සහාය

ශ්‍රී ලංකාවිශ්ව විද්‍යාලයෙහි මහාචාර්ය, ඩී.ඊ. හෙට්ටිආරච්චි සූරීන් අමාවතුර පිණිසැ ලියූ කුඩා පදවැළක් ද කරහම්පිටිගොඩ පණ්ඩිත සුමනසාර ස්ථවිරයන් දම්පියාටුවා ගැටපදය පිණිසැ ලියූ පදවැළ ද අපට බෙහෙවින් වහල් වූ බව කියම්හ. අහංගම එළුකැටියෙහි බිම්බාරාම විහාරාධිපති, අහංගම සිරි පඤ්ඤාවාස මහාස්ථවිරයන් වහන්සේ වෙතිනුදු වැලිගම අග්‍රබොධිරාජමහා විහාරාධිපති ගාලුමාතර දෙ පළාතෙහි ප්‍රධාන සංඝාධිකරණ නායකධූර දරන, අප ගේ කලණමිත්, වලානේ සිරි සද්ධාවාස හිමිපාණන් වෙතිනුදු බොහෝ විට අටුවා ටීකා ලබා ගත් බව ද මෙහි සඳහන් කරම්හ. විද්‍යාචන්ද්‍ර පිරිවෙන්හි ආචාර්ය ධුරයක් දැරූ වග ඤාණලොක ස්ථවිරයෝ ද අපගේ ශිෂ්‍ය ආචාර්ය, පාතේගම මංගල ස්ථවිර නම ද පත පොතෙහි එන විෂමපාඨ එකතු කැරැලීමෙහි ලා බෙහෙවින් වහල් වූහ. සුප්‍රසිද්ධ පණ්ඩිත රත්නයක් වන ලබුගම ලංකානන්ද හිමිපාණන් හා සාකච්ඡා කරමින් මේ සංස්කරණයෙහි බොහෝ තැනක් සකස් කළ බව ද මුද්‍රණයෙහි දී ලිපි දොස් පහ කැරැලීම පිණිසැ ඔබ වෙහෙස දැරූ බව ද තියු පිරිනමමින් මෙහි සඳහන් කරම්හ. අප අමාවතුර හදාළ ළදරු අවදියෙහි මැ අප ගේ ධර්මාචාර්ය වැ සිටි, විදග්‍රෙසර, විද්‍යාලංකාර පිරිවෙන්හි ආචාර්ය, මාදෝවිට ඤාණානන්ද හිමිපාණන් අතින් ලත් සදුපදෙශ තෙල සංස්කරණයෙහි ලා එළිය දින. අද ඔබ ජීවතුන් අතර නැත ද, ඒ වහල මෙහි ලා සඳහන් කළ යුතු වේ.

‘අමාවතුරෙහි සංස්කරණයක් කළ මැනැවැ’යි කලකට පෙරැ අපට ආරාධනයෙක් ලැබිණ. ඒ ආරාධනය කළාහු නම් ග්‍රන්ථකාරයකු වශයෙන් ප්‍රසිද්ධියක් දරන ජයසේකර අබේරුවන් නොතාරිස් රාළහාමිහු යැ. ඔවුන් ගේ ආරාධනයෙන් කළ සංස්කරණය මුද්‍රණය පිණිසැ දුන ද, එය නිමහම් නො දැකැ මැ නැවැතිණ. පසු වැ අඛිරම් ගම්හේවා මහතාණන් අතින් මෙහි ලා අපි මෙහෙයුම් ලදුම්හ. ඒ මහතා සියබසෙහි චතුරයකු වන හෙයිනුදු සියබස පණ සේ රක්නට වැර දරන හෙයිනුදු ඔහුගේ පාණ්ඩිත්‍යය කෙරෙහි අප තුළ මහත් සේ සැලැකිලි ඇති හෙයිනුදු ඒ ආරාධනය පිළිගෙන තෙල සංස්කරණය නිමහම් කළම්හ. මෙහි අගැ එන පදවැළ අඛිරම් ගම්හේවා මහතා වෙහෙස දරා සකස් කළ දැයක් බව ද මෙහි කියම්හ.

විද්‍යාචන්ද්‍රපිරිවෙන්හි උපප්‍රධානාචාර්යය වූ, අප ගේ ධර්මාන්තෙවාසි පණ්ඩිත, යටියන ජිනරතන භික්‍ෂු නම දැරූ වෙහෙස නිසා මේ කෘතිය සාර්ථක වූ බව අවසාන වශයෙන් කියම්හ. ඒ භික්‍ෂු නම මුද්‍රණයෙහි දී වන ලිපි දොස් පහ කිරීමෙහිත් වරද තැන් දක්වා - ලීමෙහිත් වෙසෙසින් වියත් බව දැක්වියැ. අගැ එන ‘පදවැළ’ ගම්හේවා මහතා ලියුව ද, පණ්ඩිත ජිනරතන භික්‍ෂු නම යලි දු මුලැ සිට ලියා සකස් කළ සේ මනහර වි යැ. බෞද්ධලොකයා ගයන යසගී ඇති, අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක හිමිපාණන් අප ගේ සංස්කරණය ලොවට දෙමින් කළ ‘පටන්බස’ මෙහි එළියට හෙතු වෙයි. තෙල සංස්කරණය පළ කැරැ-ලීමෙහි ලා ඇම්.ඩී. ගුණසේන සමාගමයෙහි අධ්‍යක්‍ෂ ඇම්.ඩී. සිරිසේන මහතාණන් දැක් වූ වෙසෙස් සැළකිලි ද අප සිත් ගත් බව මෙහි සඳහන් කරම්හ.

ඇම්.වයි හේමචන්ද්‍ර මහතාණන් මෙහෙයා විද්‍යාචන්ද්‍ර පිරුවන පිහිටුවා ලීමෙන් ලොසසුන් වැඩ වසන, අප ගේ ආචාර්යොත්තම, විද්‍යාචන්ද්‍ර පිරුවන්හි අධ්‍යක්‍ෂ, පරදුව සිරි ජිනරතනාභිධාන තල්පේ පත්තුව ඇතුළු මාතර දිසායෙහි ප්‍රධාන සංඝනායක මහාස්ථවිරපාදයන් වහන්සේට ගුරුපූජා වශයෙන් මේ සංස්කරණය පිරිනමම්හ.

තෙල සංස්කරණය නැවත පළ කැරැලීමෙහි සියලු හිමිකම් අප සතු යැ. මෙහි ඇතුළත් ශුද්ධි අප නොදන්වා පැහැරැ නොගන්නේ මැනැවි.

කෝදාගොඩ ඤාණාලොකස්ථවිර

ශ්‍රී. බු. ව. 2502 (ක්‍රි. ව. 1959) 3-19

අහංගම, විද්‍යාචන්ද්‍රපිරුවන

අමාවතුර

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස