ශාක්‍යභික්ෂූන් දැමු පරිදි කිසෙ යැ යත්:
ශාක්‍ය රජුන් හා කොලිය රජහු කිඹුල්වත් නුවර හා කොලිය නුවර හා දෙ අතුරෙහි රොහිණී නම් ගඟ එක් අවුණෙන්[1] බඳවා බොහො ගොයම් කරවති. පොසොන් මසැ ගොයම් මියන කලැ, දෙනුවර වැස්සන් ගෙ ගොවිහි[2] රැස් වූහ. කොලිය නුවරැ වැස්සො, මෙ දිය දෙ තනට ගෙනැ යන කලැ තොපට අපට නොසෑහෙයි. අපගෙ ගොයම් එක දියවරින් එයි. දිය අපට දෙව”යි කීහැ. කිඹුල්වත් නුවරැ වැස්සො ද, “තොප දින්[3] මැඩුන්[4] කොටගෙ පුරා තුබු කලැ. ඇපි රත්රන් නිල්මිණි කහවනු ගෙනැ මල පැස්[5] ගෙනැ තොප ගෙදොරැ ඇවිදුනට යමො ද! අපගෙ ගොයම් එකදිය වරින් එයි. ඇපි දු නොදෙම්හ”යි කීහැ. ඔහු[6]දු, “ඇපි නොදෙම්හ”යි[7] කීහැ.
මෙසෙ කලහ වැඩි කල්හි, එකෙක් නැඟී එකක් හු පහළ හෙද නැඟී, අනෙක්හු[8] පහළ. මෙසෙ ඔවුනොවුන් පැහැරැ රජකුලන් ගෙ ජන්ම ඝටා බිණුහු. කොලිය නුවරැ වැසි ගොවිහි ‘තෙපි කිඹුල්වත් වැසි රජුන් ගෙනැ ගර්ජනා කරව[9] යම් කෙනෙක් බලු සිගල් ආදීන්[10] සෙයින් තමන් තමන්ගෙ[11] කුසැ හොත් අඟනන් හා වාස[12] කොළො ද, ඔවුන්ගෙ ඇත් අස්හු දු ඵලකායුධයො දු අපට කුම් කෙරෙතී!” කීහු. කිඹුල්වත් නුවරැ වැසි ගොවිහි, “තෙපි කුෂ්ඨීන් දරුවන් ගෙනැ ගර්ජනා කරව. යම් කෙනෙක් නිවහලු වැ තිරිසන් ගතියැ සතුන් සෙයින් බුදුරු රුක්හි[13] වුසුහු ද, ඔවුන්ගෙ ඇත් අස්හු ද ඵලකායුධයො ද අපට කුම් කෙරෙතී!” කීහු.
ඔහු ගොස් එකම්හි[14] යුතු ඇමැත්තනට කීහ. ඇමැත්තො ගොස් රජනට[15] කීහු. එකල්හි සැහැ රජහු “කුසා හොත් අඟනන් හා වාස කළවුන් ගෙ බැල[16] දක්වම්හ”යි යුද්ධයට සැරැහී නික්මුණුහු. කොලිය රජහු දු “බුදුරු රුකැ වුසුවන්ගෙ බැල3 දක්වම්හ”යි යුද්ධයට සන්නද්ධ වැ නික්මුණුහු. එකල්හි බුදුහු සැවැත් නුවර නිසා දෙව්රම්හි වැඩැ වසනුවො, අලුයම්හි මහකුළුණු සමවතින් නැඟී ලො[17] බලනුවො, මොවුන් යුද්ධයට නික්මෙනෙසෙ[18] දුටුහු. දැකැ, “මා ගිය කලැ, මෙ කලහ සන්සිඳී හොයි! නොසන්හිඳි හො!”යි බලනුවො,[19] “මම එයට ගොස් කලහ සන්හිඳුවනු සඳහා ධම් දෙසමි. දෙසුන් අසා සමඟ වූ දෙනුවරවැස්සො පන්සියයක්[20] රජකුමරුන්[21] දෙති. මම් ඔවුන්[22] පැවිජි කෙරෙමි. මහත් සමාගම වෙ”යි සනිටුහන් කොටැ, පෙරවරු අහරකිස සාහා[23] පස්වරු ගඳකිළින් නික්මැ, ඔවුන් යුද්ධ සන්නද්ධ වැ නික්මෙන[24] වෙලෙහි, යම් කෙනෙක්නට නොකියා තුමුහු මැ පා සිවුරු ගෙනැ, ගොස් දෙ සෙනඟ මැදැ අහසැ පලක් බැඳැ සවනක් රැස් විහිදුවමින් වැඩැහුන්හු.
කිඹුල්වත් නුවරැ වැස්සො බුදුන් දක්මින් මැ, “අප සැහැරජ කුලට[25] සිළිමිණක්[26] බඳු බුදුහු වැඩියහැ. මෙ කලහ දුටු බන්දහ.[27] දන් වූ කල අප අනුන් වෙරැ සැත් නොපැහැර විය හැක්කැ. කොලිය නුවරැ වැස්සන් අප මරත් මැනෑ මැ යැ, පිසත්[28] මැනෑ මැ යැ”යි ආයුධ දමා පියා සිටියො. කොලිය නුවරැ වැස්සො ද එසෙ මැ සිතා ගත් ආයුධ හැරැ-පියා සිටියො. එකල්හි බුදුහු අහසින් බැසැ, රමණි රොහිණි ගඟැ වැලිපිටු මත්තෙ පැන් වූ අස්නෙහි, නිරුපම බුදුසිරින්[29] වොරජමින් වැඩැහුන්හු. දෙ නුවරැ රජහු දු බුදුන් වැඳැ පිරිවරා හුන්හු. එකල්හි බුදුහු දනුතුදු හොත්, “කුමට ආව? මහරජනි” යි පුළුවුත්හැ.
“වහන්සෙ, ගඟ කෙළෙනට නොද ආම්හ.[30] වන කෙළෙනට ගල් කෙළෙනට නොද ආම්හ,1 මෙ තැන්හි සඞ්ග්‍රාමයට ආම්හ”යි කීහු. “තොපගෙ කලහ කුමක් සඳහා වූයෙ යැ මහරජනි,”යි වදාළො. “දිය සඳහා වූයෙ යැ; වහන්සෙ,” යි කීහු. “දිය කුමක් වටී?” වදාළහැ. “මඳ දෙයක් වටී; වහන්සෙ”යි කීහු. “පොළො කුමක් වටී?” වදාළහැ. “අනර්ඝ යැ; වහන්සෙ,”යි කීහු. “රජහු කුමක් වටති?”[31] වදාළහැ. “උහු දු අනර්ඝයහැ; වහන්සෙ,”යි කීහු. “අල්පාර්ඝ වූ දිය සඳහා අනර්ඝ වූ රජුන් කුමට නසව? මහරජනි, කලහයෙහි අස්වස් ඇත්තෙ නොවෙ”යි පස් දාවක් හා එක් සුතක් දෙසා සමඟ කොළො.
