සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවයයි විරති චෛතසිකයෝ තිදෙනෙක් වෙති. ප්‍රාණඝාතාදි පාපයන් ගෙන් වළක්නා ස්වභාවයෝ විරති නම් වෙති. නොහොත් සත්ත්වයනට ප්‍රාණඝාතාදියෙන් වැළකීමට උපකාර වන්නා වූ ධර්මයෝ විරති නම් වෙති. පාපයෙන් වැළකීම් මාත්‍රය හෝ විරති නම් වේ. විරතිය සාමාන්‍යයෙන් එකක් වුව ද සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය යි ප්‍රභේද හෙයින් තුනක් වේ.
තමන්ගේ කුලය වයස දැනුමැතිකම යනාදිය සලකා සික පද සමාදානයක් නො මැතිව ම වරද කරන්නට සිදුවන අවස්ථාව පැමිණි කල්හි එය නො කර හැරීම සම්පත්ත විරතිය ය. යම්කිසි වරදක් කරන්නට සිදු වී තිබෙන අවස්ථාවේ දී එය තමාගේ කුලපරම්පරාවේ අය විසින් නො කරන ලද්දක් නම් ඒ බව සලකා තමා විසින් ද එය නො කර හැරීම කුලය සලකා පවින් වැළකීම ය. යම් කිසි වරදක් කරන්නට සිදු වී තිබෙන කල්හි මා වැනි වෘද්ධයකුහට මෙබඳු වැඩ නුසුදුසු යයි පව් නො කර හැරීම වයස සලකා පවින් වැළකීම ය. යම් කිසි වරදක් කරන්නට සිදු වී තිබෙන කල්හි තමාගේ දැනුමැතිකම් සලකා මේවා මෝඩයන්ට මිස මා වැනි කාරණාකාරණ දත් කෙනකු විසින් කිරීම සුදුසු නැත යයි පවින් වැළකීම දැනුමැති කම සලකා පවින් වැළකීමය. සම්පත්ත විරතියට උදාහරණයක් වශයෙන් චක්කණ ගේ කථාව ආචාර්‍ය්‍යවරයෝ දක්වති. චක්කණ පෙර ලක්දිව විසූ සිංහල ගොවියෙකි. රෝගාතුර වූ ඔහුග් මවට වෙද මහතා සා මස් දෙන්නට නියම කෙළේ ය. චක්කණ ගේ සහෝදරයා සා මස් සෙවීමට ඔහුට කුඹුරට ගොස් බලන්නට නියම කෙළේය. චක්කණ කුඹුරට ගිය කල්හි ගොයම් පැළ කෑමට ආ සාවෙක් බිය වී වේගයෙන් දුව ගොස් තොණ්ඩුවකට අසු වී හඬ නැඟීය. චක්කණ හඬ ඇසී එහි ගොස් බැඳී උන් සාවා දැක ඌ අල්ලා මවට බෙහෙත් පිණිස මරන්නට සිතා නැවත මව ගේ දිවි රකිනු පිණිස අසරණ සතාගේ දිවි නැසීම නුසුදුසුය යි සිතා හැර දැම්මේය. ඔහු ගෙදර ආ විට සහෝදරයා “සාවකු ලද දැ” යි ඇසූ කල්හි චක්කණ සිදු වූ සැටි සහෝදරයාට කීය. එය අසා සහෝදරයා ඔහුට තර්ජනය කෙළේය. චක්කණ මව සමීපයට ගොස් “මම උපන්දා පටන් මේ වන තුරු දැන දැන ප්‍රාණඝාතයක් නො කෙළෙමි ය. ඒ සත්‍යානුභාවයෙන් මාගේ මව නිරෝගී වේවා” යි සත්‍යක්‍රියා කෙළේය. ඒ සත්‍යානුභාවයෙන් මව නිරෝගී වූවා ය.
සිකපද සමාදන් වූවන් ගේ සිකපද සමාදන් වීමෙහි දී හා ඉන් පසු ද තමා ගේ ජීවිතය ගැන පවා නො සලකා පවින් වැළකීම සමාදාන විරතිය ය. සමාදාන විරතියට උදාහරණයක් වශයෙන් උතුරු වඩුන්නාව නමැති කන්දක විසූ ගොවියකුගේ පුවතක් දක්වා තිබේ. එය මෙසේ ය: උතුරු වඩුන්නාවේ ගොවියා අම්බරිය විහාරවාසී පිංගල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගෙන් සිල් සමාදන් වී ගොවිකම් කළ තැනැත්තෙකි. දිනක් ඔහුගේ ගොනුන් නැති වී උන් සොයනු පිණිස හේ උතුරුවඩුන්නා කන්දට ගියේ ය. එහි දී ඔහු මහ පිඹුරකුට අසු විය. ඔහු අතේ හොඳින් කැපෙන කැත්තක් ද තිබිණ. කැත්තෙන් හිස සිඳ පිඹුරා මරා දමා ගැලවෙන්නට ඔහුට සිත්විය. නැවත ඔහුට ගරු කළ යුතු උතුමකු සමීපයෙන් සමාදන් වූ සිකපද බිඳලීම නුසුදුසුය යි සිතිණ මෙසේ හේ තුන් වර දක්වා සිතා අන්තිමේ දී “සිකපද නො බිඳින්නෙමිය, ඒ වෙනුවට ජීවිතය හරිමිය” යි සිතා නැවතත් සික පද කඩ කරන්නට නො සිතෙනු පිණිස ළඟ තුබූ කැත්ත ඈතට විසි කෙළේය. එකෙණෙහි ම පිඹුරා ඔහු හැර ගියේය.
ආර්‍ය්‍ය මාර්ගය හා සම්ප්‍රයුක්ත විරතිය සමුච්ඡේද විරතිය ය. එය ස්ථිර විරතියකි. එය ඇති වීමෙන් පසු ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ප්‍රාණඝාතාදිය සඳහා සිතකුදු නූපදනේ ය.