උපචය ය, සන්තති ය, ජරතා ය, අනිච්චතා ය යන මේ සතර ලක්ෂණ රූපයෝ ය. සියලු ම රූප කලාපවලට ඉපදීමය, දිරීමය, බිඳීමය කියා ලක්ෂණ තුනක් ඇත්තේ ය. ලක්ෂණ රූපයයි කියනුයේ ඒ ලක්ෂණ වලට ය. රූප කලාපයක ඉපදීම ඒ රූප කලාපය ම නොව අනිත් ක්‍රියාවෙකි. රූප කලාපයක දිරීම ද ඒ රූප කලාපයෙන් අන්‍ය ක්‍රියාවෙකි. රූප කලාපයක බිඳීම ද ඒ රූප කලාපයෙන් අන්‍ය ක්‍රියාවෙකි. ඉපදීම්, දිරීම්, බිඳීම් තුන අන්‍ය රූපයන්ගේ ලක්ෂණයන් වුව ද කියන ලද පරිදි ඉපදෙන දිරන බිඳෙන රූපයන්ගෙන් අන්‍ය වූ ක්‍රියා තුනක් වශයෙන් ලැබෙන බැවින් ඒ වෙන් වෙන් වූ රූප තුනක් සැටියට ගනු ලැබේ. රූප ලක්ෂණ තුනක්ව තිබිය දී ලක්ෂණ රූප සතරක් වී තිබෙන්නේ උත්පාද ලක්ෂණය රූප දෙකක් වශයෙන් ගන්නා ලද හෙයිනි. ප්‍රථමයෙන් ඉපදීමය, වැඩීමය, වැඩී පැවැත්මය යි රූප පිණ්ඩයන්ගේ අවස්ථා තුනක් ඇත්තේය. රූප පිණ්ඩයයි කියන ලදුයේ රූප කලාප සමූහ වූ සත්ත්ව ශරීරාදියට ය. මව් කුසයෙන් උපදනා සත්ත්වයනට පිළිසිඳ ගන්නා අවස්ථාවේදී කායදසකය, භාවදසකය, වස්තු දසකය යන රූප කලාප තුන පළමුවෙන් පහළ වේ. ඉන් පසු ඒවා මතුයෙහි තවත් බොහෝ රූප කලාපයන් පහළ වීමෙන් සත්ත්වයාගේ වැඩීම වේ. ක්‍රමයෙන් වැඩෙන ඒ සත්ත්වයා ගේ ශරීරයෙහි පිළිසිඳ ගෙන එකොළොස් වන සතියේ අවසාන දිනයේ දී හෙවත් පිළිසිඳ ගැනීමෙන් සත් සැත්තෑ වන දිනයේ දී චක්ෂුර්දශකය, ශ්‍රෝත දශකය, ඝ්‍රාණ දශකය, ජිහ්වා දශකය යන රූප කලාප සතර ද පහළ වීමෙන් වැඩීම අවසන් වේ. මෙහි වැඩීමේ අවසානයයි කියනුයේ ශරීරයක ඇතිවිය යුතු රූප පරම්පරාවන් සම්පූර්ණ වීමට ය. මව්කුස පිළිසිඳ ගන්නා මනුෂ්‍යයාට ඒවා සම්පුර්ණ වන්නේ සත් සැත්තෑවන දිනයේ ය. ස්වල්ප කාලයකින් මව් කුසයෙන් බිහි වන මන්දායුෂ්ක සත්ත්වයනට ආයතන සම්පූර්ණ වීමට එපමණ කාලයක් ගත නො වේ. උපචය යන වචනයෙහි අර්ථ දෙකකි. පළමුකොට ඉපදීමය යනු එයින් එක් අර්ථයෙකි. උපන් රූප මතු මතුයෙහි ඉපදීමය යනු තවත් අර්ථයෙකි. මව්කුස පිළිසිඳ ගන්නා සත්ත්වයනට පළමුකොට පහළ වන්නා වූ කාය භාව වස්තු දශක කලාපයන්ගේ උත්පාදය පළමු කොට ඉපදීමය යන අර්ථයෙන් උපචය නම් වේ. එතැන් පටන් චක්ෂුර් ශ්‍රෝත ඝ්‍රාණ ජිහ්වා දශකයන් පහළ වන තෙක් උපදනා රූපයන්ගේ උත්පාදය මතු මතුයෙහි ඉපදීමය යන අර්ථයෙන් උපචය නම් වේ. සංසේදජ සත්ත්වයන්ගේ හා ඕපපාතික සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධික්ෂණයෙහි පහළ වන රූපයන්ගේ උත්පාදය පළමු කොට ඉපදීමය, වැඩීම් වශයෙන් ඉපදීමය යන අර්ථ දෙකෙන් ම උපචය නම් වේ.