රජහු පැහැද, “ඉඳින් බුදුහු මෙයට නොවැඩියාහු නම්,[32] ඇපි සිය අතින් ඔවුනොවුන් මරා ලෙ-ගඟක් පැවැත්වුම්හ[33] අප මළ පරිදි අප අඹුදරුවනට ගොස් කියනුවො නො ද ඇති වූවාහැ. බුදුන් නිසා දිවි ලද්මහ.[34] ඉදින් බුදුහු ගිහිගෙ වුසුහු නම්, දෙ දහසක් කොදිව් පිරිවර ලදු[35] සතර මහදිව්හි රජ වූවාහැ. දහසෙකින්[36] වැඩි පුත් වූවාහැ රජ පිරිස් පිරිවරා ඇවිද්දාහැ. එවැනි සක්විති ඉසුරු පියා නික්මැ ගොස් බුදු වූවාහැ. දැනුදු රජපිරිස් පිරිවරා ඇවිදිත්ව”යි දෙ නුවරැ වැස්සො දෙ සිය පනස් දෙසිය පනස් රජ කුමරුන් දුන්හු.
බුදුහු එ පන්සියක් රජ කුමරුන් පැවිජි කොටැ, මහාවන නම් හිමවත හා එක් වැ සිටි මහත් වනයෙක්හි වසනුවො ඇතැම් දවස්[37] කිඹුල්වත් නුවරැ[38] වළඳති. ඇතැම් දවස්,8 කොලිය නුවරැ වළඳති. දෙ නුවරැ වැස්සො මහත් සත්කාර කෙරෙත්. එකල්හි මහලු නෑයන් කෙරෙහි හරසරින් නොරිසින් පැවිජි වූ ශාක්‍ය භික්‍ෂූන් පන්සියනට සස්නෙහි උකටලී උපනැ. ඔවුන්ගෙ රැජනවරහු[39] ඔව්නට අනභිරති උපදනා නියායෙන්[40] හසුන් දුන්හු.
බුද්හු ආවර්ජනා කරන්නාහු, ඔවුන් සස්නෙහි අභිරති[41] නැති බැව් දැනැ, “මෙ මහණහු මා වැනි බුදුරජක්හු හා සමඟ වසන්නාහු, උකටලීහැ. මොව්නට කවර ධම්දෙසුන් සැප යැ හො!”යි බලන්නාහු, කුණාල ධම්දෙසුන් දුටහැ.[42] දැකැ, “මෙ මහණුන් හිමවතට ඇරැ කුණාල්දා දෙසා මාගමුන් ගෙ දොස් දක්වා අනභිරති හැරැ සොවාන් ඵලයෙහි පිහිට්වුව[43] මැනැවැ”යි සිතා පෙරවරු කිඹුල්වතැ වළඳා මහවන එළබැ පස්වරු සඟුන් කැඳවා, “මහණෙනි, රමණි හිමවි පියෙස් හා දුටුවිරුහ?”යි[44] වදාළහැ. “නොදුටුවිරුම්හ, වහන්සෙ”යි කීහු. හිමවූ සැරිසරන්නට එව් දැ?”යි වදාළහැ. “වහන්සෙ, අප සෘද්ධි නැති. කිසෙ යම්හ”යි කීහු. “ඉදින් තොප කිසි කෙනෙක් ගෙනැ යෙත් නම්, යව් දැ?”යි[45] වදාළහැ. “යම්හැ වහන්සෙ”යි කීහු. බුද්හු තමන්ගෙ අනුභාවයෙන් ඔවුන් ගෙනැ අහසට නැඟී හිමවතට එළඹැ අහසැ සිට රමණි හිමවි පියෙසැ රුවන් ගල් රුවන් කළු රුවන් ගිරිතලාද් සදත්දහතළාද්[46] පස්මහගඟුද්6 දියෙහි ගොඩෙහි[47] මලුද්6 දස කුලෙහි ඇතුනුද්6 අසුනුද්6 සිංහයනුද්6 වගනුද්6 මුවගණද්6 කිනිරිගණද්6 ලිහිණිගණද්6 දැක්වූහු.
හිමවත් පර්වතය ඉතා මහතැ. උස පන්සියක් යොජනැ. අයම් විතරහි තුන් දහස් තුන් දහස් යොජනැ. උස සිය සිය යොජුන්, සුවසූදහසක් රුවන් කුළින් දිලියෙනු වූයෙ යැ. තන්හි තන්හි රන්ගල් රිදීගල් රක්ගල් හිඟුල්ගල් අඳුන්ගල් සතුරුවන්ගල්[48] ඈ නොඑක් රුවන්ගල් ඇතියෙ[49] යැ. ඉඳුනිල් මිණි වෙරළුමිණි මරාමිණි පියුම්රාමිණි පිළිමිණි ඈ මිණි ගල් ඇතියෙ9යැ. තන්හි තන්හි රන්ගිරිතලා රිදීගිරිතලා රක්[50] හිඟුල් අඳුන් ගිරිතලා මිණිගිරිතලා සතුරුවන් ගිරිතලා ඇතියෙ9 යැ. අයම්විතරහි දු ගැඹුරෙහි දු පනස් පනස් යොජුන්, වට යෙළසිය යොජුන්, මිණිවන් පහන් දිය පිරුණු පස් පියුමෙන් සුසන් සත් දහතළා ඇතියෙ යැ. සපු පුවඟු නා පනා සල් සළල අගරු දෙව්දුරු නඳුන් සඳුන් ඈ නන් විසිතුරු මල්පල්ලෙන් සැදුම් ලදු රුක්රදුන් ඇතියෙ යැ. හාත්පසින් බස්නා පන්සියක් ගඟින් විසිතුරු වූයෙ යැ. මෙතෙක් දෑ එදා කිසෙ දැක්වූහැ යත්:
මෙ මතු නොවෙයි. ඒ පර්වතයෙහි ඇති තාක් රමණි බුදුහු තමන්ගෙ ආනුභාවයෙන් එක වට දැක්වූහු. එ පියෙස් දුටු තැන පටන්-ගෙනැ එ සඟනට එ අඟනන් කෙරෙහි ඡන්දරාග ප්‍රහීණ වී. මෙසෙ බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින්, එ සඟුන්[51] ගෙනැ අහසින් කුණාල් දහතළට බැසැ, පැල දෙසෙහි සැට යොජුන් සිලාතලයෙහි පිහිටි සත් යොජුන් කල්පස්ථායී මහසල් රුක් මුලැ තුන් යොජුන් මිණි අතලෙයි[52] එ සඟුන් පිරිවරා සවනක් රස් විහිදුවමින්, යුගඳුරු මුදුනෙහි සරා හිරක් සෙයින් දිලියෙමින් හිඳැ, මියුරු ගැඹුරු හඬින්, සඟුන් කැඳවා, “මහණෙනි, මෙ හිමවියෙහි තොප නුදුට්විරීදෑ දක්ව”යි වදාළො.
