අක්කැමියන් - ‘අගනාගම මෙතෙකැ’යි කියනුවන්.
අග්දෙරියෙහි - අගුදොරැ = නිසවත්තෙහි, ගඳකිළිය ඉදිරියෙහි
අහාළ මුව - වළකට, විවෘත මුඛය
අටමඟලා පෙළ - පූර්ණකුම්භ යැ, ගදායුද යැ, චක්‍රායුධ යැ, ශ්‍රීවත්ස යැ, අඞ්කුශ යැ, ධ්වජ යැ, සෞවස්තික යැ, ශඞ්ඛ යැ යන අට අටමඟලා පෙළ නමි. මෙයට වෙනස් සැටියෙනුදු කියති.
අටසැටසුවහසක් දිවපසඟතුරු - අට වර්ගයෙක බෙර යැ, සැට වර්ගයෙක බෙර යැයි, මෙසෙ අටමහබෙර හා සැටමහබෙර හා සියදහස් දිවපසඟතුරු යන අර්ථයි. මෙහි ‘සුවහස්’ ශබ්දය අනෙකාර්ථ වෙයි. එයින් දෙ මහබෙර මෙතෙකැයි හිම් නැතිසෙ කියූ සැටියි. ‘අටසැට දහසක්’ යනු පොත් හි එයි. ‘අට්ඨසට්ඨිතුරියසතසහස්සානි” යනු අටුවායි.
අටළොස් සෙනීහ - ලොහකාරාදි අටළොස් සෙනිකුලැස්සෝයි. “සෙනීහි නම් එ එ කම්හි යුත් කුලවැසියො” යනු ධම්පියාඅටුවා ගැටපදයි. ‘මනුස්මෘති’ යෙහි විස්තර ඇත.
අඩතෙළෙස් යල් සියක් - එක් දහස් දෙසිය පනස, අඩෙකින් තෙළෙස් පුරනු ‘අඩතෙළෙස්’ වෙයි. එයින් වාර සියක් ගත් කලැ එක් දහස් දෙසිය පනසෙක් වෙයි. එයින් මෙහි ‘යල්’ යනු වාර්තා කොටැ ගත හැකි ය.
අතවසැ - වස්කාලය තුළ
අතුරු දැනැ - හෙතුව දැනැ. ‘පාළි: අන්තර > අතුරු’
අඳු බානෙක්හි - අන්දුබන්ධනයෙකැ = හැකිලි බැම්මෙකැ.
අනත් අපරිසෙ - අනන්ත අපරියන්ත, ‘පා: අපරියන්ත, > අපරිසෙ’යි ආ සැටිය සළකන්නේ යැ.
අනිෂ්ටප්‍රග්‍රහයහි - අනිෂ්ටයන් ඇසිරි විසින් තර කොටැ පිළිගැන්මෙහි, “අනිට්ඨපග්ගහෙ” යනු මෙහි අටුවායි. පොත්හි එන ‘අශිෂ්ටසෙවායෙහි’ යනු ලෙඛකදොෂයෙකි.
අනුපාදා විමොක්‍ෂයෙන් - තෘෂ්ණාමානදෘෂ්ටි විසින් නො ගෙනැ කෙලෙසුන් කෙරෙන් මිදීමෙන්.
අනුබුයෙහි ද - සලිලප්‍රායභූමියෙහි = බෙහෙවින් දිය වැදැ සිටුනා බිමෙහි. ‘සං: අනූප > අනුබු’
අනුයොගක්ෂම - පැන පුළුවුස්නට සෑහෙන,
අබ්බොහාරික කොටැ - ව්‍යවහාරයට අර්හ නොවූවක් කොටැ = සඳහන් නොලා.
අබ්ධා - ජලය. ‘පා: අපොධාතු > අප්ධා > අබ්ධා’ යනු වෙයි.
අයිණි - අගුණ. ‘පා: අගුණ > අයුණු = අයිණි’
අරා මැ යැ - එළවා මැ යැ = ගෙනැ දේ මැ යැ.
‘අරා’ යනු ‘අර - එළැවීමෙහි’ දයින් නිපන් ක්‍රියාපදයි.
අලුයෙහි - පනදා = දෙ වැනි දිනැ.
අවුධූනන - කිබීසිනි = යටිකුරු කොටැ ගසා පීම.
අවිජහිත - නොහළ, වැකියෙහි සිටුනා ‘තැන’ යනුවට විශෙෂණයි.
අවුණුදොරැ - කඩ පිළෙහි ‘පා: ආපණද්වාර > අවුණුදොර’
අශෛක්ෂ භූමි - රහත් පලයි.
අසස් පසස් - ආශ්වාස ප්‍රශ්වාස
අළක් - අඩු = කකුණු ආදීන්ගෙ පා
ආකර්ෂණ - මොබට ඇදැ - ලීමයි.
ආකොටනක්ෂම - ආකොටනයට = තැළීමට යොග්‍ය,
ආලම්බන ඵලකයෙහි - සක්මන් කෙළවරැ තුබු වැතිරැ - ගන්නා පුවරුයෙහි
ආවර්තනිමායායෙන් - අනුන් ආවර්තන කොටැ - ගන්නා = විසි යැ ලා ගන්නා මායායෙන්
ඇක්මෙන්නෙ - ඉදිරි බලා මැඩැගෙනැ යනුයෙ, ‘ඇක්ම-ඇක්මීමෙහි’ දයින් නිපන් ‘ඇක්මෙනු’ යන අර්ථ ක්‍රියා ශබ්දයෙහි ප්‍රථමෛකවචන රූපයි.
ඇතුළු වටන - “වටා කඩතුරා බඳවා”යි කීයෙන් කඩතුරායෙන් වටා - ගත් උපස්ථාන කරන පෙදෙස ‘වටන’ නමි. එ ‘වටන තුළ’ යන අර්ථයි.
ඇතුළුසළැ පහනක් - සැළිය තුළැ දල්වා - ලූ පහනක්.
ඇතොරනුදු - අන්තඃපුරස්ත්‍රිනුදු, ‘පා: අන්තෙපුර > අතවුර = ඇතොර’
ඇඹුල - හාල්පානු ගෙනැ ලුණු ඇඹුල් ඈ යොදා කකියවා - ගන්නා කැඳෙකි.
ඇසිවසන් - ආශීවිෂයන් = සර්පයන්, ‘පා: ආසිවිස > ඇසිවස’
ඉපැදු - පිසු = උයන ලද, ‘උපද-ඉපැදීමෙහි’ ධාතුයි.
ඉලුප් දා - උලුපතෘණ කපා, උලුපතාණ නම් කුශතෘණයි, යාගයට එ ද උපකරණයි. මෙහි එන ‘දා’ යනු පරෙ කිරියෙකි. ජාතකඅටුවා ගැටපද-ධම්පියාටුවා ගැටපද ආදියෙහි දු මේ පෙරකිරිය දක්වා ලැබේ. ‘සං: උලුප > ඉලුප්’
උද්ඝටිතඥ - උද්දෙශය කියා මුව විවර කළ පමණෙකින් අනෙකාකාරයෙන් කරුණු වටහා - ගන්නා පුද්ගලයි.
උදා - ගිනි දල්වා, උදා යනු ‘උද’ ධාතුයෙන් පෙර කිරි පදයි. පා: ‘උජ්ජාලෙත්වා’
උදාවිය දුකින් - උදයව්‍යයදුඃඛයෙන්
උපසම සිරි - උපශාන්තශ්‍රීය=සන්හුන් සිරිය
උපෑ රළගල - උත්පාත සඞ්ඛ්‍යාත තරඞ්ග ගිරි. මතු වන කඳු බඳු රළගෙඩි
උපුට-ගළවා. ‘පා: උප්පාටෙත්‍වා > උපුට’ යනු වෙයි. ‘උපුර’ ධාතුයෙහි අන්තයට ටකාරාදෙශයෙන් හා පෙරකිරියපසින් හා සිදු වනසෙ ද කියැහෙයි.
උපුරා-උදුරා. ‘උපුර-ඉපිරීමෙහි’ දයින් නිපන් පෙරකිරියයි. ධම්පියාටුවා ගැපදයෙහි දු “ගොධික මහතෙරුන්” වත්හි “සමූලං තණ්හං අබ්බුය්හ, සුමුලු තණ්හා උපුරා”යි අර්ථ කීහ.
උරසක් මල් - “උරචක්ක නම්, පාෂාණමය වූ හෝ මාණික්‍යමය වූ හෝ කර මුවහත් ඇති වට වූ ගිනි ගෙනැ දිලියෙන, කරැ ලූ කල කැපෙන, මෙයින් සැවැ පරලොව උපන් පාපීසත්‍වයා හට දුඃඛාවහ වූ ආයුධ විශෙෂයෙකි” යනු ‘ජාතක අටුවා ගැටපද’ වෙයි.
උචකමු දොළෙක - උපක්‍රමයෙන් සන්හිඳැවුව මනා හෙයින් ‘උචකමුදොළ’ නම් වෙයි. ‘උපක්‍රම’ නම් ලෙහෙ සෙල්වීමය. ‘පා: උපක්කම > උවකමු, පා: දොහළ > දොළ’
උළුල්ලෙන් - උක්කුටිකයෙන්
එකමාලාමාලිනී - මල්දම් බෙහෙවැ, එසෙ වතු දු, එ හැම එක් මල්දමක් සෙයින් පෙනෙනුයෙන් ‘එකමාලාමාලිනි’ නමු, නානාමාලාවන් එකමාලාකාරයෙන් සිටැ, එයින් මැ මාලනී” (=මල්දමක් බඳු) වූ සැටියි.
එහිභික්ඛුභාවයෙන් පැවිජි වැ - බුදුන් ‘මහණ, එ’යි අත් නඟා අමතන්නා හා මැ ඉදුහයෙන් එන පැවිජිවෙස් ලැබැ ‘එහිභික්ඛු උපසම්පදා’ ලත් මහණක් වැ, “එථ භික්ඛවො යන වචන හා ‘හත්ථපසාරණ’ එහි භික්ඛු උපසම්පදාවට සහකාරිකාරණ වේ, පුරිම භෙවෙහි සුරු උපසපුව උපාදන් කරුණු වේ. යෙත්. පැවිජිවෙසට අයුභෙවෙති පැවිජියනට කළතා කෙසමස්සුඔරොපනාදි මේ හා සමණපිරිකර දාන වෙසෙස් කරුණු යෙත්” යනු ධම්පියාටුවා ගැටපදයි.
ඔවිජැ - ඝටා = වදන් සැතින් විදැ
කටුමතිගායෙන් - කටු ඇති කසවැලින්, “කසාහි, මතිගායෙන්” යි ‘කුණ්ඩලකෙසීතෙරින්වත්හි’ ද, ‘කස්සකයා’වත්හි ද, ධම්පියාටුවා ගැටපද කාරයෝ අර්ථ කියති. ‘පිලොකිත මහතෙරුන්’ වත්හිදි “කසාය නිවට්ඨො, කටමුතිගායෙන් අතිශයින් පහරන ලදු”යි අර්ථ කියති. කටු යෙදු කසවැල ‘කටුමතිගා’යි කියත්. කුඹුරු සකස් කිරීමෙහි ලා මඩමතුයෙහි ගානා දඬුවක් ‘මති’ ශබ්දයෙන් කියන තැන් පාළියෙහි ඇත. සකුවෙහි ‘මත්‍ය’ කියාත් අර්ධමාගධියෙහි ‘මතිකා’ කියාත්, දක්නා ලැබේ. තදාකාර ගෙනැ එක්පසැ කටු යොදා කළ, ඇඟැ ගානා කසවෙසෙසක් ‘කටුමතිගා’යි කියති යි සිතම්හ. ‘මතිගා’ යනු ‘පා: වත්තිකා (සං: වර්තිකා) ශබ්දයෙන් බුන්සෙ කෙනෙක් කියති.
කපුසුවහස් - කල්පශතසහස්‍රයක්, කල්ප ලක්‍ෂයක් ‘පා: කප්පසත සහස්ස > කප් සුවහස්’ උකාරගාමයෙන් ‘කපුසුවහස්’ තුන් + රුවන් = තුණුරුවන්’ ආදියෙහි සන්ධිවිධි හා සසඳන්නේ යැ.
කඳල කැකුළු - කන්දල මකුල = බිම්කෙහෙල් කැකුළු
කරමිණි - (කරපිළි), අටුවායෙහි එන ‘විභව’ ශබ්දයෙහි අනුවාදයි. නිෂ්පත්ති නොපැහැදිලි යැ. “කැරුමිනි - කැරැමිණි - කැරුම්නි - තුම්ණි” යන පාඨ ද පොත්හි ඇත. අලුත් පිළී (කරලූ) කියන නිෂ්පන්න ශබ්දයෙහි යි සිතම්හ.
කරැ අත් ලා ගෙනැ - ගලය අත් ලා ගෙනැ, මෙහි ‘කර’ නම් ග්‍රීවායි. “ගීවාය ගහෙත්වා” යනු මෙහි අටුවායි.
කසළ පිස්සක්හු - ‘පංසුපිසාච’ යනු පෙළෙහි එන වහරි, කසළ වැකුණු පිශාචයකු.