සත්ත්ව සන්තානයක ඇති විය යුතු රූප පරම්පරා සියල්ල සම්පූර්ණ වීමෙන් පසු ඒ රූප පිණ්ඩය පවත්නේ පරණ වී නිරුද්ධ වන රූප කලාප වෙනුවට නිරතුරුව ම අභිනව රූප කලාපයන් උපදින බැවිනි. සත්ත්ව සන්තානයේ රූප සම්පූර්ණ වීමෙන් පසු ඒ සන්තානයේ නැවත නැවත උපදනා රූපයන්ගේ උත්පාදය සන්තති නම් වේ. එකක් ම වූ රූපයන්ගේ උත්පාදය උපචය සන්තති වශයෙන් රූප දෙකක් කොට වදාරන ලදුයේ රූප පිණ්ඩයන්ගේ පවත්නා අවස්ථාවේ ඇති උත්පත්තිය ප්‍රකට කරනු පිණිස ය. ප්‍රථමයෙන් පහළ වීම මේ සත්ත්වයනට ප්‍රකට ය. වැඩීම් වශයෙන් අලුත් රූප පහළ වීම ද ප්‍රකට ය. එහෙත් වැඩී පවත්නා අවස්ථාවේ දී ද අභිනව උත්පාදයන් ඇති බව සත්ත්වයනට අප්‍රකට ය. එක ම උත්පාදය මෙසේ, නම් දෙකකින් වදාළ කල්හි පැවැත්වීමේ දී රූපයන්ගේ උත්පාදය ද ප්‍රකට වේ. උපදය සන්තති දෙක ම එක් කොට කියන කල්හි ජාතිරූප යයි කියනු ලැබේ.
මෙතෙකින් කියන ලදුයේ කර්මජ රූපයන් පිළිබඳ උපචය සන්තතීහු ය. චිත්තජ සෘතුජ ආහාරජ රූපයනට පළමු පහළ වීමය, වැඩීමය, පැවැත්මය යන අවස්ථා තුන ඇත්තේ ය. ඒ රූප පරම්පරාවල ද පළමු වන රූපයන් ගේ වැඩීම් වශයෙන් පහළ වන රූපයන්ගේ ද උත්පාදය, උපචය රූපය වශයෙන් ද, පැවැත්මේදී නැවත නැවත උපදනා රූප කලාපයන්ගේ උත්පාදය සන්තති රූපය වශයෙන් ද ගත යුතු ය.
උත්පාදයෙන් පසු රූප කලාපය දිරීමට හැරේ. රූපයන්ගේ දිරීම ජරතා රූපය ය. දිරීමේ අවසානයේ දී රූපය බිඳේ. ඒ බිඳීම අනිච්චතා රූපය ය. රූපයක ආයුෂ චිත්තක්ෂණ සතොළොසකි. එය කුඩාක්ෂණ එක් පනසෙකි, එක්පනසක් ක්ෂණයන්ගෙන් පළමු වන ක්ෂණය රූපයාගේ උත්පාදක්ෂණය ය. පනස් එක්වන ක්ෂණය රූපයා ගේ භංගක්ෂණය ය. එදෑතුරෙහි වූ ක්ෂණ සතළිස් නවය රූපයා ගේ ස්ථිතික්ෂණය ය. ස්ථිතික්ෂණයේ දී රූපය දිරයි. ඒ දිරීම ඇසට පෙනෙන්නක් නො වේ. පළමු පළමු උපන් රූපයන් ගේ දිරීම නිසා ඒ ඒ රූප පරම්පරාවල පසු කාලයේ දී ඇතිවන රූපයෝ දුබල වෙති. ශරීරවල කෙස් ලොම් පැසීම් දත් වැටීම් ඉඳුරන් දුබල වීම් ආදිය සිදු වන්නේ පළමු පළමු උපන් රූපයන් දිරීමේ ඵලයක් වශයෙනි. මේ දිරීම් සෑම වස්තුවක ම ඇතත් රන් රිදී මුතු මැණික් ආදි ඇතැම් වස්තුවල දිරීමේ ලකුණු නො පෙනේ.