එකෙණෙහි චිත්‍රකොකිලයො දෙදෙනෙක් දඬුයෙක්හි දෙ කෙළවර ඩැහැ-ගෙනැ මැදැ කෙවිලි රජු හිඳුවා ලා ගෙනැ යෙති. අට දෙනෙක් පෙරට යෙති. අට දෙනෙක් පසු වැ යෙති. අට දෙනෙක් දකුණත් පසැ යෙති. අට දෙනෙක් වමත් පසැ යෙති. අට දෙනෙක් යටැ යෙති. අට දෙනෙක් මතු වැ යෙති. අට දෙනෙක් මියුරු ඵල එළවමින් යෙති. මෙසෙ ඔවුන් චිත්‍රකොකිලයා හට පිරිවර වැ[53] අහසින් යනුවෙන් දැකැ එ සඟහු, “වහන්සෙ, මුහු කිනම් ලිහිණි කෙනෙකැ?” යි පුළු වුත්හු. “මහණෙනි, මෙ ද, මා කුණාල් දහතෙළෙහි[54] චිත්‍ර කොකිල වැ උපන් කලැ, කෙවිල්ලන් මට කළ පරිචර්යා යැ. අද දක්වා පවත්වමින් ආයෙ යැ. එකල්හි කෙවිල්ලො, බොහො හැ. තුන් දහස් පන්සියක් දෙන යැ. අනුක්‍රමයෙන් පිරිහී දැන් මෙතෙක් වූ” හයි වදාළො.
එකල්හි සඟහු “එ ලිහිණිගණයන් මෙ වනයෙහි පරිචර්යා කළ පරිදි කිසෙ යැ?” පුළුවුත්හු. “ඇසියටියාව; මහණෙනි” යි වදාළහැ. “එසෙ යැ වහන්සෙ”යි කීහු. “ඔස, අසව”යි තුන් සියක් ගාථායෙන්[55] ප්‍රතිමණ්ඩික වූ කුණාල් දා දෙසූහු. එහි විස්තර ජාතකයෙන් දන්නෙ යැ. දෙසුන් අවසන්හි පන්සියක් සඟහු සොවාන් ඵලයෙහි පිහිටියාහැ. මඟනුවණ හා සමඟ[56] ඔව්නට සෘද්ධි උපනැ. බුදුහු “දැන් මෙ මහණනට[57] මෙතෙක් පමණැ”යි අහසින් මහවනයට වැඩියහැ. එ සඟහු යන කලැ බුදුන් ගෙ අන්භාවයෙන් ගොස් එන කලැ තමන්ගෙ අනුභාවයෙන් බුදුන් පිරිවරා මහවනයෙහි.[58] බටහු.
බුදුහු පැන් වූ අස්නෙහි වැඩැහිඳ, එ සඟනට “මහණෙනි, හිඳුවයි” හිඳුවා-ගෙනැ ඔව්නට රාත් වන කර්මස්ථාන වදාළො. සඟහු, “වහන්සෙ අප ගෙ අදහස් දැනැ දහතළා පියෙස් ඇරැ, අනභිරති හැරැ[59] සොවාන් කොටැ, දැන් රාත් වන්නට කමටහන් වදාළහැ. අප නොපමා වුව මැනැවැ”යි බුදුන් පා වැඳැ හුනස්නෙන් නැඟී ගොස් වෙන වෙන එ එ ගල්බෙයදැ දු රුක්මුල්හි දු වැඩැහුන්හු බුදුහු, “මෙ මහණහු රාත් වැ තමන් තමන් පිළිවුදු ගුණ කියම්හයි මා කරා එති. එවුන් ආ කලැ, දස දහස් සක්වළැ දෙවියො රැස් වෙති.[60] මහත් සමාගම වෙයි. එ සමාගමයට නිසි පියෙසක්[61] වුව මැනැවැ”යි රමණි විසල්[62] පියෙසෙක්හි වනදෙවියන්[63] පැන් වූ අස්නෙහි වැඩැහුන්හු. හැමදෙන හට පෙරට වැ කමටහන් ගෙනැ ගිය තෙරහු පිළිසිඹියා පත් රාත් වූහැ. ඔවුන් එක්බිති අනෙක් තෙරහු රාත් වූහයි, පන්සියක් සඟහු මැ පියුම් විලෙකැ පිපි පියුම් වනයක් සෙයින් පුබුදුහු.[64] හැම දෙන හට පෙරටු වැ රාත් වූ තෙරහු, “තමන් පිළිවුඳු[65] ගුණ[66] බුදුනට කියම්හ”යි පලග විදහා හුනස්නෙන් නැඟී බුදුනට අභිමුඛ වූහ. එ සෙයින් මැ අනෙක් තෙරහු දු අනෙක් තෙරහු දැයි පන්සියො හිමවත[67] බැසැ බොජුන් හල් වදනවුන් සෙයින්[68] පිළිවෙළින් වැඩියො.
පළමු ආ තෙරහු බුදුන් වැඳැ නිසඳුන් සිවුර අතොට[69]ලා එකත් පස් වැ හිදැ තමන් පිළිවුඳු ගුණ කියටි වැ, “කිසි කෙනෙක් නැති හො?”යි.[70] පෙරැළි ආ මඟ බලන්නාහු, අනෙක් තෙරුන් දුටහැ. මෙසෙ හැම දෙන[71] මැ අවුදු එකත් පස් වැ හිඳැ. ඔවුන් ඔවුන් කෙරෙහි ලජ්ජා ඇති වැ නොකීහු. රාත්නට උපදනා සිත් දෙ ආකාරයෙකින් උපද්දි; ‘මා පිළිවුඳු[72] ගුණ වහා දෙව්මිනිස්හු ප්‍රතිවෙධ කෙරෙත්’වයි යනු එකෙකැ. පිළිවුඳු ගුණ නිධියක් ලදු පුරුෂයක්හු සෙ අන්නට නො කියටි වනු එකෙකැ. මෙසෙ අරීගණන් මුළු දුන් විගසැ, බුද්ධොත්පාදයෙහි ප්‍රතිමණ්ඩිත ලොකයා රමණි පරිදි දක්වනු සඳහා පැදුන් දෙසෙහි නැඟු රිදීමුවා මහත් කැටපත් මඬලක් බඳු, නොහොත් නිම්වළල්ලෙහි ගෙනැ පෙරළෙන ලද රිදි සකක් බඳු, පුන් සඳ මඬල නැඟී නුඹතලට පිළිපනැ.[73]
එ වෙනෙහි[74] වැඩැහුන් බුදුහු දු, මහාසම්මත රජු ගෙ වංශයෙහි උපන්නාහැ. එ පන්සියක් සඟහු දු, මහාසම්මතයා ගෙ වංශයෙහි උපන්නාහැ. බුදුහු දු, එ මැ වංශයෙහි රජකුමරියක[75] බඩැ හොත්හැ. ඔහු දු, රජකුමරියන් බඩැ හොත්තාහු බුදුහු දු, රජපැවිජියහැ. ඔහුත්, රජ පැවිජියො. බුදුහු දු, සෙ-සත් පියා අතට පත් සක්විති රජය පියා පැවිජි වූහු. ඔහුත්, සෙ-සත් පියා අතැ තුබු රජය පියා පැවිජි වූවාහු මෙසෙ බුදුහු පිරිසුදු පියෙස්හි පිරිසිදු රාත්‍රි භාගයෙහි තුමුහු පිරිසුදු වූවාහු, පිරිසිදු සඟුන් පිරිවරා, තරු පිරිවර ලදු සරා සඳක් සෙයින්, වොරජමින් වැඩැ හුන්හු.