කස්නවුන් - ‘කාකච්ඡන්තියො’ යන මෙහි අනුවාදයි. “කස්නවුන් නොහොත් නැහැ හඬවන්නවුන්, නොහොත් තතනන්නවුන්” යනු ‘ජාතක අටුවා ගැටපද’යි.
කළ දහස් බිඳිමින් පලත් - බිය වැදැ දුවත් මැ, උනුන් වෙර ඝැටීමෙන් අපමණ කළ බිඳී යනසෙ දැකත්. එය නො සළකා දුවන බව මෙයින් කියත්. මඟතුරෙහි කල ගත් අත් ඇතියවුන් ඇත ද, උනුදු නො සළකා බිඳැ-ගෙනැ දුවනසෙ කීමෙන් මහත් සේ බිාය පත් බව අහවයි.
කළුවණ - කාලකණ්ණිය
කාඩි - ඔදන හා ධාන්‍යාදිය ගෙනැ තනා - ගන්නා ඇඹුලෙකි. ‘කළ කැඳ’ යනුදු මෙයට නමෙකි.
කාමාදි තුන් විතර්කයෙන් - කාමවිතර්ක යැ, ව්‍යාපාදවිතර්ක යැ, විහිංසවිතර්ක යැ යන තුනින්. නිෂ්කාමතායෙහි ලා කාම විතර්කය සතුරු යැ. මෛත්‍රියෙහි ලා ව්‍යාපාද විතර්කය සතුරු යැ. කරුණායෙහි ලා විහිංසා විතර්කය සතුරුයි.
කැකුළු කොටැ - කර්කශ කොටැ = දැඩි කොටැ ‘පා: කක්ඛළ කැකුළු’ “කැකුළු තෙබින්” යන තැනැ වෙසතුරුදාසන්නයෙහි ලා (පි: 120) තීව්‍ර-අර්ථයෙහි දු, එහි මැ (පි: 42) “කැකුළු කළහ”යි ඝොරාර්ථයෙහි දු මෙ ශබ්දය ඇත.
කියග-කිම? ඇවත. ‘ආවුසො’ යනු ආමන්ත්‍රණයෙහි නිපාතයෙකි. එහි අනුවාද කරන ගුරුළුගොමීහු එය පිණිසැ ‘කියඟ යනු යොදති. එයින් සියබසෙහි ලා මෙ ද නිපාත විසින් සළකන්නට වටනේ යැ. පාළියෙහි ප්‍රශ්නාර්ථයෙහි වැටෙන ‘කිං’ නිපාත හා ආමන්ත්‍රණාර්ථයෙහි වැටෙන ‘අඞ්ග’ නිපාත හා එක් වැ සිටුනා “කිං+අඞ්ග=කිමඞ්ග” යි රූපයෙක් ඇත. එය ඇසිරි කොටැ ‘කිං+අග=කියග’යි, සියබසට ආසෙ සළකම්හ. එසේ වත් මැ, ප්‍රශ්නාර්ථ ගර්භ කොටැ ඇති ආමන්ත්‍රණ නිපාතයෙකි. ‘කියග’ යනු සියබසෙහි වැටුණු තැන් විමසත් මැ, අප කියු නිරුක්තිය එහි ඝටීත වනසෙ පෙනේ.
කිලැ- ‘කුල්’ ධාතුයෙන් නිපන් පෙරකිරිය පදයි. ‘නාද කොටැ’ යන අර්ථයි.
කිසිදෙසක් - කිසි දෙශයක් = ප්‍රදෙශ මාත්‍රයක් = යම්කිසි දැයක්
කිළිල් සෙයින් - වංශාඞ්කුර=හු කිළිල් සෙයින්. ‘පා: කළීර > (සං: කරීර) කිළිල්’ යනු වේ. හුණ අකුරුයි.
කුද්කුරු කිරාතාදීහ-කුබ්ජ-ඛර්ව-කිරාත ආදීහු යැ. කුදු ඇත්තෝ යැ. මිටි ඇත්තෝ යැ. ව්‍යාධයෝ යැ යන මෙ ආදීහුයි.
කුබුක් බෙලසුල් - කුබුක් රුකින් වැහෙන දිහි මෙන් සිනිඳු නිර්යාස. “නාගබලා පිච්ඡිලාදීනි” යනු මෙ තැනැ අටුවා යි. ‘නාගබලා’ නම්, කෑලියයි. කුබුක්වෙසෙසෙකියි සිතම්හ.
කූටව්‍යවහාරයෙහි-කූට ලෙස කරන වෙළෙඳාමෙහි. බඩු පෙරැළීමෙහි කරන රැවටිලි
කෙණෙසි අහර - පිඬු සිඟා වඩනා විට, ඒ ඒ තැනැ හැඳි පමණෙකින් ලැබෙන අහර, ‘පා: කටච්ඡු > කෙණෙසි’
කෙලෙස් පඳුරු විදහන තැන - කෙලෙස් නැමැති මැඳිරිය වනසන තැන “කිලෙසපඤ්ජරවිද්ධංසනට්ඨානං” යනු මෙහි අටුවා යි. ‘විදහනැස්මෙහි’ දයින් ‘විදහන’ යන ක්‍රියා ශබ්දය සිද්ධ යි.
කෙලෙස් වාසනා ලවද් - අනුමාත්‍ර වූ ක්ලෙශවාසනා ද පවා. අපායොත්පත්ති හෙතුභූත අකුශලය රහත්හු දු නැති කරති. කායවාක්ප්‍රයොගහෙතුභූත අකුශලය නැති නො කෙරෙති. අභිධර්මයෙහි “අප්පහාතබ්බ” ගණයට මෙය ඇතුළත් වේ. බුදුන් තුළ ඒ ද නැත. ‘වාසනා’ යනු මෙහි එයට නමෙකි. කෙලෙස් නිසා කා වැදී ගිය පුරුද්ද ‘වාසනා’ වශයෙන් කියැවිණ. කෙලෙසුන් විසින් පිහිටුවන ලද ශක්ති විශෙෂයක් සෙ, ‘විශුද්ධිමාර්ග සන්න’ යෙහි එයි.
කොතුරුපක් - ඝටාකාර පත් පේකඩ
කොටගෙ - කොෂ්ඨාගාර = ධාන්‍යාදිය සඟවා තබන කොටු කුසුල්. “දින් මැඩුන් කොටගෙ පුරා” යන වැකියෙහි දී සස්‍යමඤ්ජරීන් හා මැඩැ ගත් වී හා කොටුගුලෙහි පුරා, යන අර්ථයි.
කොණ්ඩඤ්ඤ නම් බමුණු - හැම පොතෙකැ එනුයෙ ‘සුදත් නම් බමුණු’ යනුයි. අටුවා බලා අපි “කොණ්ඩඤ්ඤ” යනු යෙදුම්හ. “රාමො ධජො ලක්ඛණො චා’පි මන්තී, කොණ්ඩඤ්ඤො ච භොජො සුයාමො සුදත්තො” යන ගාථාර්ධයෙහි එනසෙ බලත් මැ, අගැ සිටුනෙ ‘සුදත්ත’ බමුණු යැ. ඔවුන් ඇම දෙනා හට ළදරු වූයේ ‘සුදත්ත’ යැ යි, කී තැනෙක් ඇද්ද! යනු සොයන්නෙ යැ.
කොහොන් පිළිවෙත්හි - තමා තුළ නැති ගුණ පහළ කොටැ ලොව විස්මයට පත් කරන ප්‍රතිපත්තියෙහි ‘පච්චයපටිසෙධන’ යැ, ‘සාමන්තජප්පන’ යැ, ‘ඉරියාපථසණ්ඨාපන’ යැ කියා එ කුහක ප්‍රතිපත්තීහු තුන් දෙනෙකි. මතුයෙහි බොහො දැය අපේක්‍ෂා කොටැ දුන් දැය ප්‍රතික්ෂේප කරනු ‘පච්චයපටිසෙධන’ නමි. වුවමනා දැය ඉඳුරා නොකියා ළං වැ සිටැ ප්‍රකාරාන්තරයෙකින් කීම ‘සාමන්තපජ්ජන’ නමි. රහතුන් සෙයින් ඉරියවු පිහිටුවා-ගෙනැ විස්මය එළැවීම ‘ඉරියාපථ සණ්ඨාපන’ නමි. මේ යැ, කොහොන් පිළිවෙත් නම්. ‘පා: කොහඤ්ඤ > කොහොන්’
කොළන මුඟුරෙන් - පහරන-තළන මුඟුරෙන්, ‘කොළන’ යනු ‘කොළ-තැළීමෙහි’ දයින් නිපන් ක්‍රියා ශබ්දයෙකි.
ගඳ සැළියක් - ගන්ධචඞ්ගොටයක්=සුවඳ කරඬුවක්. හැම පොතෙකැ ‘ගඳසැළියක්’ යනු ඇතියෙන් පදය යෙදුව ද, ‘ගඳ පැළියක්’ යනු නිසිසෙ සිතම්හ. “පසාධනපෙළිකං, පහයින් පෙළියක්” යනු ‘ධම්පියාටුවාගැටපද’ යෙහි ඇත. ‘පෙළි’ නම් කරණ්ඩයි. ‘පා: පෙළික > පෙළි=පැළි’
ගල් පාතට - පර්වත පාදයට=වන ගහන ඇති කඳු දොරට
ගැළියායෙන්-බද කෑමෙන්=උරිනුරැ පැහැරැ මුළු දී යෑමෙන්.
ගුල්ඵයෙහි-පාද ග්‍රන්ථයෙහි=ගොප් ඇටෙහි.
ගුළන කලැ-ඔප් නගන්නට මාර්ජනය=මැදීම කරන කලැ
ටිකෙකදු-පොදකුදු, ‘ටික්’ යන් බින්දුයෙහි වැටෙන ශබ්දයෙකි. ‘තලාටික්’ ආදි හිලාලිපි බස ද සළකන්නෙ යැ.
තලයක් පමණ තැනට-තාලයක් = තල්ගසක් පමණ තැනට
තලින් හුණුවක්හු - අතුල් පහරින් වැටුණහු
තිලින්-තෙල (=මේ පෙනෙන) තැනින්
තුබුපට-ඊයම් පට=ඊයම් තෝඩු. ‘පා: තිපුපට්ට > තුබුපට’
තෙවැසි - හැල් කරල් මිටි මිටි කොටැ ගෙනැ සුවඳ කවා තබා තුන් හවුරුද්දක් ගිය තැනැ වළඳ කරන්නට ගනුයෙන් ‘තෙවැසි’ නම් වෙයි. ‘වර්ෂ තුනක් ඉක්මැ සිටි’ යන අර්ථයි. ‘මැදුම්සඟි’ යෙහි ‘ඝටීකාර’ සූත්‍රයෙහි අටුවායෙහිත් ‘සාරත්ථදීපනි’ විනය ටීකායෙහිත්, විස්තර එයි. ‘නෙවැසි’ යනු පාඨාන්තර යි. ‘නොඑක් සුවඳින් වාසිත=සුවඳ කැවුණු’ යන අර්ථයි.
තෙවෙර ගෙනැ - තැවැරීම් කොටැ - ගෙනැ
තොට පියලි - තොටුපළ ආදී නන් තැනින් අසුලා ගත් කඩරෙදි මෙහි ‘තොට’ යනු උපලක්‍ෂණයි. ‘සඞ්කාරචොල’ යනු මෙහි පාළි යැ.
තොරැසෙකැ - තුඹරාශියෙකැ = ධාන්‍යච්ඡවිරාශියෙකැ = දහසිවියා රැසෙකැ.
තො විදුරුගල් නියෙන් කැණියටියෙහි - තො නිය පහරින් වජ්‍ර බිඳුනට කැමැතියෙහි
තොහො පැරැ - බොල් පැහැරැ = තළා ‘පා: ථුස > තොහො’
දකුණු ඇළයෙන් - දක්ෂිණ පාර්ශ්වයෙන්, ‘පා: පස්ස > වැළ = ඇළ’යි සිය බසට ආ සැටිය වෙයි.
දඬු පියුම් - මතු මතුයෙහි සත් සත් බුමු වැ දණ්ඩාකාර ගත් පියුම් = සත් බුමු මහපියුම්
දදයෙහි අග් - මෙ තැනැ “ධජානං පටාකානං රංසියො” යනු අටුවායි. එයින් ධ්වජයන්ගේ රස් කියති. ජා: ගැටපදයෙහි දු, “ධජ අක්” යි කීහු.
දඹුරුක් නො පියා සිටි සෙ දැකැ - අහසැ හිරු යන යන සැටියෙන් රුක්හි සෙවණැලි වෙනස් වෙයි. හිරු යද්දි, මෙ දඹරුක්හි සෙවණ මණ්ඩලාකාරයෙන් සිටි වන මැ සිටියැ. ‘හිරු ගියහ’යි, සෙවණ නොගොස් මුලැ දී තුබූ සෙයින් මැ තිබියැ. මේ යැ, මෙ පෙළහර නම්. මෙ කැල සිත්තරු මෙ පෙළහර සිතියම් කරන්නාහු කුමරුන් අහස සිටුනා සෙ දක්වති. ශාසන සමය නො දැනැ කරන වරදෙක් වෙ. ‘පා: ඡායා > සිය > සෙ’
දම්ගෙඩි - හිස් සිඳුනා දඬු කඬ, ‘පා: ධම්මගණ්ඩි > දම්ගෙඩි’
දල නැති - අග්නිශිඛා = ගිනිදැල් නැති. ‘සං: ජ්වාල > දල
දහවළු හා පිළී - විශේෂ වස්ත්‍ර වන අහසවස්ත්‍ර හා තෙසු පිළී, “අහතවත්ථනිවත්ථො” යනු මෙහි අටුවායි. ‘හන් අහතවස්ත්‍ර ඇතියෙ’ යනු අර්ථ යි.
