වීථිසඞ්ග්රහය
1. මෙසේ චිත්තයන් ගේ ප්රකීර්ණක සංග්‍රහය කොට අනතුරුව භූමි පුද්ගල භේදයෙන් පෙර පසු සිත් විසින් නියම කරණ ලද්දවූ ප්රතිසන්ධි ප්රවෘත්ති කාලයන්හි චිත්තයන්ගේ ප්රවෘත්ති සංග්‍රහ නම් වූ මෙය සම්භවන පරිද්දෙන් ප්‍රකාශ කරන්නෙමි.
2. වස්තුසයය, ද්වාර සයය, අරමුණ සයය, විඤ්ඤාණ සයය, වීථි සයය, විෂය ප්රවෘත්ති සයය යන වීථි සංග්රහයෙහි ෂට්ක සයක් දත යුත්තාහ.
3. වීථි මුක්ත චිත්තයන් ගේ විෂය ප්‍රවෘත්තිය කම්ම, කම්ම නිමිති, ගතිනිමිති යන මොවුන්ගේ වශයෙන් ත්‍රිවිධ වෙයි.
4. එහි වස්තු ද්වාර, ආරම්මණයෝ පෙර කියන ලද පරිදිමය.
5. චක්ඛු විඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය යයි විඤ්ඤාණයෝ සදෙනෙකි.
6. වීථි සය නම් චක්ඛුද්වාර වීථි, සෝතද්වාර වීථි, ඝාණද්වාර වීථි, ජිව්හාද්වාරවීථි, කායද්වාරවීථි, මනෝද්වාරවීථි, යයි ද්වාර වශයෙන් හෝ චක්ඛුවිඤ්ඤාණ වීථි, සෝත විඤ්ඤාණ වීථි, ඝාණ විඤ්ඤාණ වීථි, ජිව්හා විඤ්ඤාණ වීථි, කාය විඤ්ඤාණ වීථි, මනෝ විඤ්ඤාණ වීථි යයි විඤ්ඤාණයන් ගේ වශයෙන් හෝ ද්වාරයන් හි පැවැති චිත්ත වීථි හු යෙදිය යුත්තාහ.
7. පඤ්චද්වාරයෙහි අතිමහන්ත, මහන්ත, පරිත්ත, අතිපරිත්ත යයිද, මනෝද්වාරයෙහි විභූත, අවිභූත යයිද සය ආකාර විෂය ප්‍රවෘත්තිය දත යුත්තාහ.
8. කෙසේද, උත්පාද, ඨිති, භඞ්ග වශයෙන් ක්ෂණත්රයක් එක චිත්තක්ෂණයක් වේ.
9. එබඳු චිත්තක්ෂණ සතළොසක් (17) රූපධර්මයන්ගේ ආයු ප්‍රමාණය වේ.
10. එක් චිත්තක්ෂණයක් ඉක්මුනාවූ හෝ බොහෝ චිත්තක්ෂණයන් ඉක්මුනාවූ හෝ ස්ථිතිප්රාප්තවූ ම පඤ්චාරම්මණයෝ පඤ්චද්වාරයට හමුවෙති. එහෙයින් එක් චිත්තක්ෂණයක් ඉක්මුනාවූ රූපාරම්මණයක් ඇසට හමුවන්නේ නම් ඉන් පසු දෙවරක් භවඞ්ගය සෙල වුණු කල්හි ඒ භවඞ්ග ප්‍රවාහනය සිඳගෙන ඒ රූපාරම්මණයම මෙනෙහි කරමින් පඤ්චද්වාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධ වෙයි. ඉන් පසු එයට අනතුරුව එම රූපය දක්නා වූ චක්ඛු විඤ්ඤාණයද, එය පිළිගන්නාවූ සම්පටිච්ඡන චිත්තයද, තීරණය කරන්නාවූ සන්තීරණ චිත්තයද, නියම කරන්නාවූ වොත්ථපන චිත්තයද, පිළිවෙලින් ඉපිද නිරුද්ධ වෙත්. ඉන්පසු එකුන් තිස් කාමාවචර ජවනයන් අතුරෙන් ලබන ලද ප්‍රත්‍යය ඇති, ජවනයක් බොහෝ සෙයින් සත්වරක් දුවයි. ජවනයට අනුව යන විපාක දෙසිතක් ද සුදුසු පරිදි උපදිත්. අනතුරුව භවඞ්ග පාතය වේ.
11. මෙතෙකින් වීථි සිත් තුදුසක්ද (14) භවඞ්ගචලන දෙකක්ද, පූර්වයෙහි ඉක්මුනාවූ එක් චිත්තක්ෂණයක් දැයි මෙසේ චිත්තක්ෂණ සතළොසක් (17) සම්පූර්ණ වෙත්. ඉන්පසු අරමුණ නිරුද්ධවන්නේය. මෙය අතිමහන්තාරම්මණ නම් වේ.
12. තදාරම්මණයන් උපදවන්නට නොහැකිව ඉක්මගිය ආයු ඇතිව අභිමුබවූ අරමුණ මහන්තාරම්මණ නම් වේ. එහි ජවනාවසානයෙහි භවඞ්ගපතනයවේ. තදාලම්බනයන්ගේ ඉපදීමක් නැත.
13. ජවන් උපදවන්නට නොහැකිව ඉක්ම ගිය ආයු ඇතිව අභිමුබ වූ අරමුණ පරිත්තාරම්මණ නම් වේ. එහි ජවනයද නොයිපිද වොත්ථපනයම දෙතුන්වරක් උපදී. ඉන්පසු භවඞ්ගපතනය වේ.
14. වොත්ථපනය උපදිනතෙක් නො පැවැති, ඉක්මගිය ආයු ඇතිව අභිමුබවූ නිරුද්ධවන්නට ආසන්න වූ අරමුණ අතිපරිත්තාරම්මණ නම් වේ. එහි භවඞ්ග චලනයම වේ. වීථි චිත්තයන් ගේ ඉපදීමක් නැත.
15. මේ ක්‍රමයෙන් චක්ඛුද්වාරයෙහිද එසේම සොතද්වාරාදින් හිදැයි සර්ව ප්‍රකාරයෙන් පඤ්චද්වාරයෙහි තදාලම්බන, ජවන, වොත්ථ පන, මොඝවාර සඞ්ඛ්‍යාත සතරවාරයන්ට පිළිවෙළින් අරමුණුවූ විසයප්පවත්තිය සතර ආකාරයකින් දතයුත්තේය.
16. පඤ්චද්වාරයෙහි සුදුසු පරිදි උපදනා වීථි සිත් සතක්ම වෙත්. චිත්තුප්පාදයෝ තුදුසෙක් වෙත්. විස්තර වශයෙන් සිව් පනසෙක් (54) වෙති.