අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භාවය

1. මෙපමණක්වූ ප්‍රභේද ප්‍රවෘත්ති සහිතවූ චිත්ත චෛතසික ධර්‍මයෝ බෙදා දක්වන ලදහ. දැන් රූපය කියනු ලැබේ.

2. සමුද්දෙස වශයෙන්ද, විභාග වශයෙන්ද සමුට්ඨාන වශයෙන්ද, කලාප වශයෙන්ද, පවත්තික්කම වශයෙන්දැයි එහි සංග්‍රහය පස් ආකාරයකින් වේ.

3. සතර මහා භූතයෝය, සතරමහා භූතයන් නිසා පවත්නා රූපයෝ යයි මේ දෙවැදෑරුම් රූපය එකොළොස් ආකාරයකින් සංග්‍රහයට යයි.

4. කෙසේද? පඨවිධාතුව, ආපොධාතුව, තෙජොධාතුව, වායොධාතුව භූතරූප නම් වේ.

5. චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය ප්‍රසාදරූප නම් වේ.

6. රූපය, ශබ්දය, ගන්‍ධය, රසය ආපොධාතු වජ්ජිත භූතත්‍රය සඞ්ඛ්‍යාත පොට්ඨබ්බයද ගොචර රූප නම් වේ.

7. ස්ත්‍රී බවද, පුරුෂ බවද භාවරූප නම් වේ.

8. හෘදය වස්තුව හදයරූප නම් වේ.

9. ජීවිතින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය රූපය නම්.

10. කබලීකාර ආහාරය ආහාර රූප නම්.

11. මෙසේ අටළොස් විධිවූ මේ රූපය, ස්වභාවරූපය, ස්වලක්‍ෂණරූපය, නිෂ්ඵන්නරූපය, රූපරූපය, සම්මසන රූපය යයි ව්‍යවහාරයට පැමිණේ.

12. ආකාස ධාතුව පරිච්ඡේද රූපය නම් වේ.

13. කායවිඤ්ඤත්තිය හා වචීවිඤ්ඤත්තිය විඤ්ඤත්ති රූප නම් වේ.

14. රූපයාගේ සැහැල්ලු බව, මොලොක් බව හා කර්‍මයට අනුකූලබව විකාර රූප නම් වේ.

15. රූපයාගේ උපචයද, සන්තතියද, ජරතාවද අනිත්‍යතාවයද ලක්‍ෂණරූප නම් වේ.

16. මෙහි ජාතිරූපයම උපචය සන්තති නාමයෙන් කියනු ලැබේ. මෙසේ එකොළොස් විධවූ රූපය අටවිසි වැදෑරුම් වේ. ස්වරූප වශයෙන් කෙසේද?

17. භූත ප්‍රසාද, විෂය, භාව, හදය යන රූපය ජීවිත ආහාර රූපයන් හා අටළොස් විධ වේ. එසේම පරිච්ඡේද විඤ්ඤත්ති, විකාර, ලක්‍ෂණ යන අනිෂ්ඵන්න දසය දැයි අටවිසි වැදෑරුම් වේ.

මෙය මෙහි රූප සමුද්දෙසයයි.

18. මේ සියළු රූපය අහේතුකය, ප්‍රත්‍යය සහිතය, ආශ්‍රව සහිතය, සඞ්ඛතය, ලෞකිකය, කාමාවචරය, අනාරම්මණය, පහනෝකළ යුතුය. මෙසේ එකවිධවූවද අධ්‍යාත්මික බාහිරාදි වශයෙන් බොහෝවූ භෙදයට යයි.

19. කෙසේද? ප්‍රසාද සඞ්ඛ්‍යාතවූ පඤ්චවිධ රූපය අධ්‍යාත්මිකරූප නම්. ඉතිරි රූප බාහිරරූප නම්.

20. ප්‍රසාද හදය සඞ්ඛ්‍යාතවූ ෂඩ්විධරූපය වස්තුරූප නම්. ඉතිරිරූප අවස්තුරූප නම්.

21. ප්‍රසාද-විඤ්ඤත්ති සඞ්ඛ්‍යාතවූ සත්විධරූපය ද්වාර රූප නම්. ඉතිරිරූප අද්වාරරූප නම් වෙති.

22. ප්‍රසාද, භාව, ජීවිත සඞ්ඛ්‍යාත අෂ්ටවිධරූප ඉන්‍ද්‍රිය රූප නම්. ඉතිරි රූප අනින්‍ද්‍රියරූප නම්.

23. ප්‍රසාද විෂය සඞ්ඛ්‍යාතවූ දොළොස්විධරූප ඖදාරික රූප, සන්තිකෙරූප, සප්පටිඝරූප නම් වේ. ඉතිරි රූප, සුඛුමරූප, දූරෙරූප, අප්පටිඝ රූප නම්.

24. කර්‍මජ රූප උපාදින්න රූප නම්. ඉතිරි රූප අනුපාදින්න රූප නම්.

25. රූපායතනය සනිදස්සන රූප නම්. ඉතිරි රූප අනිදස්සන රූපනම්.

26. චක්ඛාදිද්වය අසම්ප්‍රාප්ත වශයෙන්ද, ඝාණාදිත්‍රය සම්ප්‍රාප්ත වශයෙන්ද යන පඤ්චවිධ රූප ගොචරග්‍රාහික රූපනම් ඉතිරි රූප අගොචර ග්‍රාහික රූප නම්.

27. වර්‍ණය, ගන්‍ධය, රසය, ඕජාවය, භූතරූප සතර යන අෂ්ටවිධ රූපයෝ අවිනිබ්භෝග රූප නම්. ඉතිරි රූප විනිබ්භෝග රූප නම්.

28. මෙසේ අටවිසිවැදෑරුම් රූපය අධ්‍යාත්මිකාදි භෙදයෙන් නුවණැත්තෝ සුදුසු පරිදි බෙදත්.