මෙය මෙහි රූප විභාගය නම්.
29. කර්ම, චිත්ත, ඍතු ආහාර යන මේ සතර රූප සමුට්ඨාන නම් වේ.
30. එහි කාමාවචර රූපාවචර යන පස්විසි කුසලා කුසල කර්මය අධ්‍යාත්ම සන්තානයෙහි කම්මසමුට්ඨාන රූපය, ප්රතිසන්ධි සිතෙහි උත්පාදක්‍ෂණයෙහි සිට ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදවයි.
31. අරූපවිපාක හා දෙපස් විඤ්ඤාණයත් හැර ඉතිරි පන්සැත්තෑසිත් ප්රතිසන්ධි සිතට අනතුරුව ප්රථමභවාඞ්ග යාගේ උත්පාදක්‍ෂණයෙහි පටන් චිත්ත සමුට්ඨාන රූප උපදවයි.
32. ඔවුන් අතුරෙන් අර්පණාජවනය ඉරියාපථයද පවත්වයි.
33. වොට්ඨපන, කාමාවචර ජවන අභිඥාවෝ විඤ්ඤත්තියද උපදවත්.
34. එයින් තෙළෙස් සොම්නස් ජවනය සිනහවද උපදවත්.
35. ශීතෝෂ්ණසඞ්ඛ්යාතවූ තේජෝධාතුව ස්ථිතිප්රාප්තවූ කල්හි උතුසමුට්ඨාන රූපය අධ්යාත්මසන්තානයෙහිද බාහිර සන්තානයෙහිද සුදුසු පරිදි උපදවයි.
36. ඕජාසඞ්ඛ්යාතවූ ආහාරය අනුභව කරන කාලයෙහි ස්ථිතියට පැමිණියේම ආහාර සමුට්ඨාන රූප උපදවයි.
37. එහි හදය ඉන්ද්රිය රූපයෝ කර්මජ රූපයෝමය.
38. විඤ්ඤත්තිරූප දෙක චිත්තජමය.
39. ශබ්දය චිත්ත ඍතු දෙකෙනි.
40. ලහුතාදිත්රය ඍතු, චිත්ත, ආහාරයන්ගෙන් හට ගනී.
41. අවිනිබ්භොගරූප හා ආකාසධාතුවද චතුසමුට්ඨා නිකය.
42. ලක්ෂණරූපයෝ මේ කිසිවකින් හටනොගනිත්.
43. කම්ම, චිත්ත, ඍතු, ආහාරයන්ගෙන් හටගන්නා රූපයෝ පිළිවෙලින් අටළොසක්ද, පසළොසක්ද; තෙළෙසක්ද, දොළොසක්ද වෙති. ඉපදීම් ආදිය රූපයන්ගේ ස්වභාවයන් වූ බැවින් ලක්ෂණරූපයෝ මේ කිසිවකින් නූපදිත්යයි කියනලදි.
මෙය මෙහි රූපසමුට්ඨාන ක්‍රමයයි.
44. එකට උපදින, එකට නිරුද්ධවන, සමාන නිශ්‍රය ඇති එකට පවත්නා එක්විස්ස (21) රූපකලාප නම් වෙත්.
45. එහි ජීවිතරූපයද අවිනිබ්භොගරූපද චක්ෂුප්රසාදය සමග චක්ඛුදසකය යයි කියනු ලැබේ. එසේම සොත ප්‍රසාදීන් හා සමග සොතදසකයද, ඝාණදසකයද, ජිව්හා දසකයද, කායදසකයද, ඉත්ථිභාව දසකයද, පුම්භාවදසක යද, වස්තුදසකය දැයි මෙසේ පිළිවෙලින් යෙදිය යුතු. අවිනිබ්භොග රූපයට ජීවිත රූපය සමග ජීවිත නවක යයි කියනු ලැබේ. මේ නවය කර්මජ රූපකලාපයෝ වෙත්.
46. අවිනිබ්භොගරූප සුද්ධාෂ්ටක නම්. එයම කාය විඤ්ඤත්තිය සමග කායවිඤ්ඤත්ති නවකය නම්. වචී විඤ්ඤත්තිය හා ශබ්දයත් සමග වචීවිඤ්ඤත්තිදසකය නම්. ලහුතාදීන් සමග ලහුතාදී එකාදසකය, කායවිඤ්ඤත්ති ලහුතාදි ද්වාදසකය, වචීවිඤ්ඤත්ති සද්දලහුතාදි තෙරසකයද යන මේ සය චිත්තසමුට්ඨාන රූපකලාපයෝ නම් වෙත්.
47. සුද්ධාෂ්ටකය, ශබ්දනවකය, ලහුතාදි එකාදසකය, ශබ්දලහුතාදි ද්වාදසකය යන මේ සතර ඍතුසමුට්ඨාන රූප කලාපයෝ ය.
48. සුද්ධාෂ්ටකය, ලහුතාදී එකාදසකය යන දෙක ආහාර සමුට්ඨාන කලාපයෝ ය.
49. එහි සුද්ධාෂ්ටකය, ශබ්දනවකය යන උතුසමුට්ඨාන කලාප දෙක බාහිර සන්තානයෙහිද ලැබෙති. ඉතිරි සියල්ලම අධ්යාත්මිකවම ලැබෙති.
50. කම්ම, චිත්ත, සෘතු, ආහාර සමුට්ඨානයෝ පිළිවෙලින් නව දෙනෙක, සදෙනෙක, සිව් දෙනෙක, දෙදෙනෙකැයි එක්විස්සෙක් වෙති ආකාසධාතුවත් ලක්ෂණ රූපයෝත් කලාපයන්ගේ පිරිසිඳීම හා ලක්ෂණද වූ බැවින් කලාපාඞ්ග නොවෙත් යයි විචක්ෂණයෝ කියති.
මෙය මෙහි කලාපයෝජනායි.
51. ඒ සියලු රූපයෝ කාමලෝකයෙහිදී ප්රවෘත්ති කාලයෙහි නොඅඩුවම සුදුසු පරිදි ලැබෙති.
52. ප්රතිසන්ධි කාලයේදී සංසේදජයන්ට හා ඕපපාතික යන්ටද චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, භාව, වත්ථු දසක සඞ්ඛ්යාතවූ සප්තදසකයෝ උත්කෘෂ්ට වශයෙන් පහළ වෙත්. ඕමක වශයෙන් වනාහි චක්ඛු, සොත, ඝාණ, භාව දසකයෝ ඇතැම් විටෙක නොලැබෙත්. එහෙයින් ඔවුන්ගේ වශයෙන් කලාප හානිය දතයුතු.
53. ගබ්භසෙය්‍යක සත්ත්වයන්ට වනාහි කාය, භාව, වත්‍ථුදසක සඞ්ඛ්‍යාත දසකයෝ තිදෙනෙක් පහළ වෙත්. එහිද භාවදසකය ඇතැම් විටෙක නොලැබේ. ඉන්පසු ප්රවෘත්ති කාලයෙහි පිළිවෙලින් චක්ඛුදසකාදීහු පහළවෙත්.
54. මෙසේ පටිසන්ධිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි පටන් කර්මජ රූපයෝද, දෙවෙනි සිතෙහි උත්පාදක්‍ෂණයෙහි පටන් චිත්තජරූපයෝද, ප්රතිසන්ධි සිතෙහි ස්ථිතික්ෂණයෙහි පටන් සෘතුජ රූපයෝද ආහාරඕජාව ශරීරයෙහි පැතිරෙන කාලයෙහි පටන් ආහාරජ රූපයෝද, මෙසේ චතුසමුට්ඨානික රූපකලාප සන්තතිය කාමලොකයෙහි පහන් දැල්ලක් මෙන්ද ගඞ්ගාජලප්රවාහයක් මෙන්ද ආයු ඇතිතෙක් නොසිඳී පවතී.
55. මරණාසන්න කාලයෙහි චුති චිත්තයට පූර්වයෙහි වූ සතළොස්වන චිත්තයාගේ ස්ථිති කාලයෙහි පටන් කර්මජ රූපයෝ නූපදිත් එයට පෙර උපන් කර්මජ රූපයෝද චුති චිත්තය හා සමකාලය දක්වාම පැවත නිරුද්ධ වෙත්. ඉන්පසු චිත්තජ ආහාරජ රූපද සිඳෙත්. ඉන්පසු ඍතුජ රූප පරම්පරාව මෘත කලේබරය වශයෙන් පවති.
