අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය

තෙපනස් (53) ධර්මයන්ගේ වෙදනා භේදය, හේතු භේදය, කෘත්‍ය භේදය, ද්වාර භේදය, ආරම්මණ භේදය, වත්ථු භේදය යන මොවුන්ගේ වශයෙන් සයාකාර භේදය දැක්වීම ප්‍රකීර්ණක සංග්‍රහය නම් වේ.

චිත්තයත්, චෛතසික පනස් දෙකත්, එක්කොට ගත් කල්හි තෙපනස් ධර්මයෝයි.

චිත්තයාගේ ප්‍රභේද සංක්ෂේපයෙන් එකුන් අනූවක් (89) හෝ, විස්තර වශයෙන් එක්සිය විසි එකක් (121) වන නමුත්, ආරම්මණ විජානන ලක්ෂණය හෙවත් අරමුණු දැනීම සියළු චිත්තයන්ගේම එකම සාධාරණ ලක්ෂණය බැවින් මේ සිත් සියල්ල එක් කොට ගෙන, එක් ධර්මයක් ලෙස සළකනු ලැබේ.

චෛතසික දෙපනස, අරමුණු ස්පර්ශ කිරීම, අරමුණු රසවිඳීම, අර- මුණු හැඳිනීම යන ආදි වශයෙන් වෙන් වෙන්වූ ලක්ෂණ දෙපනසක්ම ඇති හෙයින්, ධර්ම වශයෙන් දෙපනසක් කොට සළකනු ලැබේ. මෙසේ ස්වභාව ලක්ෂණයන්ගේ වශයෙන් වෙන් වෙන්වූ ධර්ම බැවින් සිතත්, චෛතසික දෙපනසත් එක්කොට ගෙන තෙපනස් ධර්මයෝයයි කියති. මෙයටම තෙපනස් නාම ධර්ම යයි ද කියනු ලැබේ. මෙසේ චිත්ත චෛතසික ධර්මය එකතු කොට මිශ්‍ර කොට වෙදනාදී වශයෙන් බෙදා දක්වන හෙයින් ප්‍රකීර්ණක සංග්‍රහ යයි කියනු ලැබේ.