රූපයන් අතුරෙන් උපචය සන්තති දෙක්හි ආයුෂය එක් කුඩා චිත්තක්ෂණයෙකි. ජරතාවේ ආයුෂය කුඩා ක්ෂණ එකුන් පනසෙකි. අනිච්චතා රූපයේ ආයුෂය එක් කුඩා ක්ෂණයෙකි. විඥප්ති රූපයන් ගේ ආයුෂය එක් චිත්තක්ෂණයෙකි. (කුඩා ක්ෂණ තුනකි.) විඥප්ති රූප දෙක හා ලක්ෂණ රූප සතර ද හැර ඉතිරි රූප දෙවිස්සෙහි ආයුෂය චිත්තක්ෂණ සතළොසකි.
ආකාශ ධාතුවය, විඥප්ති රූප දෙකය, විකාර රූප තුනය, ලක්ෂණ රූප සතරය යන මේ රූපයෝ අනිෂ්පන්න රූප නම් වෙති. අනිෂ්පන්න රූප යන්නෙහි තේරුම කර්මාදි ප්‍රත්‍යයන්ගෙන් නූපදවනු ලබන රූපයෝය යනුයි. කර්මාදි ප්‍රත්‍යයන්ගෙන් කෙලින් ම උපදවනු ලබන්නෝ මහාභූතයන් ගේ පටන් ආහාර රූපය දක්වා ඇති අටළොස් රූපයෝ ය. ආකාශධාත්වාදි රූපයෝ දශ දෙන මහාභූතාදීන් නිසා උපදනා රූපයෝ ය.
අටවිසි රූපයන් ගෙන් ඇසට පෙනෙන රූප එකකි. එනම් වර්ණ රූපය ය. ඉතිරි රූප සත් විස්ස ඇසට නො පෙනේ. කනට ඇසෙන රූප එකකි. එඑනම් ශබ්ද රූපය ය. ඉතිරි රූප සත් විස්ස කනට නො දැනේ. නාසයට දැනෙන රූප එකකි. එනම් ගන්ධ රූපය ය. ඉතිරි රූප සත් විස්ස නාසයට නො දැනේ. දිවට දැනෙන රූප එකකි. එනම් රස රූපය ය. ඉතිරි රූප සත් විස්ස දිවට නො දැනේ. කයට දැනෙන රූප තුනෙකි. එනම් පඨවි තේජෝ වායෝ යන ධාතු තුනය. ඉතිරි රූප පස් විස්ස කයට නො දැනේ. රූප සියල්ල ම මනෝ විඥානයට දැනේ. මනෝ විඥානයට අවිෂය රූපයක් නැත.
ප්‍රසාදරූප පසය, විෂය රූප සතය යන රූප දොළොස ඔවුනොවුන් ගැටෙන රූපයෝ ය. එබැවින් ඔවුහු ඖදාරික රූප නම් වෙති. ආපෝ ධාතුවය, භාව රූප දෙකය, හෘදය රූපය ය, ජීවිත රූපය ය, ආහාර රූපය ය, පරිච්ඡේද රූපයය, විඥප්ති රූප දෙකය, විකාර රූප තුනය, ලක්ෂණ රූප සතරය යන මොහු නො සැපෙන රූපයෝ ය. ඔවුහු සූක්ෂම රූප නමුදු වෙති. වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, ඕජා රූපය, භූත රූප සතරය යන මේ රූප අට කිසි කලෙක ඔවුනොවුන්ගෙන් වෙන් නොවන බැවින් අවිනිබ්භෝග රූප නම් වෙති.