“ඊෂද්ධෞතං නවං ශ්වෙතං
සදශං යන්නධාරිතම්,
අහතං තද් විජානීයාත්
පාවනං සර්වකර්මසු”
(යම් වස්ත්‍රයෙක් මඳ කොටැ ධෞත වී ද, අභිනව වී ද, ශ්වෙත වී ද, දහ ඇති වී ද, කලිනුත් නොධරන ලද ද, එ වස්ත්‍රය ‘අහත’ යැයි දන්නෙ යැ. සර්ව කර්මයෙහි ලා පවිත්‍ර වෙයි)
දහ නොසුන් පිළී ‘දහවළු’ නම් වෙයි. “දසනවසනයුගලං, දහවළුසඟළක්” යනු ‘බොධිවංශගැටපද’ යි ‘පා: වාස > වළු’
දහසක් යොදුනෙහි පටන් ගෙනැ - මෙහි දු “දස දහසක් යොජනෙහි පටන් ගෙනැ” යනු මෙතෙක් පළ කළ පොත්හි එයි “යොජන සහස්සතො පට්ඨාය” යනු අටුවා වන හෙයින් ඒ අපපාඨ යි.
දැහැවිලින් - කොපයෙන්. ‘දහ-කිපුම්හි’ දයින් නිපන් භාවනාම යි.
දැහැවි - ද්විෂ්ට=ද්වෙෂ කළ.
දෑරඟමිණි රුවනක් - ජාතිරඞ්ගමාණික්‍යරත්නයක්. ජාතීන් මැ (=උපතින් මැ) රඞ්ගය (=පැහැසටහන්) ඇති මිණිරුවන යි. බැහැරින් ලන ඔප්කම් නැති මිණිවෙසෙසෙකි.
දිගම්බර- “දික් අම්බරං යස්‍ය ස දිගම්බඃ”යි දිශා වස්ත්‍ර කොටැ ඇතියේ ‘දිගම්බර’ නමි. ඒ ඒ දිශා උහු ගේ වස්ත්‍ර වත් මුත්, අන් වස්ත්‍රයෙක් නැත. එයින් හේ ‘දිගම්බර’ වේ. නග්න තාපස යි.
දින්-සස්‍ය-කුඹුරින් ගන්නා ධාන්‍යජාතියි. ‘පා: සස්ස > දින්’ පාළියෙහි එන ‘නමස්ස’ ධාතු ‘නමද’ යි ආ සැටි දු, ‘පස්’ යනු ‘පන්’ යි නකාරන්ත වන සැටි දු, සළකත් මැ, ‘සස්ස’ යන ශබ්දය ‘දින් කියා සියබසෙහි සැටියැහෙයි. අක්ෂරයන් ගේ ස්වර්ණභාවය හෙතු යි. ධම්පියාටුවා ගැටපදයෙහි දී සස්‍ය කැපීම “දින් දන” යි කීහ.
දිවෙල්-ධම්පියාටුවා ගැටපදයෙහි දී ‘දිවෙල්’ - යනු ජීවිතවාචී ශබ්දයක් වශයෙන් යෙදූහ. “දුජ්ජිවිතං, ගරහන ලද දිවෙලින්. කුච්ඡිතං ජීවිතං-දුජ්ජිවිතං ‘දුජ්ජිවිතා’ යනු කිය යුතුයෙහි ‘දුජ්ජිවිතං’ යි උපයොග වචන කෙළේ” යනු ‘කොසොල් රජහු වත්’ හි දක්නා ලැබේ. ‘දිවෙල්’ නම්, ජීවිත කාලයි. ජීවිත කාලය රඳවන්නට වුවමනා බත් වැටුපෙහි අභෙදොපචාරයෙන් මෙ ශබ්දය යෙදෙනසෙ පෙනේ. ‘දිවිකල් > දිවි+අල්=දිවෙල්’
දුදුළුතන්හි-දුර්ගස්ථානයෙහි, ධම්පියාටුවා ගැටපදයෙහි ‘බාවරෙක හත්ථි’ කථායෙහිලා “කිලෙසදුග්ගෙ, කෙලෙස් දුදුළෙහි” යි ‘දුර්ගය’ දුදුඑසෙ කීහ.
දුනුමුඩාව-දුනුකොන
දුමොළොසු-දුම්කබල්, ‘පා: ධූමකටච්ඡු > දුමොළොසු’
දුලදු සැඩසළා කිඹුල් මුවර සියො-දුර්ලබ්ධි නමැති චණ්ඩස්‍රොතස් හා කුම්හීලයන් හා මකරයන් හා ඇති
දුහුල් සුඹුළුයෙන් - දුකූල චුම්බටයෙන්. සිහින් පිළී දරණුයෙන්
දෙ එක්බිති ගෙහි - දෙ පසැ අනන්තර (=එකාබද්ධ) ගෘහයෙහි ‘උහ’ ශබ්දය ද, ‘ඳෙ යි හැම තැනැ අනුවාද කළසෙ පෙනේ. “උභොසු පස්සෙසු, දෙ ගඟවැළහි” යි ධ: ගැටපද පාඨාදියෙහිත් එ සැටි මැ එයි. ‘උභතො අනන්තරගෙහවාසිකා’ යනු මෙහි අටුවායි.
දෙණැ - නිම්නයෙහි=දෙණි කඩෙහි
දෙතිස් දෙව් කුමරියො-ශක්‍රයා ‘මඝමාණවක’ වැ සිටිදා පිරිවර සේ වැටුණු දෙතිස් දෙන ද ශක්‍රයා හා මැ සහභාවයට ගියහ. ඔවුන් ගේ දෙතිස් භාර්යාවෝ යැ.
දෙවීහි - දෙවි+හු=දෙවීහි
දෙස්නෙන්-දෙශනායෙන්. ‘දෙසුන්+එන්=දෙස්නෙන්’ ප්‍රාණාක්ෂරයෙන් පටන් ගන්නා ප්‍රත්‍යය හා යොගයෙහි දි, කිසි ශබ්ද කෙකේ හලන්ත වූවාහු නම්, උපධාලොපය (=අගැ හලින් පෙරට සිටුනා ස්වරයාගේ ලොපය) ලබත්. ‘රකුස්+අන්=රකුසන්’ යනාදිය ද මෙ නයින් සළකන්නේ යැ.
දොරොට්යෙහි-දොරකොටයෙහි, ‘පා: ද්වාරකොට්ඨ > දොරකොට් = දොරොට්’
දොර බියෙළි - දොරපලු, ‘පා: බිදළ > බියෙළි’
දොළොස් ආකාරයෙකින් බමුණු ගෙ ගුණ කියා - යශස් ඇතිසෙ (1) අභිජාතසෙ (2) මහත් ධන ඇතිාසෙ (3) ත්‍රිවෙදයෙහි පරතෙර දුටුසෙ (4) අභිරූපසෙ (5) සිල්වත්සෙ (6) පියතෙපුල් ඇතිසෙ (7) බොහො දෙන හට ඇදුරුසෙ (8) මහලුසෙ (9) බිම්සර රජු විසින් පිදුසෙ (10) පොක්ඛරසාති බමුණු විසින් පිදුසෙ (11) ඛාණුමත ගමට හිම්සෙ (12)
දොළොස් ඇඟින් යුත් පිළිසසුමුපා - අවිද්‍යා ආදි ද්වාදශාඞ්ගයෙන් යුත් ‘ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය. අවිද්‍යා ආදි ප්‍රත්‍යය නිසා සංස්කාරාදීන් පහළ වනසෙ කියන ප්‍රත්‍යයාකාරය
දොළොස් නුහුවක් - “එක් ලක්‍ෂ විසිදහසක් පමණ. නහුතයෙක් නම් දසදහසෙකි.” යනු ජාතක අටුවා ගැටපද යි. ‘පා: ද්වාදසනහුත > දොළොස් නුහු’
නයි නයින් කරා යවූහ - මෙහි ‘යවූහ’ යන්නෙහි කර්මය බැහැරින් ලා ගත මනා වෙයි. කර්ම ස්වරූපයෙන් සිටුනෙ, ‘දුතවර්ගයි’ යි. පාළියෙහි කර්මය ස්වරූපයෙන් නොකියන තැන් ඇත. මෙහි දී එ මඟ ඇසිරි කළහ.
නව යොදුන් - මෙතෙක් පළ කළ පොත්හි මේ අසම්පූර්ණ තැනෙකි. ‘නව යොත්න කිනම් දිගෙකිනැ’ යනු නොකියන හෙයිනැ. අපි “උසායෙහි නව යොදුන්” යනු ලියුම්හ. “උච්චං නවයොජනුබ්බෙධා.” යනු අටුවායි.
නස - පහ වැ යැ. ‘පා: නස්ස > නස’
නළුවො - ‘නළු’ සද සියබසෙහි බෙහෙවින් නාටකස්ත්‍රිය කෙරෙහි වැටෙයි. මෙතැනැ ‘නළුවො’ නම්, සතලිස් දහසක් නළුවරහු යැ. අන්තඃපුරයි.
නාරජවස - නාගරාජයන් ගේ වසවැටිය. ‘වස්’ ශබ්දය මෙසේ කියයි. වනවළායෙහි ‘මෙදවට්ටි’ යනු එයි.
නැව් හිසැ ලා ඇක්මැ - නෞකාමස්තකයෙහි ආක්‍රමණ කොටැ. “නැව්හි සැළ - නැව්හි සල - නැව්හි සළා” යන නානාපාඨ පොත්හි ඇත. අටුවායෙහි දු “නාවං පණෙ අක්කමිත්වා-නාවා ඵලෙ අක්කමිත්වා” යි නානා පාඨ ඇත. අටුවායෙහි ‘අක්කමිත්වා’ යන පෙරකිරියට ‘නාවං’ යනු කර්ම වන හෙයින් අනුවාදයෙහිත් ‘නැව්’ යනු කර්ම වුව මැනැවි. එවිටැ, ඉතිරි, අකුරු එක් රැස් කොටැ ‘හිසැ ලා’ යි අපි යොදා-ලුම්හ. අටුවායෙහි ‘පණ’ යනු අර්ථයක් ඇතිසෙ නො පෙනේ. ‘පුණු’ මහතෙරුන් අහසැ සිටැ බුණුසෙ ඇඟෙනුයෙන් නැව් මුදුනෙහි යම් මැ අවයවයක් පයින් පහළසෙ කිය හැකියි. මෙහි ලකාරය (=රුවල) යෙදේ නම්. මෙනොවට ඝටිත වෙයි.
නෑවියන් - නහාපිතයන් = කපුවන්, දැළිරවුළු බානවුන් ‘පා: නහාපිත > නැහැවි > නෑවි’
නිපන්නමො-සමෘද්ධිය ඇතියමො. පාළියෙහි එන ‘නිප්ඵන්න’ ශබ්දයෙන් බිඳ-ගත් පදසෙ ගත ද වරද නැති. සියබසෙහි ලා ගත හෙන ‘නිපද’ දයින් ද්‍රව්‍යය කියැ හෙන සේ ‘නිපනු’ සද සිද්ධ කොටැ ගත ද වරද නැති.
නිහුගෙඩියෙක් - අහිගුණ්ඨික. ‘නහිගෙඩි’ යනු ස්වර විපර්යාසයෙන් ‘නිහුගෙඩි’ යනු වෙයි.
නියම් ගම් - නදීන් ඇසිරි කොටැ සිටි, තොට ඇති, මහ ගම්. ‘සං: නදීග්‍රාම > නිගම’ යි පෙරැළිණ. එයින් සියබසට පැමිණි ‘නියම්’ ශබ්දයෙහි ග්‍රාමාර්ථය නොපැනෙනුයෙන් නැවත ද, ‘ගම්’ සද යොදා ‘නියම්ගම්’ යි කියනු ලැබේ. මෙකලැ නිරුක්ති හදාරන පණ්ඩිතයන් කියන සැටිය මෙහි පැවැසිණ. ‘නියම්ගම්’ යනු බෙහෙවින් වණික් පථයෙහි රූඪ හෙයින් තෙල මතය පිළිගත මනාසෙ පෙනේ. පැරැණි ඇදුරුහු ‘නිගම’ ශබ්දයෙහි නිරුක්ති අන් සැටියෙකින් කීහ. ඔවුන් එසේ කීව ද ‘නිගම’ ශබ්දයෙහි ප්‍රාකෘත ලක්‍ෂණ ඇතිසෙ පෙනේ.
නීයෙන් සීමන්ත දක්වා - ‘සීමන්ත’ නම්, කෙශරචානයෙකි, හිසකේ මැද මාර්ගාකාර සිටුනා සෙ දෙබේරා සන්නිවෙශ කිරීමයි. පණා නො ගහා නියෙන් එය කළ අයුරු මෙහි පැවැසිණ.
නිරීහ යැ - ඊහා = ක්‍රියා ශක්ති නැතියෙ යැ.
