තමා නිරුත්සාහ ශාන්ත භාවයෙන් සිට සහජාත නාම රූපයන් හට ද නිරුත්සාහ ශාන්ත භාවයෙන් ඉපදීමට උපකාර වන ධර්මය හෙවත් සහජාත නාම රූපයන් හට නිරුත්සාහ ශාන්ත භාවය ගන්වන ධර්මය විපාක ප්‍රත්‍යය නම් වේ. තමා ගේ උත්සාහයෙන් තොර ව කර්ම බලයෙන් උපදනා විපාක ධර්මය සෑම කල්හි ම නිරුත්සාහ භාවය නිසා ම ශාන්තය. එහෙයින් ම දුබල බවය යනු ක්‍රියා වේගයේ මන්දභාවය ය. දුබල බව නිසා ම රාත්‍රියෙහි නිදන තැනැත්තා හට අතීත භවයෙහි වූ කර්මාදීන්ගෙන් යම් කිසිවක් අරමුණු කොට රාත්‍රිය මුළුල්ලෙහි උපන් භවාංග චිත්තය ඇති වූ බව අවදිවීමෙන් පසු නො දැනේ. විපාක වූ පඤ්ච විඥානාදීන්ගේ උත්පත්තිය දැනෙන්නේ පඤ්ච විඤ්ඤාණාදීන් විසින් ගත් අරමුණ ගෙන පසුව සිත් ඇති වන්නේ, පඤ්ච විඥානාදීන්ගේ බලය නිසා නොව වස්ත්වාරම්මණයන් ගැටීමෙහි බලයෙනි. එක් එක් විපාක චිත්ත චෛතසික සමූහයක් ඒ සමූහයට අයත් ධර්මයන් හට හා සහජාත රූපයන්හට නිරුත්සාහ ශාන්ත භාව සංඛ්‍යාත විපාක ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
විපාක ප්‍රත්‍යයේ ත්‍රිරාශිය
ඔවුනොවුන්ට ද ඔවුනොවුන්ට හා චිත්තජ රූප ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිස ය, චෛතසික අට තිසය යන ප්‍රවෘත්ති ප්‍රතිසන්ධි නාමස්කන්ධයෝ විපාක ප්‍රත්‍යය ධර්මයෝ ය.
ඔවුනොවුන්ගෙන් ප්‍රත්‍යය ලබන විපාක සිත් සතිස ය, චෛතසික අටතිසය යන නාමස්කන්ධයෝ ය, ඒ නාමස්කන්ධයන් විසින් සුදුසු පරිදි උපදවන විඥප්ති රූප වර්ජිත චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන මොහු විපාක ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න ධර්මයෝ ය.
කුසල් සිත් එක් විස්සය, අකුසල් සිත් දොළොසය, ක්‍රියා සිත් විස්සය, චෛතසික දෙපනසය යන නාමස්කන්ධයෝ ය, ඒ නාමස්කන්ධයන් විසින් උපදවන චිත්තජ රූපයෝ ය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මොහු විපාක ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝ ය.