යැ. සුයාම නම් දෙව්රජ තුන්ගවු[311] පමණ වල්විදුනා ගෙනැ සලමින් සිටියෙ යැ. සන්තුසිත නම් දෙව්රජ මිණිතල් වැට ගෙනැ සලමින් සිටියෙ යැ. මහබඹ පුන්සඳක් බඳු සෙසත් වඩා සිටියෙ යැ. මහකෙළ නාරජ අසූදහසක් නළුවන් පිරිවරා ස්තුති කෙරෙමින් සිටියෙ යැ. දෙතිස් දෙව්කුමරියො දිවකුසුම් පිරුණු රුවන් සුමුගු ගෙනැ පුදමින් සිටියාහ. සියලු දසදහසක් සක්වළැ දෙවියො සැණවෙස් ගෙනැ හාත්පස්හි දදපෙළ කෙහෙල්පෙළ තොරණ පෙළ මල්දම්පෙළ පුන්කලසපෙළ දුමොළොසුපෙළ මිණිදඬු වැටපෙළ අටමඟලාපෙළ ගෙනැ, පොළොතෙලෙහි පටන් ගෙනැ අකනිටා බඹලො[312] දක්වා, අතුරු නැති වැ සිටියො.
එකල්හි මරදෙව්පිත්, “සිද්ධත්කුමර මාගෙ විෂය ඉක්මීයැටි[313] වනැ. ඔහු කාමවිෂය ඉක්මැ නොයා-දුන මැනැවැ”යි දහසක් අත් මවා ගිනි ගෙනැ දිලියෙන නොඑක් ආයුධ ගෙනැ යෙළසියක්[314] යොදුන් ගිරිමෙවුලා නම් ඇතහු[315] නැඟී පෙරට දොළොස් යොදුන්, දකුණත් පස්හි දු වමත් පස්හි දු දොළොස් දොළොස් යොදුන්, පිටිපසින් සක්වළගල් දක්වා සිටි, (උසායෙහි) නවයොදුන්, නොඑක් වෙස් නොඑක් අවි ගත්, පොළොව පැළි යන්නාක්[316] වැනි හඬ ඇති මර සෙනඟ පිරිවරා දහසක්[317] යොදුනෙහි පටන් ගෙනැ සෙණ[318] සුවහස් බස්නා කලක් බඳු ගොර බිරම් හඬින්[319] මුළුලොම් එකනිනාද කෙරෙමින් “සිද්ධත් - කුමරහු ගන්ව, අන්ව, බඳුව,[320] පයැ ගෙනැ පරසක් වළ පියව”යි අණවමින්[321] එයි.
ඔහු එසෙ මරසෙනඟ ගෙනැ එත් එත්, දසදහස් ලොධාහි දෙව්බඹහු නතු නතු වූ දෙසෙහි හී පැලැහැ.[322] මහකෙළ නා රජ පොළො කිමිදැ පන්සියක් යොදුන් මන්දෙරික[323] නම් නාග භවනයට ගොස් දොහො අතින්[324] මුහුණු පියාලා හොත්තෙ යැ. සක්දෙව්රජ විජයතුරා-සක පිටට[325] කොටැ ගෙනැ ගොස් සක්වළ මුවචිටියෙහි සිටියෙ යැ. මහබඹ සෙසත සක්වළගල[326] හෙළාපියා බඹලො බලා ගියෙ.
මෙසෙ හැම දෙව්බඹන් පැලෑ කල්හි මහසත් එකලා වැ හිඳැ පිටිපසින්[327] එන මරසෙනඟ දැකැ “මෙතෙක් දෙන මා හුදකලහු යා යුද්ධයට එති. මෙහි මා කිසි නෑ කෙනෙක් ඇත්තාහු නො වෙති. දසපාරමිතාවො මා බොහො කලක් පුටු යොධයන් වැන්නාහ. එබැවින් පාරමිතා බල ගෙනැ මරබල මැඩැ-පිව මැනැවැ”යි පැරුම් සිමිදුමින් වැඩැ-හුන්හු. එකල්හි මරපිරිස් ගල්සෙල් සෙයින් වැතිරෙමින් අවුදු වටා-ගත්හ.
එකල්හි[328] මෙයින් මැ මුහු ලුහුබැඳ-පිව මැනැවැ”යි මරහු විසින් මවන ලද මහ සුළඟහු[329] සතර දෙසින් නැඟී යොජුන් දෙයොජුන් තුන්යොජුන් පමණ ගල් කුළුහු[330] උපුරා අහසට නඟා ලා, වන[331] දු, ගසුදු, රුකු[332] දු, එසෙයින් මැ උපුරා අහසට නඟා ලා, සුන් සුන් කෙරෙමින් ගොස් මහසත්හු කරා පැමිණැ සිවුරු කනකුන් සලන්නට නොපොහොසත් වැ ගියො. එක්බිති “දියවතුරෙහි[333] ගලා පරා-පිච මැනැවැ”යි වලාකුළු සහස් සුවහස් නඟා පොළොව් සිල් කොටැ පියන්නා සෙ වස්වන ලද වැසි වනහිස් ගලමින් ගොස් මහසත්හු ගෙ සිවුරෙහි පිනිබිඳක් සා දියබිඳක් නො හෙළි යැ. එක්බිති පහණ වැසි වස්වන මරහු විසින් මවන ලද මහත් මහත් ගල් කුළුහු දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිව මල්ගුළුබවට ගියො. එක්බිති ආයුධ වැසි වැස්වන[334] මරහු විසින් මවන ලද නන් නන් ආයුධයො දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ කිවමල් දම් බවට ගියො. එසෙයින් මැ මවන ලද අඟුරුවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු කරා පැමිණැ දිවමල් බවට ගියෙ.[335] එ සෙයින් මැ මවන ලද හළුවැසි[336] දුමමින්[337] දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ දිව සඳුන් සුනු බවට ගියෙ. එසෙයින් මැ මවන ලද සියුම් වැලිවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ[338] දිවකුසුම් රොන් බවට ගියෙ. එසෙයින් මැ වස්වන ලද කලල් වැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ දිවගඳ බවට ගියෙ. එක්බිති “සිද්ධස් කුමරහු බවා ලුහුබැඳ පිව මැනැවැ”යි මරහු විසින් මවන ලද සිවුරඟින් යුත් මහ අඳුරු මහසත්හු කරා පැමිණැ හිරිරසින් බුන් අඳුරු සෙයින් අතුරුධන් වී.
මෙසෙ මර මෙ නවමහ වැස්සෙන් මහසත්හු නො නට සෙ දැකැ කො-ගිනින් දිලි[339] මෙරගල් සක්වළගල් පවා කිළිල් සෙයින් කඩන්නට පොහොසත් වූ තමාගෙ චක්‍රායුධය මහසත් හට විහිටැ. හෙ ගොස් මහසත්හු මුදුනෙ මල් සතක්[340] සෙයින් සිටියෙ.[341] මරපිරිස්වැසියනුදු විසින් විහිදුනා ලද, ගල්කුළුහුදු අවිසුවහස්හුදු අහසින් ගොස්, පැරුම් සිමිදුමින් හුන් මහසත්හු කරා පැමිණැ, දිවකුසුම් වැ වගුළො.
දෙවියො සක්වළමුවවිටියෙහි සිටැ කකර නඟ නඟා “සිද්ධත් - කුමරහු ගෙ රූසපුවට නට හො! නො නට හො!” - බලත්. එ කල්හි මරදෙව්පිත් කෙළවරට තකා-ගත් චක්‍රායුධයෙනු[342] දු කරුණු දෑ නැති සෙ දැකැ මහසත්හු කරා එළබැ “සිද්ධත් කුමර, තෙල පලඟින් නැඟි යැ.[343] පලග තා නො ගැත්තෙ යැ; මා ගැත්තෙ යැයි” කී[344] යැ.