56. මෙසේ මළාවූ සත්ත්වයන්ට නැවතත් භවාන්තරයෙහි ප්රතිසන්ධියෙහි පටන් එසේම රූපය පවති.
57. රූපලෝකයෙහි වනාහි ඝාණ, ජිව්හා, කාය, භාව දසකයෝද ආහාරජ කලාපයෝද නොලැබෙත්. එහෙයින් ඔවුන්ගේ ප්රතිසන්ධි කාලයෙහි චක්ඛු, සොත, වස්තු වශයෙන් දසක තුනක්ද, ජීවිත නවකයද යන කම්ම සමුට්ඨාන කලාපද ප්රවෘත්ති කාලයෙහි චිත්තජ ඍතුජ කලාපයෝද ලැබෙත්.
58. අසඥසත්ත්වයන්ට වනාහි චක්ඛු, සොත, වස්තු, ශබ්දයෝද නොලැබෙත්. එසේම චිත්තජ රූපයෝද නොලැබෙත්. එහෙයින් ඔවුන්ගේ ප්රතිසන්ධි කාලයෙහි ජීවිත නවකයම ලැබේ. ප්රවෘත්ති කාලයෙහිද ශබ්දය හැර ඍතුජ රූපයද ඉතිරි වෙයි.
59. මෙසේ කාම රූප අසංඥී සඞ්ඛ්යාතවූ තුන් තන්හි ප්රතිසන්ධි ප්රවෘත්ති වශයෙන් දෙවැදෑරුම් රූප ප්‍රවෘත්තිය දතයුතු.
60. කාමලෝකයෙහි රූප විසි අටෙක්ද (28), රූප ලෝකයෙහි තෙවිස්සක්ද (23) අසඤ්ඤීන්ට රූප සතළොසක්ද (17) වෙත්. අරූප ලෝකයෙහි කිසිදු රූපයක් නැත. ශබ්දය, විකාරරූප, ජරතාද අනිච්චතා රූපද උත්පත්ති කාලයෙහි නොලැබෙත්. ප්රවෘත්ති කාලයෙහි කිසිදු රූපයක් නොලැබෙන්නේ නොවේ.
මෙය මෙහි රූප ප්රවෘත්ති ක්‍රමයයි
61. ලෝකෝත්තර සඞ්ඛ්යාතවූ නිර්වාණය වනාහි සතර මග නුවණින් ප්රත්යක්ෂ කළ යුතුය. මාර්ග ඵලයන්ට අරමුණු වන්නාවූ එය වාන සඞ්ඛ්යාතවූ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිබ්බාණ යයි කියනු ලැබේ.
62. ඒ මේ නිර්වාණය ස්වභාව වශයෙන් එකවිධ වුවද ස උපාදිසෙස නිර්වාණ ධාතුව, අනුපාදිසෙස නිර්වාණ ධාතුව යයි කාරණ පරියායෙන් දෙවැදෑරුම් වේ.
63. එසේම සුඤ්ඤතය, අනිමිත්තය, අප්පණිහිතය යන ආකාර භේදයෙන්ද ත්‍රිවිධ වෙයි.
64. චුති රහිතවූ, අන්තය ඉක්මවූ, ප්‍රත්‍යයෙන් සකස් නොකරන ලද්දාවූ නිරුත්තරවූ ශාන්ත පදය නිර්වාණයයි බුදුවරයෝ වදාරණ සේක. මෙසේ තථාගත වරයෝ චිත්තයද, චෛතසිකයද, රූපයද, නිබ්බාණයද යයි පරමාර්ත්ථය සතර ආකාරයෙකින් වදාරත්.
මෙසේ අභිධර්මාර්ත්ථ සඞ්ග්‍රහයෙහි රූප සඞ්ග්‍රහ විභාග නම්වූ ඡට්ඨම පරිච්ඡේදය නිමි.