අරමුණ දැන ගැනීම පිළිබඳ වූ ද, ඒ ඒ ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද අධික වේගයක් හෙවත් අධික වීර්‍ය්‍යයක් ඇත්තා වූ සිත ජවන චිත්තය යි. ඉක්මන් බවට ද ජවය යි කියනු ලැබේ. සිත්වල ඉපදීමේ බිඳීමේ කාලය පිළිබඳ වෙනසක් නැති බැවින් මෙහි ජවය හෙවත් වේගය යි අදහස් කරනුයේ ඉපදීම පිළිබඳ වූ ඉක්මන් බව නොවේ. (මෙය බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන සිටින කරුණකි.) ක්‍රියා සිදු කරන්නා වූ ශක්ති විශේෂයකට ජවය යි ද වේගය යි ද කියනු ලැබේ. එයට වීර්‍ය්‍ය යි කියන්නට ද වටනේ ය. අතින් බරක් ඔසවන්නා වූ තැනැත්තා ගේ අතෙහි බර එසවීමේ වේගයක් ඇත්තේ ය. බර ඉහළ යන්නේ ඒ වේගය හෙවත් තල්ලු කිරීමේ ශක්තිය නිසා ය. බර එසවීමේ දී රාත්තලක් එසවීමට තරම් වූ වේගයෙන් හෙවත් වීර්‍ය්‍යයෙන් රාත්තල් දෙකක් නො එසවිය හැකිය. රාත්තල් දෙකක් එසවීමට රාත්තල ඔසවන වීර්‍ය්‍යයට වඩා අධික වීර්‍ය්‍යයක් තිබිය යුතුය. රාත්තල් තුනක් එසවීමට රාත්තල් දෙක ඔසවන වීර්‍ය්‍යයට අධික වීර්‍ය්‍යයක් තිබිය යුතුය. එබැවින් ක්‍රියා සිදු කිරීමේ වේගය නොයෙක් ප්‍රමාණයෙන් යුක්ත වන්නේ ය. අතෙහි බර එසවීමේ වේගයක් ඇතුවාක් මෙන් ම සිතෙහි ද අරමුණ ගැනීම පිළිබඳ වූ ද, නොයෙක් ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද වේගයක් ඇත්තේ ය. අතෙහි වේගය නොයෙක් තරාතිරමින් යුක්ත වන්නාක් මෙන් ම සිතට ඇත්තා වූ ඒ වේගය ද නොයෙක් තරාතිරම්වලින් යුක්ත වේ. නොයෙක් ප්‍රමාණ වේගයන් ඇති සිත් අතුරෙන් අරමුණු දැනීම පිළිබඳ වූ ද ක්‍රියා සිදු කිරීම පිළිබඳ වූ ද අධික වේගය ඇත්තා වූ සිත්වලට ජවන චිත්තයයි කියනු ලැබේ. වීර්‍ය්‍ය මඳ වූ චිත්තයෝ අජවන චිත්තයෝ ය. ඉහත කී භවාංග චිත්තය අතීත කර්මයාගේ විපාක වශයෙන් නිරුත්සාහයෙන් උපදනා සිතකි. එහි ඇත්තේ මන්ද වේගයකි. එබැවින් එය අජවන චිත්තයෙකි.
ජවන චිත්තය පහළ වන්නේ මෙසේය. කැඩපත ඉදිරියට පැමිණෙන වස්තූන් ගේ ඡායා එහි පහළ වන්නාක් මෙන් ඇස ඉදිරියට පැමිණෙන වස්තූන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. එයට ඇස හා රූපයන් ගේ ගැටීමය යි කියනු ලැබේ. ඇසෙහි ගැටෙන්නා වූ රූපච්ඡායාව එකෙණෙහි ම භවාංග සන්තතියෙහි ද ගැටේ. ඒ හේතුවෙන් භවාංග චිත්තයේ ප්‍රකෘතිය මඳක් වෙනස් වේ. එයට භවාංග චලනය යි කියනු ලැබේ. එයින් භවාංගයන්ගේ පහළ වීම නැවතී චිත්තය සන්තතිය ඇසෙහි ගැටුණ අරමුණ දෙසට යොමු වේ. ඒ යොමු වීම නම් ඇසෙහි ගැටුණු දෙය අරමුණු කරන්නා වූ ගන්නා වූ අළුත් සිතක් පහළ වීම ය. ඒ සිතට “ආවර්ජන චිත්තය” යි කියනු ලැබෙ. ආවර්ජන චිත්තය නිරුද්ධ වනු සමග ම ඇසෙහි ගැටුණ රූපය වඩා හොඳට ගන්නා වූ සිතක් ඇසෙහි ම පහළ වේ. එයට “චක්ෂුර්විඥානය” යි කියනු ලැබේ. දැකීමය