නිර්ධූනන - යටිකුරු කොටැ ගසා-පීම.
නිර්ව්‍යාපාර යැ - ව්‍යාපාර = ක්‍රියාශක්ති නැතියෙ යැ.
නිල්පියල්ලක් - නීලවර්ණ පිලොකිතයක් = නිල්වන් කඩරෙද්දක්
නිෂ්පොටන - පුන පුනා ගසා-පීම.
නිසි-යොග්‍ය = ‘පා: අනුච්ඡවික > නුසි > නිසි’
නෙසෙ - අන් සැටියෙකින්. අටුවායෙහි එන දුක්කථීතෙ යන පදයෙහි අර්ථ ගළපා කියන්නට ගුරුළුගොමීහු මේ පදය හෙළුහ. පාළියෙහි එන අඤ්ඤථා යන නිපාතය නෙසෙ යි සියබසෙහි සිටිය හෙයි. “නෙසෙ කී දැයක් ඇත” යන වැකියෙහි ලා ‘අන්‍යතාර්ථයෙහි නිපාත යැ’ යි කිව, වරද නැත ද, ඒ අර්ථය නොකියන තන්හි දු ‘නෙසෙ’ යන නිපාතය යෙදුසෙ ‘සසදාවත්’ ආදියෙන් පෙනේ.
නෛර්යාණික - දුකින් නික්මැ යන්නට හිත වූ
නො වහස - නො හඬව, ‘වහන-වලප්හි’ දයින් නිපන් විධික්‍රියා යි “මා පරිදෙවි” යනු මෙතැනැ අටුවායි.
නොසොස් - ශොක නො කරව.
පක්ෂීහි-පක්ෂි+හු=පක්ෂීහි
පඤ්චමහා විලොකනා - කාල යැ, ද්වීප යැ, දෙශ යැ, කුල යැ, මාතෘ යැ යන පස බුදු වන්නට මිනිස් ලොව එන මහාපුරුෂයා විසින් කැලැ මැ බැලියැ යුතු වන බැවින් “පඤ්චමහාවිලොකනා” නම් වෙයි. එහි ‘කුල’ ශබ්දයෙන් පියාණන් කියත්. ‘මාතෘ’ ශබ්දයෙන් මෑණියන් ගෙ ආයු කාලය කියත්.
පඤ්චායුධ - ධනු, කණය, මුගුරු, බාහු යනු එක් මතයෙකැ. දුනු, මුගුරු, අඩයටි, පත්කොහාල්, පරාවළලු යනු එක මතයෙකැ. මේ පඤ්චායුධ යි.
පත්වටි - පතුරුවැටි.
පණුරැස් පොහො දවස් - මැදි පොහොදා
පමුණු - ප්‍රවෙණි
පරිකර්ෂණ - ඔබට ඇදැලීමයි.
පරිබ්‍රාජක - “පරිත්‍යජ්‍ය ස්වකර්මාණි ව්‍රජතී’ති = පරිව්‍රාජකඃ” හැම ගිහිකම් හැරැ-පියා යේ නු යි, ‘පරිව්‍රජාක’ නමි. ශාසනමයෙන් බැහැරැ සිටුනා පැවිදි කෙනෙකි.
පරිකථා - ඉඳුරු නොකියා ඇඟෙන සේ අන් ලෙසෙකින් කරන කථා. ‘පා: පරියායකථා > පරිකථා’
පර්යායෙන් පුළුවුස්නෙ - ඉඳුරා නො පිළිවිසැ අන් ලෙසෙකින් ඇඟෙන සේ පුළුවුස්නේ.
පලක් අවුළුවා - පර්යඞ්කය බැඳැ - ගෙනැ. වෙදයෙහි ‘පර්යඞ්ක’ ශබ්දයෙන් ‘යෙ ගෙ පට්ට’ ය ද කියත්. ශාසන සමයෙහි ඌරුබද්ධාසනය කියත්. අසරමිණිය ගසා හැඳැ ගැන්නමෙහි ලා දෙපා එකිනෙක අවුළුවන්නෙ යැ.
පසන්-ප්‍රත්‍යන්ත = පිටිසර. “පා: පච්චන්ත > පසන්’ ‘පසල්’ යන රූපාන්තරය නකාර - ලකාරයන් ගේ උත්පත්තිස්ථනා සම වන හෙයින් එන පෙරැළියෙකි. සියබසෙහි ලා නකාර - ලකාර මාරු වනසෙ “අසන්=අසල්, එල්සාල්=එන්සලා, මුල්සික=මුන්සික” ආදී නිදර්ශනයෙන් පෙනේ.
පස් අභිඥා - ඉද්ධිවිධ, දිබ්බසොත, පරචිත්තවිජානන, පුබ්බෙනිවාසානුස්සති, දිබ්බචක්ඛු යන පස යි.
පස් පියුම් - නෙළුම්, උපුල්, හෙළ උපුල්, මහනෙල්, හෝලු
පස් පියුමෙන් සන් රුවන් මුවා පොකුණෙහි - පස් පියුමෙන් වසා සිටුනා සර්වරත්නමය වූ පුෂ්පකරණියෙහි. ‘සන්’ යනු ‘සත්’ යි කිසි පොතෙකැ වරදවා ලියූහ. “පස් පියුමෙන් සුසන් සර්වරත්නමය වූ පුෂ්කරිණි” යනු ධර්ම ප්‍රදීපිකායැ. “පස් පියුමෙන් සැදි සත්රුවන් මුවා පොකුණෙහි” යනු කිසි පොතෙකැ එයි.
පස් මණදොළක් - ‘රාජාභිෂෙක ලබම් නම්’ මැනැවැ, 1. ‘සිය නුවරට බුදුහු වඩනාහු නම්’ මැනැවැ, 2. ‘තමාට දහම් දෙසත් නම්’ මැනැවැ, 3. ‘බුදුගේ උපාසක වෙම් නම්’ මැනැවැ. 4. ‘ධර්මය අවබොධ කෙරෙම් නම්’ මැනැවැ. 5. යන පස් මනදොළ යි.
පස් මහ සිහින - “මහපොළෝ ශ්‍රී යහන් වි යැ. හිමවත කන්වයින් වි යැ. වමත පූර්ව සාගරයෙහි පිහිටියේ යැ. දකුණත පශ්චිම සාගරයෙහි පිහිටියේ යැ. ශ්‍රීපාදද්වය දකුණු සාගරයෙහි පිහිටියේ යැ. මේ පළ වන ස්වපනයි.
‘කිරියා’ නම් තෘණ ජාතියෙක් නාභිායෙන් නැගී ආකාශයෙහි ගැසී සිටියේ යි. මේ දෙවන ස්වපනයි.
ජාතියෙන් සුදු වූ කළු වූ හිස් ඇති පණු ජාති කෙනෙක් පත්ලෙහි පටන් ගෙන දණ දක්වා නැංගාහ. මේ තුන් වන ස්වප්නයි.
පක්‍ෂි සතර දෙනෙක් හෝ නන් නන් වර්ණ ඇත්තාහු සතර දෙසෙන් අවුත් පාමුල්හි හෙව සර්වාඞ්ගයෙන් සුදු බවට පැමිණියහ. මේ සතර වන ස්වප්නයි.
බෝධිසත්ත්‍ව අවස්ථායෙහි මැ සිටියාහු අසුචි පර්වතයක් මතුයෙහි සක්මන් කළහ. මේ පස් වන ස්වපන් යි. මේ පඤ්චමහාස්වප්න නම් වේ. යනු ‘ජා’ ගැට පද යි.
පස්වටති - පරිහරණ කෙරෙති. ධම්පියාටුවාගැටපදයෙහි ‘සඤ්ජය පිරිවැජියාවත්’ හි “පරිහරියමානො, පස් වටන ලබනුයෙ” යි ද, එහි මැ ‘දෙව්දත්තෙරුන්වත්’ හි “පරිහරිස්සාමි, පස්වටනෙම්” යි දැයි හරිහරණාර්ථයෙහි ‘පස්වට’ ධාතු යෙදූහ. ‘පස්වටහු’ නම්, යම් මැ කෙනකුන් පිළිබඳ කිස කිරීමයි.
පස්වනක් බමර ගණන් හා - “කුඹුලු, මහමී, දඩුඑල්බැ, බමර, කණවෙය යන පඤ්චප්‍රකාර මීමැසියො” යනු ‘ජාතක ගැටපද්යෙහි කීහු.
පස් වැදෑරුම් තාදී ගුණයෙහි - ඉෂ්ට අනිෂ්ට දෙක්හි, ලාභ අලාභ දෙක්හි, සුඛ දුඃඛ දෙක්හි, යශස් අයශෂ් දෙක්හි, නින්දා ප්‍රශංසා දෙක්හි පවත්නා තාදි ගුණ පසයි. ‘තාදී’ ශබ්දය, ‘යාදි’ ශබ්දය අපේක්‍ෂා කෙරේ. ඉෂ්ටයෙහි යාදි (=යම්බඳු) නම්, අනිෂ්ටයෙහි දු තාදී (=එබඳු) යැ. එයින් ‘තාදී ගුණ’ යැයි කියනු ලැබේ.
පහණ සලවට - හිඳුනට නිසි කොටැ ගලින් කළ ඵලකාකාර ගත් අස්න ‘සලවට’ නමි. එය ගස් මුලෙකැ වේවයි, වැලිමඩෙකැ වේවයි, යම් මැ තැනෙකැ තැබිය හැකි යැ, පාෂාණයෙකැ වුව, ‘පහණසලවට’යි කියනු ලැබේ. ‘පහණ-සල’ යනු එකාර්ථ නු යි, පාෂාණසඞ්ඛ්‍යාත ශිලාප්ට යැයි ගත ද, මැනැවි. පෙළෙහි දු ‘වාලිකාපුලින’ ආදි විසින් මෙබඳු ශබ්ද ප්‍රයොග ඇත. ‘පා: පාසාණසිලාපට්ට > පහණලවට’
පහයින් - මල්ගඳ විලෙවුන් ඈ. ධම්පියාටුවාගැටපදයෙහි ‘විඩූඩයහා වත්’ හි “පසාධනක්පපකො, පහයින් කපු”යි ‘පසාධන’ ශබ්දය ‘පහයින්’ කියා සියබසෙහි ලා ගත්හ. ‘පා: පසාධන > පහයින්’
පහාදොර - ප්‍රාසාදද්වරය. ‘මහදොර’ යනු කිසි පොතෙකැ එයි. “මන්දිරයෙහි දොරකඩ” යි එහි ගැටපද කරනුවෝ ද ඇත.
පාථෙය - මාර්ගොපකරණ “පථි හිතං පාථෙයම්” යනු තද්ධික නිරුක්ති හෙයින් මාර්ගයෙහි ලා භොජනපනාදිය පිණිසැ හිත නුයි ‘පාථෙය’ නමි.
පාවිටැ - පාදතල මතුයෙහි, ‘පා: පාදපිට්ඨි > පාපිට > පාවිට’
පාදිදොරතුරට - නුවරින් නැගෙනහිර දොර වෙතට. මෙහි ‘අතුර’ යනු මයර්යාද කියන්නට යෙදිණ. ‘පා: පාචීනද්වාර > පැදිදොර’
පැළ පැදුන් දික් - පූර්ව පශ්චිම දිශා බලා දික් වැ සිටි. “පුරත්ථිම පච්ඡිමතො ආයතෙ” යනු මෙහි අටුවා යි.
පිරිසින් - පරිච්ඡින්න=වටා විහිදි සයුරින් වෙන් වැ සිටී.
පිරිපොකුණු-දිගුවිල් හා පුෂ්කරිණි. ‘පා: පරිඛා > පිරි’
පිරිවෙනට - පරිවෙණයට. ‘පරිවෙණ’ යනු හුදු පෙළ වහරෙකි. සකුවෙහි ‘පරිවෙණ’ ශබ්දයෙක් නැත. පාළියෙහි ලා යොගීන් කාය විවෙකයෙන් එකලා වැ වසන තැන ‘පරිවෙණ’ යි කියති. නිරුක්ති කියන ඇදුරුහු “වෙණියතො=පෙක්ඛිතබ්බතො පරිවෙණං” යනු කියමින් දර්ශනීභාවයත්, ප්‍රාකාරයෙන් පරික්ෂෙප ඇති බවත්, ගෙනැ ‘පරිවෙණ’ ශබ්දයෙහි පද සිද්ධි කියති. ඒ නොමැනවි. සකුවෙහි ‘වයුන’ ශබ්දයෙක් ඇත. පිවිතුරු කම් ඇති, වෙන් වැ සිටුනා ‘දෙවොල’ එයින් කියත්. දෙවොල ද ධ්‍යාන ස්ථානයෙකි. වෙන් කොටැ ගත් දෙවොලක් වැනි තැන ‘පරිවයුණ’ නම් වෙයි. එහි පාළි රූපය ‘පරිවෙණ’ නම් වෙයි. උගන්වන තැන කියන ‘පිරුවන්’ ශබ්දය අනෙකෙකි. පිරුවහන තැන ‘පිරුවන’ නම් වෙයි. ‘අඳන’ ආදි වචන සෙයින් එ ද ශාසනික ව්‍යවහාරයෙකි.