එකෙණෙහි එ වනයෙහි දෙවියො චලිත වැ, “භවත්නි, භවත්නි, පිරිසිදු බුදුන් සඟුන් දක්නට යම්හ”යි මහානාද කෙරෙමින් ගොස් බුදුනුදු එ විගසැ රාත් වූ සඟුනුදු වැඳැ, එකත් පස් වැ සිටියො. මෙ නියායෙන් ඔවුනොවුන් ගෙ මහානාද අසා, හඬසන් දෙසන්[76] ගවු දෙ ගවු යොජුන් දෙ යොජුන් විසින් තුන් දහසක් යොජුන් හිමවියෙහි දු තෙසැට දහසක් නුවරැ දු නවානුලක්‍ෂයක් ද්‍රොණමුඛයෙහි දු සානු ලක්‍ෂයක්[77] කෙළ පටුනෙහි දු සපනස්[78] රුවන් ආකරයෙහි දු සියලු දඹදිව්තෙලෙහි දු පූර්ව විදෙහයෙහි දු අපරගොයන[79]යෙහි දු උතුරුකුරුදිවැ දු දෙ දහසක් කොදවිහි දු සියලු සක්වළැ දෙවන සක්වළැ යැයි[80] මෙසෙ දස දහසක් සක්වළැ අරූතල අසඤ්ඤතල වැසියන් මිසැ, දෙව් බඹහු අවුදු රැස් වූහු. මෙසෙ රැස් වූ කල්හි දෙවියන් විසින් සියලු සක්වළගබ බඹලො දක්වා නිරන්තරයෙන් පරිපූර්ණ වී.
කිළිගෙකක් පමණ පහණක් හැමයෙන් පාතැ බඹලොවැ සිටැ වුහුට, එක් රෑ එක් දවහලෙකින් අට සාලිස් දහසක් යොජුන් තන් ගෙවමින් සාර මසින් පොළොවට බස්සි. මෙසෙ මහත් අවකාශයෙහි දෙවියො පොළොතෙලෙහි පටන්-ගෙනැ බඹලො දක්වා අතුරු නැති වැ සක්වළ ගල් දක්වා පිරී සිටියො. යම්සෙ සක්විති රජහු හුන් තන් හක නොවෙයි; ආ ආ මහෙශාඛ්‍යරජහු[81] හිඳුනට අවකාශ ලැබෙති; සෙසු තැන් හක වෙයි; එසෙයින් මැ බුදුන් වැඩැ හුන් තන් හක නොවෙයි. ආ ආ මහෙශාඛ්‍ය දෙවියො ද බඹහු ද සිටුනට අවකාශ ලදහැ. බුදුන් වැළැතැ පටන් ගෙනැ කෙසගක් පමණ තන්හි දෙවියො දස දෙනෙක් විසි දෙනෙක් තිස් දෙනෙක් සියුම් අත්බව් මවා-ගෙනැ සිටියහැ. හැමයෙන් පිටතැ සැට සැට දෙන බැවින්[82] සිටියො. එකල්හි සුද්ධවාසයෙහි බඹහු සතර දෙනෙක්, සමවත් සමවැදැ, පිරිසුන් වෙලෙහි නැඟී, බඹලොව බලන්නාහු, පස්බතැ බොජුන්හල් ගෙකක් සෙයින් සිස් වැ තුබු බඹ විමන් දැකැ, “බඹහු කොයට[83] ගියහැ හො!යි අවජනාහු. ඔවුන් මහාසමාගමයට ගියබව් දැනැ, “මෙ සමාගමය ඉතා මහතැ. ඇපි පසු වුම්හ. පසු වූවන් සිටුනා අවකාශයෙක් ලැබෙන්නෙ නොවෙයි. එ බැවින් ඇපි බුදුන් සඟුන් ගෙ ගුණ වනා එකෙකි ගාථා[84] බැඳැ-ගෙනැ යම්හ. එ සමාගමයට අප ගිය බව් දන්වම්හ”යි එකෙක පැදුන් සක්වළ මුව විටියෙහි බට. එකෙක් දකුණු සක්වළ මුවවිටියෙහි බට. එකෙක් පැළ සක්වළ මුවවිටියෙහි බට. එකෙක් උතුරු සක්වළ මුවවිටියෙහි බට.
පැදුන්[85] සක්වළ මුවවිටියෙහි බට බඹ, නිලකිසුණුසමවත් සමවැද නිල් රස් විහිදැ, දස දහසක්[86] සක්වළැ දෙව්බඹුන් ඉඳු නිල්මිණි කවජ පොරොවන්නක්හු[87] සෙයින් තමා ආ පරිදි දන්වා, බුද්ධවීථියැ කිසි කෙනෙකුන් සිටුනට නොපොහොසත් බැවින්, පාළ මහත් බුද්ධ[88] වීථීන් අවුදු බුදුන් වැඳැ එකත් පස් වැ සිටැ “මහාසමයො පවනස්මිං” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්[89] ගුණ වනා පැදුන් සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.
දකුණු සක්වළ මුවවිටියෙහි බට බඹ, පීතකිසුණු සමවත්[90] සමවැදැ රන්වන් රස්[91] විහිදැ, දස දහසක් සක්වළැ දෙව්බඹුන් රන්පට පොරොවන්නක්හු සෙයින්, තමා ආ බව් දන්වා බුද්ධවීථීන් අවුදු, බුදුන් වැඳැ එකත් පස්වැ සිටැ, “තත්‍ර භික්ඛවො සමාදහංසු” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්6 ගුණ වනා දකුණු සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.[92]
පැළ සක්වල මුවවිටියෙහි බට බඹ, ලොහිත කිසුණු සමවත් සමවැද රත් රස් විහිදැ දස දහසක් සක්වළ දෙව්බඹුන් උතුම් රත්පලස්පට[93] පොරොවන්නක්හු සෙයින්, තමා ආ බව් දන්වා බුද්ධ වීථීන් අවුදු, බුදුන් වැඳැ එකත් පස් වැ සිටැ “ඡෙත්වා ඛීලං” යනාදි ගාථායෙන් බුදුන් සඟන් ගුණ වනා පැළ සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.