කියග මාරය, “පැරුම් පිරු මහබොසතුන් බුදු වන දවස් පැමිණෙන පලග තා ගැති බවට දෙස්හු කවරහ?”යි කීහ.[345] “මුහු හැම දෙන මැ දෙස් හ”යි මර සෙනඟට හත[346] පෑ කල්හි, මරපිරිස්[347] වැසියන් විසින්, “මම දෙස්මි, මම දෙස්මි”යි පොළොව් පැළී යන පමණ මහහඬ පැවැත් වූ කල්හි, මරහු විසින්, “සිද්ධත් කුමර, තට දෙස්හු කවරහ?” යි කීයෙන් “මට මෙ තන දෙස් කියන්නට නිසි සිතක් ඇති කෙනෙක් ඇත්තාහු නො වෙති”යි කියා සිවුරුගැබින් දකුණත් නෙරැ සෙසු අත්බව් හැරැ වෙසතුරු අත්බැවැ සතසතුමහදන් දුන් තැන් පටන්-ගෙනැ පැරැම්බිම්හි ලා රැව්පිළිරැව් දී හඬා දැන් කුමට නො[348] බණහි? පොළොවට අත් දිගු කළහැ.
එ සඳැ මහපොළොව රැව්දහස් රැව්සුවහස් විහිදැ හැඬුවැ. එ සඳැ යෙළසියක් යොදුන් ගිරිමෙවුලා නම් ඇත් දණ එවැ, බැසැ-හෙවැ, මහපුරිසා සරණ ගියෙ. මරදෙව්පිත් බිය පත් වැ මරපිරිස්[349] හා සමඟ ගත් ගත් අවි පිළි පළඳනා පියා[350] පැලැයි. එකල්හි දෙව්බඹහු පලන[351] මරපිරිස් දැකැ, මර පරද;[352] සිද්ධත් කුමර දිනි යැ, ජයමඟුල්[353] කරම්හ”යි නයි නයින් කරා යවු හැ. ගුරුළුහු ගුරුළුන් කරා යවුහැ. දෙවියො දෙවියන් කරා යවුහැ. බඹහු බඹුන් කරා යවුහැ. මෙසෙයින් දසදහස් ලොධා වැසි දෙව් බඹහු සතුටු සොම්නස්වැ ජයමඟුල් ගොහමින් ගඳමල් ගෙනැ අවුදු මහසත්හු[354] පිරිවැරූහ.
මෙ සෙයින් මහපුරිසා හිරි නොඑප්සෙන තුරු මාර විජය කොටැ පෙරයම්හි නොඑක් ඉකුත් දෑ කෙළසුවහස්හි නො පැකිලැ පවත්නා පුවෙනිවස්නුවණ ලදින් මැදුම්යම්හි[355] අනත්අපරිසෙ ලොධාහි තමන්[356] තමන් කළ කැමින් දුක් විඳුනා සුව විඳුනා සතුන් නිරවසෙස්නෙන් දක්නා දිවසක් නුවණ උපයා[357] අලුයම්හි දොළොස් ඇඟින් යුත් පිළිසසුමුපා[358] වටවිවට[359] විසින් අනුලොම් පිළිලොම් විසින් සිමීඳුත් සිමිඳුත්, දසදහසක් සක්වළ දියපොළොව අවසන් කොටැ දොළොස් වටෙකැ කම්පිත වී යැ. මහසත් වනාහි දසදහස් ලොධා ගුගුරුවා අරුණු නැඟෙන තුරු[360] සව් කෙලෙස් පහා බුදු වී.
එ කල්හි පැදුන් සක්වළ මුවවිටියෙහි සිටැ නැඟු දදයෙහි අග්[361] පැළ සක්වළ මුවවිටියෙහි ලෙළෙයි. පැළ සක්වළ මුව විටියෙහි සිටැ නැඟු දදයෙහි අග්13 පැදුන් සක්වළ මුවවිටියෙහි ලෙළෙයි. උතුරු සක්වළ මුවවිටියෙහි සිටැ නැඟු දදයෙහි අග්13 දකුණු සක්වළ මුවවිටියෙහි ලෙළෙයි. දකුණු සක්වළ මුවවිටියෙහි සිටැ නැඟු දදයෙහි අග්13 උතුරු සක්වළ මුව විටියෙහි ලෙළෙයි. පොළො තෙලෙහි සිටැ නැඟු දදයෙහි අග්13 අකනිටා[362]බඹලොවැ ලෙළෙයි. අකනිටා බඹලොවැ සිටැ නැඟු දදයෙහි අග් පොළො තෙලෙහි[363] ලෙළෙයි. එදා දසදහසක් සක්වළ එක දදවනයක් සෙයින් එක මල්අස්නක් සෙයින් එක ගඳසැළියක්[364] සෙයින් එක මල් කලබක් සෙයින් සැදුම් ලද.[365]
මෙ සෙයින් බුදුහු ගිනි ගත් යපිඬෙක්හි අබ්ධා සෙයින් තමන් සතන්හි සිටි කෙලෙස් වාසනාලව දු[366] නො තබා මඟ නුවණින්[367] කඩා සව්නෙ දැනැ “අනෙකජාතිසංසාරං” - යනාදීන් උදන් ඇනුහු.
ස්වසන්තානදමන නම් දෙවන පරිච්ඡෙද[368] නිමි.
-
ඉපිද ↑
-
දෙව්සපුව ↑
-
වැඩවසන සේක් ↑
-
කොයි ↑
-
වෙයි, වෙසේදෝ-මු ↑
-
තුසීපුරයට ↑
-
ගොත් වැඳැ-මු ↑
-
කළාහ ↑
-
පඤ්චමහාවිලොකනාවලොකනස-මු ↑
-
තුසීපුරයෙන් ↑
-
දෙව්රජනී, දෙව්රජිනි ↑
-
ඇසළපුණු පෝයට ↑
-
සැණකෙළි කෙළ ↑
-
පොදවස් ↑
-
මල්ගඳ-විලවුන් ↑
-
සර්වාභරණින් ↑
-
කෙබඳු ද යත්-මු. ↑
-
අවුදු ඇය - කිසි ↑
-
රන්ගල්, ↑
-
අනුතත්දහතළාවට ↑
-
අරණ, අරනා ↑
-
දිවගඳවිලෙවුන් ↑
-
ගල්වා ↑
-
රිදීපවුයේ ↑
-
ඇතුළැ, ඇතුළත්හි ↑
-
පනවා ↑
-
නැඟ ↑
-
කුසයට ↑
-
උත්‍රසළ ↑
-
සැළකළා ↑
-
සූසැටදෙනෙකුන්-මු ↑
-
සිටී නම්, සිටියනම් ↑
-
වෙයි ↑
-
කණ්හු ↑
-
එ රැවු බිහිරහු ඇසූ හ ↑
-
පීළහු ↑
-
සිරිරු ↑
-
නිවීගියහ ↑
-
සා-පිපාස ↑
-
සන්හිඳින, සන්සිඳින ↑
-
තිරිසන් ගත-මු ↑
-
සන්හුන, සන්හිඳුන ↑
-
පිරිය ↑
-
මෙය ‘ජාතක’ අටුවායෙහි නැත ↑
-
තමතමන්ගෙ ↑
-
පෙළෙවිනුදු ↑
-
පොළොව තෙළෙහි ↑
-
පක්‍ෂීහු ↑
-
ගඞ්ගා හො ↑
-
මුහුදුදිය ↑
-
හැමතැන ↑
-
පිපීගිය ↑
-
ගලතල ↑
-
බිඳ ↑
-
පියුම් ↑
-
හාත්පසින් ↑
-
මල් කුලාවක් ↑
-
පොලා ↑
-
බඳු ↑
-
පිළිසිඳ ↑
-
සතරවරම්රජහු ↑
-
ගම්දොර ↑
-
පහදොර මහදොර-මු ↑
-
ඇමුණු ↑
-
යායටී වැ ↑
-
හිඳුවා ↑
-
සිව් ගෙයක්හි ↑
-
මොළොක් ↑
-
ගෙන්වා ↑
-
සැණකෙළි ↑
-
ලුම්බිනී නම් ↑
-
ශාඛාග්‍රය, ශාඛා අග ↑
-
මියුරුරසයෙන්-හැම ↑
-
කුල්මත් ව ↑
-
තව්තිසා ↑
-
උපන ↑
-
දෙවී ↑
-
සල් අත්ත, සල්අත්තක්-මු ↑
-
වේබඩයක්, වෙඅගබඩක් ↑
-
එ මැ සල් අත්ත, සල් අත්ත නම්මා ගෙනැ ↑
-
සුද්ධාවාස ↑
-
පෙරට වැ ↑
-
වච ↑
-
මහානුභාව පිතෙක ↑
-
සිට ම ↑
-
විශාරද වැ - හැම, විසෙදා-ජා අටුවා ↑
-
සිරුරු ↑
-
සැනැහැවි-මු ↑
-
දුහුල් සුඹුළුවෙන් ↑
-
පැදුම් දසා, පැදුම් දිසාව ↑
-
අපරිමිසෙ ↑