පිරිවෙස් - පැවිද්ද පිණිසැ අවසර පතා භික්‍ෂූන් වෙතැ හික්මීමෙන් විසීම යි. ‘පා: පරිවාස > පිරිවෙස්’
පිරිහුන් සිරිරු ඇති වැ - පරිපූර්ණ ශරීර ඇති වැ. “මාගම්ලකුණෙන් පිරිහන් මද්‍රිය” යනු ‘වෙසතුරුදා සන්න’යි. එහි දු ‘පිරිහුන්’ යනු තෙල අර්ථ දෙයි. ‘පා: පරිපුණ්ණ > පිරිහුන්’
පිළිගාවන් - ප්‍රතිග්‍රාහකයන්, ‘පා: පටිග්ගාහක > පිළිගා’
පිළිපෙවී - දක්වා දින, ‘රජය ගන්නෙ මැනැවැ’යි පාවාදින. පාළිායෙහි ‘පටිච්ඡාපෙසි’ යන ක්‍රියායෙක් ඇත. යමක ගැනැ කැමැති කරවාලීම එයින් කියයි. ඒ පාළි රූපය ඇසිරු කොටැ සියබසෙහි ‘පිළිපොය’ ධාතු සිද්ධසෙ සළකන්නේ යැ. එයින් ‘පිළිපෙයි > පිළිපෙවී’ යි සිද්ධයි. ධම්පියාටුවාගැටපදයෙහි ‘දෙව්දත්තෙරුන්’ වත්හි “නීය්‍යාදෙථ, පිළිපය” යි එයි.
‘පිළිසලනෙන් - පටිසල්ලානයෙන් = එකී භාවයෙන්.
පිළිසිඹියා - පටිසම්භිදා. අර්ථ යැ, ධර්ම යැ, නිරුක්ති යැ, ප්‍රතිභාන යැ යන මේ සතර නැණයි.
පුටු-පොෂණය කළ. ‘පුස්’ දයින් නිපන් අතීත ක්‍රියා ශබ්ද යි.
පුන් පැණ - පුන් පය=පුන්තලි, කව්සිළුමිණ කව්හි දු තලිය කියන ‘පැණ’ ශබ්දය දක්නා ලැබේ. “පුණ්ණාපාතියො” යනු මෙහි අටුවායි.
පුවහන ලද - දුරු කරන ලද. ‘පුවහන’ යනු ‘පුවහ- දුරු කිරීමෙහි’ දයින් නිපන් ක්‍රියානාමයි.
පුෂ්පධූපගන්ධපරිවාසිත-පුෂ්පයෙන් හා ධූපයෙන් හා ගන්ධයෙන් හා සුවඳ ගැවුණේ යැ.
පෙළා බැඳි - පීඩනය කොටැ (=තද කොටැ) බැඳැ ගත්.
පොකුරු වැසි - “පොකුරු පතෙහි වට පොද එහි කිසි තැනක් තෙමයි. කිසිතැනක් නො තෙමයි. එමෙන් තෙමෙනු කැමැතියන් තෙමමින් නොතෙමෙනු කැමැතියන් නො තෙමමින් වස්නා වැසියි” යනු විමතිවිනොදනියෙහි කීහ. මේ පෙළහර වැස්සෙකි. පූර්වමෙඝයෙහි ලා “පුෂ්කරාවර්තකාණාම්” යන තැනැ “පුෂ්කර=ආවර්තක’ යන විශෙෂවෘෂ්ටි සඳහන් කරති. ‘සං: පුෂ්කවර්ෂ > පා: පොක්ඛර වස්ස > පොකුරුවැසි’
ප්‍රතිභාන - වැටහීම්
ප්‍රතිමුක්ත - “සෘද්ධිමය පාසිවුරු ශරීරයෙහි ප්‍රතිමුක්ත වීයැ” යන මෙහි ‘පාසිවුරු සිරුර ගන්වන ලදි’ යන අර්ථ යැ. පාළියෙහි ‘ඔමුඤ්චන’ නම්, මුදාලීමයි. ‘පටිමුඤ්චන’ නම් ගැන්වීමයි.
ධම්පියාටුවාගැටපදයෙහි “කායෙ පටිමුක්කා, සිරුරු පිළිමුතුවො” යි ‘සඤ්ජය පිරිවැජියා වත්හි’ දි අර්ථ කීහ. ‘පටිමුක්ක’ යනු ‘ප්‍රතිමුක්ත’ යි සකුටව පෙරළා ගෙනැ මෙහි යෙදූහ.
ප්‍රතිහත වැ - ද්විෂට වැ. ඔවුන් කෙරෙහි ද්වෙෂයෙන් හැපී
බඹදෙයෙන් - බ්‍රහ්ම වශයෙන් = ශ්‍රේෂ්ඨ වශයෙන් දිය යුතු දෙය ‘බඹදෙය’ නම් ‘අග්‍රහාර’ යනුදු මෙයට නමි. බ්‍රහ්මදෙය වශයෙන් ලත් විටැ මෙරමා ගෙ බල පෑමෙක් නැති.
බස්කම් - බසින් කරන ක්‍රියා = වාදකථා මාර්ග.
බැඳිණිමි-වඤ්චි වීමි. ‘බඳ ධාතු වැළැහීමෙහි වැටේ.
බැඳු වැද්දන් - ව්‍යාජ කළ ව්‍යාධයන් - වඤ්චායෙන් මළ ගැසු වැද්දන්. “බොහො දවස් මම් බුදුන් ගෙ ගුණානුභාව නො දැනැ බැඳිණිමි” යනු රාජදමනයෙහි එහි ‘බැඳු’ යනු ‘බඳ-වැළහීමෙහි’ යන ධාතුයෙන් නිපන් ක්‍රියා ශබ්දයි.
බිරි සිතින් - බිය පත් සිතින්. ‘පා: හීරු > බිරි’
බුදු ඇසින් - “ආසයානුසයඤාණ හා ඉන්ද්‍රියපරාවරතාඤාණ’ බුද්ධ චක්ඛු’ නම්” ධම්පියාටුවා ගැටපද යි. ආසය හා අනුසය හා දන්නා නුවණ ‘ආසයානුසයඤාණ’ නමි. ශ්‍රද්ධා ආදි ඉන්ද්‍රියයන් ගේ පරතා හා අවරතා හා දන්නා නුවණ ‘ඉන්ද්‍රියපරාවරතාඤාණ’ නමි.
බුදුරූ රුක්හි - බදරවෘක්‍ෂයෙහි=කළරුක්හි බෙඩරරුක්හි. මෙතෙක් පළ කළ පොත්හි ‘බුහුරු’යි එනුයෙ අපපාඨයෙකි. ‘පා: බදර > බුදුරු’
බ්‍රහ්ම ප්‍රජාපති - බ්‍රහ්මයා ගේ ප්‍රියාව. ‘පජාපතී’ යනු පෙළවහරෙහි ලා භාර්යාවට කෙරෙහි දු වැටෙයි.
මඟුල් සලවට - රජු හිඳුනා මඞ්ගල සම්මත ගල් පුවරුවයි. ‘පා: මඞ්ගලසිලාපට්ට > මඟුල් සලවට.
මටුලු කස්ස - ‘කස්ස’ යනු මෙහි ‘කසු’ යනු ප්‍රකෘති යි. ‘පා: කොසක > කසු’
මණ්ඩල මාලයෙහි - මණ්ඩලාකාරයෙන් කළ එකකූටයෙන් යුත් ශාලායෙහි.
මණව් - පෙළ - සකු දෙක්හි ‘මාණව’ ශබ්දයෙන් අල්පවයස්කමනුෂ්‍යයා = තරුණයා කියත්, ‘මානව’ ශබ්දයෙන් මනුෂ්‍යසාමාන්‍යය කියත්. ‘පා: මාණව > මණව්’
මඳක් සැඳින් - මඳ වෙලායෙකින්
මනස්සත්ත්ව - මනස්හි බැඳී මළ සත්ත්වයන් උපදනා දෙවනිකායෙකි. නුවටුන් ගේ දර්ශනයෙහි එන දෙවලොකයෙකි.
මම හො නිස්සෙමි - ඇතැම් සංස්කරණයෙකැ “මම නො නිස්සෙමි” යනු එයි. “අහං වා හි ගහපති සමණස්ස ගොතමස්ස වාදං ආරොපෙය්‍යං දීඝතපස්සී වා නිගණ්ඨො ත්වං වා” යනු පෙළ යි. මේ පෙළෙහි අනුවාද කරන තැන් වන හෙයින් අපි “මම හො නිස්සෙමි” යි ලියුම්හ. පුස්කොළ පොත්හි දු “මම නො නිස්සෙමි”යි එතුදු, එ අප පාඨයි.
මලමඩුලු - මලය මණ්ඩල = මලය පෙදෙස් රැස, කඳුවැටියෙන් නැගී සිටුනා ප්‍රදෙශ යි.
මල්ලරෙක් - මාලාකාරයෙක්, ‘මල්+කරු=මල්ලරු’
මල්ලවයන් - මාතෘ භාෂායෙහි ප්‍රසිද්ධ ‘මල්ල’ ශබ්දය සියබසෙහි ‘මල්ලව’ යි යොදනසෙ ඡෙකප්‍රයොගයෙන් පෙනේ. ‘මල්ල’ නම් බාහු යුද්ධයෙහි නිපුණ යි.
මසු සුලසින් - මසු ගෙනැ සුලස් වැදැ-ගන්නා සේ අතුරා ලීමෙන්. “මසු හොටින් හොට ගාවා අතුට ඒ ක්‍රමයෙන් අතුළ රන් මුළුල්ල දී” යනු ‘ජා: ගැටපද’යි. ‘සුල් මැ සුලස්’ යනු වෙයි. ‘සුල්’ නම් රනෙහි කෙළ=අගයි.
මහත් පෙරහරින් මහත් පිරිවරින් - මෙහි ‘පෙරහර’ නම් සත්කාර යි. ‘පිරිවර’ නම්, සෞභාග්‍යයි. මෙ අර්ථය කියන හැම තැනැ ගුරුළුගොමීහු ‘පෙරහර-පිරිවර’ පද දෙක එක් තැන් කොටැ ලියති.
මහෙශාඛ්‍ය - ‘මහෙසක්ඛ’ යනු පාළියෙහි දු අර්ධමාගධියෙහි දු එයි. පාළියෙහි දී ‘මහත් පිරිවර ඇති’ යන අර්ථ යි. ඒ අර්ථය පිණිසැ මහයශස්ක’යි සකුයෙහි තුබුව මනාසෙ පෙනේ. ‘අප්පරජක්ඛ මහාරජක්ඛ’ යන පාළි පදයෙහි සංස්කෘත පද නම්: ‘අල්පරජස්ක මහාරජස්ක’ යනු යි. එයින් ‘මහායශස්ක’ යනු ‘මහෙසක්ක’ යි පාළි පද වුව මැනැවැ. ඒ පදය මෙහි දී ගුරුළුගොමීහු ‘මහෙශාඛ්‍ය’ යි අනුවාද කළහ. ඔවුන් ගත් අනුවාද පදයෙහි අර්ථ නම්: ‘මහෙශ=අධිපති නැමැති’ යනු යි. අටුවායෙහි වදාළ ‘මහත් පිරිවර ඇති යන අර්ථය එහි නො ලැබේ. “මහන්ත” ශබ්දයා හා ‘සබ’ ශබ්දයා හා සමාසවිධි යෙකින් ‘මහසෙක්ඛ’ කියා ගත හොත්, ‘මහත් යහළු පිරිවර ඇති’ යන අර්ථ ලැබේ.
මැඬුන් - මැඩැ රැස් කළ වී.
මිණි වහණ - මණිපාෂාණයෙහි. ‘පා: මණිපාසාණ > මිණිවහණ’ මෙහි ‘මිණි’ නම් පලිඟු.
මීකඩ සකුරෙන් - මධු හා ඛණ්ඩශර්කරායෙන්=මී හා හකුරු කැටින්.
මී පිඬු - සකුරු, ගිතෙල්, මී යොදා කළ බදහත්. ‘පා: මධුපිණ්ඩික > මී පිඬු’
මුවසලා - මුඛය ධාවනය කොටැ=මුව සෝදා. කිසි පොතෙකැ මේ පාඨය නො පැනේ. “මුඛං වික්ඛාලෙත්වා” යනු මේ තැනැ අටුවායි. “මුඛං වික්ඛාලෙසි, මුව විසල්වි” යනු ‘ධ: ගැට පද පදයෙහි ද එයි. ‘සං: ක්ෂල > සල-සේදුම්හි’ දයින් නිපන් පෙර කිරිය යි.
යකත් පහණින් - අයස්කාන්ත පාෂාණයෙන් = කාන්දම් ගලින්.
යන්ත්‍ර පිරී යැ - හර නැති දියසුන් දැවයෙන් කළ යන්ත්‍රය වෙග දනවා අහසෙහි නඟා - ලී යැ. ‘යන්තං පූරෙසි’ යනු අටුවා යි. ‘පූරෙසි’ යනුවෙන් වෙග ගන්වා ලීම පැවැසිණ.
යහනින් මැ නඟා ගෙනැ - යහන තිබියැ දී දෙවිය මතු නහා ගෙනැ ගියාහු නොවෙති. ඇය නඟා - ගන්නට යහන කරණ විය. දෙවිය නිදි ගත් යහනින් මැ ගෙන ගියසෙ කියු සැටියි.