උතුරු සක්වළ මුවවිටියෙහි බට[94] බඹ, ඔදාතකිසුණු සමවත් සමවැද සුදු රස් විහිදැ, දස දහසක් සක්වළ දෙව් බඹුන් සමන් මල්පට පොරොවන්නක්හු සෙයින් තමා ආ බව් දන්වා බුද්ධිවීථින් අවුදු බුදුන් වැඳැ එකත් පස් වැ සිටැ “යෙ කෙචි බුද්ධං සරණං ගතා සෙ” යනාදි ගාථායෙන් බුදුන් සඟුන්[95] ගුණ වනා, උතුරු සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.
බුදුහු බලන්නාහු, පොළොතෙලෙහි පටන් - ගෙනැ සක්වළ මුවවිටි පර්යන්ත[96] කොටැ අකනිටා බඹලො[97] දක්වා සිටි දෙවතාසන්නිපාත දැකැ, “මෙ දෙවතාසමාගමය ඉතා මහතැ. මහණහු, “මෙසෙ මහත් දෙවතාසමාගමයෙකැ” යනු නො දන්ති. ඔව්නට කිව මැනැවැ”යි, “මහණෙනි, දස දහසක් සක්වළ දෙව්බඹහු බුදුන් සඟුන් දක්නට ආවාහැ. අතීතයෙහි වූ තාක් බුදුනට මෙ මැ පමණ[98] දෙවතාසන්නිපාත වී යැ; අනාගතයෙහි වන තාක්[99] බුදුනට මෙ මැ දෙවතාසන්නිපාත වෙයි; යම්සෙ මට දෙවතාසන්නිපාත වී දැ!”යි වදාළහැ. දැන් අනෙක් බුදු කෙනෙකුන් නැත්තෙන් තුන් වන වරැ නො වදාළො.[100]
එකල්හි බුදුහු “මහණෙනි, තොපට දෙවියන්ගෙ නම් ගොත් කියමි”යි වදාළහ. එ සඳැ දෙවිායො “මෙසෙ මහත් සමාගමයෙහි බුදුහු මහෙශාඛ්‍ය වූ දෙවියන් ගෙ නම් ගොත් කියත් මිසැ,[101] අල්පෙශාඛ්‍ය වූ දෙවියන්ගෙ නම් ගොත් කුම් කියත් දැ!”යි සිතුහු. බුදුහු ඔවුන්ගෙ අදහස් දැනැ, “දස දහසක් සක්වළින් ආවා වූ අල්පෙශාඛ්‍ය මහෙශාඛ්‍ය හැම දෙවියන්ගෙ නම් ගොත් කියමී” සිතුහු. සිතා බුදුහු හැම[102] තන්හි නො පැකිලැ පවත්නා අනාවරණ නුවණ ඇති වන බැවින්, දෙවියන් හැමදෙනා භව්‍ය අභව්‍ය විසින් දෙ කොටසක් කොටැ අභව්‍යයන් හැරැ භව්‍යයන් ගෙනැ, ඔවුන්ගෙ චර්යානුකූල ධර්ම දෙසුන් ව්‍යවස්ථා[103] කොටැ, “මොහු ආත්මාධ්‍යාශය විසින් දෙසු කලැ දන්ති හො!
පරාධ්‍යාශය විසින් දෙසූ කලැ දන්ති හො!” යි බලනුවො, පරාධ්‍යාශය විසින් දෙසු කලැ දන්නා බව් දැකැ, “මෙහි දෙවියන් ගෙ අදහස් දැනැ චර්යානුකූල කොටැ පැනැ පුළුව්ස්නට නිසියෙක් ඇති හො!” යි බලනුවො, පන්සියක් සඟුන් කෙරෙහි එක් කෙනකුදු එයට නොනිසි බව් දැනැ සඟුන් කෙරෙහි එක් කෙනකුදු එයට නොනිසි බව් දැනැ අසූ මහසව්වන් දෙ අගසව්වන් බලා උනුත් නොනිසිසෙ දැකැ, “ඉදින් පසෙබුදු කෙනෙක් ඇත් නම්, ඔහු නිස්සහ හො!”යි බලන්නාහු, උනුත් එයට නොනිසිසෙ දැකැ, “ශක්‍රසුයාමාදි දෙවියන් කෙරෙහි යමෙක් නිසි වී නම්, උහු ලවා පැන විසජවමී”[104] බලනුවො, ඔව්නුදු කෙරෙහි කිසිවක්හු නොහැකිසෙ දැකැ, “මාසෙ මැ බුදු කෙනෙක් වූ කල නිස්සහැ. කිසි තැනෙක්හි බුදු කෙනෙක් ඇති හො!”යි අනන්තාපරිමාණ ලොකධාතුව අනන්ත නුවණ පතුරුවා බලන්නාහු, යම් තැනෙකැ අනෙක් බුදු කෙනෙකුන් නුදුටුහු නො දැකැ, ඉදින් “මම් මැ පිළිවිසැ[105] මම් මැ විසජන්නෙම්[106] වීම් නම්, එසෙ ද කලැ මෙ දෙවියො අධිගම කරන්නට නොනිස්සැහැ අනෙක් බුදු කෙනකුන් පුළුවුස්නා කලැ, මා විසජන කලැ ප්‍රතිවෙධ කරන්නට නිසි වෙති. එබැවින් නිර්මිත බුදු කෙනෙකුන් මැවුව මැනැවැ”යි අභිඥාපාදකධ්‍යාන සමවැදැ එයින් නැඟී, පාසිවුරු ගැන්මුදු ආලොකන විලොකන දු පර්වයන් ගෙ[107] සංකොචන[108] ප්‍රසාරණ දු මා වැනි වෙව”යි කමවැජැරි සිතින්[109] පිරියම් කොටැ, පැදුන් යුගඳුරු මුදුනෙන් නැඟෙන සඳමඬල[110] බිඳැ නික්මෙන වන් කොටැ රූපාවචර සිතින් ඉටුහු.
දෙවියො එ දැකැ, “අනෙක් සඳෙක් නැඟෙ”යි කීහු. සඳ පියා එත් එත්, “සඳ නොවෙයි; එක් හිරෙක් නැඟෙයි” යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, හිරෙක් නොවෙයි; එක් දිව්‍ය විමානයෙකැ”යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, ‘දිව්‍ය විමානයෙක් නොවෙයි; එක් දිව්‍ය පුත්‍රයෙකැ”යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, “දිව්‍ය පුත්‍රයෙක් නොවෙයි. එක් මහබඹෙකැ”යි කීහු. වැළි දු ආසන්න වැ එත් එත්, “මහබඹෙක්[111] නොවෙයි. අනෙක් බුදු කෙනෙකැ”යි කීහු. එහි පුහුදුන්[112] දෙවියො, “එක් බුදු කෙනෙකුන්ගෙ මෙබඳු දෙවතාසන්නිපාත වන කලැ, දෙ බුදු කෙනකුන් ගෙ මැ දෙවතාසන්නිපාත කිසෙ මහත් වෙයි හො!” යි සිතුහු. ආර්යය දෙවියො වූ කල, “එක කාලයෙහි දෙ බුදු කෙනෙක් නම් නොවෙති. එකාන්තයෙන් බුදුන් තමන් හා සම අනෙක් බුදු කෙනකුන් මැවුසෙ යැ”යි[113] සිතුහු.
එකල්හි දෙව්පිරිස් දක්නා සෙ මැ නිර්මිත බුදුහු අවුදු, බුදුන් නොවැඳ මැ පෙරට සම සම කොටැ මැවු අස්නෙහි වැඩැහුන්හු. බුදුනුදු ගෙ[114] දෙතිස් මහපුරිස්ලකුණැ,[115] නිර්මිත බුදුනුගෙ දෙතිස් මහපුරිස්ලකුණැ. බුදුන් සිරිරින් සවනක් රස් නික්මෙයි. නිර්මිත බුදුනුදු[116] සිරිරින් සවනක් රස් නික්මෙයි. බුදුන් ගෙ ශරීරයෙන් රස් නික්මැ නිර්මිත බුදුන් ගෙ ශරීරයෙහි පහරි. නිර්මිත බුදුන් ගෙ ශරීරයෙන් රස් නික්මැ බුදුන් ගෙ ශරීරයෙහි පහරි. දෙ බුදුන් ගෙ ශරීරයෙන් නික්මුණු රස්හු අකනිටා බඹලො දක්වා නැඟි බව අග මැඬැ, සළා දී බැහැ, සක්වළ ගල් මුඳුනෙහි පැහැරැ, පොළො තෙලෙහි ගැසී, දස දිසා පහයමින් වඩිත්. සියලු සක්වළ ගබ රුවන්මුවා වක්ගොවනැස් ඔත් දාගෙකක්[117] සෙයින් දිලියෙ.
දස දහසක්[118] සක්වළැ දෙවියො එක් සක්වළැ[119] රැස් වූවාහු, දෙ බුදුන් ගෙ රශ්මිගර්භ අතුරෙහි වැදැ සිටියො. නිර්මිත බුදුහු වැඩැ හිඳුනාහු මැ, “පුච්ඡාමි මුනිං මහානුභාවං” යන ගාථායෙන් බුදුන් බොපලග්හි සව් කෙලෙස් පැහැ[120] පිරිසිදු වූ සෙයට ස්තොත්‍ර කෙරෙමින් වැඩැහුන්හු.
එ සඳ බුදුහු දෙවියනට සොම්නස් ජනවනු සඳහා, “මහණෙනි, දෙවියන් ගෙ නම් ගොත් කියමි. දිව ඇසින් දෙව්පිරිස් බලව”යි වදාළහැ. සඟහු දිව ඇසින් බලන්නාහු, දෙව්පිරිස් දුට්හු.[121] එකලැ බුදුහු, “මහණෙනි, මෙ කිඹුල්වත් මහවනයෙහි දස දහසක් සක්වළැ දෙවියො අවුදු බුදුන් සඟුන් වැඳ සතුටු සොම්නස් වැ දිලී[122] සිටියහ”යි වදාරා, එමැ නියායෙන් දස දහසක් සක්වළැ භුමදෙවියන් රුක් දෙවියන් දියෙහි තෙලෙහි ගලැ අහසැ දෙවියන් ගෙ නම් ගොත් වදාළො. එක්බිති “මහණෙනි, දස දහසක් සක්වළැ දියරට්[123] නම් දස දහසක් වරම් රජහු ඇති. ඔහු හැමදෙන කෙළසුවහස් කෙළසුවහස්[124] ගඳැවි[125] දෙවියන් පිරිවරා අවුදු පැදුන් දෙසෙහි මෙ වනයෙහි පටන්-ගෙනැ සක්වළ ගබ පිරි සිටියහැ. දස දහසක් සක්වළැ විරූළ්හ නම්, විරූපක්ඛ නම්, කුවෙර නම් දස දහස් දස දහස් වරම් මහරජහු ඇති. ඔහු හැම දෙන කෙළසුවහස් කෙළසුවහස් කුම්භාණ්ඩයන් නාගයන් යක්ෂයන් පිරිවරා අවුදු දකුණු දෙසෙහි පැළ දෙසෙහි උතුරු දෙසෙහි මෙ වනයෙහි පටන්-ගෙනැ සක්වළ ගබ පිරී සිටියාහැ. ඔහු හැම දෙන ගල් මුඳුනෙහි දිලියෙන ගිනිකඳ සෙයින් දිලියෙති.
“වත්තාරො තෙ මහාරාජා
සමන්තා චතුරො දිසා,
දද්දල්ලමානා අට්ඨංසු
වනෙ කාපිලවත්‍ථවෙ”යි
“මහණෙනි, දස දහසක් සක්වළැ නාගයන් හා සුපර්ණයො අසුරයන් හා දෙවියො, නෑයන් හා මිත්‍රයන් සෙයින්, සිනිඳු සිතින් මියුරු බස් බැණැ අත අල්ලා[126] - ගෙනැ සිපැ - ගෙනැ දසරියෙහි අත් නඟා-තබා සතුටු සොම්නස් වැ බුදුන් සරණ ගියහැ. දස දහසක් සක්වළැ දස දහසක් දෙව්රජහු[127] ද, දස දහසක් සුයාම දෙවරාජයො ද, දස දහසක් සන්තුෂිත[128] දෙවරාජයො ද දස දහසක් සුනිර්මිත[129] දෙවරාජයො ද, දස දහසක් පරනිර්මිත[130] දෙවරාජයො ද, වෙන වෙන අනන්තා පරිමාණ දෙවියන් පිරිවරා අවුදු, මෙ වනයෙිහ පටන්-ගෙනැ සක්වළ ගබ පිරි සිටියහැ. එක් ඇඟිල්ලක් නඟා දහසක් සක්වළ, දස ඇඟිල්ලක් නඟා දස දහසක් සක්වළ, පහන් කරන්නට නිසි සනත්කුමාරාදි දහස්[131] බඹහුද්, හාරිතාදි සුවහස්[132] බඹහුද්, අනන්තාපරිමාණ බඹුන් පිරිවරා අවුදු, මෙ වනයෙහි පටන්-ගෙනැ සක්වළගබ පිරී සිටියාහැ. දස දහසක් සක්වළැ දුතියජ්ඣන[133] තලවැසි, තතියජ්ඣන[134] තල වැසි, සියුතජ්ඣන්[135] තල වැසි, සුද්ධාවාස වැසි මහබඹහු අනන්තාපරිමාණ බඹුන් පිරිවරා අවුදු මෙ වනයෙහි පටන් ගෙනැ සක්වළ ගබ පිරී සිටියාහැ.
“මහණෙනි, මර දෙව්පිත් අතිමහත් දෙවතාසන්නිපාත දැකැ, ඔව්නට අභිසමයාන්තරාය කටටි වැ, අත්ලෙන් පොළො තෙලෙහි පැහැරැ, මාර ගර්ජනා කොටැ, මර සෙනඟ හා සමඟ අවුදු, අනෙකප්‍රකාර විභීෂිකා දක්වයි. දෙවියො මාගෙ අනුභාවයෙන් උහු ගෙ රූප නොදක්ති. හඬ නො ද අසති”යි වදාළො. බුදුහු, යම් තැනෙකැ අභිසමය නොවෙ නම්, මාර විභීෂිකා නො වළකති. යම් තැනෙකැ අභිසමය වෙ නම්. යම්සෙ පර්ෂද් ඔහුගෙ රූප නො දකිත් ද, ශබ්ද නො අසද් ද, එසෙ ඉටත්. මෙ සමාගමයෙහි වූ කල මහාභිසමය වෙයි. එයින් “දෙවියො මරහු ගෙ රූප නො දකිත්වයි; හඬ නො අසත්ව”යි ඉටුහු. සඟහු ඵලසමවත් සමවන්හු. එකල්හි මර දෙව්පිත් යම් කෙනෙක්නට දු භය නැතිසෙ දැකැ, සඟුන් අරභයා බුදුනට මෙ ගය කී:
“සබ්බෙ විජිතසඞ්ගාමා
භයාතීතා යසස්සිනො,
මොදන්ති සහ භූතෙහි
සාවකා තෙ ජනෙසුත”යි
බුදුන් මෙ මහසමාම්සුත[136] දෙසූ කලැ කෙළ ලක්‍ෂයක් දෙවියො බඹහු රාත් වූහු. අසඞ්ඛ්‍යයක් දෙවියො බඹහු සොවාන් සෙදැගැමි අනැගැමි වූහු. මෙ සුත දෙවියනට
ප්‍රිය යැ. එබැවින් මඟුලෙහි කිය යුතු. දෙවියො, “මෙ සුත අසම්හ”යි කන් රුකොටැ-ගෙනැ* ඇවිදිත්. මෙ සුත දෙවියනට ප්‍රිය පරිදි කිසෙ යැ යත්:
කෙළපවු වෙහෙරැ නාලෙනදොරැ නා රුකැ එක් දෙව් දුවක් වෙසෙයි. එක් ළදරු පැවිජි කෙනෙක් ඇතුළු ලෙනැ හිඳැ මෙ සුත පිරිවහති. දෙව්දු අසා, සමහරයෙහි[137] මහත් කොටැ සාධුකාර දුන. පැවිජ්ජො, “තො[138] කවරහු[139]?” යි කීහු. “වහන්සෙ, මම් දෙව්දුවක්මු[140]”යි කිවැ.[141] “කුමට සාධුකාර දුන්හු?” යි කීහැ. “වහන්සෙ, බුදුන් මහවනයෙහි වැඩැ හිඳැ මෙ සුත දෙසන දවස් ඇසිමි. දැන් අද ඇසිමි. බුදුන් වදාළ නියායෙන් එක් අකුරකු දු නො පිරිහෙළා ගත් දෑ යැයි” කිවැ. “තො මෙ සුත බුදුන් දෙසන්නා ඇසුහුදැ?”යි කීහ. “ඇසිමි; වහන්සෙ,”යි කිවැ. “එ කල්හි දෙවතාසන්නිපාත ඉතා මහතැ. තො කො තැනැ සිටැ ඇසුහු?”යි[142] කීහ. “වහන්සෙ, මම් මහවනයෙහි දෙව්දුවක්මු.[143] මහෙශාඛ්‍යදෙවියන් එත් එත්, දඹදිවැ සිටුනා[144] අවකාශ නො ලදිමි. මෙ ලක්දිවට අවුදු, දඹුල් තොටැ සිටැ අසන්නට වන්මි. එහි දු මහෙශාඛ්‍ය දෙවියන් එත් එත්, අනුක්‍රමයෙන් පසු පස්සෙන් බස්මින් අවුදු, රුහුණු දනවියෙහි[145] මහගම් පිටිපසැ ගොළුමුහුදැ[146] ගල පමණ දියට බැසැ, එහි සිටැ ඇසිමි”යි කිවැ. “තී සිටි තැන් දුරැ බුදුන් දුටුහු දැ?”යි කීහ. “කුමක් කියව? වහන්සෙ, බුදුහු කිඹුල්වත් මහ වනයෙහි වැඩැහිඳැ ධම් දෙසන්නාහු, නිරන්තරයෙන් මා මැ බලතී හඟනෙයිම්[147] විලි ඇති වැ රළ මුවහ වීමි”යි කිවැ. “එ දවස් කෙළ සුවහස් දෙවියො රාත් වූහු. තො ද රාත් වූහු දැ?”යි කීහ. “නැති; වහන්සෙ”යි කිවැ. “අනැගැමි වූහු දැ?”යි කීහ. “නැති; වහන්සෙ” යි කිවැ. “සෙදැගැමි වුහු දැ?යි” කීහ. “නැති; වහන්සෙ”යි කිවැ. “තුන් මඟ තුන් පල පත් දෙවියො ගණනපතාතික්‍රාන්තයහ. ‘තො සොවන්හු,[148] යි සිතුයෙමි”යි කීහ.
දෙව් දු එ දවස් තමා සොවන් නු වු සෙයට ලජ්ජා ඇති වැ, “වහන්සෙ, නුපුළුවුත[149] මනා දැයක් පුළුවුස්නා දෑ යැ” කිවැ. එකලැ පැවිජ්ජො, “තී දැක්කැටියම්හ” යි කීහ. “වහන්සෙ, සියල් සිරිරු[150] නො දැක්විය හැක්කැ.[151] ඇඟිලි පර්වයක්[152] වහන්සේට දක්වමි”යි කෙසි විදින් ඇඟිල්ල[153] ඇතුළු ලෙනට කළා. සඳ දහස් හිරි දහස් නැඟි කලක් වැනි වි යැ. දෙව් දු, “නොපමා වන්නෙ යැ, වහන්සෙ”යි ළඳරු පැවිජ්ජන් වැඳැ ගියා මෙසෙ මෙ සුත දෙවියනට ප්‍රිය යැ. මන වඩයි. දෙවියො, “අප ගෙ සුත යැ” යෙත්.
මෙසෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් පන්සියක් ශාක්‍ය භික්‍ෂුනුදු ආදි ශබ්දයෙන් ගත් අනෙසිය දහස් උත්කණ්ඨිත භික්ෂුනුදු දමා අමා මහනිවනින් පැමිණිවූහු.