-
ලෝධාහි-හැම ↑
-
දෙව් මිනිස්සු ↑
-
කෙනකුනුදු ↑
-
වැඩිසිටි ↑
-
කොහිදැයි ↑
-
සතර දිගද්-මු ↑
-
දිසා, දිසාව ↑
-
සත්පියවරක් ↑
-
නඟා සිටියො, ගොස් වැඩ සිටියො ↑
-
බඹහු ↑
-
යොදුන් තුනක් ↑
-
විජතුරා ↑
-
සක්-මු ↑
-
පින්බහ ↑
-
රුවන්මිරිවැඩි ↑
-
දක්වමින් ↑
-
මහ පූර්වනිමිත්තයො ↑
-
කිඹුල්වත් නුවර ↑
-
කුළුල්දෙව් ↑
-
දෙව්නුවරට ↑
-
සැණකෙළි ↑
-
වැනි ↑
-
පුතණුවො ↑
-
දම්සක් ↑
-
බලම්හ ↑
-
සොම්නස් වුම්හ යි ↑
-
තවුසාණො ↑
-
පැනවු ↑
-
හිඳ ↑
-
බලම්හ ↑
-
කුමර ↑
-
තවුසාණන් ↑
-
සෘෂියාණන් ගෙ ↑
-
වැන්දාහ ↑
-
දන්ති, දකිති ↑
-
බුදු වෙයි හොයි-බුදුනො වෙයි හොයි; බුදු වෙ හොයි බුදු නො වෙයි හොයි ↑
-
බුදුවූවාහු-මු ↑
-
දක්නට ↑
-
ලබමියි ↑
-
සතුටුයෙමි ↑
-
රැහැනි ↑
-
වලපමි ↑
-
රජගෙයි, ගෙයි ↑
-
තිණ්ණං වෙදානං පාරගෙ-අටුවා ↑
-
අසුන්හි හිඳුව ↑
-
බැල්වුහු ↑
-
වෙයි ↑
-
කීවාහු ↑
-
අට දෙනා හට-මු ↑
-
‘දෙවවිමානංවිය-ජා අටුවා ↑
-
මහපිරිස් පිරිවරා ↑
-
දඹරුප්පයෙක්හි ↑
-
සවබරණින් ↑
-
ගියෝ-මු ↑
-
අනාපන්සි ↑
-
දැන, ධෑන ධ්‍යාන-මු ↑
-
දඹරුක ↑
-
සේය, සේ ↑
-
වැඳමයි ↑
-
වැඳි ↑
-
සඳසිරින් ↑
-
සත්රුවන්මුවා-මු ↑
-
දියකෙළකෙළ, දියකෙළ ↑
-
වැඩී ↑
-
හිමත් ↑
-
වසත් ↑
-
රජකුමරියන් ↑
-
කුමාර, ↑
-
ගෙන්නාගෙනැ ↑
-
මහපට ඇඟිල්ලෙ, මහපට ඇඟිල්ල ↑
-
හුන් සේ මැ. ↑
-
අත් පොළා ↑
-
මුළුපොළොව ↑
-
රන්විමන්, රුවින් විමන් ↑
-
ගඳවූ, ගඳැව්-මු ↑
-
පහස් ↑
-
මහ-මූ ↑
-
කෙළනට ↑
-
ව්‍යාධි රූප වියදි රූ.බැධිරූප, බැදිරූ, වැදිරූ ↑
-
සැනහා-මු ↑
-
යට ↑
-
සවබරණින් ↑
-
දසදික් ↑
-
සුවහසක් ↑
-
වැඩහුන්හු ↑
-
සවබරණින් ↑
-
මහාපුරිසා, මහපුරිස් ↑
-
පිරිවරා සිටැ ↑
-
ගඳවූ, ගැයුම්-මු ↑
-
තමතමන් ↑
-
ගඳතෙල ↑
-
කන්නවුන් ↑
-
