අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සම්ප්‍රයෝග ලක්ෂණ සතර

ඒකුප්පාද, එකනිරොධ, එකාලම්බණ, ඒකවත්ථුක, යයි චෛතසිකයන්ගේ සම්ප්‍රයොග ලක්ෂණ සතරෙකි.

එකුප්පාද ලක්ෂණය-චිත්තයාගේ උප්පාද, ඨිති, භඞ්ග යන ක්ෂණත්‍රය අතුරෙන් චිත්තය හටගන්නා උප්පාදක්ෂණයෙහිදීම ඉදිරි පසු නොවී තමා හා සම්ප්‍රයුක්ත වූ චෛතසික ධර්මයෝ ද හටගන්නාහු වෙති. මෙයට ඒකුප්පාද ලක්ෂණය යයි කියති.

එකනිරොධලක්ෂණය-චිත්තයාගේ භඞ්ගක්ෂණයේ අවසානයේදී සිත නිරුද්ධවන කල්හි ඒ හා සමඟ යෙදුනා වූ චෛතසික ධර්මයෝද ඉදිරිපසු නොවී නිරුද්ධ වී යෙති. මෙයට එකනිරොධලක්ෂණය යයි කියති.

එකාලම්බණලක්ෂණය-චිත්තය වනාහි රූපාලම්බණ, සද්දාලම්බණ, ගන්ධාලම්බණ, රසාලම්බණ, ස්පාර්ශාලම්බණ, ධර්මාලම්බණ, පච්චුප්පන්න, අතීතානාගත ධර්මයෝය, කාල විමුක්ත වූ ප්‍රඥප්තිය, චිත්ත චෛතසික සඞ්ඛ්‍යාත නාම ධර්මය, අධ්‍යාත්මක බාහිර ධර්මය, නිර්වාණය යන මේ ධර්මයන් අතුරෙන් යම්කිසි ධර්මයක් අරමුණු කොට උපදනේය. තමා හා සම්ප්‍රයුක්ත චෛතසිකයෝද මෙකී චිත්තයාගේ අරමුණ ම අරමුණු කරත්. මෙයට එකාලම්බණ ලක්ෂණය යයි කියති.

එකවත්ථුකලක්ෂණය- චක්ඛු විඤ්ඤාණාදී ද්විපඤ්ච විඤ්ඤාණයෝ චක්ඛුප්‍රසාද වස්තු ආදි පඤ්චප්‍රසාද වස්තු නිශ්‍රය කොට ගෙන උපදිත්. අනිකුත් සියලුම සිත් හෘදයවස්තු රූපය නිසා පවත්නාහු වෙති. ඒ සිත් හා උපදනා චෛතසිකයෝ ද ඒ ඒ සිත් උපදින වස්තු නිසා පවත් නාහුම වෙති. මෙයට එකවත්ථුක ලක්ෂණය යයි කියති.

මෙකී සම්ප්‍රයෝග ලක්ෂණ සතරින් යුක්තව, සිත හා සමඟම, සිතෙහිම නියුක්තව, සිතටම ඇතුළත්ව පවත්නා හෙයින් මේ දෙපනස් (52) ධර්මයන්ට චෛතසික යන නාමය ව්‍යවහාර වේ.

මේ චෛතසිකයෝ පනස් දෙදෙනා වෙන් වෙන් වූ ස්වභාව හා වෙන් වෙන් වූ කෘත්‍ය ඇත්තෝම වෙති. හැම සිතක් පාසාම මේ චෛතසික සියල්ලම යෙදෙන්නේ නොවේ. ඒ ඒ සිත්හි යෙදෙන චෛතසික සඞ්ඛ්‍යාව ද වෙනස් වේ. අඩුම ගණනින් චෛතසිකයන් සත් දෙනෙක් ද, වැඩිම ගණනින් චෛතසිකයෝ තිස්හය දෙනෙක් ද යෙදෙත්. යම් සිතක යම් චෛතසික සමූහයක් යෙදෙන්නේ නම්, ඒ චෛතසිකයන් ද සිත හා සමඟම ඉපදීම් ආදී සතර සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්ත වේ.