භික්‍ෂුදමන නම් තෙලෙස් වන පරිච්ඡේදය නිමි.
-
ගඟෙක් (ගඟක්) එක අවුණක් (අවුණෙක්), ගඟෙක් අවුණෙන් ↑
-
ගෙවී ↑
-
ඉදින්, නෙදින් ↑
-
මැඩුම්, මැඩුවම් ↑
-
මලුපස් ↑
-
ඔවු ↑
-
කීවා නොදෙම්හයි ↑
-
අනෙකක්හු ↑
-
කෙරෙති ↑
-
බලුසිවල් ආදීන් ↑
-
තමතමා, තමතමන් ↑
-
වාසය ↑
-
බුහුරුරුක්හි ↑
-
එකල්හි ↑
-
රජහට ↑
-
බල ↑
-
මුළුලෝ-මු: ↑
-
නික්මුණුසෙ ↑
-
සන්සිඳී හොයි බලනුවො ↑
-
පන්සියයෙකින් ↑
-
කුමරුන්, කුමරුවන් ↑
-
උන් ↑
-
සහා, හාසා ↑
-
නික්මුණු හැම ↑
-
සහරජ කුලට ↑
-
සිළුමිණක් ↑
-
බදහ ↑
-
පියත් ↑
-
බුදුන් සිරිත් ↑
-
ආවම්හ, ආවාම්හ ↑
-
වටිති ↑
-
වුහු නම් ↑
-
පැවැත්වූ වා (ව) ම්හ ↑
-
ලදුම්හ ↑
-
පිරිවර ඇති ↑
-
දහසින් ↑
-
දවසක්, දවසෙක, දවක් ↑
-
කිඹුල්වත්පුර ↑
-
රජ (ජ) වරහු, රජවරොධ්හු-මු ↑
-
පිණිස නියායෙන් ↑
-
අනභිරති ↑
-
දුටුහු දුට්හු ↑
-
පිහිටුව ↑
-
දුටුවිරුදැයි ↑
-
යා දැ යි, ↑
-
දු ↑
-
ගොඩ ↑
-
සත්රුවන් ගල් ↑
-
ඇති වූයෙය ↑
-
රත් ↑
-
සඟුන් ගෙනැ ↑
-
මිණිඅතුලෙහි ↑
-
පිරිවරා ↑
-
කුණහල්දහ තෙළෙහි ↑
-
සියක් ගාථායෙන් ↑
-
මහනුවණින් හා ස (සැ) ම ↑
-
මහණහට ↑
-
වනයට ↑
-
ඇරැ ↑
-
එති, සාඑති ↑
-
පියෙසන් ↑
-
විසාල, විසල ↑
-
වසන දවියන් ↑
-
පුබුදුවුහ-මු ↑
-
පිළිවුදු පිළිබුදු ↑
-
බුදුගුණ ↑
-
මාවත, වත, වන ↑
-
බොජුන් හල් සෙයින් ↑
-
අතුට-මු ↑
-
නැති හෙයින් ↑
-
දෙනෙ ↑
-
පිළිවුත්, පිළිවුත් දු ↑
-
පිළිගතැ ↑
-
වනයෙහි ↑
-
රජකුමරියක් ↑
-
හඬපන්සියෙනි-හැම ‘සද්දන්තර අඩ්ඪගාවුත්’ - අටුවා ↑
-
දහසක් හැම ‘ඡ්න්තවුතියා පට්ටනකොටිසතසහස්සෙසු’ - අටුවා ↑
-
පනස්, තෙපන සක්-මු ↑
-
අපරගොදා (ධා) න ↑
-
දැයි ↑
-
මහෙශාක්‍යදෙවි (යන්) ↑
-
බැගින් ↑
-
කොයි, කොය ↑
-
ගාථාව ↑
-
පැදුම් ↑
-
දහසක් ↑
-
පොරොවන්නක් ↑
-
මඟක් බඳු බුදු ↑
-
සඟුන්ගෙ ↑
-
සමාපත්තියට ↑
-
රන්වන් ↑
-
සිටියෙයි ↑
-
රත්පලස් ↑
-
සිටි ↑
-
යනාදීන් ↑
-
පරියන්ත ↑
-
අකනිටා බඹ ↑
-
මෙපමණ ↑
-
වූතාක් ↑
-
නො වදාළහ ↑
-
කියන්නට ↑
-
තමන් හැම ↑
-
වැවස්ථා ↑
-
විසජමි ↑
-
මම් පිළිවිස ↑
-
විසජනුමෙන් ↑
-
පර්වතයන්ගෙන් ගෙන, පර්වත (න) යන් නෙගෙ ↑
-
සංකොටන ↑
-
කමවැදිරිසිතින් ↑
-
සඳමඬලක් ↑
-
මහබඹ ↑
-
බුදුන් ↑
-
මැවුයේ යි, ↑
-
බුදුහුනුදුගෙ ↑
-
ලකුණු ↑
-
බුදුසිරිරින්, බුදුන් සිරිරින් ↑
-
ගෙයක් ↑
-
දසදහස්-මු: ↑
-
සක්වළට ↑
-
සහ, පහයා, පහා, සහය; ↑
-
දුට්හ, දුටුහු ↑
-
දිලිහි ↑
-
දියරට ↑
-
කෙළසුවහස් කෙළසුවහස් ↑
-
ගඳවි, ගඳවු ↑
-
අල්වා ↑
-
සක්දෙව් රජහු ද ↑
-
සන්තුසිත ↑
-
සුනිම්මිත ↑
-
පරනිම්මිත ↑
-
දහස් දහස් ↑
-
සුවහස් සුවහස් ↑
-
දුතියජ්ඣාන ↑
-
තතියජ්ඣාන ↑
-
සිවුතජ්ඣන්, චතුත්‍ථජ්ඣාන ↑
-
මාසමාම්සුත, මහාසමාග (හ) ම් සුත, මහාසමයසුත. ↑
-
සමහාරයෙහි, සමාහාරයෙහි ↑
-
තොහො ↑
-
කවරහ ↑
-
දෙව් දුවක්මි ↑
-
යූ, කීහ ↑
-
ඇසුදැයි, ඇසුවාහුයි ↑
-
දෙව්දුවකමි ↑
-
සිටිනා ↑
-
දනව්වෙහි, දනව්යෙහි ↑
-
ගොළුමුහුදු ↑
-
හඟනෙයින් (ඉන්) * කන්කුරු-මු: 89 පිටැ “කන් හුරු කොට ගෙන” යනුදු මෙ ලෙස සළකන්නෙ යැ. ↑
-
තී සෝවාන් වුහුයි ↑
-
නො පුළුවුස ↑
-
සිරුරු ↑
-
නො දැක්කැ හැක්ක ↑
-
පර්ව (බ) තයක් ↑
-
ඇඟිල්ලක් ↑