කස්නවුන් වලප්නවුන්-ඇතැම් ↑
-
වල කට ඇතියවුන් ↑
-
දුදපා ↑
-
තුන්ලෙව්, තුන්ලෙව්හි ↑
-
ගෙයක් ↑
-
හිණිගෙයි, හිනගෙහි - මු - ↑
-
සඳ ↑
-
රමණීය ↑
-
කන්ථක ↑
-
සදන්ට-මු ↑
-
රහල් ↑
-
උප ↑
-
අසුදසුද, සුදු ↑
-
අත ↑
-
දිග්, දිග ↑
-
වාලධිය ↑
-
වේලේ ↑
-
එකල් ↑
-
නික්මෙතැයි, නික්මයන ↑
-
පුවරුයෙහි ↑
-
දහස් දහස්-මු ↑
-
ඇති වූහ ↑
-
කෙළලක්‍ෂයක්-හැම ↑
-
හූන්නෙම්, හුන්නේ මැ ↑
-
වල්පත සිටි ↑
-
හා සමඟ ↑
-
දෙකළවින් ↑
-
අදින්-මු ↑
-
සත්රුවන් හැම ↑
-
කොදෙව් ↑
-
හා සමඟ ↑
-
කෙරෙහි ↑
-
බෝසත්-මු ↑
-
තෙපි කවර-මු ↑
-
සිත්හර ඔතාරා පෙඛො, සිදුරු බලන්නේ, යනු මෙතන්හි ජා ගැටපදයි ↑
-
සිටිය ↑
-
මහ ↑
-
පෙරට වැ ↑
-
අටසැටදහසක්-හැම ↑
-
දෙවියො ↑
-
මුහුදකුස මුහුදුකුස ↑
-
ගජුම් ↑
-
අසූඅට ඉස්බක්-මු ↑
-
නැති හෙයින් ↑
-
මුහුලස ↑
-
කෙස් ද ↑
-
තන්හි ↑
-
කරඬුයෙකින්-මු ↑
-
දෙව්නුවරස ↑
-
සඟළද් ↑
-
ගළවා ↑
-
උලෙළවී-මු ↑
-
ඔහු-මු ↑
-
නොද දන්මහ ↑
-
බඹකු බව් යකකු බව් නා-ගුරුළු බව් මිනිසකු බව්-කිසි ↑
-
පසු පස්-මු ↑
-
තැනෙක්හි ↑
-
අහරක් ↑
-
රුක්සෙවණැල්ලෙක්හි ↑
-
කොළො ↑
-
නෙවැසිගත් ↑
-
නන්-නන් අගරෙසෙන්-මු ↑
-
පහරිත්මැ ↑
-
අහරපිළිකුල් සංඥා-මු ↑
-
එ වෙලෙහි දිවැ ↑
-
සබඳ්බව් ↑
-
රජතෙම ↑
-
තොප ↑
-
තොප බුදු වූ කලැ පළමු කොට මාගේ විජිතයට-මු ↑
-
රූපාරූප ↑
-
සල්වනයෙක්හි ↑
-
සිරුරු ↑
-
සිටු, සිටුහු-මු ↑
-
පන්සියයක් ↑
-
දෙසිය පනසක් දෙනුන්, දෙනකු ↑
-
ඔවුන් කිරි-ඇතැම් පොතෙකැ නැති ↑
-
ලූ ↑
-
වන හැම ↑
-
නව බඳුන් ↑
-
වැහෙන ↑
-
දුටු ↑
-
එවා, කිරි වැ ↑
-
යෙයි. ↑
-
අවුද් ↑
-
පෙනෙලි, පෙනලි ↑
-
නගාලා ↑
-
ඇතැම් පොතෙකැ නැති ↑
-
ඔදස් ↑
-
දඬුවැල්බෑ-මීයක්, දඬුවැල්මියක් ↑
-
පොළා ↑
-
සෙයින් ↑
-
දෙබදනෙහි ↑
-
ඔසත්හු-මු ↑
-
මහපෙළහරයක්. පෙළහරයෙක් ↑
-
නුදුටුවිරුයැ ↑
-
සතුටු වැ ↑
-
දෙටදුතන්හි ↑
-
ඝන ↑
-
පියාලා ↑
-
සුදුපිළියෙකින්, ↑
-
තමාසිය තමාහිස ↑
-
මහන්තෙන ආනුභාවෙන - අටුවා ↑
-
රන්කොනරුයෙන් ↑
-
බත්පය ↑
-
බහා තබා ↑
-
මනොරථය-මු ↑
-
හෝ තෙරට ↑
-
සනන - මු ↑
-
සනහා ↑
-
මහසත් - යනුදු හැම ↑
-
වෙසතුරු ↑
-
පුද ↑
-
“එක ගඳකිළියක් සෙයින් වැසුණු කල්හි” යනු දු - ඇතැම් ↑
-
උතුරුදිසා ↑
-
භව අගහි, භව අක්හි ↑
-
තන්හි ↑
-
ගැලෙන නැඟෙන සේ ඇතැම් ↑
-
තැන්, තැන්හි ↑
-
තැනයයි, තැනයි ↑
-
අග්හි ↑
-
සලාලා ↑
-
තණපලග ↑
-
දැමිව-මු ↑
-
පිඹැජිකලැ ↑
-
සාරමයෙකින් ↑
-
බේලුව පාඬව ↑
-
තුන්ගව්වක් ↑
-
බඹලොව ↑
-
ඉක්මවියැටි-මු ↑
-
යෙළසියයක්-මු ↑
-
ඇතක්හු-මු ↑
-
යන්නක්-මු ↑
-
දසදහසක්-මු ↑
-
සෙන හැම ↑
-
මහහඬින්-මු ↑
-
විදුව ↑
-
ඇණවමින් ↑
-
පලහ පැලහ ↑
-
මන්‍දරික, මඤ්ජෙරික අටුවා ↑
-
දෝතින් මුහුණ-මු ↑
-
පිටට ගෙනැ ↑
-
එකස්කොට-හැම, චක්ක වාළකොටිය-අටුවා ↑
-
උත්තරපස්සේන-අටුවා ↑
-
ගත් කල්හි ↑
-
සුළඟ ↑
-
කුළු දු ↑
-
වන දහසදු-හැම ↑
-
රුක් දු ↑
-
දියවගුරෙහි-මු ↑
-
වස්වන ලද ↑
-
ගියො ↑
-
වැලිවැසි-මු ↑
-
දුවමින්-මු ↑
-
කරා පැමිණැ. ↑
-
දිලිහි ↑
-
මල්සේසතක් ↑
-
සිටියෙයි-හැම ↑
-
චක්‍රයෙනුදු ↑
-
යවූ ↑
-
කියා කීහ. ↑
-
කියා, කියැ-මු ↑
-
අත් ↑
-
මරසෙනහ ↑
-
නොබැණ හිදිනේ දැයි. ↑
-
මරපිරිස්හු ↑
-
පියාලා ↑
-
පැලයි ↑
-
පලන් ↑
-
පැරද ගිය යි පැරද ගියේ-මු ↑
-
පියමඟුල් ↑
-
මහසත් ↑
-
මැදින්යම්හි ↑
-
තමතමන් ↑
-
උපදවා ↑
-
පිළිසාසුමුපා, පිළිසමුපා-මු ↑
-
වට විසින් ↑
-
නැඟෙන තුරු වේලෙහි-මු ↑
-
රංසියො-අටුවා ↑
-
තලයෙහි-මු ↑
-
ගඳකිළියක්-මු ↑
-
ලද්-මු ↑
-
ද් ↑
-
මහනුවණින්-ඇතැම් ↑
-
පරිච්ඡෙදය-මු ↑