කලින් ඇති වූ ගස් පසුව හටගන්නා වූ මල් ගෙඩිවලට උපකාරක වන්නාක් මෙන් පූර්වයෙහි ඉපද පසුව උපදනා ධර්මයන් හට උපකාරක වන ධර්මය පුරේජාත ප්‍රත්‍යය ය. මෙය ආචාර්‍ය්‍යවරයන් අතර මත භේද ඇති තේරුම් ගැනීමට අපහසු ප්‍රත්‍යයෙකි. පුරේජාත ප්‍රත්‍යය වන්නෝ වස්ත්වාරම්මණ ධර්මයෝ ය. පඤ්චාරම්මණය පඤ්ච විඤ්ඤාණ වීථින්ට ද පඤ්ච වස්තු පඤ්ච විඥාන ධාතූන්ට ද, හෘදය වස්තුව මනෝධාතු මනෝ විඥාන ධාතූන්ට ද, පුරේජාත වශයෙන් ප්‍රත්‍යය වේ. පඤ්චාරම්මණය පඤ්ච විඤ්ඤාණ වීථි සිත්වලට ප්‍රත්‍යය වන්නේ ආරම්මණ ශක්තියෙන්ය. වස්තු සය සප්ත විඥාන ධාතූන්ට ප්‍රත්‍යය වන්නේ නිඃශ්‍රය ශක්තියෙන් ය. පුරේජාත භාවය (පෙර හටගත් බව) ඒවායේ ලක්ෂණ මාත්‍රයන් ය, එබැවින් පුරේජාත භාවයෙන් වෙනස් කොට කියන වස්ත්වාරම්මණ ධර්මයෝ ම පුරේජාත ප්‍රත්‍යය ය. “පුරේජාත ශක්තියය කියා විශේෂ ශක්තියක් නැතය” යනු එක් ආචාර්‍ය්‍ය මතයකි. කියන ලද ආරම්මණ වස්තු ධර්මයන් කලින් නො හට ගත හොත් ඒවා අරමුණු කොට උපදනා වූ ද, ඇසුරු කොට උපදනා වූ ද චිත්ත චෛතසික ධර්මයෝ නූපදනාහු ය. ඒ චිත්ත චෛතසිකයන් ඉපදීමට ආරම්මණ වස්තු ධර්මයන් කලින් හට ගෙන තිබිය යුතු ය. ඒවායේ කලින් හටගෙන තිබීම ආරම්මණ ශක්ති නිඃශ්‍රය ශක්තීන්ගෙන් අන්‍ය වූ ශක්ති විශේෂයක් ය” යනු එක් ආචාර්‍ය්‍ය මතයෙකි. විමසා කැමැත්තක් පිළිගනිත්වා.
පුරේජාත ප්‍රත්‍යයේ ත්‍රිරාශිය
වස්තු පුරේජාත ප්‍රත්‍යය, වස්ත්වාරම්මණ පුරේජාත ප්‍රත්‍යය ය, ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය යයි පුරේජාත ප්‍රත්‍යය තෙවැදෑරුම් වේ. එයින් වස්තු පුරේජාත ප්‍රත්‍යය ඉහත කී වස්තු පුරේජාත නිඃශ්‍රය ප්‍රත්‍යය මෙනි. ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයෙහි ත්‍රි රාශිය මෙසේ ය.
වර්තමාන නිෂ්පන්න රූප අටළොස ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය වන ධර්මයෝ ය. පඤ්චවෝකාර භූමියෙහි උපදනා කාම සිත් සිවු පනසය, අභිඥාද්වයය, අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික ප්‍රත්‍යය යන මොහු ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය. ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය නො ලබන අවස්ථාවෙහි වූ ද්විපඤ්ච විඥාන මනෝධාතු වර්ජිත සිත් සසැත්තෑව ය, චෛතසික දෙපනසය, චිත්තජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මේ ධර්මයෝ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීකයෝ ය.
අතීතානාගත රූපයෝ ආරම්මණ පුරේජාත ප්‍රත්‍යය නො වෙති. එබැවින් වර්තමාන රූප පමණක් ගන්නා ලදී. ඒවා පුරේජාත වශයෙන් ප්‍රත්‍ය වන්නේ පඤ්චවිඥාන වීථින්ට හා වර්තමාන රූපයන් අරමුණු කරන ශුද්ධමනෝද්වාර වීථින්ට ය. පඤ්චවෝකාර භූමියෙහි උපදනා කාමාවචර සිත් පමණක් ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් ගන්නා ලද්දේ අරූප භූමියෙහි උපදනා කාමාවචර සිත්වලට පුරේජාත ප්‍රත්‍යය නො ලැබෙන බැවිනි. අභිඥාද්වය යයි සාමාන්‍යයෙන් කියන ලද්දේ වී නමුත් මෙහි ගැනෙන්නේ දිව්‍යචක්ෂු දිව්‍ය ශෝත්‍ර වශයෙන් පවත්නා කුශල ක්‍රියා අභිඥා දෙක ය. සෘද්ධිවිධාදි අභිඥාවන්ට පුරේජාත ප්‍රත්‍යය නො ලැබේ. ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් අප්‍රමාණ්‍ය චෛතසික දෙක නො ගන්නා ලදුයේ ඒවා සත්ත්ව ප්‍රඥප්තිය මිස රූපය අරමුණු නො කරන බැවිනි. රූපය අරමුණු කොට උපදනා සිත්වල ඒවා නො යෙදේ. මේ පුරේජාත ප්‍රත්‍යය ගැන කී කරුණු වැඩි දුරටත් විමසිය යුතු ය.