යුතු කොටැ තුබූ - පිළියෙල කොටැ තුබූ. ‘පිළියුතු’ යි තුබුව මනා වූව ද, ශබ්දයෙහි ආදිභාගය හැරැ-පියා ‘යුතු’ යන මෙතෙක් මැ ගුරුළුගොමිහු යොදති ‘පටියත්ත > යුතු’ යනු වෙයි.
යූපයට - යාගස්තම්හයට
යෙළ සියක් - එක්සිය පනසක්. ‘පා: දියඩ්ඪසත යෙළසිය’ ‘යෙළ’ නම් එක හමාරයි.
රඟ පොවන - නීලාදි රඤ්ජන = සායම් වද්දන
රග්ගල් තෙලෙහි - මනඃශිලාතලයෙහි, “මනොසිලාතලෙ” යනු අටුවා යැ. සකුවෙහි ‘රඞ්ක’ යන නමක් මනඃශිලායෙහි ලා කියත්. එයින් එන ‘රක්’ ශබ්දය පරරූපසන්ධියෙන් ‘රග්ගල’ යි මෙහි සිටුනේ යැ.
රඞ්ගක්ෂම - රඞ්ගයට = වර්ණ ගැන්වීමට යොග්‍ය
රජ බල - රාජබලය. ‘බල’ ශබ්දය සෙනායෙහි වැටේ. ‘රාජබල’ යනු මෙ තැනැ අටුවා යි.
රන් කොතුරුයෙන් - රන් කෙණ්ඩියෙන්. “සුවණ්ණ හිඞ්කාරෙන යනු මෙ තැනැ අටුවා යි.
රන් මාලා - රන් මුවා තැවිවෙසෙසක්. ධම්පියා අටුවා ගැටපදයෙහි ‘සාමාවතියා වත්’හි “සුවණ්ණසරක, රන්මාලාවක්” යි කීහ. මාලාවට පාළියෙහි ‘සරක’ යනු නමි.
රසාතෙලෙහි - රසාතලයෙහි - නාගලොකයෙහි. ‘රසාතල’ ශබ්දය සියබසට ගෙනැ විබත් ගන්වා ලූ සැටි යි.
රැයිම්මෙහි - රැ ඉකුත් වේලෙහි=උදය, “රැ+ඉක්මෙහි” යකාරාගම හා පරරූප හා කෙටැ පදසිද්ධි දන්නෙ යැ. ධම්පියාටුවාගැටපදයෙහි ‘සුළුපතු තෙරුන්වත්’ හි “පාතො, රැයික්මෙ” යි අර්ථ කී තැන් ගෙනැ පදසිද්ධි විමැසිය හෙන්නේ යැ. ‘රැයිම්මැ, රැයිම්’ යන රූප ද ඇත. අන්තලොපයෙන් ‘රැයිම්’ යනු වෙයි.
රුක්සෙළල්නෙක්හි - වෘක්‍ෂච්ඡායාව චලයාකාරයෙන් සිටුනේ යැ. චලයාකාරයෙන් සිටුනා වෘක්‍ෂච්ඡායායෙකැ=රුක් සෙවෙණෙකැ.
රුවන් මරවැඩි - රතනමය පාදුකා. “සුවණ්ණාහි පාදුකාහි, රන්මරවැඩියෙන්” යනු වෙසතුරු දා සන්න යි. ‘පාදුකා’ නම් පයලන වහන් වෙසෙසෙකි (=Slipper) එයට ‘මරවැඩි’ යනු දෙමළුයෙන් සියබසට ආසෙ කියත්. තණ, කිතුල් පොතු, පියුම්පත්, පලස් ආදියෙනුදු ‘මරවැඩි’ තනා ගත හැකිසෙ ‘ධම්පියාටුවා’ යෙහි ‘වැදෑරට වැසි මහණුන් වත්’ හි එයි.
ලද දඬුවක් - “මුහු පෙරට සකුරු තබව, මුහු පෙරට ගිතෙල් ඔව, මිහි ඔව” යි මෙසේ ලස්=ලකුණු තබන දඬුවක්. ‘ලසදඬු=ලදදඬු’ යනුවෙයි. සකාර-දකාරයන් දෙන්නාගේ ස්වර්ණභාවය ඇතියෙන් සකාරයා දකාර බවට පෙරැළෙයි.
ලද පස්මල් - “ලජ පස්මා මල් නම්: ලජ, සමන්කැකුළු, හෙළිසිද්දතු, හීතණ. සුදුමල්” යනු ධම්පියාටුවා ගැටපද යි. “විළඳ සාල් හීතණ සිද්දතු සමන්කැකුළු යන මෙ ලදපස්මලින් ගවසන ලදී” යනු වෙසතුරුදා සන්න යි.
ලහා-සලාක=මහණුන් වෙන් කොටැ ගනු පිණිසැ බෙදා-දෙන ලහපත්. ‘ලහ’ යනු හුණ පතුරු ආදි හිරටු කියන ශබ්දයෙකි. “හුණපතුකඩ ඈ සලාක නම්” යනු ‘ධම්පියාටුවා ගැටපද යි. කිසි විටෙකැ ලහපතෙහි නම් යොදනසෙ ද පෙනේ. “ධම්පියාටුවාගැටපද’ යෙහි ලහහඹු ලහායෙහි තුමා නම් හෙළා නිබඳ කොටැ පෙවූ හඹු” යන විවරණය ද මෙහිලා සළකන්නෙ යැ.
ලොධාඑක් හෙළි වියැ - ලොකධාතුව එකාඞ්ගණ වීයැ. “එකඞ්ගණානි අහෙසුං” යනු අටුවා යි. එක් මිදුලක් සෙයින් බාධක රහිත වැ, විවෘත වැ දුටුයෙන් එසෙ කියත්, ‘එළි’ යනු අඞ්ගණය කියන ශබ්දයෙකි. “අතන් අපරිසෙ ලොධාහි එක් හෙළි වියැ” යනු කිසි පොතෙකැ එයි. “අනත් අපරිසේ ලොධාහි-අනන්ත වූ අපරිච්ඡෙද (පරිච්ඡෙදයක් මෙපමණ යැයි ගණන් නැති) වූ ලොකධාතූන්හි, එක් හෙළි-එකාලොක” යනු එයට කළ ගැටපදයි. “අනෙකානි වක්කවාළසහස්සානි එකඞ්ගණානි අහෙසුං” මෙ තැනැ අටුවායි.
ලෙමැ ගෙනැ - ‘ගන්’ ධාතු අපේක්‍ෂා කරන කර්මය අදර විබතින් සිටුනා නැති. “ලොමෙසු ගහෙත්වා” යනු මෙහි පෙළයි.
වට දැණි - වැටු=හෙළු දණ ඇතියෙ වටදැණි’ නමි. ‘වට-වැටීමෙහි’ ධාතුයි.
වට විවට විසින් “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යි කියා මෙසේ කම්වට විවාවට කෙලෙස්වට විසින් ද, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො යි කියා මෙසේ නිර්වාණ සඞ්ඛ්‍යාත විවට විසින් ද” යනු ජා: ගැටපද යි.
වටා වුහුටු මල් ගුළාවක් - වට කොටැ - ගෙනැ දමා හළ මල් ගුළියක්.
වත් හිමියො - උපාධ්‍යාය ස්වාමීහු. ‘උපාධ්‍යාය’ නම්, වර්ජ්‍ය අවර්ජ්‍ය දෙක්හි ලා ඔවා දෙනුයේ යැ, ‘පා: උපජ්ඣාය > වජ > වජ් > වත්’
වනළැවැ වෙති - වනගුල්මයෙහි = වනළැහැබ්හි වෙති. මෙහි ‘ළැව්’ ශබ්දය ‘ළැහැබ්’ ශබ්දයෙහි විකෘතියෙකි. ‘ළැහැබ්=ළෑබ්=ළැව්’
වලපහණෙකැ - පාෂාණ ඵලකයෙකැ.
වහනෙ - අයොඝනය = ඝන යකඩ = වානෙ
වහල් - උපකාර. ‘පා: උපකාර > වහර් > වහල්’
වනරෙයින් - වර්ෂයෙන්=වැස්සෙන්. ‘පා: වස්සාරත්ත > වහරෙ, යනු වේ. වර්ෂා සෘතුයෙහි වැටෙන ‘වහරෙ’ සද වැස්සෙහි දු රූඪ යි.
වළ කට ඇතියවුන් - අයාගත් කට ඇතියවුන්. ‘වළ’ යනු සිය බසෙහි ලා ‘වර’ දයින් සිද්ධ ක්‍රියාශබ්ද යැයි ගත ද වටී. ‘පා: විවට > වළ’
වළදොරින් - විවර කළ දොරින්. ‘වළ’ යනු ‘වර-විවර කිරීමෙහි’ දයින් නිපන් ක්‍රියා ශබ්දයි. කිසි පොතෙකැ ‘හළ දොරින්’ යනු දු ඇත. අපි ‘වළ’ යනු සුපාඨ කොටැ ගනුම්හ. “වළකට ඇතියවුන්” යි අන්තන්හි දු ගුරුළුගොමීහු මෙ පදය යෙදුහු. ‘හළ කට ඇතියවුන්’ යනු නොගැළපෙන්නා සේ මැ ‘හළදොරින්’ යනු දු නො ගැළපෙයි.
වායව්‍යා දෙසෙහි - වයඹ දෙසෙහි. ‘වායව්‍ය’ ශබ්දය සකුයෙහි දෙවතා තද්ධිත යි.
වැඳම - ‘වැඳුම්’ යන භාවනාමය ‘වැඳම’ යි ස්වරසමතායෙන් සිටි සැටි වෙයි. ‘වැඩම’ යනු මෙනි.
වැලිවෙයැ - වාලුකා වීථියෙහි = වැලි පිරුණු වීථිමාර්ගයෙහි
වැසුණු - වාසිත = සුවඳ කැවුණු
වැළැතැ - පාර්ශ්වයෙහි = සමීපයෙහි. ‘පා: පස්ස > වැළ’ යනු වෙයි. ‘වැළ මැ වැළත්’ ස්වාර්ථයෙහි ‘අත්’ පස යි.
ධම්පියාටුවාගැටපද’ යෙහි ‘ගඞ්ගාරොහණ වත්ථු’ යෙහි දී “උභොසු පස්සෙසු, දෙ ගඟ වැළහී” යි පද බිඳ-ගත් සැටි දු, සිඛවළඳ විනිසෙහි “දෙ මහවුළෙහි ණුහුසු නැඟුට් ආදි ආකාරයෙන් කළ” යි යෙදූ සැටි දු, සළකන්නෙ යැ. ‘දකුණු ඇළයෙන්’ ආදි තන්හි වකාර ලොපයෙන් ‘ඇළ’ යන රූපය වෙනස් සේ යෙදෙයි. මෙ හැමතැනැ පාර්ශ්වය කියන පාළි ‘පස්ස’ ශබ්දය සිය බසට ආ සැටිය වෙයි. පෙළෙහි එන ‘සකාර’ ය සියබසෙහි ලා මුර්ධජ ළකාරය එනුයේ සකාරාශ්‍රය නිසා වෙයි.
විකත්ථනයෙහි - වර්ණනා කිරීමෙහි=තමන් හුවා වනා - ගැන්මෙහි ‘කත්ථ-ග්ලාඝායාම්’ ධාතුයි.
විචෙය්‍යදාන - ගුණවතුන් පිරික්සා දියැයුතු දන්. “විචෙය්‍ය, දැකිණියට නිසි පිළිගාවන් ඉලියැ” යනු ධම්පියාටුවාගැටපද යි. ‘විශෙෂදාන’ යි පොත්හි එතු දු එ ලෙඛකදොෂයෙකි.
විමාර්ජනක්ෂම - විමාර්ජනයට = ගුළන්නට යොග්‍ය.
විචීක්ත වැ - ගණසඞ්ගනිකායෙන් වෙන් වැ = කළ කායවිවෙක ඇති වැ.
විලික්සැ ගිය කලැ - පෙඟී ගිය කලැ. ‘විලිකුස් ධාතුයෙහි’ පෙර කිරියපදයි.
විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ - විචිත්‍ර වූ ප්‍රශ්න විසැඳීම්. ඇතැම් පොතෙක “ප්‍රසන්න විසිතුරු ව්‍යාකරණ” යනු එයි. ‘ප්‍රශ්න’ ශබ්දය ‘ප්‍රසන්න’ යි ලියන්නන් වරදවා ලියු සැටි යැ.
විරමින් - විසිරමින්. ‘විසිර-විසිරීමෙහි ධාතු යි. ‘විසිර > විහිර > විර’ යනු වෙයි. ‘මින්’ පස යි.
වෙහෙර මහන් - විහාර පූජා
වෙළො ගන්ති - විලොපනය කොටැ ගනිත්
ව්‍යාවට - පාළි වචනයෙකි. ව්‍යාවෘත = නියැලි. ධම්පියාටුවා ගැටපදයෙහි දී “දානව්‍යාවටා, දන්හි වියවුළු” යන තැනැ ‘වියවුළු’ යි පද බිඳැ ගත්හ.
ශෛක්‍ෂ භූමි - සතරමඟ සතරපල යන අටෙහි රහත්පල තබා ඉතිරි සත ශෛක්ස භූමියි.
සණදොවුන්කෙළි - හණ වැහැරි ශුද්ධ කරන ක්‍රීඩාව
සතර සභාවතින් - දාන යැ. ප්‍රියවචන යැ. සමානාත්මතා යැ. අර්ථචර්යා යැ යන සතරින්
සතසතු මහදන් - සප්තරත්නමය සමුද්යෙකැ=සත් රුවනින් නිමහම් කළ කරඬුයෙකැ. රන්, රිදී, මුතු, මිණි, වෙරළු, විදුරු, පබලු යන මේ සත්රුවන් නමි.
සත්දහතළා - අනවතප්ත යැ, කර්ණමුණ්ඩ යැ, රථකාර යැ, ෂඩ්දන්ත යැ, කුනාලයැ, මන්දාකිනී යැ, සිංහප්‍රපාත යැ යන විල් සත යි. ‘සත් දහ’ යනු විල් සතෙහි රූඪ හෙයින් ‘තළා’ යන සාමාන්‍ය නාමය ද මෙහි යෙදිණ.
සත් වැඩ සාහව - සත්ත්වයනට වැඩ සිද්ධ කරව. ‘සාහ-සිදු කිරීමෙහි’ ධාතුයි.
සන්කිඳුරුදා - සඳකිඳුරුදා ‘සඳ’ යන තන්හි දකාර ලොපය වත් මැ, වර්ගාන්ත පූරණයෙන් ‘සන්’ යනු වේ.
සන් ලදින් - සංඥා ලදින්
සුමුඬු වුහු නම් - සම්මුඛ වුහු නම්
සම්පරීකර්ෂණ - ඔබට මොබට ඇදැ - ලීමයි.
සල් අත්තැ ගතැටී වූහ = ‘ගන්’ ධාතු විසින් කියන කර්මය අදර විබත් ගන්නේ, මාතෘභාෂායෙහි බෙහෙවින් එන දහමෙකි. “සාලසාඛායං ගණ්හිතු කාමා’ යනු අටුවායි. එහි සප්තමින් කියුසෙ දැකැ ගුරුළුගොමීහු දු ‘සල්අත්තැ’යි අදරවිබත් කියූහ. ‘අච්ඡෙදක සප්තමී’ යනු මෙබඳු තැන් ගැන සකු ඇදුරහු කියති. ‘ගත්’ දැය වෙන් කොටැ කියන පිණිසැ යොදන සප්තමී’යැ යනු භාවය වෙයි.
සල්හු වැ - ලඝුක වැ=වෙළෙවි වැ. ධම්පියාටුවාගැටපදයෙහි දු “මහන්තතාය, මහත් බැවින්-මහජ් ජැයක් සල්හු වැ නොනිපන බැවින් යූ සේයි” යන තැනැ ‘සල්හු වැ’ යනු එයි. ‘වහා’ යන අර්ථයි.
සවනක් රසින් - මෙහි බොධිසත්ත්වයන්ගේ ශරීරයෙන් නික්මුණු ෂඩ්වර්ණ රශ්මීන් සියලු රුක සත් රුවන් රුකක් සෙයින් දිලියුණුසෙ කියත්. ධර්ම විනයෙහි කළ අත් ඇති, පරවාහැර වජිරඤාණ හිමිසීහු මෙය විමසා බැලියැ යුතු තැන් සෙ දකිත්. බොධිසත්ත්වාවස්ථායෙහි ලා සවනක් රස් කියනු නොයෙදෙන හෙයිනැ. “සරීරතො ච’ස්ස නික්ඛන්තාහි පහාහි සකල රුක්ඛං සුවණ්ණ වණ්ණං” යනු අටුවායි. “ශරීරයෙන් නික්මුණු රසින් සියලු රුක් රුවන් රුකක් සෙයින් දිලියෙනසෙ දැකැ” යන සැටියෙන් කීහු නම් අටුවාකථා හා සැසැඳෙයි. මුලැ දී “අජපල් නුගරුක් මුල්හි සවනක් රසින් දිලියෙමින් වැඩැ හුන්හු” යනු දු, කියුයෙන් ගුරුළුගොමීන් බොධිසත්ත්වාවස්ථානයෙහි දු සවනක් රස් වනනසෙ පෙනේ. ‘සවනක් රසින්, සුවර්ණ රශ්මීන්’ කියා අර්ථගත් කලැ “සුවණ්ණ වණ්ණං” යනු අටුවා වචනයට සරීලයි.
සව්සුදැ - හැමසෙ සුදුවන් යැ. පුස්කොළ පොත් හි ‘අසුඳ යන පදයෙක් වෙයි. මෙතෙක් ‘අමාවතුර’ පළ කළ හැම දෙන එ පදය නො සළකා හළහ. අටුවායෙහි “සබ්බසෙතො” යනු එයි. “සව්සුදැ” යනු ලියන්නන් අතින් ‘අසුද’ යි වෙනස් වැ ගියසෙ අටුවායෙන් පෙනේ.
සහ පිරිවරින් - සහචර පරිවරාය හා එක් වැ. ‘පිරිවර සහ වූයෙ=සහ පිරිවර’ යන ‘අනුඅරුත්සමස්’ මෙහි නොලැබේ.
සළාවැටමෙක්හි - ස්‍රොතස් - ආවර්තයෙකැ=වැහෙන මහවතුරු භ්‍රමණය කරන තැනෙකැ. ‘සොත > සළ’ යනු වෙයි. ධම්පියාඅටුවා ගැටපදයෙහි ‘සූකර පොතිකා වත්’ හි “ඡත්තිසංතියා සොතෙහි” යනු ගෙනැ “සතිස් සිළින්” යි අර්ථ කියා, මතුයෙහි “සතිස් සිළක් ඇතියා යි සේයි” කීහු. ‘විඩූඩභයා වත්’ හි දී, “මහොඝෙන, මහත් දිය සිළින්”යි අර්ථ කියමින් ඔඝය ‘සිළ’ යි ගත්හ. පෙළෙහි එන ‘ආවට්ට’ ශබ්දය ඇසිරි කොටැ ‘වට’ දයින් නිපන් ‘වැටුම්’ සද හා ‘සළ සද හා සමස්ත වැ සිටුන් මැ, පද මධ්‍යයෙහි ආකාරාගමයෙන් ‘සළා වැටමෙක්හි’ යනු වෙයි.
සළු පෙරළා පියන - කොතරම් ස්වෙද වැහිණි ද, යනු කියන්නට යෙදූ වැකියෙකි. හන් සළු පෙරළා අලුත් පිළි හැඳැ ගන්නා පමණට ස්වෙද වැහිණ. පොත්හි ‘පෙළා-හෙළා’ යන පාඨ ඇත ද, ඒ අපපාඨ යි.
සාරණීය කථා - සිහි කරන්නට නිසි කථා. “සංරඤ්ජනීයකථා” යි පදයක් මහායාන පොත්හි දක්නා ලැබේ. “සංරඤ්ජනීය” ශබ්දය පාළියට ‘සාරාණීය’ යි ආයෙ ගෙනැ ‘සිත් අලවන්නට නිසි’ යන අර්ථය ද කියති. ‘සංරඤ්ජනීය’ යනු රූපාදියටත් විශෙෂණ වියැ හෙයි. ‘සාරාණීය’ යනු ශ්‍රවණ ගොචර කථා ශබ්දය මිසැ, රූපාදියට විශෙෂණ වැ සිටුනා තැනෙක් නැත. එයින් ‘සංරඤ්ජනීය’ ශබ්දය හා ‘සාරාණිය’ ශබ්දය හා සම්බන්ධයෙන් නැත. ධම්පියාටුවා ගැටපදයෙහි “සාරාණියං කතං, කලතුරුහි සිහි කරනුවට නිසි කථා” යි අරුත් කී සැටිය මැ පමණ කරන්නෙ යැ. ඒ යැ අටුවා මග නම්.
සාහමින් - සිද්ධ කෙරෙමින්. ‘සාහ’ ධාතු හා ‘මින්’ පස යි.
සැමිවැටියනට - සමීපස්ථ = අමාත්‍ය වැ සිටුනා කැමැතියනට, ‘පා: සමීප > සැමිව’ එ,ථ ඇටි වූයේ ‘සැමිවැටී’
සිටිදැරියෙක් - සිට් දරු මැ ‘සිටිදැරි’ නමි. මෙහි ‘දරු’ ශබ්දය ආදරාර්ථ දෙයි.
සිතූරු පිළියක් - චිත්‍රරූපපටයක් = චිත්‍ර රූපයෙන් හොබනා කරලුවක්. “සුසජ්ජිත චිත්තපටො විය” යනු මෙ තැනැ අටුවා යි. හැම පොත්හි පිළියක් යනු ‘මිණියක්’ යි එයි.
සිත් හසර - “ඔතාරාපෙඛො” යනු මෙහි අටුවායි. “සිදුරු බලන්නේ” යනු ජා: ගැටපදයි. සිත්හි හැසුරුමු=කෙසේ කෙසේ කාමාදියෙිහ සිත හැසිරේ දෝහෝ යි හැසිරෙන සැටිය.
සිමිඳුමින් - සම්මර්ෂණය කෙරෙමින්. ‘පා: සම්මස > සිමිස > සිමිඳු’ යනු ධාතු රූපය එන සැටිය වෙයි. ‘සිමිඳු-සිමිඳුම්හි’ යන දයින් ‘මින්’ පස ගෙනැ ‘සිමිඳුමින්’ යනු සිද්ධ වෙයි. ‘පා: නමස්ස > නමද, පා: අතිවසා > ඉවද, පා: ඵුසිත > පොද, පා: කච්ඡප > කැසිබු > කිසිබු > හිදිබු’ ආදි පස සිද්ධි බලත් මැ, සකාරයා හට දකාරය වැටෙනසෙ පෙනේ. උත්පත්තිය එක් මැ තැනැ වන හෙයිනි.
සියු මියුරු - චතුමධුර, කිරි, ගී, මී, පැණි යන සිව් වැදෑරුම් මිහිර,
සිල් පොහො පිසමින් - සිල් හා පෙහෙවස් හා පරිපාචනය (=මිහිකිරීම) කෙරෙමින් ‘භූරිදත්ත’ ජාතකාදියෙහි ලා සීලය හා උපොසථය හා දෙක පුහුණු කළසෙ මෙයින් කියත්. ‘සිල්පොපියමින්’ යි පොත්හි එනුයේ අපපාඨයි.
සිවීගෙකෙක්හි - සිවීකාගෙහයෙක (=දෝලායෙක) ‘ගෙහ > ගෙක’ යි සියබසෙහි සිටුනේ යැ. හකාර කකාරයන් දෙන්නා ගෙ උත්පත්ති සම හෙයින් හකාරස්ථානයෙහි කකාරයා හුණු තැනි.
සිව්දෑ ගඳින් - කොකුම්, යොන්පුප්, තුවරලහ, තුරුක්තෙල් යන සතරින්. ජා: ගැටපදයෙහි කළු අගිල්, තුවරලහ, කපුරු, සඳුන් යන සතර කියති.
සිවුරඟවර - චතුරඞ්වීර්ය, “සිරුරෙහි සම් - 1. ඇට, 2. නහර, 3. ඉතිරි වන සේ මාංස හා රුධිර වියැලි ගිය ද 4. බුදු වැ මිසැ නො නැඟෙමි” යන සතර ඇඟින් යුත් වීර්යය යැ.
සිවුරඟින් යුත් මහ අඳුරු - කාලපක්‍ෂයෙහි තුදුස්වකැ, ඝන වනෂණ්ඩ යැ, මෙඝපටල යැ, අර්ධරාත්‍රි යැ යන සතර ඇඟින් යුත් අඳුරු.
සිවුරු ගැබින් දකුණත් නෙරා - චීවරගර්භයෙන් දකුණු අත නඟා. කිසි ඇදුරු කෙනෙක් ‘සිවුරු ගැබින්’ යන තැන සිවුරු ඇතුළෙන් යැයි අර්ථ කියති. “සිවුරඟවර ඉටා ගත් බුදුහු ජනසඤ්චාරශුන්‍ය බොධි මූලයෙහි වජ්‍රාසනාරූඨ වූවාහු, වාසොපගත වැ දව රැය දෙක්හි සද්දා මැ දෙවුර වසා-ගෙනැ වැඩැහුන්හ.” යනු ඒ ව්‍යාබ්‍යානයෙන් කීවාහු වෙති. වෘක්‍ෂමූලය ද සෙනසුනෙකි. ඒ සෙනසුනෙහි බුදුහු වාසොපගත වූහ. පලක් අවුළුවා භාවනාවට හුන්හ. රැයිදු නො නැඟට හුන් වන මැ හුන්හ. ඉදින් ‘මෙහි දෙවුර වසා හුන්හ’ යනු සැබැවෙක් වේ නම්, වැසිකිළි කැසිකිළියෙහිද් දෙවුර වසා හුන මනා වෙයි. ‘උභයාංසවාඳ ගත් මහතෙරවරුන් මත ගෙනැ බැලුවත්, නිල්දලාහෝතෙරැ වන ලැහැබෙකැ වාසොපගත වූවාහු. එකලා වැ සිටැ කුමට දෙවුර වසද්ද බුදුහු! “එකස් කොටැ පෙරෙවැ ගෙනැ හුන්හ” යනු කියැ යුතු වෙයි. දෙවුර වසන මහතෙර වරුන් ඇරැ-පාන නීති-රීති-ව්‍යවස්ථා අනුවැ ඔවුන් විසින් මැ “වාසොපගත බුදුහු බෝධිමූලයෙහි සිවුර එකාංස කොටැ වැඩැ-හුන්හ” යනු පිළිගත මනා වෙයි. මෙහි දී, එකාංස කොටැ පෙරෙවැ-ගෙනැ සිවුරු ගැබින් අත් නැඟූසෙ විශද වැ පෙනෙන හෙයිාන් ‘උභයාසං වාදය’ තබන්නට මේ සාධක නොවෙයි.
