ඉන්ද්‍රියත්වයෙන් උපකාරක ධර්මය ඉන්ද්‍රිය ප්‍රත්‍යය නම් වේ. ඉන්ද්‍රියත්වය නම් අන්‍ය ධර්මයන් තමාට අනුකූල කරවන බව ය. ඒ අනුකූල කරවීම ඒ ඒ ධර්මය ඉපදීමෙන් පසු කරවන්නක් නොව නූපන් ධර්ම තමාට අනුකූල කොට ඉපද වීමකි. එබැවින් ඉන්ද්‍රිය ප්‍රත්‍යය ජනක ප්‍රත්‍යයෙකි.
ඉන්ද්‍රිය ප්‍රත්‍යයේ ත්‍රි රාශිය
සහජාතින්ද්‍රිය ප්‍රත්‍යයය, පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍යයය, රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යයයි ඉන්ද්‍රිය ප්‍රත්‍යය තෙවැදෑරුම් වේ. එයින් සහජාතින්ද්‍රිය ප්‍රත්‍යයේ ත්‍රි රාශිය මෙසේය.
ජීවිතේන්ද්‍රියය, චෛතසිකයය, චිත්තයය, වේදනාවය, ශ්‍රද්ධාවය, වීර්‍ය්‍යයය, ස්මෘතියය, ඒකාග්‍රතාවය, ප්‍රඥාවය, යන නාමේන්ද්‍රිය ධර්මයෝ සහජාතින්ද්‍රිය ප්‍රත්‍යය ධර්මයෝ ය.
එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනසය, චිත්තජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ රූපය යන මොහු සහජාතින්ද්‍රිය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.
බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූඵය යන මොහු සහජාතින්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝ ය.
පුරේජාතින්ද්‍රිය ත්‍රි රාශිය
ආදිම අතීත භවාංග චිත්තය හා උපදනා මධ්‍යමායුෂ්ක පඤ්ච ප්‍රසාදයෝ පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍යය ධර්මයෝ ය. ද්විපඤ්ච විඥානය හා සර්ව චිත්ත සාධාරණ චෛතසික සත පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.
ද්විපඤ්ච විඥානයන් ගෙන් අන්‍ය වූ එකුන් අසූ චිත්තයය, චෛතසික දෙපනසය, චිත්තජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මොහු පුරේජාතින්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීක ධර්මයෝ ය.
රූප ජීවිතේන්ද්‍රිය ත්‍රි රාශිය
ජීවිතේන්ද්‍රිය රූපය, රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යය නම් වේ. කර්මජ කලාපයන්හි ජීවිතේන්ද්‍රියන් අන්‍ය රූපයෝ රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයේ ය. එකුන් අනූ චිත්තයය, චෛතසික දෙපනසය, චිත්තජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ අසංඥ සත්ත්ව කර්මජ ප්‍රවෘත්ති කර්මජ රූපයන්හි ඇත්තාවූ ජීවිතේන්ද්‍රිය රූපයෝ ය යන මොහු රූප ජීවිතේන්ද්‍රිය ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීකයෝ ය.
දෙවිසි ඉන්ද්‍රිය ධර්මයන් අතුරෙන් ඉත්ථින්ද්‍රිය පුරිසින්ද්‍රිය දෙක ඉන්ද්‍රිය ප්‍රත්‍යය වශයෙන් නො ගනු ලැබේ. එයට හේතුව ඒ දෙක්හි ජනකත්වය හෝ උපස්ථම්භකත්වය හෝ අනුපාලකත්වයන් නැති බවය. ප්‍රත්‍යයක් වශයෙන් සලකනු ලබන්නේ ඒ ශක්ති තුනෙන් යම්කිසි ශක්ති විශේෂයක් ඇත්තා වූ ධර්ම පමණෙකි. ස්ත්‍රී පුරුෂ භාව රූප දෙකින් සිදු කරන්නේ කර්මාදි අන්‍ය හේතූන් ගෙන් හට ගන්නා රූපයන්හට ස්ත්‍රී පුරුෂාකාරයන් ගැන්වීම ය. ඒ කෘත්‍ය දෙක්හි භාව රූප දෙක අධිපතිකම කරන බැවින් ඒවාට ඉන්ද්‍රිය නාමය ලැබේ. ජනකත්වාදිය නැති බැවින් ඉන්ද්‍රිය ප්‍රත්‍යය නාමය නො ලැබේ.