දෙපනස් (52) චෛතසිකයන් අතුරෙන් ඇතැම් චෛතසිකයෝ හැම සිත්හි ම යෙදෙන්නාහු ය. තවත් සමහර චෛතසිකයෝ කුසල් අකුසල් දෙක්හිම අවස්ථා පරිදි යෙදෙන්නාහුය. තවත් ධර්ම සමූහයක් අකුසල් සිත්හි පමණක් ද, සමහර ධර්මයෝ කුසල් සිත්හි පමණක් ද යෙදෙන්නාහුය. මේ ආදී නොයෙක් කරුණු සලකා මේ චෛතසික ධර්ම සමූහය නොයෙක් කොටස් වලට බෙදා දක්වනු ලැබේ.

පළමු කොට චෛතසිකයෝ රාශි තුනකට බෙදනු ලැබේ.

  1. අඤ්ඤසමාන රාශිය - චෛතසික 13 කින් යුක්තය.
  2. අකුසල රාශිය - චෛතසික 14 කින් යුක්තය.
  3. සොභන රාශිය - චෛතසික 25 කින් යුක්තය.

අඤ්ඤසමාන රාශිය - අන්‍ය සමාන රාශියට අයත් චෛතසිකයන් දහතුන් දෙනා අසොභන සිත් සමග යෙදෙන විට තමනුත් අසොභන වෙයි. එසේම සොභන සිත් සමග යෙදෙන විට තමනුත් සොභන වෙයි. මෙසේ අසොභන සිත් සමග යෙදෙන කල්හි, සොභන සිත්වලින් අන්‍ය වූ අසොභන සිත් හා සමාන බැවිනුත්, සොභන සිත් සමග යෙදුන කල්හි අසොභන සිත්වලින් අන්‍ය වූ සොභන සිත් හා සමාන වන හෙයිනුත් මේ චෛතසිකයන්ට අඤ්ඤසමාන යන නාමය ව්‍යවහාර වේ.

මේ අඤ්ඤසමානයෝ, මිත්‍රයන් ආශ්‍රය කිරීමෙහි දක්ෂ කෛරාටික මිත්‍රයෙකුට බඳු උපමා ඇත්තේයි. මොහු ප්‍රාණඝාත අදත්තාදානාදී දුශ්චරිතයන්හි හැසිරෙන්නා වූ, පාපකාරී පුද්ගලයන් ආශ්‍රය කිරීමේ දී ඔවුන් හා සමානවම ප්‍රාණඝාතාදී යෙහි හැසිරෙන්නේ ය. දානාදී පින්කම් කරන මිත්‍රයන් ආශ්‍රය කිරීමේ දී ඔවුන් හා සමානව ම පින්කම්හි යෙදෙන්නේ ය. එසේ ම මේ චෛතසිකයෝ තෙළෙස් දෙන, දොළොස් අකුශල සිත් හා එක්ව යෙදුන කල්හි ඒ ධර්මයෝ ද ඒකාන්තයෙන් ම අකුසල් වෙති. කාම, රූප, අරූප, ලොකොත්තර යන භෙද ඇති සොභන සිත්හි ඒ හා එක්ව යෙදෙන කලහි, ඒ ධර්ම යෝ ඒකාන්ත කුසල්ම වෙත්. විපාක ක්‍රියාවන් හා යෙදුනු කල්හි අව්‍යාකෘත වෙත්.

තව ද මේ අඤ්ඤසමාන චෛතසිකයන් අතුරෙන් සත් දෙනෙක් සියලුම සිත්හි යෙදෙන සබ්බචිත්ත සාධාරණයෝයි. සදෙනෙක් සොභන අසොභන සිත්හි විසිර පවත්නා ප්‍රකීර්ණකයෝ ය.

අකුසල රාශිය - දොළොස් අකුසල චිත්තයන්හි පමණක් යෙදෙන තුදුස් (14) චෛතසිකයෝ අකුසල රාශියට ඇතුළත් වෙති. පාප ගතිවූ ද, අනර්ථය සලසන්නාවූ ද අවැඩ සාදා දෙන්නා වූ ද මේ චෛතසිකයෝ කුසලය වළක්වති.

සෝභන රාශිය - මේ සෝභන රාශියට අයත් පස්විසි (25) චෛතසික ධර්මයෝ සෝභන සිත්හි මිස අන් සිතක නො යෙදෙන්නාහුය. යහපත් ගතිවූද, අර්ථයම සළසන්නා වූ ද, වැඩ සාදා දෙන්නා වූ ද මේ චෛතසිකයෝ යහපත්කම ලබා දෙන හෙයින් සෝභන නම් වෙති.