“චීවර ගබ්භතො හත්ථම්පසාරෙත්වා-සිවුරු ගැබින් නෙරැ අත් පහරයි-දෙ ජන් වසා පොරොව්නා බැවින් සිවුරුගැබ්හි සැඟවුණු අත් එයින් නෙරැස් පහරයි යූසේයි” යනු ධම්පියාටුවා ගැටපද යි. “දෙ දණ වසා ප්‍රාවරණ වන බැවින් චීවර ගර්භයෙහි සඞ්ගොපිත අත ඒ චීවර ගර්භයෙන් නෙරා=පහරා යැයි කියූ පරිදි යැ” යනු අර්ථ යි. බුදුන්ගේ සතර ඉරියවුවෙන් කිනම් ඉරියවු ගෙනැ තෙල ව්‍යාබ්‍යානය කැරුණෙ යැ? යනු විමසන්නේ යැ. පලක් අවුළුවා හිඳැ-ගත් කලැ යම් තැනෙකැ අත තැබුව මනා වේ ද? තැබුව මනා තැන කො තැනැ යැ? සිවුරුගබ මිසැ නැත. “පටිසාමෙත්වා’ ති සඞ්ගොපෙත්වා” යනු ‘විනය අටුවා’ යෙහි වදාළ බැවින් ‘සැඟවුණු’ යන්නෙහි අර්ථ නම් ‘පටිසාමිත=හකුළා තැන්පත් කොටැ තැබූ යනුයි. ගර්භාකාරයෙන් සිටුනා චීවරය ම තැ තබා-ගත් අත එයින්=ඒ තැබූ තැනින් නඟා ගත්සෙ ගැටපදයෙහි කියත්. ‘ඇතුළෙන් ගත්හ’ යි කියන්නේ, කෙසේ ද? යි අපට නොවටහයි. ගැටපදයෙහි ‘එයින්’ යන පදයෙන් වුවමනා අර්ථය පහදා කියද්දීත් ‘ඇතුළක්, ගෙනැ කියනු පුදුම යැ. මෙහි “දෙ අත්=දෙ අන්” යි පාඨාන්තර දෙකෙක් ඇත දෙ අත පෙනෙන සේ මිසැ, වසා පෙරවුමෙක් ශාසනයෙහි නැත්නු යි, ඒ අපපාඨ යි. හිඳැ-ගත් කලැ ගර්භාකාරයෙන් චීවරය සිටුනේ, දෙ දණ වටා ප්‍රාවරණය වන හෙයිනැ, එය කියන්නට ‘දෙ ජන් වසා’ යනු දැක්විණ.
‘සිවුරුගැබින්’ යන මෙතෙකින් දකුණත නො වසා තුබුසෙ න්‍යායානුකූල කොටැ කියැවෙයි. ඉරියවු බෙදා විමසන්නේ යැ. පිළිමගෙහි සමාධි පිළිම හිමිහු ඇත. එකස් කොටැ ඇඟ වසා දකුණත සිවුර මත තබා ගත්සෙ දක්වති. ඒ පිළිමහිමිහු අත් නඟන සේක් නම්, සිවුරු ගැබින් නගන සේක. ඒ පිළිමහිමිහු සිටගන්නා සේක් නම්, කොතැනින් අත් නඟන සේක් ද? අත එල්බෙයි. තැබු තැනෙක් නැත. අසුවල් තැනිනැයි නො කියැ හෙයි. අඞ්ගුලිමාල දමන-නාලාගිරිදමන ආදියෙහිත් බුදුහු සිට - ගෙනැ අත් නැගූහ. එහි ‘සිවුරුගැබිනැ’යි නොකියති. ‘හිඳැ - ගත් කලැ නඟන අත සිවුරු ගැබිනැ’යි කියන්නටත් සිටැගත් කලැ නඟන අත එ ලෙස නො කියන්නටත් හෙතුව කිම? බුදුන් කිසි කලෙකැ දකුණත වසා නො පෙරැවූ බව හෙතු යි.
හිඳැ - ගත් ඉරියව්ව මිසැ යාම් - ඊම්, සිටැගැනීම්, ඉරියවුවෙහි දු ‘සිවුරුගැබින් අත් නෙරුසෙ කියන අටුවා පාඨයක් දක්වත් හොත්, ඒකාන්තයෙන් මැ ඒ පාඨය බුදුන් දෙවුර වැසුසෙ කියයි. පාළි - අටුවායෙකින් එ බඳු පාඨයක් නොගත හෙයි. ‘චීවරගර්භය’ ඊර්යාපථ වශයෙන් යොදා බලත් මැ, දකුණත් නොවැසුසෙයට බලවත් සාධකයෙකි.
සිවුපිරිසිදුසිල්වතැ - ප්‍රාතිමොක්‍ෂසංවර ශීල යැ, ඉන්ද්‍රියසංවරශීල යැ, ආජීවපරිශුද්ධි ශීල යැ, ප්‍රත්‍යය සන්නිඃශ්‍රිත ශීල යැ යන සතර සිල් සිව් පිරිසිදු සිල් නමි.
සුගිමොක් - සුගති හා මොක්‍ෂ. ‘පා: සුගති > සුගි”
සුඹුයෙන් - සුපුයෙන් = සැපීමෙන්
සුවද - ස්වාගත. යමකු ආ විටැ, ඔහුගෙ ඊට වටනාසෙ කියා ආශිර්වාද කිරීම.
සුවරුවන් - ඇත්දළින් භාණ්ඩ තනන වඩුවන්
සුංවත් - සුඞ්ක = සුංකම යි. අය කැරැ-ගත යුතු බද්දයි.
සෙ-ඇතක්හු-හේ කළ ඇතා දැනුදු ‘හේ-අලි’ ආදි වශයෙන් වහරෙහි ‘හෙ’ සද වැටෙයි. සකුවෙහි එන ‘ඡෙක’ ශබ්දය ගෙහි වැඩී කීකරු වැ සිටුවා පක්‍ෂි මෘගාදීන් කියයි. ‘සං: ඡෙක > සෙ=හෙ’
ඇතැම් පොතෙකැ ‘ඇතක්හු’ යන මෙතෙක් මැ එයි. පැරැණි පුස්කොළ පොත්හි ‘සෙ යනු ඇතියෙන් අපි ‘සෙ-ඇතක්හු’ යනු ගතුම්හ. ගුත්තිල කාව්‍යාදියෙහි එන ‘සේ වටු’ ආදි පදත් මේ සැටියෙන් මැ සළකන්නේ යැ.
සෙමින් - හාස්‍ය - කෙරෙමින්. ‘සෙ-සිනායෙහි’ දයින් ‘මින්’ පස යි.
සොස්නෙන් - ශොකයෙන්
ස්වර්ණහිවිකායෙකැ - ස්වර්ණමය යාප්‍ය - යානයෙකැ = රන්මුවා - දෝලාවෙකැ
හකුරු - කැට - බොරලු, ‘පා: සක්බර > සකුරු=හකුරු’
හඬසන් දෙ සන් - හඬසන යැ, හඬසන දෙක යැ, යනාදි ක්‍රමයෙන්. “හඬපන්සියෙනි” යනු අප දුටු හැම පොත්හි ඇත. “හඬසන් පියෙනි” යි ඇති බව ‘අමාවතුර’ පළ කළ උගත්හු කියති. අටුවා හා සසඳත් මැ අවුල් වැ ගිය තැනක් සේ පෙනේ. අර්ථයක් ගනු පිණිසැ අපි “හඬසන් දෙ සන්” යි ලියුම්හ.
භාව භාවයෙන් - ‘භාව’ නම් ශෘඞ්ගාරාහිප්‍රායෙන් ලළිතකම් දැක්වීමයි. ‘භාව’ නම් ශෘඞ්ගාරය නිසා සෙව ද වැගීම් ආදීන් දක්වන විකාර යි.
හැඬුවැ-හැඬු යැ = හැඬුවැ. මෙහි වාච්‍යය මහා පෘථිවිය වෙයි. ගුරුළුගොමීහු ‘මහාපොළො’ යි ලියුව ද, මාතෘ භාෂායෙහි ලා එ පදයෙහි එන ස්ත්‍රී ලිංගභාවය ගෙනැ ‘හැඬුවැ’ යි පද තැබූහ.
හැදැවැ ගෙනැ - “උද්ධරුහි - නිප්පීළෙත්වා” යනු මෙතැනැ අටුවා යි. “කළවයින් පෙළා ගෙනැ = දෙ කළවා හස්සෙන් පෙළා-ගෙන යනුයි” යනු ජා: ගැට පදයි. ‘කළවේ දෙකින් ඇදැ තද කොටැ ගෙනැ’ යන අර්ථයි. ‘හද-තිරැ කොටැ ගැන්මෙහි’ ධාතුයි.
හිණිගෙහි - “පහාතල අරා සිරියන්හි වැඩහොත්හු” යි මුල කියුයෙන් ‘ඒ පහාතලට නැඟැ-ගන්නා හීණ ළඟැ’ යන අර්ථ යි. ‘හිණි+අගෙහි=හිණිගෙහි’ යි පරස්වර ලොප වෙයි. මෙහි ‘අඟ’ ශබ්දය ‘අඞ්ගුල්‍යග්‍රෙ’ යන තන්හි සෙයින් සමීපය කියයි. එයින් හීණෙහි අගවිට ගන්නේ යැ.
හීදොළුයෙකින් - පල්ලැක්කියෙකින්. ‘පාටඞ්කියා’ (පාවඞ්කියා) යනු මෙහි අටුවායි.
හිමියාපිත් - ආර්ය පුත්‍රයා, මෙහි ‘පිත්’ යනු ආදරාර්ථපදයෙකි. ධම්පියාටුවාගැටපදයෙහි ‘සන් තෙරුන් වත්’ හී “අය්‍යපුත්තෙන සද්ධිං, හිමියා පුතු හා සැමැඟ”යි අර්ථ කීහ.
කලාපය=හී බහන කොපුව. ‘හි+අවුරු’යි පද බිඳැ යකාරාගමයෙන් ‘හියවුරු’ යනු වෙයි. ‘හියොවුරු-හියොර’ යන රූපාන්තරයෝ ද සිය බසෙහි ඇත. එ හැම සන්ධිවිධි ඇසිරි කොටැ සිටිසෙ සළකන්නෙ යැ.
හිරි නොඑප්සෙන තුරු-හිරු නො බස්නා තුරු=බැසැ යන හිරු නොපැනියන්නට මතුයෙහි. ‘ධම්පියාටුවාගැටපද’ යෙහි “සුරියත්ථඞ්ගමනකාලෙ, හිරු එප්සෙන කල්හි” යැයි අර්ථ කීහු. ‘එප්සෙනු’ නම් අස්තඞ්ගමන වෙයි. ‘ගහපතිදමන’ යෙහි ‘හිරු එප්සිණ’ යි ක්‍රියා පදයෙක් ද එයි. එයින් මෙහි ‘ඔපුස්-එප්සීමෙහි’ ධාතු වෙයි.
හිස්මුල වැම්හ යන පමණ - මස්තිස්කය ගිළිහී යන පමණ. මෙහි ‘මුල’ යනු දෙමළුයෙහි එන, ‘මුලෙයි’ සදින් සියබසට ආසෙ කියති. ‘වැම්හ’ යනු ‘වම්හ - ගිළිහීමෙහි’ යන ධාතුයෙන් නිපන් රූපයෙකි.
හුණු පත්තෙන් - වෙණු ප්‍රදරයෙන් = උණ ලී පතුරින්,
හුදී ජනන් - සාධුජනන් = සත්පුරුෂයන්. ‘ධම්පියාටුවා ගැටපද’ යෙහි “සධුනා, හුදියක්හු විසින්” යි අර්ථ කීහු. ‘වෙසතුරුදා සන්න’ යෙහි “සප්පුරිසො, හුදී පිරිම්නි” යි අර්ථ කීහු. පෙළෙහි සිටුනා ‘සාධු’ ශබ්දය ‘හුදි’ යි සියබසෙහි බැසැ-ගත්තෙ එයින් පෙනේ. “නොවියත් හුදීජනන් සඳහා” යනු කියුයෙන් නොවියත් සුධීහු නැත්නුයි. ‘සුධීජනයන්’ යන අර්ථය මෙහි නො යෙදේ.
හෙටු - ‘පා: සුට්ඨු > සෙටු, හෙටු’
ළදරු මැඬවුන් - තරුණ මෙණ්ඩකයන් = එළුපැටවුන්
ළ දෙ ගත්තාහ - සිත් දෙකක් උපදවා ගත්තාහ.