කුශල චිත්තය හා අකුශල චිත්තය

කුශලය කුමක් ද? අකුශලය කුමක් ද? ඇතැම් ධර්මයක් කුශල වනුයේ කවර හේතුවකින් ද? ඇතැම් ධර්මයක් අකුශල වනුයේ කවර හේතුවකින් ද? යන මේ කරුණු සාමාන්‍ය ජනයාට අවිෂය වූ ගැඹුරු කරුණු ය. සාමාන්‍ය ජනයා අනුන් කියනු ඇසූ නිසා ඇතැම් කරුණු කුශලයන් වශයෙන් ද ඇතැම් කරුණු අකුශලයන් වශයෙන් ද පිළිගෙන සිටිනවා මිස ධර්මයන් ගේ කුශලාකුශලත්වය ගැන කිසිවක් නො දන්නෝ ය. කුශලාකුශලයන් පිළිබඳව නොයෙක් වාද ඇති වන්නේ ද ඒ නොදැනීම නිසාය. මේවා පිළිබඳ හොඳ දැනුමක් ඇති අය පැවිදි පක්ෂයේ ද සුලබ නො වෙති. කාරණානුකූලව බැලීමෙන් මිස වචනාර්ථානුසාරයෙන් ද මේ ධර්මය තේරුම් නො ගත හැකිය.

ජවන චිත්තයාගේ කුශලාකුශල භාවය සිදු වන්නේ එය හා මිශ්‍ර‍ වන චෛතසික ධර්මයන් ගෙනි. චෛතසිකයන් අතර ඒවා උපදනා සන්තානය දවන තවන පෙළන අශාන්ත ස්වභාවය ඇති චෛතසික කොටසක් වේ. උපදනා සන්තානය පිනවන වඩන සෞම්‍ය චෛතසික කොටසක් ද වේ. ලෝභ ද්වේෂ මෝහාදීහු සන්තානය දවන තවන චෛතසිකයෝ ය. ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා මෛත්‍රී කරුණාදීහු සන්තානය පිනවන සෞම්‍ය චෛතසිකයෝ ය. ද්වේෂ චෛතසිකයා ගේ දවන තවන ස්වභාවය ඉතා ප්‍ර‍කට ය. බලවත් ද්වේෂය ඇතිවූවහු ගේ මුහුණ කළු වේ. ශරීරයෙන් ඩහදිය ගලයි. ශරීරය වෙවුලයි. ඒවා වනුයේ ද්වේෂයා ගේ දැවීම තැවීම නිසාය. රාගය යනු ද ඒ ආකාරය ගත් ලෝභය ම ය, බලවත් රාගය ඇති වූ තැනැත්තේ එය සන්සිඳුවා ගැනීම පිණිස කොතෙක් වුවත් වියදම් කරයි. වෙහෙසෙයි. සමහර විට බොහෝ අන්තරායදායක නපුරු ක්‍රියා ද කරයි. සමහර විට එයින් වන සුළු හානි තබා ජීවිත හානිය ගැනවත් නො තකා ක්‍රියා කරයි. එසේ කරනුයේ ඒ පුද්ගලයාට රාගයෙන් කරන දැවීම තැවීම ඉවසා සිටිය නො හැකි හෙයිනි. මෝඩයෝ මේ රාගය ඉතා උසස් දෙයක් කොට සිතති. “දිව්‍යමය ප්‍රේමය” යි එය වර්ණනා කරති. අකුශල චෛතසිකයන්ට අයත් සෑම චෛතසිකය ම මේ සන්තානය දවන තවන පෙළන ස්වභාවය මඳ වශයෙන් වුව ද ඇත්තේ ය. මඳ වශයෙන් ඇති දවන තවන ස්වභාවය අප්‍ර‍කට ය. ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥා මෛත්‍රී කරුණාදියෙන් යුක්ත සිත් ඇති වන කල්හි පුද්ගලයා ගේ මුහුණ පැහැපත් වෙයි. බබලයි. ශරීරය පිනා යයි. එයින් ඒ ධර්මයන්ගේ සන්තානය පිනවන බවක් ඇති බව ප්‍ර‍කට ය. අකීර්ති තාපසයන්ට තමන්ගේ ආහාරය දන් දී තෙදිනක් නිරාහාර ව විසීමෙන් ද පීඩාවක් නො දැනුනේ ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ පිනවීම නිසා ය. පිරිත් දහම් ඇසීමෙන් රෝග සුව වන්නේ ද ඒ ධර්මය අසන තැනැත්තා ගේ සන්තානයෙහි පහළ වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගෙන් සිත කය පිනවන බැවිනි. කුශලයේ ලක්ෂණය ඉෂ්ට විපාකයක්, සැප විපාකයන් ඇති කරවන බව ය. අකුශලයේ ලක්ෂණය නො මනා විපාකයක් ඇති කරවන බව ය. කරවිල ඇටයට කරවිල කරලක් ම මිස මුද්‍රික ඵලයක් ඇති නො කළ හැකි ය. එසේ ම මිහිරි වූ මිදි ඇටයට මුද්‍රික ඵලයක් ම මිස කරවිල කරලක් ඇති නො කළ හැකිය. එමෙන් දවන, තවන, පෙළන අශාන්ත ස්වභාවය ඇති චෛතසික ධර්මයන් හා සංයෝගයෙන් ඒ ස්වභාවයට පත් සිතකට එවැනි ම අනිෂ්ට ඵලයක් මිස ඉෂ්ට ඵලයක් ඇති නො කළ හැකිය. අනිෂ්ට ඵලයක් ගෙන දෙන බැවින් ලෝභාදියෙන් යුක්ත වූ චිත්තයෝ අකුශලයෝ ය. සන්තානය පිනවන ශ්‍ර‍ද්ධාදි ධර්මයන් ගෙන් යුක්ත වීමෙන් සෞම්‍ය ස්වභාවයට පත් සිතකට ද එබඳු සෞම්‍ය ඵලයක් ඉෂ්ට ඵලයක් ම මිස අනිෂ්ට ඵලයක් ඇති නො කළ හැකි ය. ඉෂ්ට ඵලය ඇති කරන බැවින් ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගෙන් යුක්ත වීමෙන් යහපත් බවට පත් චිත්තයෝ කුශලයෝ ය. ද්වේෂාදී දවන ධර්මයකින් යුක්ත සිතකින් මිස සෞම්‍ය සිතකින් ප්‍රාණයක් නො නැසිය හැකිය. ඒ රෞද්‍ර‍ සිතින් අනාගතයෙහි උපදවන්නේ ද එබඳු ඵලයකි. එබැවින් ප්‍රාණඝාතය අකුශලයකි. අනෙකකුට උපකාරයක් කරන තැනැත්තේ එය කරන්නේ මෛත්‍රී කරුණාදි ධර්මයන්ගෙන් යුක්ත වූ සෞම්‍ය සිතකිනි. ඒ සිතින් අනාගතයෙහි ඇති කරන්නේ ද එබඳු සෞම්‍ය ඵලයෙකි. එබැවින් පරෝපකාරය කුශලයෙකි. මෙසේ ඒ ඒ ධර්මයන්ගේ කුශලාකුශලත්වය, ඒ ඒ ධර්මවල ලක්ෂණයේ සැටියට ම වනු මිස යම් කිසිවකු ගේ නියමයකට අනුව වන්නක් නො වේ. බුදුන් වහන්සේ ඒ කුශලාකුශලයන් තමන් වහන්සේ ගේ නුවණින් දැන ලොවට ප්‍ර‍කාශ කළ සේක.