පෙනීමය කියනුයේ ද ඒ සිත පහළ වීමටය. එය බිඳුණු වහා ම චක්ෂුර් විඥානයෙන් දුටු සැටියට ඒ රූපය ගන්නා වූ සිතක් නැවතත් පහළ වේ. චක්ෂුර් විඥානයෙන් දුටු රූපය පිළිගැනීමක් වැනි බැවින් ඒ සිතට “සම්පටිච්ඡන චිත්තය” යි කියනු ලැබේ. එයට අනතුරුව ඒ ආරම්මණයේ සැටි විමසන්නා වූ සිතක් පහළ වේ. එයට “සන්තීරණය” යි කියනු ලැබේ. එයට අනතුරුව විමසීමෙන් ලැබෙන ඵලය ගන්නා වූ සිතක් හෙවත් විමසූ දෙයෙහි සැටි විනිශ්චය කරන්නා වූ සිතක් පහළ වේ. එයට “ව්‍යවස්ථාපන චිත්තය” යි කියනු ලැබේ. ඇසෙහි හා භවාංග සන්තතියෙහි රූප ඡායාව ගැටීමේ හේතුවෙන් කෙනකුගේ උත්සාහයෙන් තොරව පිළිවෙළින් මේ සිත් ටික ඉපද නිරුද්ධ වූ පසු ව්‍යවස්ථානය කරන ලද රූපය ඉතා හොඳින් දැන ගන්නා වූ පසු රසය විඳින්නා වූ බලවත් සිතක් පිළිවෙළින් සත් වරක් ම පහළ වේ. ආවර්ජන චිත්තයේ පටන් ව්‍යවස්ථාපන චිත්තය දක්වා පහළ වූ චිත්තයන් ගේ වේගයට වඩා වීර්‍ය්‍යයට වඩා අධික වීර්‍ය්‍යයක් ඇති ව පහළ වූ ඒ චිත්තයට “ජවන චිත්තය” යි කියනු ලැබේ.
ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන මේවා ශ්‍රෝත්‍ර ඝ්‍රාණ ජිහ්වා කාය යන ඉන්ද්‍රියයන්හි ගැටීමෙන් ද කියන ලද පරිද්දෙන් ඒ ඒ ආරම්මණයන් තත්ත්වාකාරයෙන් ගනිමින් ඒවායේ ඉෂ්ටානිෂ්ටාකාරය විඳිමින් ජවන චිත්තය පහළ වේ. ජවනයන් අතර ද ඇති වී අනාගතයට කිසි බලයක් ඉතිරි නොවී අභාවප්‍රාප්ත වන්නා වූ දුබල ජවනයෝ ද වෙති. නැවත නැවතත් ඒ ආරම්මණය භවාංග චිත්ත සන්තතියෙහි ගටා නැවත නැවත බොහෝ ජවනයන් ඇති කරවන්නා වූ බලවත් ජවනයෝ ද වෙති. රුවන්වැලි සෑය දක්නට ගිය තැනැත්තකු සිය ගමට පෙරළා ආ පසු ද එහි දී ඇති වූ ජවනයන්ගෙන් ඉතිරි වූ එක්තරා බල විශේෂයක් නිසා ඔහු ගේ භවාංග සන්තතියට රුවන්වැලිසෑය නැවත නැවතත් යොමු වේ. එයින් ඇසේ සම්බන්ධයක් නැතිව ඒ තැනැත්තා තුළ රුවන්වැලි සෑය අරමුණු කරන්නා වූ ජවනයෝ ඇති වෙති. ඒ ජවනයන්ගේ බලයෙන් සමහර විට ඔහුගේ සන්තානයෙහි නැවතත් රුවන්වැලිසෑය දකිනු කැමැත්ත සහිත වූ එය වඳිනු පුදනු කැමැත්ත සහිත වූ ජවනයෝ පහළ වෙති. ඒවායේ බලයෙන් නැවත රුවන්වැලි සෑය කරා යෑම සිදු කරන්නා වූ එයට වැඳීම පිදීම කරන්නා වූ ජවන චිත්තයෝ පහළ වෙති. මෙසේ අනේක ක්‍රියා සිදු කරන්නා වූ ජවනයෝ පහළ වෙති. පඤ්චද්වාරයන්ගේ සම්බන්ධයක් නැතිව භවාංග සන්තතියට ම අරමුණ යොමු වූ කල්හි එයින් භවාංගය සැලී සන්තතිය සිඳී යොමු වූ අරමුණ පිළිබඳ ආවර්ජන චිත්තය ඇති වූ පසු ජවනය පහළ වේ. සත්ත්වයන් විසින් සිදු කරන ක්‍රියා සැටියට සලකන අනේක ප්‍රකාර ක්‍රියා සිදු වන්නේ ඒ ජවන චිත්තයන් ගෙනි. පින් පව් වනුයේ ද ජවන චිත්තය ම ය. ජවන චිත්තය කුශල ජවන චිත්තය ය, අකුශල ජවන චිත්තය ය, කුශලාකුශල නො වන ජවන චිත්තය යයි තෙ වැදෑරුම් වේ.